මැටි ආශ්‍රිත සජිවිකරණය


මෙම සජිවිකරණ ක්‍රම වේදය කලක් වින්ටන් ආයතනයේ සජිවිකරණ නිර්මාපකයෙකු ලෙස ක්‍රියා කල ජෝන් බ්‍රෑට්ස් විසින් හදුන්වා‍දෙන ලද අතර ඒ සදහා ඇය පළමුව නිර්මාණය කල The Creation (1980) නම් චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් සදහා නිර්දේශ විය. අනතුරුව 1992 වසරේ ඇය විසින් මෙම ක්‍රමවේදය යොදා ගිනිමින් නිර්මාණය කල Mona Lisa Descending a Staircase නම් චිත්‍රපටය ඔස්කාර් සම්මානයක් දිනා ගන්නා ලදී.

මෙම ක්‍රමවේදයෙහිම තවත් ආකාරයක් වින්ටන් සජිවීකරණ නිර්මාපකයෙකු වු ක්‍රේග් බාට්ලිට් විසින් නිර්මාණය කරන ලදී. ඔහු 1990 දශකයේදී නිර්මාණය කල “Arnold” නම් කෙටි චිත්‍රපට සදහා මෙම ක්‍රම වේදය භාවිතා කරන ලදී. එහිදි ඔහු මැටි වලින් ඇදි චිත්‍ර වලට අමතරව පැතලි ආධාරක තහඩුවෙන් ඉහළට කැමරා කාචය දෙසට නැගුණු මැටි රූප ද නිර්මාණය කළේය. මෙමගින් සිය චිත්‍රපටය සදහා වඩාත් ත්‍රිමාන චලන - නැවතුම් පෙනුමක් ලබාදීමට ඔහු උත්සාහ කලේය.

වින්ටන් චිත්‍රාගාරය මගින් දරුවන් හද‍ වඩා ගැනීම පිළිබද කැලිෆෝනියානු උපදේශක මණ්ඩලය සදහා නිර්මාණය කල රූපවාහිණි දැන්වීම සහ ආට් ක්ලෝකි විසින් නිර්මාණය කල Gumby නම් රූපවාහිණි වැඩසටහන් මාලාව මැටි ආශ්‍රයෙන් නිර්මාණය කල වඩාත් ප්‍රචලිත නිර්මාණයන් අතරට අයත් වෙයි. තවද Closed Monday (විල් වින්ටන් සහ බොබ් ගාඩිනර්, 1974), Creature Comforts (ආඩ්මන්, 1989) සහ නික් පාක් සහ ආඩ්මන් සජිවීකරණ ආයතනය මගින් නිර්මාණය කල Wallace & Gromit නම් කෙටි චිත්‍රපට ත්‍රිත්වය වැනි ඇකඩමි සම්මාන දිනු කෙටි චිත්‍රපට සදහාද මැටි ආශ්‍රිත සජිවිකරණය භාවිතා කොට ඇත. එ‍සේම ආඩ්මන් විසින් The Presentator නමින් විනාඩියකට සීමා‍වු මැටි ආශ්‍රිතව නිර්මාණය කල සජිවිකරණ කෙටි චිත්‍රපටි මාලාවක් නිර්මාණය කල අතර ඒවා Nicktoons නම් චැනලය ඔස්සේ විකාශනය කරන ලදී. අන්තර් ජාලය ඔස්සේ ද Newgrounds වැනි වෙබ් අඩවි තුලද ඇතැම් මැටි ආශ්‍රිත සජිවිකරණ නිර්මාණ නැරඹිය හැක.

The Neverhood, Dark Oberol, Clay Fighter, Platypus සහ Primal Rage ආදි ලෙස මැටි ආශ්‍රිත සජිවිකරණය භාවිතයෙන් පරිගණක ක්‍රීඩා කිහිපයක් ද නිර්මාණය කොට ඇත. එසේම රූපවාහිණි වෙළද දැන්වීම් සදහාද මැටි ආශ්‍රිත සජිවිකරණය භාවිතා කර ඇත. ආඩ්මන් චිත්‍රාගාරය විසින් නිර්මාණය කල Chevron මෝටර් රථ පිලිබද වෙළද දැන්වීම මේ සදහා උදාහරණයකි. ඒ හැරුණු විට Bob the Builder සහ The Koala Brother වැනි ළමා වැඩ සටහන් මෙන්ම Cartoon Net work හි වැඩිහිටියන් වෙනුවෙන් නිර්මාණය කරන ලද Adult Swim වැඩ සටහන් මාලාවට අයත් Robot Chicken (මෙහිදි මැටි ආශ්‍රිත සජිවිකරණය සහ ක්‍රියාදාම චරිකයන්ගේ ‍අනුරුව චලන - නැවතුම් රූකඩ ලෙස එකවර භාවිතා කෙරේ) සහ Moral Orel වැනි වැඩසටහන් හේතුවෙන් ද මැටි ආශ්‍රිත සජිවිකරණ නිර්මාණ වර්ථමානය වන විට ජනප්‍රියත්වයට පත් ව ඇත.

Flushed Away යනු පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කල මැටි ආශ්‍රිත සජිවිකරණ අනුරුවකි.

නිෂ්පාදනය සංස්කරණය

මැටි භාවිතයෙන් චලන නැවතුම් සජිවීකරණයක් නිර්මාණය කිරීම ඉතා අපහසු කාර්යයකි. සාමාන්‍ය චිත්‍රපටයක් තත්පරයට රූපරාමු 24 ක සීඝ්‍රතාවයකින් ප්‍රදර්ශනය කෙරේ. සම්මත ක්‍රමයට අනුව එක් දර්ශණයක රූපරාමු යුගලක් ප්‍රදර්ශනය කිරීම නිසා සාමාන්‍යයෙන් එක තත්පරයක චිත්‍ර පට කොටසක් තුළ වෙනස්වීම් 12 ක් සිදු වෙයි. විනාඩි 30 ක චිත්‍ර පටයක් සදහා මේ අනුව අවශ්‍ය වන රූපරාමු ලබාගැනීමට අදාල රූපය දල වශයෙන් 21600 වතාවක් නවතමින් චලනය කල යුතුය. සම්පුර්ණ දිගින් යුතු (විනාඩි 90 ක) චිත්‍රපටයක් සදහා දළ වශයෙන් මෙවන් නැවතුම් 64800 ක් අන්තර්ගත වන අතර යම් හෙයකින් එක් දර්ශණයක් සදහා තනි රූපරාමුවක් පමණක් ප්‍රදර්ශණය කෙරෙන ක්‍රමයටද කොටස් රූප ගත කරන්නේ නම් මෙම අගය මීට ද වඩා ඉහළ විය හැක. අදාල වස්තුව වැරදීම් හේතුවෙන් ඉතා කුඩා පැල්ලම්, දූවිලි, කෙස්ගස් හෝ මඩ ආදීන් පවා වෙනස් නොවන පරිද්දට දැඩි අවධානයක් යොමු කල යුතු වේ. කතාංග ආකාර දිගින් යුත් නිස්පාදන සදහා බොහෝ විට මැටි භාවිතය රබර් සිලිකන් සහ රෙසින අච්චු සංරචක මගින් ප්‍රතිස්ථාපනය වී ඇත. එක් ආකාරයක ෆෝම් රබර් ක්‍රියාවලියක් විල්වින්ටන් විසින් ෆෝමේෂන් වශයෙන් නම් කරන ලදී. කෙසේ නමුත් නිෂ්චිත සෞන්දර්යාත්මක ප්‍රතිඵලයක් අවශ්‍ය වන ස්ථාන සදහා භාවිත වන සජිවීකරණ ද්‍රව්‍යයක් ලෙස තව දුරටත් මැටි භාවිතයේ පවතී. මැටි ආශ්‍රිත සජිවිකරණයෙහි උපක්ෂේත්‍රයක් වශයෙන් Clay Melting හැදින්විය හැක. ඕනෑම ආකාරයක තාප ප්‍රභවයක් මැටි මත, ඒ ආසන්නයේ හෝ ඊට පහළින් යොදා මැටි උණුවීමට සැලැස්විය හැක. මේ අතරතුර දිගු කාල සැකසුමක් සහිත සජිවීකරණ කැමරාවක් මගින් එම ක්‍රියාවලිය සෙමින් පටිගත කෙරේ. මෙය සදහා උදාහරණයක් වින්ටන්ගේ මුල් කාලීන කෙටි මැටි ආශ්‍රිත සජිවීකරණ චිත්‍රපටයක් වු Closed Monday හි (මෙය බොබ් ගාර්ඩිනර් විසින් සහාය නිෂ්පාදනය කරන ලද්දකි.) අවසානයේ දැක ගත හැක. මේ හා සමාන ක්‍රම‍වේද Raiders of the Lost Ark චිත්‍රපටයේ උච්චතම දර්ශනයේ දී විරුද්ධ චරිතවල මුහුණු දිය කිරීම සඳහා භාවිත කරන ලදී.

විවිධ ආකාර සංස්කරණය

මැටි ආශ්‍රිත සජීවීකරණය ක්‍රම කිහිපයකට සිදු කළ හැක.

නිදහස් ආකාර (Freeform) මැටි සජීවීකරණය යනු සජීවීකරණය ඉදිරියට ගලා යෑමත් සමඟ මැටිවල හැඩය විශාල වශයෙන් වෙනස් වන ආකාරයේ මැටි ආශ්‍රිත සජීවීකරණයන් හැඳින්වීම සඳහා භාවිතා වන නිල නොවන යොදුමකි. මේ ආකාර සජීවීකරණයන් එලියට් නොයිස් (Jr) සහ අයිවන් ස්ටෑන්ග් වැනි නිෂ්පාදකයන්ගේ නිර්මාණයන් තුළ දැක ගත හැක. නැතහොත් මැටිවලින් නිරූපිත හැඩය කිසියම් චරිතයක ආකාරයේ ගත හැකි අතර මේ ආකාර සජීවීකරණයන් තුළ දී කිසියම් දර්ශනයක් පුරාවට මැටි කිසියම් හඳුනාගත හැකි චරිතයක ලක්ෂණ රඳවා ගනී. මෙවැනි සජීවීකරණ සඳහා උදාහරණ ආට් ක්ලෝකි සහ විල් වින්ටන්ගේ චිත්‍රපට තුළ දැකගත හැක. මැටි ආශ්‍රිත සජීවීකරණයෙහි එක් ආකාරයක් ප්‍රස්තරික කැපුම් (strata cut) සජීවීකරණය ලෙස හැඳින්වේ. එහිදී ඇතුලත ඉතා තදින් අසුරා එකිනෙකට වෙනස් වන දර්ශණයන්ගෙන් යුක්තව සකස් කළ දිගු පාන් ගෙඩියක හැඩයෙන් යුත් මැටි කුට්ටියක් ඉතා සිහින් ස්ථරයන් ලැබෙන සේ කපනු ලැබේ. එක් එක් කැපුමක් අවසානයේ කැමරාව මඟින් මැටි කුට්ටියෙහි කෙළවර දර්ශණයක් රූපගත කරගනු ලැබේ. අවසානයේ දී මේ ක්‍රමය මඟින් අභ්‍යන්තරික රූපවල චලනයන් අනාවරණය වේ. මෙම ක්‍රමවේදය මැටි සහ ඉටි කුට්ටි භාවිතයෙන් මුල්වරට ඉදිරිපත් කිරීමේ ගෞරවය ජර්මන් සජීවීකරණ නිර්මාපක ඔස්කා ෆිෂින්ගර් හට හිමි වේ. ඔහු විසින් 1920 සහ 1930 දශක තුළ හඳුන්වා දෙන ලද මෙම ක්‍රමවේදය 90 දශකයේ මැද භාගයේ දී විල් වින්ටන් ගේ සහායකයකු වූ ඩේවිඩ් ඩැනියල්ස් විසින් පරීක්ෂා කොට නැවත සකස් කරන ලදී. මෙය ඔහු විසින් Buzz Box නම් වූ විනාඩි 16ක් දිග කෙටි චිත්‍රපටය සඳහා භාවිත කරන ලදී. චලන නැවතුම් සජීවීකරණය සහ සාම්ප්‍රදායික පැතලි සජීවීකරණයන් අතර පවතින මායිම බිඳ හෙලන නව ආකාර මැටි ආශ්‍රිත සජීවීකරණ ක්‍ර‍මවේදයක් ලෙස මැටි ඇඳීම (Clay painting) නම් ක්‍රම වේදය හඳුන්වාදිය හැක. (මෙය සෘජු හැසිරුම් සජීවීකරණ ක්‍රියාවලියේ එක්තරා ආකාරයක් ද වේ.) මෙහිදී පැතලි පෘෂ්ටයක් මත මැටි තැබීමෙන් අනතුරුව අභිමත රූප විලාසිතාවක් ලැබෙන පරිදි සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියෙකු කැන්වසයක් මත අලුතෙන් ඇඳි තෙල් සායම් චිත්‍රයක් චලනය කරන ආකාරයට මැටි චලනය කෙරේ. මෙහිදී ලැබෙන චිත්‍රවලට මැටි ස්වභාවයක් ඇත.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Clay_animation