පොතුපිටිය


වර්ථමාන කළුතර ප්‍රාදේශීය සභා භූමියට අයත් වන පන්දහසක් පමණ වූ ජනගහනයක් වෙසෙන්නා වූ ග්‍රාමයකි. එහි උතුරු කෙරවල පොහද්දරමුල්ලටත් දකුණු කෙරවලින් වස්කඩුවටත් මායිම් වේ. නුගගොඩ, දෙල්දූව සහ මොල්ලිගොඩ මාවල ආදී ග්‍රාම වලටත් මායිම් වේ. ග්‍රාමයට බටහිර දෙසින් සාගරයයි. එසේම සුන්දර කෙත්වතු සහ ලන්දේසින් විසින් නිර්මාණය කළා වූ ඇළක් ද ග්‍රාමය හරහා ගලා බසී. ග්‍රාමය පිහිටා ඇත්තේ කොළබ සිට කිලෝමීටර් තිස් හයක් පමණ දකුණු දෙසින. ගාළු මාර්ගය දෙපස පිහිටි පොතුපිටිය වාලුකාරාමය සහ පොතුපිටිය පූජාරාමය යන විහාර ග්‍රාමයේ නාමය පසිඳු කරවීමට සමත්ව තිබේ. ලංකාවේ ඉදිවූ ඉපැරණිතම බෞද්ධ මිශ්‍ර පාඨශාලාවක් ලෙසින් වැජඹෙන්නා වූ පොතුපිටිය මහා විද්‍යාලය පිහිටා තිබෙන්නේද මෙම ග්‍රාමයේය.


සමාජ තත්වය සංස්කරණය

බොහෝ පිරිසක් කොහු කඹ ඉදල් කොසු කර්මාන්තවල නියැලෙන්නන් ය. කොහු කර්මාන්තය සඳහා පැරණි ඉතිහාසයක් පවතින අතරම නිසි ලෙසින් කර්මාන්තය පුහුණුවූවන්ගෙන් 1800 දශකයේ මැද බාගයේදී මෙම කර්මාන්තය අරඹා තිබේ. එසේම ධීවර කර්මාන්තය පොල් රා කර්මාන්තය වී ගොවිතැන මෙන්ම ධෝබී කර්මාන්තයද මෙහි මුල් බැසගත් කර්මාන්තයකි.


ඉතිහාසය සංස්කරණය

පානදුර සහ කළුතර පුරවරය අතර පිහිටි එකම ග්‍රාමය ලෙසින් කෝට්ටේ යුගයේ රචනා වූ සංදේශ කාව්‍යන්ගේ සඳහන් වන ග්‍රාමය වන්නේ පොතුපිටියයි.පසු කාලයේ බෙදීම් වලට අනුව පොතුපිටිය පානදුර තොටුමුණ පලාතේ වස්කඩු බද්දට අයත් වේ. පොතුපිටිය යන නාමය නිර්මාණය වූ ආකාරය පිළිබඳ ජනප්‍රවාදයක් තිබේ. ඒ දඹදෙණිය රජ සමයේදී පැරකුම්බා නැමති රජෙකු බෙන්තොට ගලපාත වෙහෙර වන්දනාවට පැමිණි චාරිකාවක් සම්බන්දයෙනි. කුමරුවානන් කැළණි නදී ඉවුරේ දී නාගයෙකුගේ දෂ්ඨණයකට ලක්වී තිබේ. වෙදුන් පවසා ඇත්තේ කුමරු වහා රුක්කත්තන පොතුපෙට්ටියක දමා ප්‍රතිකාර කළ යුතු බවය. රුක්අත්තන ශාක සොයා කැළණි ඉවුරේ සිට ගව් ගෙවා ගාලු දෙසට පැමිණෙන කළ කළුතොටට ගව් ද්විත්වයක් පමණ මෙපිටින් රුකතන ග්‍රාමයක්ම මුනගැසීතිබේ. එම ග්‍රාමයේ දී අවශ්‍ය ප්‍රතිකාර සිදුවී පැරකුම් කුමරු සුවපත් වි තිබේ . අවසානයේ එම භූමියේ බුදුන් සහ විෂ්ණු දෙවියන් උදෙසා ආරාමයක් කරවා එය සන්නාසියෙකුට පුදා තිබේ. රුක් අත්තන පොතු පිටිය නාමයෙන් පොතුපිටිය නම් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. සන්නාසියෙකුට පුදා තිබෙන ආරාමය පොතුපිටිය රජමහා විහාරය හෙවත් පොතුපිටිය පූජාරාමයයි. පරවි සංදේශයේ පොතුපිටිය විවරණය කරන්නේ මෙලෙසිනි. කමින් පලා ගිනි හැලි පංගන් තැටිය ලවන් පැහැය කළ විලසින් ගුරු මැටිය වසන් මුගුරු නොපහළ දනි නුඹ සිටිය මෙවන් ගොපලු අගනන් දුටු පොතුපිටිය

පොතුපිටියේ පදිංචි වූ මුල්පදිංචිකරුවා පිළිබඳ ජනප්‍රවාද දෙකක් තිබේ. ඉන් එක් ජනප්‍රවාදයක සඳහන් වන්නේ පුලහින්නගේ පිලිප්පුවා නම් අයෙකු පිළිබඳවයි. එම මතයට අනුව පුලහින්නගේ පුලිප්පුවා නම් අයගේ දියණිය නිකපිටිය බණ්ඩාර නම් අයගේ බිසෝ බණ්ඩාර පදවිය උසුලා තිබේ. පිලිප්පුවා නම් අය කට්ටඬියෙකු ව සිට ඇති අතර එම මතයට අනුව ඔහුට ප්‍රතිගාලුන්ට විරුද්දව සටන් කළ පුලහින්නගේ සුසෙව් , පුලහින්නගේ මිගෙල්, පුලහින්නගේ බස්තියන් , පුලහින්නගේ ජසෙන්තු නමින් පුතුන් සතර දෙනෙකු විය. මොවුන්ගෙන් පොතුපිටියේ ජනයා වර්ධනය වූ බව එම මතයයි.

දෙවනි මතය දොන් සුසෙව් නම් කරාව වංශිකයා සම්බන්දයෙනි. එය වස්කඩුබද්ද විවරණය ග්‍රන්ථයේ සඳහන් වේ. එයට අනුව වර්ථමාන ආදුරුප්පු වීදිය නොහොත් එකල වුල්ෆන්ඩාල් ග්‍රාමයේ දිවි ගෙවූ දොන් සුසෙව් නම් පරිවාරයට අයත් වූ දොන් සුසෙව් නම් හේවායා වීදියේ බණ්ඩාරට සහය ලබා දීම සඳහා වස්කඩු බද්දට පැමිණි බවය. ඔහු වස්කඩු බද්දේ පොතුපිටියේ පදිංචි වී තිබේ. පසුකාලයේ ඔහු නිකපිටිය බණ්ඩාර නමින් පෙනීසිටිමින් ජනතාව මුලා කළ අයෙකුට රැවටී තම දියණිය විවාහ කරවා දී තිබේ. එම රැවටිලිකාරයා පානදුරදී ප්‍රතිගාල් අත්තඩංගුවට පත්ව තිබෙන අතර ඔහුට සහය ලබා දුන්නා වූ පොතුපිටිය ග්‍රාමය අඩ නිරුවත් කුල හීනයන් වාසය කළ යුතු බවට නියම කරවා තිබේ. වස්කඩු බද්ද විවරණ ග්‍රන්ථයේ පරිදි දොන් සුසෙව් විසින් තම පරිවාරය රැගෙන හොර රහසේ පානදුරට දකුණු දෙසින් පැවති සුදර්ශන නම් දෙව් මැදුරට පළාගොස් තිබේ. එකල එම දෙව් මැදුර දෝන මොල්ලිනා ප්‍රේරා නැමති කුමරියක් විසින් පාලනය කර තිබේ. ඇය රය්ගම බණ්ඩාර වලියෙන් පැවතෙන්නියක් විය. රය්ගම විසූ ආලවති බිසෝ බණ්ඩාරට උපන් දියණිය ආලවතී බිසෝ බණ්ඩාර මියගිය පසු හදාවඩාගෙන ඇත්තේ මාලවතී බීසෝබණ්ඩාර නැමති කුඩම්මා විසිනි. අනතුරුව මාලවතී බිසෝ බණ්ඩාරගේ නින්දගමට අයත් වූ සුදර්ශන දෙව් මැදුර මොල්ලිනා වෙතට උරුම විය. එහි පළමුව සුදර්ශන නැමති සිංහල දෙවියෙකු පුදා ඇති නමුදු ප්‍රතිගාල් අනසක යටතේ එම වන්දනාව නවතා කතෝලික දේවස්ථනයක් බවට පත් විය. මොල්ලිනා බිසෝ බණ්ඩාර කුමරිය දෝන මොල්ලිනා ප්‍රේරා නමින් බෞතීස්ම විය. ප්‍රතිගාලුන් ඇය සුදස්සන දෙවිඳු වෙත පැවති බක්තිය එලෙසම ජේසු ස්වාමීන් වෙත් පවතී යන විශ්වාසයෙන් එම දෙවු මැඳුරේ පාලනය ඇයට ලබා දුන්නේය. අනතුරුව ඇය කතෝලික දහම වර්ධනය පිණිස පිටතින් කටයුතු කර තිබේ. මොල්ලිනා කුමරිය සහ දොන් සුසෙව් රහසේ ප්‍රතිගාල් විරෝදීන් වෙතට උපකාර කළේය. එනිසාම සුසෙව් දණ්ඩණයට ලක්වීමට පෙරදීම සුදර්ශන මැදුරට ගෙන්වා ඔහු දේව පල්ලෙකු ලෙසින් සේවයේ යොදවා තිබේ. ජනප්‍රවාදයේ සඳහන් වන ලෙසින් සුසෙව්ගේ දරුවන් මොල්ලිනා කුමරිය විසින් තම දරු තනතුරේ තබා රැකබලාගෙන තිබේ. සුසෙව්ගේ දරුවන් විසින් අනතුරුව මොල්ලිනා කුමරියට අයත් භූමිය මොල්ලිගොඩ ලෙසින් නම් තැබූ බව වස්කඩු බද්ද විවරණය ග්‍රන්ථයේ සඳහන් වේ. සුසෙව් පරපුරෙන් පැවතෙන්නන් සුසෙව්හේවාගේ යනුවෙන් එම භූමියේ ව්‍යාප්ත වී තිබේ. දාහඅටවන සියවසේ පොතුපිටියේ වාලුකාරාම විහාරය පිහිට වූ මොල්ලිගොඩ නන්දසිරි ගණින්නාන්සේ(සෙසෙව්හේවාගේ දොන් කොරනේලිස් පිලිප්ස් අප්පුහාමි) යනු එම පරපුරේ අයෙකු බව එම ග්‍රන්ථයේම සඳහන් වේ. දහනවවන සියවසේ පොතුපිටියේ වාලුකාරාමයේ පළමු විහාරාධිපති වූ නන්ද නම් ස්වාමීන් මෙන්ම දහනවවන සියවසේ මොල්ලිගොඩ විදානේ වරයෙකු වූ සුසෙව්හේවාගේ දොන් ෆනැන්ඩෝ හාමියෙල් පෙරේරා අප්පුහාමි නැමැත්තාද එම පරපුරට අයත් වූවෝ විය.