මර්සි එදිරිසිංහ යනු ශ්‍රී ලංකාවේ විසූ සම්මානනීය, වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියකි. කලා ලොව තුලදී ඇයව බොහෝ දෙනෙකු හඳුනාගත්තේ මර්සි එදිරිසිංහ ලෙසයි. මර්සි විසින් ගායනයෙන් සහ රංගනයෙන් දායක වූ ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ මඩේ ලගින තාරාවුන් ගීතය නිසා, ඇය එකල ප්‍රේක්ෂක ජනයා අතර අතිශය ජනප්‍රියත්වයකට ලක් වූවාය.

මර්සි එදිරිසිංහ
Marcy Edirisinghe
උපත
දයා මාලිනී එදිරිසිංහ

ක්‍රි.ව. 1946
මියගිය දිනය2014.3.17 (වයස 68යි)
රැකියාවරංගන හා ගායන ශිල්පිනී
සක්‍රීය වසර1964 සිට 2014 දක්වා

මුල් අවදිය සංස්කරණය

මර්සි අයත් වසමේ සිටි දෙහියාගත (Dehiyagatha) අර්නස්ට් පෝරුතොට පියතුමා සඳහන් කරන පරිදි, උදම්මිට සිට පැමිණි මර්සි මහත්මිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් පවත්වාගෙන යනු ලැබූ, පෙර පාසලක කාර්ය මණ්ඩලයට එක්ව සිටි බව පැවසෙයි. පසුව ඇය මාගා ආයතනයේ (Marga Institute) පිළිගැනීම් නිලධාරිනියක ලෙස සේවයේ නිරත වූ බවටද තොරතුරු සඳහන් වෙයි.[1]

කලා දිවිය සංස්කරණය

1964 වසරේ රේඩියෝ සිලෝන් හී නවක මඩල ගීත වැඩසටහනෙන් කලා දිවියට පය ගැසූ මර්සිය, 1967 වසරේදී වැලිකල රත්නගේ උගුරට හොරා බෙහෙත් නාට්‍යයේ රංගනයේ යෙදෙමින්, වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියාය. පසුව සුගතපාලද සිල්වා මහතාගේ නිල් කටරොලු මල්, දුන්න උෟගමුවේ, හිත හොඳ අම්මණ්ඩි යන නාට්‍ය වලටද ඇය සිය දායකත්වය ලබා දුන්නාය. 1983 වසරේදී මර්සි, සැමුවෙල්, ඇනෙස්ලි හා බර්ටි සමග රඟපෑ විනෝද සමය එකල කා අතරත් අතිශය ජනප්‍රිය විය.

මර්සි මහත්මිය රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය අතර තාරාවෝ ඉගිලෙති, අහසින් වැටුණු මිනිස්සු, මුහුදු පුත්තු යන ඒවාද වෙයි. ඇගේ ගුවන් විදුලි නාට්‍ය ලෙස මුවන් පැලැස්ස, වජිරා යනාදිය හැඳින්විය හැක. හන්දියෙ ගෙදර, නාට්‍යයේ ඇය නිරූපනය කල ඩූ ලිට්ල් නෝනාගේ චරිතයද ඇගේ රංගන දිවියේ විශේෂ සළකුණක් බව කියැවේ.

මීට අමතරව මර්සි මහත්මිය, වසන්ත ඔබේසේකර මහතාගේ පළඟැටියෝ, දියමන්ති යන චිත්‍රපටවලටද රංගනයෙන් දායක වී තිබෙයි.

දිවියේ අවසාන සමය සංස්කරණය

සිය දිවියේ අවසන් සමය තුලදී අතිශය රෝගාතුර තත්වයකට ඇද වැටුණු ඇය, මූල්‍යමය අතින් අසරණත්වයට පත්ව නිසි ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව සිටින බවට දේශීය මාධ්‍ය විසින් ප්‍රචාරණය කිරීමත් සමගම, නැවතත් බොහෝ දෙනෙකුගේ අවධානය ඇය වෙත යොමුවිය.[2]

ඇයට මූල්‍යමය වශයෙන් උපකාර කරනු වස් ප්‍රේක්ෂක ජනයා සහ කලාකරුවන් විසින් "හස රාජිනී - මර්සි එදිරිසිංහ - අභිනන්දන ගී මියැසිය" නමින් සංගීත ප්‍රසංගයක්, 2014 පෙබරවාරි 12 වන දින පවත්වන්නට යෙදුණු බවද සඳහන් වෙයි.[3]

වසර 50 ක් මුළුල්ලේ ශ්‍රී ලාංකික රසිකයන්ගේ හදවත් සිනහවෙන්, කඳුලෙන්, හාස්‍යයෙන් සහ සන්තෝෂයෙන් පුරවූ මර්සි මහත්මිය, 2014 වසරේ මාර්තු 17 වන දින උදෑසන 06:10 ට පමණ ගම්පහ පෞද්ගලික රෝහලක් තුලදී අභවප්‍රාප්ත වූවාය.[4] මිය යන විට ඇයගේ වයස අවුරුදු 68 කි.

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මර්සි_එදිරිසිංහ&oldid=592822" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි