මැලේරියා වසංගතය සහ ජලගැලීම්
1934 දී නියඟයක් ඇතිවූ අතර එය සහල් හිඟයකට බලපෑවේය. එම ප්‍රමාණය බුසල් මිලියන 3 ක් යයි ඇස්තමේන්තු කරන ලදී. ඔක්තෝබරයේ සිට ජල ගැලීම් ඇති වුණි. ඉන් පසු 1934 - 35 දි ඇතිවූ මැලේරියා වසංගතයට 1,000,000 ක් දෙනා ගොදුරු වූහ. අඩු ගණනේ 1,25,000 ක් මිය ගියහ. සහල් හිඟවීමෙන් ව්‍යාප්ත වූ මන්දපෝෂණය නිසා ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය හීන වී ඇති බව ස්වේච්ඡා ක්‍රියාකාරීන්ට තේරුම් ගියේය. ඔව්හු මාමයිට් යීස්ට් සාරයෙන් පෙති නිපදවමින් වසංගතය දුරු කිරීමට සහයෝගය දැක්වූහ. පිලිප් ගුණවර්ධන සහ ඇන්.ඇම්.පෙරේරා දෙපළ අවිස්සාවේල්ල පිලිප්පුවා සහ පරිප්පුවා මහත්තයා යන නම්වලින් හඳුන්වන්නට පටන් ගැනුණි. පරිප්පුවා යන නම ඔහුට පට බැඳුනේ වසංගතයට ගොදුරු වූ ජනතාවට වියළි සලාකයක් වශයෙන් පරිප්පු බෙදීම නිසාය.
ෆෝවර්ඩ් (forward) නම් සතිපතා ප්‍රගතිශීලි පුවත්පතෙහි සිබිල් නම් ලේඛකයා අවුරුදු කිපයකට පසු එම සිද්ධිය මතක් කරමින් "මැලේරියා සහන සැලසීම සම්බන්ධව කටයුතු කිරීම මෙම පුද්ගලයින් බොහෝ දෙනෙකුගේ දෙනෙත් පාදන්නක් විය. ඔවුන් එයින් සාමාන්‍ය හා ගම්බද ජනතාව ගැන දැනගැනීම ආරම්භ කළා පමණි. දුගී භාවය ඇදහිය නොහැකි තරම් ඉහළය. ජනගහන තදබදයද ඊට වැඩිය. මිනිස්සු පහලොවක්, විස්සක් හෝ ඊටත් වඩා ප්‍රමාණයක් කුඩා පැල්පත්වල හිර වී මැස්සන් මෙන් මිය ගියහ. මෙයයි යටත් විජිතවාදයේ ප්‍රථිඵලය. මෙම තත්වය මාක්ස් සහ ඒංගල්ස් එංගලන්තයේදී කරන ලද විශ්ලේෂණයකදී සොයාගත් වැඩ කරන ජනතාවගේ අන්තිම නරක තත්වයටත් වඩා නරක තත්වයකි. සටන් කළ යුත්තේ මෙම තත්වය නැති කිරීම සඳහාය" යනුවෙන් ලියා ඇත.
ලංකා සම සමාජය පක්ෂය පිහිටුවා ගැනීම
ලංකාවට නිදහස ඉල්ලා පළමුවෙන් කටයුතු කළ පක්ෂය වූයේ මාක්ස්වාදී, ලංකා සම සමාජ පක්ෂයයි. එය 1935 දී ආරම්භ වූයේ තරුණ සංගම් කිහිපයක එක් වීමෙනි. ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රථම ප්‍රකාශනයෙන් ඔවුන් කියා සිටියේ පූර්ණ වශයෙන් ජාතියේ නිදහස, නිෂ්පාදනය, බෙදාහැරීම සහ හුවමාරු කිරීම යනාදී සියල්ල ජාතිය සතු කිරීම, හා ජාති කුල ආගම් ගෝත්‍ර අනුව පැන නැගෙන අසමානතා තුරන් කිරීම ආදී කරුණු එම පක්ෂයේ ඉලක්කයන් බවයි.
1936 මහ මැතිවරණයෙන් පසු එම පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධානීන් වූ එන්.එම්.පෙරේරා සහ පිලිප් ගුණවර්ධනයන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඉහත ඉලක්කයන් සපුරා ගැනීමට රැඩිකල් වාදී සාමාජිකයින් වූ රුහුනේ දොන් ඇල්වින් රාජපක්ෂ, ඉන්දීය දෙමළ ජනතාව වෙනුවෙන් සිටි නටේෂා අයියර් ආදිහු සහයෝගය දැක්වූහ. කලින් කලට සහයෝගය දැක්වූ අනෙකුත් අය නම් නුවර ජෝර්ජ් ඊ ද සිල්වා, මාතලේ බී.එච්.අලුවිහාරේ, ගම්පහ සී.පී.ජයසුන්දර, දුම්බර ඒ. රත්නායක සහ නියෝජ්‍ය කතානායක සුසන්ත ද පොන්සේකා වැනි පුද්ගලයින්ය. ඉංග්‍රීසිද, සිංහල සහ දෙමළ මෙන්ම රාජ්‍ය භාෂාවක් කළ යුතු යැයි ද ඔවුන් ඉල්ලා සිටියහ. නාගරික හා පොලිස් උසාවිවල නඩු කටයුතු ස්වදේශීය භාෂාවෙන් කළ යුතු වීම සහ පොලිස් ස්ථානවලදී ප්‍රකාශ ලබා ගන්නා විට ප්‍රකාශ දෙනු ලබන්නාගේ භාෂාවෙන්ම ඒවා සටහන් කළ යුතු වීම යනාදී යෝජනාවන් 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් සම්මත කොට නීති ලේකම් වෙත යැවූ නමුත් එම කරුණු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනුනේය. 1956 දක්වා රජයේ පාලන භාෂාව වුයේ ඉංග්‍රිසියයි.
ඉන්දියාවේ කොංග්‍රස් සමාජවාදී පක්ෂය සමග ලංකා සම සමාජ පක්ෂය සහෝදර බැඳීමක් ඇති කර ගත් අතර ලංකා සම සමාජ පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් ඉන්දීය ජාතික කොංග්‍රසයේ ෆායිස්පූර් සමුළුවට 1936 දී සහභාගී වූහ. 1937 අප්‍රේල් මාසයේ කොංග්‍රස් සමාජවාදී පක්ෂයේ නායිකා කමලාදේවි චට්ටොපාද්‍යාය රටේ විවිධ පළාත්වල පැවැත්වූ රැස්වීම් ඇමතුවාය. මෙම සංචාරය සංවිධානය කරන ලද්දේ ලංකා සම සමාජ පක්ෂයයි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නිදහස සඳහා කරන අරගලයේදී නොබෙදී සිටීමේ ස්ථාවරයකට පැමිණීමට ඉහත සංචාරය උපකාරී විය. කමලා දේවියද සභාව ඇමතූ යාපනයේදී කලක් JYC සාමාජිකයින්ව සිටි පිරිසෙන් මෙම වාමාංශික ව්‍යාපාරයට හිතවත් අවංක පක්ෂපාතී පිරිස් එක් වූහ.
References
සංස්කරණයhttp://en.wikipedia.org/wiki/Sri_Lanka_independence_struggle#Malaria_epidemic_and_floods