මීරිගම ප්‍රදේශයේ ලංකාවේ මුල්ම අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ පියා විසින් ඉදිකළ නිවාසයයි. සුවිශාල පොල් වත්තක් මැද ඉදිකළ මෙම ගෘහය ක්‍රි.ව.1860 වසරට ආසන්න සමයේදී ඉදිකරවන ලදී.මහ මුදලි වරයෙකු වූ ඩී.එස්. සේනානායක මහතාගේ පියා වියෝවූ පසුව වලව්වට පසෙකින් සුවිශාල සමාධියක් කරවා එතුමාගේ භෂ්මාවශේෂ තැම්පත් කරවා තිබේ.

සේනානායක පරපුරේ මෑතකාලීන ආරම්භකයා ලෙස සැලකෙන්නේ 1848 වසරේ උපත ලැබූ දොන් ස්පේටර් සේනානායක වන අතර ඔහු තරුණ වියේදී ම මිනිරන් පතල් කැණීමේ ව්‍යාපාරවලට යොමු වීම හරහා විශාල ධනස්කන්ධයක් උපයා ගෙන ඇත. පසුකාලීනව වැවිලි කර්මාන්තයට සහ රේන්ද (අරක්කු) කර්මාන්තයට ද යොමු වී ඇති ඔහුට එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුව 'මුදලි' තනතුරක් ද ලබා දී ඇත.

ඔහු දෝන කැතරිනා එළිසබෙත් පෙරේරා ගුණසේකර සමඟ විවාහ වූ අතර මෙම යුවළට දොන් ස්ටීවන් සේනානායක (ඩී.එස්. සේනානායක), දොන් චාල්ස් සේනානායක, ෆ්‍රෙඩ්රික් රිචර්ඩ් සේනානායක සහ මරියා ෆ්‍රාන්සස් සේනානායක නමින් පුතුන් තිදෙනෙක් සහ එක දියණියක් විය.

1865 වසරේදී පමණ මුදලි, දොන් ස්පේටර් සේනානායක මීරිගම, බෝතලේ ප්‍රදේශයේ පිහිටි අක්කර 35කින් යුතු ඉඩමක නිවසක් ඉදි කළ අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහුට මුදලි තනතුරක් ලබා දීමෙන් අනතුරුව එය 'වලව්ව' යන නමින් හැඳින්විණි. බෝතලේ ප්‍රදේශයේ පිහිටා තිබීම හේතුවෙන් එය පසුකාලීන ව 'බෝතලේ වලව්ව' වශයෙන් ජනතාව අතර ප්‍රසිද්ධ විය.

මුල් කාලයේදී මෙම වලව්ව සතුව ඉඩම් අක්කර 600කට වැඩි ප්‍රමාණයක් තිබී ඇති අතර පසුකාලීනව හඳුන්වා දුන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ අක්කර 50කට වැඩි වපසරියකින් යුතු ඉඩම් රජයට පවරා ගැනීම හේතුවෙන් මේ වන විට වලව්ව සතුව ඇත්තේ ඉඩම් අක්කර 50කටත් අඩු ප්‍රමාණයකි

විශාල වත්තක් මධ්‍යයට වන්නට පිහිටා ඇති බෝතලේ වලව්වට පිවිසෙන ස්ථානයේ තරමක් විශාල කණු දෙකකින් දරා සිටින ගේට්ටුවක් පිහිටා ඇත. සොල්දරයක් ද සහිත නිවසක් වන බෝතලේ වලව්ව ඉදිරිපස ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත විශාල පෝටිකෝවක් සහිත ආලින්දයක් දැකිය හැකි ය.

ආලින්දයේ ඉදිරිපස විශාල ආරුක්කුවකුත්, ඊට දෙපසින් තරමක් කුඩා ප්‍රමාණයේ ආරුක්කු දෙකකුත් දැකිය හැකි ය. ආලින්දය දෙපසට වන්නට ද විශාල ප්‍රමාණයේ ආරුක්කු දෙකක් දැකිය හැකි ය. දැවයෙන් කරවන ලද දොර ජනෙල්වලින් යුතු වලව්වේ වහලයේ වර්තමානය වන විට රට උළු සෙවිලි කරවා තිබේ. වලව්වේ ආලින්දයේ බිමට මැටියෙන් සාදන ලද පිඟන් ගඩොල් අතුරා තිබේ.

බෝතලේ වලව්වට යාබදව තරමක් විශාල ප්‍රමාණයේ සොහොන් ගෙයක් දැකගත හැකි අතර මුලින් ම එය ඉදි කරවා ඇත්තේ ඩී.එස්. සේනානායකයන්ගේ පියා වූ දොන් ස්පේටර් සේනානායක අභාවප්‍රාප්ත වූ අවස්ථාවේදී ය. සුදු පැහැයෙන් පින්තාරු කර ඇති එම සොහොන් ගෙය තුළ පසුකාලීන ව ඩී.එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක යන අයගේ ද භෂ්මාවශේෂ තැන්පත් කර තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=බෝතලේ_ඉහලගම_වලව්ව&oldid=512787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි