මී ගසේ උද්භිද විද්‍යාත්මක නම

වන්නේ Madhuca Longifolia යන්නයි. මී ගස ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම මෙන් වැවෙන ශාකයක් ලෙස සඳහන් කළ හැකිය. දැනට මී ගස පිළිබඳ කෙරී ඇති පර්යේෂණ අනුව, මෙහි වර්ග හතක් ඇති බව සොයා ගෙන තිබේ. මී ගසේ කඳ මීටර් 20 ක් පමණ උස්වේ. ළපටි, නොමේරූ කොළ බූව සහිත රතු පැහැයෙනුත්, මේරූ කොළ, ළා කොළ පැහැයෙනුත් යුක්තවේ. මී මල් ජූනි, ජූලි මාසයන්හි හට ගන්නා අතර, ඒවා කහ වර්ණයෙන් යුක්ත වෙයි. වවුලන්, මී මල් හා මී ගෙඩි අනුභව කර මී ගස යටට වසුරු දැමූ පසුව, එහි පොහොර නිෂ්පාදනය වෙයි. මේ නිසා, ඉන්දීයවිද
පර්යේෂක කණ්ඩායමකගේ අදහස වන්නේ, මී ගස යනු පොහොර උපදවන වස්තුවක් බවයි. මී ඇට ආහාරයට ගත් වවුලන් හෙළන වසුරු, කුඩා ගිනි පෙට්ටි පියනක් පමණ වූ ප්‍රමාණයක යූරියා කිලෝ 3ක පමණ රසායනික සංඝටක අඩංගු වේ. එමෙන්ම වවුල් වසුරුවල කිසිම බැර ලෝහයක් අඩංගු නොවේ. එම නිසා පසෙහි සාරවත්භාවයක් ඇති වන බව විද්‍යාඥයන්ගේ අදහසයි. මීට අමතරව මී ගසේ සෑම කොටසක්ම ඖෂධීය ගුණයකින් යුක්තවේ. මී ගස් වගා කිරීමෙන් පාංශු ඛාදනය වළක්වා ගත හැකිය. එම නිසා පැරැණි වැව්වල වෑ කඳු අසල මී වෘක්ෂ වගා කර තිබෙනු දක්නට ලැබේ.

අතීතයේ මී ගසට තිබුණු වටිනාකම

සංස්කරණය

ලංකාවේ පැරැණි පරිසරය රක්ෂණය කිරීමෙහි උනන්දු වූ සෑම පාලකයකුම මී ගස ආරක්ෂා කිරීමෙහිලා කටයුතු කළහ. පැරැණි ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සපයන සාහිත්‍ය මූලාශ්‍රය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මඟින් මී ගස පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැකිය.

දේවානම්පියතිස්ස රජතුමා රටවැසියන්ට පණවා තිබූ අණපනත් අතර වෘක්ෂලතාදිය කැපීම තහනම් කර තිබුණි. ඒ අතරින් එක ගසක් වන්නේ මී ගසයි. කවුරුන් හෝ මී ගසක් කපා අසු වුවහොත්, දඬුවම වූයේ මරණීය දණ්ඩනයයි. මී ගසක් කැපීමට කිසිම හේතුවක් ඉදිරිපත් කිරීමට ඉඩක් ලැබුණේ නැත. නිවෙසකට මී අත්තක් පහත් වී තිබුණත්, එම අත්ත නොකපා වෙනත් ස්ථානයකින් නිවෙසක් තනා ගැනීමට රජතුමා ඉඩහසර ලබා දුන් බව සඳහන්වේ. අතීතයේ විසූ ජනයා, තම කටයුතු සඳහා මී ශාකය බොහෝ සෙයින් උපයෝගී කරගත් බව වංසකථා මඟින් පෙනේ. මහාවිහාර සීමා සලකුණු කරන අවස්ථාවේ දී මී ශාකය උපයෝගී කරගත් බව පළමුවෙන්ම තොරතුරු හමු වේ. එය ‘කුදුමීරුක‘ ලෙස මහාවංසයේ සඳහන්වේ. පාලි මහාවංසයෙහි දී ඛුජ්ජමධූලඤ්ච ලෙස එය දක්වා තිබේ. කාවන්තිස්ස රජු මංගල මහා චෛත්‍යය කරවා, එහි විහාරයක්ද කරවා, එම විහාරයේ සීමා ලකුණු කිරීමේ දී එක් මාඉමක් ලෙස කුක්කුලසීව නම් උපාසකයාගේ ගමේ මී ගස සමීපයේ වූ ගොඩැල්ල ගෙන ඇති බව, සිංහල ධාතුවංසයේ සඳහන්වේ. මී ශාකය අතීත ජනතාව අතර බොහෝ ජනප්‍රිය වීම නිසා, මෙලෙස මායිම් ලකුණු කිරීම සඳහා යොදා ගත් බව සිතිය හැකිය. සංඝතිස්ස රජු හා මුගලන් සෙනෙවි අතර ඇති වූ සටනේ දී, සංඝතිස්ස රජුගේ ඇතා මී ගස් සෙවණකට ගොස් ඇති අතර, එම ගසෙහි අත්තක වැදීමෙන් ඇතාගේ සේසත බිම වැටී ඇති බව මහාවංසයේ දෙවැනි කොටසේ දී දක්වයි. මේ විස්තරයෙන් පෙනී යන්නේ, පැරැණි ශ්‍රී ලංකාවේ මී ගස ස්වාභාවිකවම විශාල වශයෙන් හටගත් බවයි. මේ යුගයේ දී, මී ගස නොකැපිය යුතු අවස්ථා ඇති බව පුරාවිද්‍යා මූලාශ්‍රය වන සෙල්ලිපි මඟින් පෙන්වා දෙයි. ක්‍රි. ව. 10වැනි ශත වර්ෂයට අයත් උදාමහායාගේ පුලියම්කුලම් පුවරු ලිපියට අනුව, එක්තරා විහාරයකට පවරා දුන් ගම්බිම්හි මී ගස් කැපීම, රාජකුලිකයන්ට තහනම් කර තිබේ. “රදොලන් වැදැ තලන් මීවන් නොකපනු ඉසා” යනුවෙන් දැක්වෙන්නේ මී ගස් කැපීම තහනම් කර ඇති ආකාරයයි. යම් කිසිවකු එසේ කළ හොත්, මහයාගේ කාර්යාලයේ නිලධාරීන් විසින් සංසිඳවිය යුතු බව ද සඳහන් වේ.

මිහින්තලේ පුවරු ලිපියට අනුව, විහාර භූමියට අයත් තල, මී ආදී ශාක ඵල හට ගන්නා ශාක ප්‍රධානීන්ගේ අවසරය නොමැතිව කැපිය නොහැකිය. මේ ඉඩම් උකස් කර විකිණීමෙන් ද වැළකිය යුතු බවත්, එසේ කළ හොත් ඔවුන් රටින් නෙරපා හැරිය යුතු බවටත් නියෝග කර තිබේ. හතර වැනි කාශ්‍යප රජතුමා විසින් සෑගිරියෙහි විසූ බුද්ධමිත්‍ර භික්ෂුවට, මී ගස් වත්තක් සහ සියඹලා වත්තක් පූජා කිරීමක් පිළිබඳ බුද්ධන්නේහෙල ස්ථම්භ ලිපියෙන් තොරතුරු හෙළි වේ. තුන්වැනි කාශ්‍යප විසින් මිහින්තලාවට කරනු ලැබූ ඉඩම් ප්‍රදානයක දී, එහි ඇති මී ගස් සහ සියඹලා ගස් නොකපන ලෙසට අණ කර තිබේ. එසේ කැපුවහොත්, ඔවුන්ගෙන් දඩ අය කර ගත යුතු බව එම ශිලා ලිපිය සඳහන් කරයි. මේ තොරතුරු අනුව පෙනී යන්නේ, මේ ශාකය මායිම්ව පමණක් යොදා නොගත් අතර, විශාල ආර්ථික වටිනාකමක් ද හිමිකර ගත් බවයි. මේ අනුව පරිසරයේ ඉතා වැදගත් අංගයක් වන වන සම්පත ආරක්ෂා කිරීම පිළිබඳ අතීත පාලකයන් තම අවධානය යොමු කළ අතර, ඒ අතරින් මී ගසට ප්‍රධාන තැනක් හිමි වූ බව පෙනී යයි. ඒ නිසා, මී ගස වනාන්තරයක පරිසරාත්මක වටිනාකමකින් මෙන්ම, ආර්ථික වටිනාකමකින් ද යුක්ත වුණි. ගස් කැපීම, නීතිරීති මඟින් පාලනය කිරීමෙන්, ශාක සම්පත සංරක්ෂණය කිරීමට ගත් පියවර ශිලා ලේඛනවල වාර්තාවේ. සීගිරි ගලේ වැඩුණු යම් යම් ගස් කැපීම කිසිවකු විසින් හෝ කළ නොයුතු බවට තහනම් කරමින් පනවන ලද නියෝග, මිහින්තලේ කුලුනු ලිපියෙහි සඳහන් වේ. මෙහි සඳහන් වන වෘක්ෂ අතර, මී ගස් ද සඳහන් වේ. රාජ්‍ය නීතිය මඟින්, වන සම්පත සංරක්ෂණයෙහිලා දක්වන ලද අවධානය මෙයින් සනාථවේ.

වනාන්තරයක ඇති ශාක සම්පත් සතු ඖෂධීය, දැවමය හා අලංකරණය ආදි ශාකමය වශයෙන් ඇති වටිනාකම පිළිබඳ මනා අවබෝධයක්, පැරැණි රාජ්‍ය පාලකයන් සතුව තිබූ බැව් ඉහත විස්තරයෙන් පැහැදිලි වෙයි. එසේ ආරක්ෂිත ගස්වැල් අතර මී ගසට ප්‍රධාන ස්ථානයක් හිමි වී තිබුණු බව පෙනී යයි. ඒ, එහි ආර්ථික වටිනාකමක් මෙන්ම, ඖෂධීය වටිනාකමක් ඔවුන් දැන සිටි බැවිනි.

මී ගසෙන් තෙල් ලබාගෙන, ජනතාවගේ ප්‍රයෝජනයට ගත් බව වංසකථාවල සඳහන් වේ. ඒ අනුව, දුටුගැමුණු රජු ලෝවාමහාප්‍රාසාදය කරවන අවස්ථාවේ දී සතර වාහල් දොර මී තෙල් පිරවූ සැලි සිය දහස් ගණනක් හා තවත් බොහෝ දේ ජනතාවගේ සේවයට වේතන ලෙස තැබ්බවූ බව, සිංහල ථූපවංසයේ සඳහන් වේ. භාතිකාභය රජු රුවන්මැලි සෑ මළුවෙහි පූජා පවත්වන ලද අවස්ථාවෙහි දී, පහන් දැල්වීම සඳහා එක් තෙල් වර්ගයක් ලෙස මී තෙල් යොදා ගත් බව මහාවංසයේ සඳහන් වේ. පාලි මහාවංසයෙහි දී මේ තෙල් දක්වා ඇත්තේ, ‘මධූකතෙලම්හි‘ ලෙසය. භාතිකාභය රජු මී තෙල් යෙදූ පහන් රුවන්මැලි සෑයට පූජා කළ බව, දීපවංසය සඳහන් කරයි. ථූපවංසය දක්වන්නේ, මේ රජු දාගැබ් මළුවේ සත් දවසක් මී තෙල් පූජා පැවැත් වූ බවය. සාමාන්‍යයෙන් මී තෙල් ලබා ගන්නේ මී ඇටවලිනි. මෙයින් පෙනී යන්නේ, පැරැණි ශ්‍රී ලංකාවේ ජනතාව තම තෙල් අවශ්‍යතාව සඳහා මී ගස උපයෝගී කරගත් බවය. එමෙන්ම මොවුන්, පොල් තෙල්වලට හුරු වීමට ප්‍රථම, මී ශාකයෙන් ලබා ගන්නා තෙල් එදිනෙදා කටයුතුවලට යොදා ගත් බව මේ තොරතුරු අනුව අනුමාන කළ හැකිය.

රටක, ප්‍රදේශයක, ගමක සීමාවක් දැක්වීමේ දී, කඩින් කඩ, තැනින් තැන ඇති පහසුවෙන් හඳුනා ගත හැකි ස්වාභාවිකව පිහිටි ඇළ දොළ සහ ගහ කොළ, ගල් පර්වත, කඳු බෑවුම් වැනි සීමා හෝ සීමා ලකුණු ලෙස ගිනීමට විවිධ ස්වාභාවික අමුද්‍රව්‍ය ගෙන තිබේ. මී ගසත් එසේ මායිම් ලකුණු කිරීමට ගත් වෘක්ෂයක් ලෙස සඳහන් කිරීමට පුළුවන. මේ ශාකය මායිම් ලෙස යොදා ගත් බව කිරිබත් වෙහෙර ටැම් ලිපියෙන් ද තොරතුරු හමු වේ. මෙය ක්‍රි. ව. 898 සිට 914 දක්වා රාජ්‍ය කළ හතර වැනි කාශ්‍යප රජතුමා විසින් පිහිටුවන ලද ලිපියකි. එහි “බමුණ් තුම්රබ් බෙහෙද් ගෙට් දුන් උතුර් මෙ ගිරිවත්තට් පැදුම් දෙසෙන් වෙහෙර් වත්ත හිම් කොට් ඉසා දකුණ් දෙසෙන් මී ගස හිම්කොට් ඉසා පැළෑ දෙසෙන් ගැල්මග හිම්කොට් ඉසා උතුරු දෙසෙන් සංබඩා බැද්ද හිම් කොට් ඉසා මෙ සතර් සීමායෙන් ඇතුළත් වූ වත්තට” යනුවෙනි. මේ අනුව මෙහි සඳහන් වන ඉඩමේ දකුණු සීමාව වන්නේ මී ගසයි.

ක්‍රි. ව. 1484 සිට 1508 දක්වා රාජ්‍ය කළ අටවැනි වීර පරාක්‍රමබාහුගේ ඔරුවල සන්නසෙහි ද මී ගස පිළිබඳ සඳහන් වේ. අතුරුගිරිය ගම ප්‍රදානය කිරීමෙහි දී එහි සීමාවන් දක්වන විට උතුරු දිශාවෙන් පිහිටි මී ගස පිළිබඳව සඳහන් වේ. ගම් සීමා දැක්වීමෙහි දී ස්වභාවික ඇළ දොළ ගස් කොළන් ආදිය ඒ සඳහා උපයෝගී කරගත් ආකාරය මෙම සන්නස් පත්‍රයෙන් පැහැදිලි වෙයි. මී ගසට වැදගත් තැනක් හිමි වූ බව එයින් ද පෙනීයයි. හතර කොරළේ විත්තිය හා ග්‍රාම නාම විස්තරය නමැති කඩඉම් පොතෙහි, ග්‍රාම නාම ඇති වූ සැටි විස්තර කර තිබේ. නිදසුන් ලෙස රණබෙරේ යුද්ධෙට ගැසූ නිසා රංගල්ල කියා ද, වතුර නැති පුහු ඇළ නිසා පුස්සැල්ල කියා ද, කුරු කොස් ගස් ඇති නිසා කුරුකොහොතැන්න කියා ද, දෙමට වනයක් ඇති හෙයින් දෙමටවල කියා ද, මීගස් ඇති පිටියක් නිසා මීපිටිය කියා ද සඳහන්වේ. මේ අනුව මී ගස්වලින් අනූන වනාන්තර ද ස්ථාපිත වී තිබූ බව පෙනී යයි. එමෙන්ම, කාව්‍යශේඛරයෙන් ද, ලංකාවේ මී ගස්වලින් යුක්ත වනාන්තර පිහිටා තිබූ බව පෙනීයයි.

මෙයින් අදහස් වන්නේ, විවිධ පක්ෂීන් විසින් මී මල්වල රොන් උරා බොන ලද බවයි. එමෙන්ම, මී වනයන්ගෙන් ගැවසී ගත් බවයි. මීට අමතරව පූජාවලිය, බුත්සරණ, විසුද්ධිමාර්ග සන්නය, ජාතක අටුවා ගැටපදය, උපාසකජනාලංකාරය, කඩ්කාවිතරණි, වෙසතුරුදා සන්නේ, ධර්මප්‍රදීපිකාව, මහාබෝධිවංස ග්‍රන්ථපද විවරණය, පැරකුම්බා සිරිත සහ 16වැනි ශත වර්ෂයෙහි රචිත යෝගරත්නාකරය වැනි බෞද්ධ ග්‍රන්ථ සහ ආයුර්වේද ග්‍රන්ථවල මී අරටු, මී ඇට, මී ගස්, මී තැලි, මී තෙල්, මී පනු, මී මල්, මී මුරුවට, මී ගස හා එහි අනෙකුත් කොටස් පිළිබඳ තොරතුරු ලබා දෙයි. මෙහි දී මී තැලි යනුවෙන් අදහස් වන්නේ, මී ගෙඩියෙහි කටුවෙහි පලූව යන්නයි. එමෙන්ම, මී පනු යනු මී ගෙඩිවලින් මිරිකා සැදූ බීමකි. මී මුරුවට යනු මී ඇටවලින් තනා ගන්නා පුන්නක්කු ලෙස සඳහන්වේ.

මී ගසෙන් ලබා ගන්නා විවිධ අමුද්‍රව්‍ය යොදා ගෙන විවිධ විවිධ රෝගවලට ප්‍රතිකාර කරන අන්දම, යෝගරත්නාකරයෙහි සඳහන්වේ. මෙහි චිකිත්සා පනස් හයක් පිළිබඳ සඳහන් වේ. එහි අක්ෂි රෝග චිකිත්සාවෙහි මී අරටුව ආශ්‍රිතව ඇසට කරන ප්‍රතිකාරයක් පිළිබඳ දැක්වේ.

මෙහි සඳහන් වන්නේ මී අරටුව යොදාගෙන මී පැණිත් සමඟ මිශ්‍ර කරමින් කරන ප්‍රතිකාරයකි. මීට අමතරව විවිධ රෝග සඳහා මී තෙල් ඇතුළු මී ගසේ විවිධ ද්‍රව්‍ය යොදාගෙන කරන ප්‍රතිකාර යෝගරත්නාකරයෙහි සඳහන්වේ. ඉහත සඳහන් කරුණු අනුව දිවයිනේ ශාක පද්ධතියේ ඉතා සුවිශේෂී ස්ථානයක් මී ගසට හිමි වූ බව පෙනෙයි. වනජීවීන් සඳහා භූමියේ කොටසක් වෙන් කර පවත්වාගෙන යෑම අතීතයේ සිටම, ප්‍රගුණ කරන ලද බවට සාක්ෂි ඇත. රුක් රෝපණය පාරිසරික වශයෙන් ස්වාභාවික පැවැත්ම පරිසරයේ ඇති කිරීමට බෙහෙවින් වැදගත් වේ. ස්වාභාවික වනාන්තරයකින් සිදුව සංරක්ෂණය පූර්ණ වශයෙන් දියුණු කළ ගෙවත්තක් වශයෙන් ද සිදු කිරීමට අවස්ථාව ලැබේ. මේ අනුව මී පැළ ද වගා කරන්නට අතීත පාලකයන් පියවර ගන්නට ඇත. එසේ වගා කරන ලද වෘක්ෂ අතර, මී ගසට සුවිශේෂී ස්ථානයක් ලබා දෙන්නට ඇත. එයට හේතුව වන්නට ඇත්තේ, මී ගස ඖෂධීය ගුණය අතින් මෙන්ම පිරිසුදු වාතය ලබාදෙන මහඟු සම්පතක් මෙන්ම, පරිසරය සංරක්ෂණය කරන මහාර්ඝ වෘක්ෂයක් වූ බැවිනි.

මී ගසෙන් ලැබෙන ප්‍රයෝජන

සංස්කරණය

මී ගස වවුලන්ට හොද වාසස්ථානයකි. මෙම මී ගෙඩි හා මල් කන වවුලන් කුඹුරු පුරා වසුරු දමයි. මෙම වසුරු ගිනිපෙට්ටියක් පමණ ප්‍රමාණයක, යූරියා කිලෝ තුනක පමණ අඩංගු රසායනික සංඝටක තිබෙනවා. ඒ වගේම මෙයින් පසට නයිට්‍රජන් ලැබෙනවා. මෙම වවුලන්ගේ වසුරු වල බැරලෝහ නැත. නමුත් ඇමෝනියා, යූරියා, TDM පොහොරවලින් දෙන රසායනික සංයෝජනය (නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පරස්) මෙම වවුල් වසුරු වලින් ලබාදෙනවා. ඒ වගේම මී ගසේ කොල වැටෙන්න කෙලින්ම කුඹුරට. ඒ කොලත් කුඹුරට පොහොරක් වෙනවා. අපගේ වකුගඩු නරක්වීමට ප්‍රදානම හේතුව රසායනික පොහොර වල තිබෙන බැරලෝහයි. නමුත් මී ගස හරිහැටි ප්‍රයෝජනයට ගන්නවානම් අපිට වකුගඩු ප්‍රශ්නයක් ඇතිවන්නේද නෑ.

සාමාන්‍යයෙන් ගස් වලින් දහවල් කාලයේදී ඔක්සිජන් මුදාහරින අතර රාත්‍රී කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරයි. නමුත් මීගස දහවලත් රාත්‍රීයේදීත් ඔක්සිජන් පිටකරන අති විශිෂ්ඨ ගසකි.

මීගස ස්වාභාවිකව පලිබෝධ පාලනය කරයි. ගොයමට හානි කරන ගොයම් මැස්සන්, මදුරුවන්, ගොයමට හානිකරන මැස්සන් වැනි සතුන් වවුලන් විසින් ආහාරයට ගැනීම සිදුවෙනවා. ඒවගේම මී ගෙඩි හා මල් ආහාරයට ගන්න එන කුරුල්ලන් මී ගෙඩි නැතිකාලෙට කෘමීන්ව අල්ලන් කනවා. ඉතින් ගොයමට හානිකරන පලිබෝධකයන් ඉබේම නැතිවෙනවා. ආහාර සදහා මෙම මී ගසේ මල්, ගෙඩි සහ තෙල් යොදාගන්නවා. තෙල් සිදීමේදී මී මුරු නමින් හැදින්වෙන අවශේෂ සත්ව ආහාර වලටත්, ගොයමේ පොහොරක් ලෙසත් යොදාගන්නවා.

මී තෙල් නිෂ්පාදනය හා එහි ප්‍රයෝජන

සංස්කරණය

හොදින් වැඩුණු මී ගසකින් වාර්ෂික ඵලදාව කිලෝ ග්‍රෑම් 20 සිට කිලෝ ග්‍රෑම් 200 දක්වා ලබා ගත හැක. ගසට වයස අවුරුදු 10 දී ඵලදාව ලබදීම ආරම්භ වන අතර වයස අවුරුදු 60 පමණ දක්වා ඵලදාව ලබා ගත හැක. තරුණ ශාක වලට වඩා පරිණත ශාක මගින් වැඩි අස්වැන්නක් ලබා දෙයි. මෙම මී තෙල් Palmitic, Stearic, Oleic, Linolic අම්ල සංඝටකයන්ගෙන් යුක්ත වේ. එමෙන්ම මී තෙල් චර්ම රෝග, රූමැටික ආබාධ, හිස රුදාවල් සදහා ද යෝග්‍ය නක බව පැවසේ. මී තෙල් හොද ජීව ඉන්ධනයකි.සබන් වර්ග හා ඩිටර්ජන්ට් වර්ග නිෂ්පාදනයට ද මී තෙල් යොදා ගනී.

මී ඇට වල තෛලමය කොටස් 50% ක් පමණ අඩංගු වේ. පලමුව මී ඇට කුඩා කොටස් වලට කැබලි කරන අතර ඒවා හුමාලයෙන් තම්බනු ලබයි. තැම්බුනු මී ඇට කැබලි හොදින් තලා ගනු ලබන අතර සෙන්ටිග්‍රෙඩ් 63 දී නිස්සාරණය කර ගනු ලබයි.

මූලාශ්‍ර

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=මී_ගස&oldid=659989" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි