පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්/COPE - The Committee on Public Enterprises) යනු පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලබන, නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාව වේ.[1] රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන්හී මූල්‍ය විනය පවත්වාගෙන යාම සහතික කරනු වස් රාජ්‍ය සංස්ථාවල සහ රජයට යම් ලිඛිත නීතියක් යටතේ පැවරී ඇති වෙනත් ව්‍යාපාරවල ගිණුම් හා ඊට සම්බන්ධ විගණකාධිපති වාර්තා පරීක්ෂා කිරීම මෙම කාරක සභාව මගින් සිදුකෙරේ.[2] කමිටුව ආණ්‌ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මන්ත්‍රීවරු විසින් පොදුවේ නියෝජනය කරනු ලබයි.[3]

1979 වර්ෂයේ ජූනි 21 වන දින ස්ථාපනය කරන ලද පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන කාරක සභා වර්ග ද්විත්වය අතුරින් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා ගණයට අයත් වේ.[2] එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 126 හි සඳහන් වන ආකාරයෙන් එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී පත් කරනු ලබයි. පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු වන ආකාරයට එහි සාමාජිකයින් පත් කිරීම සිදුවන අතර කාරක සභාවේ පළමු සැසිවාරයේදීම එහි සාමාජිකයින් විසින් සභාපතිවරයෙකු පත් කර ගැනීම සිදුකරයි.[1] කාරක සභාවේ ගණ පූර්ණය 4 කි.

කාරක සභාව විසින් රාජ්‍ය සංස්ථා හා අනෙකුත් රජයේ ව්‍යාපාර ආයතනවල පරික්ෂාවට බදුන් කරනු ලැබූ ගිණුම්, අයවැය හා වාර්ෂික ඇස්තමේන්තු, මුදල් තත්ත්වය, මුදල් කටයුතු පිළිබඳ කාර්ය පටිපාටි හා කළමනාකරණය පිළිබඳව තොරතුරු පරික්ෂා කොට පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සිදුකරන අතර ඔවුනට සාක්ෂි ලබාගැනීම පිණිස ඕනෑම පුද්ගල‌‌යෙකු කමිටුව ඉදිරියට කැඳවීමටත්, ඕනෑම ආකාරයේ ලේඛනයක්, වාර්තාවක් ගෙන්වා පරීක්ෂා කිරීමටත්, ගබඩා සහ ඊට අදාල දේපළ වෙත ප්‍රවේශ වීමටත් බලය හිමිවී තිබේ.[1] කාරක සභාවේ විෂය පථයට, අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු හැරුණු විට රාජ්‍ය ආයතන 244 ක්‌ අයත් වන අතර සමාගම් නීතිය යටතේ ලියාපදිංචි වී තිබෙන රජය සතු සමාගම්ද කාරක සභාවේ සුපරීක්‍ෂාවට යටත්ය.[4] කෙසේ නමුදු සියලු රාජ්‍ය ආයතන එකවර පරික්ෂා කිරීමේ හැකියාව කෝප් කමිටුව සතු නොවන අතර ඔවුනට වුවමනා පරිදි තෝරා ගන්නා ආයතන සංඛ්‍යාවක් පිළිබඳ විමර්ෂණ කටයුතු සිදු කරනු ලැබේ. කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවන්හී ඇතුළත් වන නිර්දේශ අදාළ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලයන් විසින් අනුගමනය කළ යුතු නියමයන් ලෙස සළකනු ලබයි.

කෝප් කමිටු සභාපතිවරු සංස්කරණය

කාරක සභාවේ ආරම්භයේ පටන් පහතින් දැක්වෙන මන්ත්‍රීවරු, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙහි සභාපතිත්වය දරා ඇත.

නම ධූරය ඇරඹුම ධූරය නිමවීම
ජෝර්ජ් අබේගුණසේකර 21 ජූනි 1979 4 ජනවාරි 1988
එම්.එස්. අමරසිරි
ජේ.ඒ.ඊ. අමරතුංග
විමල් වික්‍රමසිංහ
රොහාන් අබේගුණසේකර
ඩී.පී. වික්‍රමසිංහ
විශ්වා වර්ණපාල
රෙජී රණතුංග
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ
රෝහිත බෝගොල්ලාගම
විජේදාස රාජපක්ෂ
ජෝන් සෙනෙවිරත්න
ඩී.ඊ.ඩබ්. ගුණසේකර
සුනිල් හඳුන්නෙත්ති

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 "පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව". ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2017.
  2. 2.0 2.1 "මොකක්ද මේ කෝප්?". අද දෙරණ. 10 නොවැම්බර් 2016. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2017.
  3. "වාර්තාවට පමණක්‌ සීමාවූ "කෝප්" නිර්දේශ!". දිවයින. 8 දෙසැම්බර් 2011. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2017.
  4. අලහකෝන්, අජිත් (3 ජූලි 2016). "රට හොල්ලන කතා මවන මොකක්‌ද මේ කෝප් කමිටුව". දිවයින. සම්ප්‍රවේශය 8 පෙබරවාරි 2017.