නමුත් ඇතැම් විද්වතුන්ගේ මතය නම් මෙසේ ඇරඹෙන ලද්දේ පොතුපිටියේ කරාව කුලයට පමණක් අයත් සුසෙව්හේවාගේ පරපුර බවය. කරාව කුලයට අමතරව වෙනත් කුලයන්ට අයත් වන්නා වූත් සුසෙව්හේවා යනුවෙන් පෙනීසිටින්නා වූ පිරිස් මෙම පළාතේ සිටින බව ඔවුනගේ මතය වේ. එම මතය වස්කඩුබද්ද විවරණය ග්‍රන්ථයේ පවා සනාත කරවා තිබේ.පරස්පරතා අවම මුල් පදිංචිකරුවෙකු පිළීබඳ වෲතාන්ත වන්නේ ධර්මසේන බණ්ඩාර වලිය පමණකි.

පොතුපිටිය සම්බන්ධ ප්‍රකටම සනාත වන ජනප්‍රවාදය ධර්මසේන බණ්ඩාරවලියයි. එය කෝට්ටේ රජ පරිවර හා සම්බන්ධ වූවකි. සීතාවක රාජ සිංහ රජු දාව උපන් ධර්ම බණ්ඩාර නැමති කුමාරයෙකු රජවාසල විසුවා වූ තම්මිට නම් ආදිපාදවරයාගේ දියණියක් සමඟ ආදර සබඳතාවක් පවත්වා තිබේ. තම්මිට ආදිපදයා කෝට්ටේ පුරෝහිත තානාන්තරයේ කාරිය කළා වූ අයෙකි.ලාබාල ධර්ම බණ්ඩාර කුමාරයා දාව ලාබාල වියෙහිම පසු වූ තම්මිට ඈපාගේ දියණිය වූ තම්මිට පෙරුමාල් කුමරියට දරුවෙකු ලැබී තිබේ. නමුදු දරුවා බිහිවන කලක් ධර්ම බණ්ඩාර කුමරු දිවි ගෙවා නැත. කුමරු මියැදුණ පසුව කුමරියට රජ මැඳුරේ පිලිසරණක් නොමැති වූ අතරම සීතාවක බිසෝ බණ්ඩාර කුමරිය විසින් රයිගමට දකුණින් පිහිටියා වූ යකුන්දූව නැමති ග්‍රාමය නින්දගමක් ලෙසින් ලබා දෙයි. ධර්ම කුමරු දාව උපන් කුමරු සමඟ යකුන්දූව ග්‍රාමයට පැමිණි තම්මිට පෙරුමාල් කුමරියට එම ග්‍රාමයේ කිසිඳු ආරක්ෂිත බවක් නොවීය.යකුන්දූවේදී කුමරියට දරුවා ලැබීය. ඇය ඔහුව නම් කලේ යකුන්දූවේ ධර්මසේන නමින. එකල කළුතර කපිතාන් වශයෙන් කටයුතු කර තිබෙන දොන් දොමින්ගෝ පාදිලිතුමා සමඟ සංදේශ හුවමාරු කළ කුමරියට කළුතරට දකුණු දෙස පිහිටි වස්කඩු බද්ද ත්‍යාග හිමි විය. වස්කඩු බද්දට පැමිණි කුමරිය පදිංචි වූවේ පොතුපිටියේ බව සඳහන් වන්නේ ජනප්‍රවාදයේය. ජනප්‍රවාදයට අනුව තම්මිට කුමරිය පොතුපිටියේ පදිංචි වන විට මෙහි බලවත් අයෙකු විය. ඔහු රුවන්පුර රදාගේ තරිප්පුවා නම් විය. ඔහු කුමරියගෙන් අසන ලද පැනය රබන්පද වහරට එක්ව තිබේ. “වටින සළුත් නැත අබරණවත් නැත ඇරත් රාජගති පෙන්වානා, නෝද නගෝ නුඹ කිමද අතේ වන නැතුව සුනංගුව දොඩපල්ලා” යනුවෙනි. එයට කුමරිය ලබා දුන්නා වූ පිළිතුරද ජනප්‍රවාදයේ සඳහන් වේ. එනම් “අතේ ධර්ම රජ කුමාරයා වහ රණේ විකුම් රජ ටිකිරින්ගේ පරංගි පුරයේ මහා රජේ යට තම්මිට ඈපා වැඩ ඉන්නේ යනුවෙනි. අනෙක් ජනප්‍රවාද සමඟ කාලයේ පරස්පරතා පැවතියද සාක්ෂි මත පදනම් වන මතය වන්නේ ධර්මසේන ප්‍රවාදයයි. සුසෙව් හේවායාගේ ප්‍රවාදය සමඟ සමානතා වේ. එනම් ධර්මසේන කුමරුවානන් පදිංචි වූවේ කුලහීනත්වයට පත් කළ පොතුපිටියේ බව අලගියවන්න මැතිතුමාගේ මූලාශ්‍ර වල සඳහන් වන බව වර්ශඛණ්ඩරාෂ්යේට්‍රයේ සඳහන් වේ. වස්කඩුබද්ද විවරණය ග්‍රන්ථයේ සඳහන් වන්නේ වැඩිමහලු කළ ධර්මසේන කුමරුවානන් කළුතර කපිතාන් දොන් දොමින්ගෝ සමීපයේ බෞතීස්ම වූවේ යකුන්දූවේ දොන් කුලවර්ධන ධර්මසේන පෙරුමාල් වශයෙනි. ඔහුට මුදලි තනතුරක් හිමිවිය. පොතුපිටියේ වර්ථමාන දුම්‍ රියනැවතුම් පොළ නොම්මර එක පවතින වලපොල වත්තට නුදුරින් පැවති තේච්චිතොටේ බදුපාලනය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙකල මහදම්පාගම සිට සලාගම වංශිකයන් රැගත් නැව් හතක් පැමිණි බවට ද මතයක් වේ. කළුතර කපිතාන් දොන් දොමින්ගෝගේ දියණිය වූ දෝන විලාඩස් මැග්ඩලීන් පෙරේරා නැමති කාන්තාව සමඟ කුමරු විවාහා වී තිබේ. නමුදු ඇය වඳස්ත්‍රියක් විය. ඇයට දරු ගැබක් පිහිටන ලෙස බාරහාර වී කපිතාන් විසින් වත්මන් කුඩාවස්කඩුව පොදු සුසාන භූමිය හෙවත් එකල දොමින්ගෝ රෝමානු කතෝලික දේවස්ථානය නිර්මාණය කරවා තිබේ. ක්‍රිස්තු වර්ශ 1820 දී පමණ රචනා වූ නාරි සංදේශයේ පවා මෙම දෙව් මැදුර පිළිබඳ විවරණය කරයි. “කිතුණු පල්ලියේ කැරකොක් බයිලා ඇසෙන්නේ, දකුණු දෙසින්නේ කළ උස් මැදුර පෙනෙන්නේ, සුදුණු ගලින්නේ කළ කළු පවුරු දිලෙන්නේ, රැඳුණු උසින් නේ නදදෙන ගටාර වැයෙන්නේ.” ලෙසින. ශ්‍රී සුභූති හිමියන් පවසන පරිදි එම දෙව්මැඳුරේ ඉදිරියෙන් සෙල් පලකයක තිබී ඇති ලේඛනය පහත පරිදිය “වස්කඩුබද්දේ කතෝලිකයන්ට සෙවණක් වශයෙන් ද මාගේ දියණියට ත්‍යාගයක් වශයෙන් ද ANNO 1596 වසරේ ඉදිකරන මෙම දෙව් මැඳුර මාගේ නමින් දොමින්ගෝ දෙව්මැඳුර වනවා ඇති යනුවෙනි. පොතුපිටියේ විසුවා වූ ධර්මසේන කුමරු නාඳුනන පිරිසක් අතින් මරණයට පත් විය. නින්දගමේ පළමු රාත්‍රිය නම් රීතිය එකල ක්‍රියාත්මක වූ බැවින් කුමරු දරු තනතුරේ තැබූවන් බොහෝ විය. ඔවුන් කුමරුගේ මරණින් පසුව හිස්ලුලූ අතට පලා ගියේය. ඒ අතරින් තම්මිට පෙරුමාල් කුමරිය එනම් තම මිත්තණිය සමඟ පලා ගිය කුමරෙකු නෑවත යකුන්දූවේ නින්දගම වෙතට ලඟා විය. එම කුමරු කාළයාගේ ඇවෑමෙන් හැඳින්වූවේ යකුන්දූවේ ධර්මසේන හිටිරාළ යනුවෙනි. හිටිරාළගේ පුතු නැවත තම භූමිය වූ වස්කඩුබද්දට පැමිණි අතර හිටිරාළගේ මුණුබුරෙකු වූ යකුන්දූව හිටිරාළලාගේ දොන් ගිමාර ධර්මසේන පෙරේරා(පෙරිය ධර්මසේන මුදියන්සේ) නම් අය තුඩුගල මුඩිත්ත තෙන්නකෝන් වාසල මුදියන්සේලාගේ දෝන ලුසියා පෙරුමාල් කුමරිය සමඟ විවාහ පත් වේ. ඔවුන් දොමින්ගෝ දෙව් මැඳුර පෙනෙනා මානයේ පොතුපිටියේ අක්කර පණහක පමණ භූමියක් මිලට ගෙන එහි නිවසක් සෑඳූ බව වස්කඩු බද්ද විවරණය ග්‍රන්ථයේ සඳහන් වේ. ලුසියා කුමරියගේ පියාගෙන් උරුම වූ විදානේ තනතුරට පත් ගිමාර පෙරේරා අනතුරුව ප්‍රකට වූ වේ පෙරිය වාසල ධර්මසේන මුදියන්සේ යනුවෙනි. ක්‍රිස්තු වර්ශයෙන් 1699 දී පමණ මුදියන්සේ ඉදිකළ නිවාසය පානදුර තොටුමුණ පළාතේ පළමුව උළු සෙවිලි කර ඉදිකළ නිවාසය ලෙසින් ප්‍රකට විය. නිවාසය ඉදිකළ භූමියේ පට්ටි නැමති කුලයක පිරිස් විසූ බැවින් එම නිවාසය පට්ටිකාර වාසල වලව්ව නමින් ප්‍රකට විය. පෙරිය ධර්මසේන මුදියන්සේ උපතින්ම කතෝලිකයෙකු වුවත් ලුසියා කුමරිය බෞද්ධයෙකු විය. එබැවින් ඇය දොමින්ගෝ දෙව් මැඳුරට පසෙකින් පිහිටි විනාශ වී ගිය බෞද්ධ සිද්ධස්ථානයක පූජා කටයුතු සිදු කළේය. එම සිද්ධස්ථානය වෙනකක් නොව පොතුපිටියේ පූජාරාමයයි. එහි කුඩා අම්බලමක් සාදා එහි ගම් සභාව පැවැත්වූ බව පොතුපිටියේ රජමහ වෙහෙර ග්‍රන්ථයේ සඳහන් වේ. පෙරිය ධර්මසේන මුදියන්සේගේ පුතු වූවේ යකුන්දූවේ ධර්මසේන හිටිරාළලාගේ දොන් පෙරියසප්ත පෙරුමාල් පෙරේරා දක්ෂ රණශූරයෙකු විය. ලන්දේසි හමුදාවේ අතපත්තු ආරච්චි වරයෙකු ලෙසින් කටයුතු කළ ඔහු කතෝලික දහම අතහැර රෙපරමාදු දහම වැලඳගෙන තිබිණ. මේ වන විටත් පොතුපිටියේ බොහෝ දෙනෙකු ලාබ අපේක්ෂාවෙන් රෙපරමාදු දහම වැළඳගෙන තිබිණ. වර්ශඛණ්ඩරාශ්ට්‍රයේ සඳහන් වන්නේ පළමුව පොතුපිටියේ රෙපරමාදු දහම වැළඳගත්තා වූ මීගමුවරදාගේ කිලිමන්ටුවා ප්‍රනාන්දු නම් අයහට සුවිශාල වරප්‍රසාද ලැබෙන බව දුටු බොහෝ ගැමියෝ රෙපරමාදු දහම වැලඳගත්තේය යනුවෙනි. පෙරිය සප්ත පෙරුමාල් මුදියන්සේ විසින් වර්ථමානයේ පොතුපිටිය මහා විද්‍යාලය පවතිණ භූමියේ ක්‍රිස්තු වර්ශ 1860 වසරට පෙර පැවතියා වූ පොතුපිටියේ රෙපරමාදු දේවස්ථනය ඉදිකරවා තිබේ. ක්‍රිස්තු වර්ශයෙන් 1820 වසරේ පමණ ලියවූ නාරි සංදේශයේ එම දේවස්ථානය විවරණය කරවා ඇත්තේ මෙලෙසිනි.”සිරිසර සුණුගලින් කළ දෙමහල් මැඳුර ,සිරිසර දෙව් රජුන් පිල සොඳුරු මනහර, සිදුහත් සමිඳුගෙන් වැඳ නැමද අවසර, සිරිපුර දෙව් මැඳුර නමඳිනු ඔබ මිතුර” යනුවෙනි. ක්‍රිස්තු වර්ශ 1750 දශකයේ දී මොල්ලිගොඩ විසුවා වූ සුසෙව්හේවාගේ දොන් කොරනේලිස් පිලිප් පෙරේරා අප්පුහාමි නැමති අයෙකු ලන්දේසි ආණ්ඩුවට වෙඩික්කාරයෙකු වශයෙන් එකතු වී තිබේ. ඔහු උඩරට ප්‍රදේශයක කැරැල්ලකට සහබාගි වී පැමිණෙන සමයේ දී බොදු භික්ෂුවක් හැඳිනගෙන් පැවිදි දිවියට එක් විය. අනතුරුව බොහෝ කාලයක් උඩරට ගත කර යළි මොල්ලිගොඩට පැමිණ ඇත්තේ 1770 වසරේදී පමණය. මේ වන විටත් මොල්ලිගොඩ ප්‍රදේශයේ කතෝලිකයන්ම පමණක් විසූ බැවින් මොල්ලිගොඩ විසූ විදානේ පිලිප් පෙරේරා සිල්වත් තැන පලවා හැර තිබේ. සරණක් පතා ඔහු පොතුපිටියට පැමිණි අතර එකල පොතුපිටියේ විසුවා වූ වස්කඩුබැද්දේ මහ මුදලි වූ ධර්මසේන රාළලාගේ දොන් රිචඩ් පෙරේරා විසින් පොතුපිටියේ පදිංචි වීමට අවසර ලබා දෙන ලදී. වර්ථමාන පොතුපිටිය වාලුකාරාමයට නුදුරුව මීගමුවගේ කිලිමන්ටුවාගේ පවුලේ සුසාන භූමිය නම් ස්ථානයේ සිල්වත් තැන පදිංචි විය. අනතුරුව ඔහු ප්‍රකට වූවේ නන්දසිරි ගණින්නාන්සේ යනුවෙනි. සිල්වත් තැනකගේ පැමිණීම ඇසූ බොහෝ දෙනෙකු නන්දසිරි ගණින්නාන්සේ සොයා පැමිණියේය.ආධාර කළේය. එම ආධාර යොදවා ඉදිකළා වූ ආරාමය එකළ වැලි අරම(වාලුකාරාම) ලෙසින් හැඳින්වීය. එකල උපසපුව නොමැති වූ බැවින් භික්ෂුවකට විවාහය අකැප දෙයක් නොවීය. එබැවින් මොල්ලිගොඩ විසුවා වූ කෝන්ගහපතිරගේ දොන් අල්ලිස් පෙරේරා නම් පොහොසතා තම දියණිය සිල්වත් තැන වෙත විවාහ පත් කරවා දී තිබේ. නන්දසිරි ගණාචාර්‍යන්ගේ පළමු පුතු වූවේ සුසෙව්හේවගේ දොන් අන්ද්‍රිස් පෙරේරා විය. අනතුරුව පොතුපිටියේ නන්ද නමින් වාලුකාරාමයේ පළමු විහාරාධිපති ධූරය හොබවන්නේ ඔහුය. දෙවැනි පුතු වූවේ පසු කාලයේ මොල්ලිගොඩ පොලිස් විදානේ වරයෙකු වූ සුසෙව්හේවාගේ දොන් ෆර්නැන්ඩෝ හාමියෙල් පෙරේරා අප්පුහාමිය. නන්දසිරි ගණාචාර්‍යයන් උඩරට දීබොහෝ කාලයක් ලැබුවා වූ ඉගෙනුම නිසාවෙන් උගතෙකු විය. අසල ගම් වල ජන ප්‍රධානීන් සිංහල පාලි ඉගෙනීම පිණිස දරුවන් යොමුකළේ ගණාචාර්‍යන් වෙතටය. ඒ අතර ධර්මසේන රාළලාගේ රිචඩ් පෙරේරා කැපී පෙනුන අයෙකු විය. ඔහු ඉගෙනීමට යොමුකළ තම දෙටු පුතුන් දහතුන් දෙනාවම ශාසනයට පූජා කලේය. ගම් වැසියන් ද එම ආදර්ශය මත බොහෝ කුල දරුවන් පැවිදි කළේය. පළමුව ශාසනයට ඇතුලත් කරවාගත්තේ ගොවිගම සලාගම සහ කරාව කුලවල පිරිස් බව වර්ශඛණ්ඩරාෂ්ඨ්‍රයේ සඳහන් වේ. එනමුදු බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා හින්න රදා බෙරවා ඇතුලු තවත් බොහෝ කුලවල පිරිස් පැවිදි කරවන ලද්දේය. පොතුපිටිය රජමහ වෙහෙර ග්‍රන්ථයේ සඳහන් වන්නේ පළමුව කරාව කුලය අත පැවතියා වූ පන්සල් පාලනය පසුව ගොවිගම කුලය අතට පත්වීම ත් ඔවුනගේ නොසැලකිලිමත් බාවය නිසාවෙන් ඒවාගේ පාලනය බහුතර හින්න වංශය අතට පත්විය යනුවෙනි. පැවිද්දට පත් ධර්මසේන මුදලිතුමාගේ පුතුන් වෙනුවෙන් ඉපැරණි පොතුපිටිය රජමහ වෙහෙර මත නව විහාරයක් ඉදි විය. මහත් සෞභාග්‍යමත් වූ එම විහාරය වාලුකාරාමයේ එවක විසුවා වූ නන්දසිරි ගණාචාර්‍යන් වෙතට පූජාකළ බැවින් එය පූජාරාමය නම් විය. ක්‍රිස්තු වර්ශ 1798 වසරේ ඉදිකිරීම් අවසාන කළාට මොකද එම විහාරයට භික්ෂූන් පැමිණෙන්නේ 1801 වසරේදීය. වර්ශ 1820 පමණ වන කල පොතුපිටියේ පූජාරාමයට දාගැබක් කරවීම අරඹා තිබේ. ජනප්‍රවාදයට අනුව දාගැබ ඉදිකරවීමට නියමිත ස්ථානයේ සුවිශාල සල්ගසක් පැවති ඇති අතර එය කපා දමා තිබේ. එය මහා වසංගතයක පෙර නිමිත්තක් විය. ප්‍රදේශය පුරාම මහා උණ සන්නිපාතයක් ව්‍යාප්ත විය. සියයක් එක් සෑයක දැවුණ බව කියති. ධර්මසේන මුදලිතුමා පවා දිවිහැර ගියේය. මෙම වසංගතය සඳහා දේව පිහිට පමණක් පිළියම ලෙසින් සිතූ ගම් වැසියන් පූජාරාමයේ එකල ප්‍රධාන සිල්වත් තැන ලෙසින් සිටි පොතුපිටියේ ධර්මරාජ හිමි (ධර්මසේන රාළලාගේ දොන් ෆ්‍රැන්සිස්කු පෙරේරා) වෙතට සෙත් කවි කීමට ආරාධනා කරයි. සිංහල පාලි මෙන්ම ලතින් ඉංග්‍රීසි භාශා පිළිබඳ මනා වැටහීමක් පැවති උන් වහන්සේ මෙතෙක් සංදේශ සෙත් කවි මගින් සිදුකළ යාතිකාවන්ට වෙනස් කටයුත්තක් සිදු කළේය. එනම් රෙපරමදු පල්ලියකින් පිහිට යැදීමයි. ඇතැම් විද්වතුන් පවසන්නේ එසේ සිදුකරන ලද්දේ උන් වහන්සේ පළමුව රෙපරමාදු බැතිමතෙකු බැවින් බුදු දහමට වඩා විශ්වාසයක් රෙපරමාදු දහම වෙත පැවති බැවින් වන්නට ඇති බවය. කෙසේ හෝ වේවා ජනප්‍රවාදයට අනුව මෙම නාරි සඳේශය රචනා කරවා සතියක් යාමට මත්තෙන්ම උණ සන්නිපාත වසංගතය අවසන් වී ගොස් තිබේ. පොතුපිටිය පූජාරාමය මහා අනුහස් භූමියක් බව ප්‍රකට වන්නේ මෙම කාරනයෙනි.


ප්‍රකට චරිත සංස්කරණය

ක්‍රිස්තු වර්ශ 1830 පමණ වන විට පොතුපිටියේ මහා ධනවතෙකු පහල විය. ඒ ධර්මරාජ හිමිගේ සොයුරෙකු වූත් ධර්මසේන මුදලිතුමාගේ කණිටුම පුතු වූත් ධර්මසේන රාළලාගේ දොන් ඩේවිඩ් පෙරේරා විජයවිමලසේකර මැතිතුමායි. එතුමා මෙසේ මහා ධනවතෙකු වීමට හේතුව සුවිශාල පුණ්‍යකර්මයකට පාදම සැකසීමක්ට යාමෙන් විය. එනම් මෙකල වන විට මෙම ප්‍රදේශයේ ජනගහන් වර්ධනය නිසාවෙන් රැකියා සීමිත විය. එබැවින් ඩේවිඩ් විසින් තම මිත්‍රයෙකු මාර්ගයෙන් කුඩාවට පොතුපිටියේ පොල් කොහු කර්මාන්තයක් අරඹා තිබේ. ඒ පවුලක එක් අයෙකුට හෝ රැකියා ලබා දෙන බලාපොරොත්තුවෙනි. කොහු කර්මාන්තය මේ වන විට පොතුපිටියට නවම අද්දැකීමක් වූ අතර කර්මාන්තශාලාවල රැකියා කිරීමට පැමිණෙන පිරිසට වඩා නැරඹීමට පැමිණෙන පිරිස් වැඩි විය. නැරඹීමට පැමිණෙන පිරිස ද කර්මාන්තයට කුඩාවට හෝ එක් කර ගත් ඩේවිඩ් වසර පහක් පමණ ඇතුලත පොල් ලෙලිවල් සියයක් කරවන ධනවතෙකු බවට පත් විය. වැඩිකල් නොගොස් ඉංග්‍රිසි ආණ්ඩුවට පවා කොහු කඹ සපයන්නෙකු විය. වරෙක ඔහු ආණ්ඩුවට ප්‍රධානයක් වශයෙන් කඹ තොග ලක්ෂයක් ලබා දී තිබේ. එයට ප්‍රතිඋපකාරයක් වශයෙන් ඉංග්‍රිසි ආණ්ඩුව විසින් ඔහුට මුදලිතානාන්තර ලබා දී ගෞරවකරවා තිබේ. කොහු කර්මාන්තය පොතුපිටියේ ස්ථිර කර්මාන්තය වූවේ අනතුරුවයි. මෙසේ උපයාගත්තා වූ දනය නොමසුරුව දාන මාන කටයුතු සඳහා යෙදවූ අතර ඩේවිඩ් තුමාගේ දියණිය වූ දෝන ගචෝ ඉසබෙලා විසින් ප්‍රදේශයේ පන්සල් නගා සිටුවන ලදී. ඩේවිඩ් තුමාගේ නැගෙණිය වූ දෝන මාරියා පෙරේරා විසින් සාර්ලිස් ශිල්පියා අතින් පසුව විසිතුරු වූ පොතුපිටියේ පූජාරාමයේ විහාර මන්දිරය 1835ක් වූ නවම් මාසයේදී තනවා නිමකරන ලදී.


පොතුපිටියේ විසුවා වූ තවත් ධානපතියෙකු වූවේ රේන්ද වියාපාරයෙන් පොහොසත් වූ එම්. පිනෙස් ප්‍රණාන්දු මැතිතුමාය. ඔහු පානදුරාවාදයට පවා සහය දැක්වූ අයෙකු වූ අතර 1886 වසරේ දී පොතුපිටියේ වසාදමන ලද මිශ්‍රණාරි පාසැලට සමීපයෙන් නව බෞද්ධ පාඨශාලාවක් අරඹන ලදී. එය ලංකාවේ මුල්ම බෞද්ධ මිශ්‍ර පාඨශාලාවක් වන අතර 1950 දශකයේ දී රජයට පවරා ගත් පසුව වර්ථමාන නාමය වන පොතුපිටියේ මහා විද්‍යාලය වදයෙන් ජනප්‍රියවී තිබේ. එසේම 1890 දශකයේ පානදුර බෞද්ධ සමිතියේ සභාපති වූ ඔහු රංකොත්වෙහෙර සංවර්ධනය සඳහාද අතහිත ලබා දෙන ලදී. එසේම 19 වන සියවස අගභාගයේදී පොතුපිටියේ වාලුකාරාම විහාරයේ විහාරමන්දිරය පූර්ණ වියදම් යොදා ඉදිකරවන ලදී. පොතුපිටිය පූජාරාමය මෙන්ම මොල්ලිගොඩ පිරිවෙන් මහා විහාරයේද අග්‍ර දායකයෙකු වශයෙන් බොහෝ දාන පුන්‍ය කර්ම සිදුකරවන ලද්දේය . පොතුපිටියේ වාලුකාරාම විහාරයේ විසුවා වූ නන්දසිරි ගණින්නාන්ගේගේ පුතු වූ දොන් ෆර්නැන්ඩෝ හාමියෙල් පෙරේරා අප්පුහාමි විවාහ වූවේ පොතුපිටියේ රිචඩ් පෙරේරා මුදලිතුමාගේ දියණිය වූ ධර්මසේන රාළලාගේ දෝන මාරියා පෙරේරා විජයවිමලසේකර ළමාතැනී සමඟය. එම දෙපළට උපන් පුතු වූවේ සුසෙව්හේවාගේ ගිරිගෝරිස් අප්පුහාමි නම් විය. ඔහු 1830 දශකයේදී පමණ උපත ලැබූවෙකු විය. ඔහු බෞද්ධ පුනර්ජීවන කටයුතු සඳහා පුරෝගාමියෙකු වූ නිසාවෙන් ඉංග්‍රිසි ආණ්ඩුව විසින් මොහුට බොහෝ අඩම්තේට්ටම් කළේය. 1860 වසරේ දී අන්තවාදී පිරිසක් විසින් වර්ථමාන පොතුපිටිය මහා විද්‍යාල භූමියේ පැවතියා වූ රෙපරමාදු දේවස්ථානය විනාශකළේය. එහි ප්‍රධාන සැකකරුවා වශයෙන් ගිරිගෝරිස් කොලුගැටයා සිරගත කළේය. වසර ගණනක් නොකළ වරදකට සිරගතව සිටි ඔහු නිවැරදිකරුවා වශයෙන් 1868 වසරේ ඔප්පුවීමෙන් අනතුරුව ඔහු නිදහස ලැබුවේය. යළිත් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය සමඟ සම්බන්ද වූ ඔහු තම බිරිඳ වූ ධර්මසේන රාළලාගේ දෝන ගචෝ ඉසබෙලා පෙරේරා ළමාතැනියවද මෙම ව්‍යාපාරයා සම්බන්දකරවා ගත්තේය. ඇය විසින් තම හිතවතෙකු වූ වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් වෙතට ධර්ම පුස්ථක රචනා කරවීමට සහය ලබා දෙන ලදී. එසේම තම පුතුවූ 1894 වසරේ සිට 1934 වසර දක්වා පොතුපිටියේ විදානේ ආරච්චිකම දැරුවා වූ සුසෙව්හේවාගේ සීමන් ධර්මසේන වීරසිංහ විදානෙවද ධර්ම ව්‍යාපාර සමඟ සම්බන්ධ කලේය. පොතුපිටිය බොදුනෙත් මහා සමිතිය පිහිටුවාගන්නේ ඔහු විසිනි. සාර්ලිස් ශිල්පියාගෙන්වා පොතුපිටිය පූජාරාම විහාර මන්දිරය එකාලෝක කරවීය. අනෙක් පරිත්‍යාගදාරීන්ගේත් සහයෙන් පොතුපිටියේ වාලුකාරාම දාගැබ සැකසීමද සිදුකරවන ලද්දේය. දහනාවවන සියවස අග භාගයවන විටත් ඉහල කුල යනුවෙන් මුල් බැසගත්තා වූ පිරිස් විසින් කුලහීනයන් තෙරපීමට ලක් කලේය. කාන්තාවන්ට උඩුකය වැසෙන සේ ඇඳුම් ඇඳීම පුරුශයන්ට දණට පහළට සරම හැඳීම තහනම් විය. නිවාස වල උස්පුටු තබා ගැනීමට පවා අවසර නොදුන් අතරම කුලහීන පවුල්වල අලුත උපන්දරුවාගෙ සිට මියයනතුරුම සියල්ලෝ ඉහල කුලවලායගේ වහලුන් ලෙසින් ක්‍රියා කලේය. මෙවන් දුර්මිටු ක්‍රියා සඳහා එරෙහි වන ලද්දේ ගිරිගෝරිස් රාළහාමිය. ඔහු විසින් එවන් නොමනා ක්‍රියා යළි කිසියම්දිනයකදී හෝ කරවීමට නොහැකි අයුරෙන් අතුගා දැමීමට සමත් විය.


පොතුපිටිය මහා විද්‍යාලයට ගුරුවරයෙකු වශයෙන් 1940 දශකයේ සම්බන්ද වූ රැපියෙල් තෙන්නකෝන් නම් කවියා වෙතට තම නිර්මාණ කටයුතු සඳහා උචිත පරිසරය සපයා දුන්නේ පොතුපිටිය භූමියයි. ඔහුගේ වවුලුව නම් කාව්‍ය හරහා විස්තර කරනුයේ පොතුපිටිය මහා විද්‍යාල භූමියේ එකල පැවති දේවස්ථානයේ සොහොන් භූමියේ පැවති සුවිශාල නුගරුකක් පිළිබඳවයි.

ගුවන වසා මොර දෙන වවුලන්‍ ය නි සා ගිමන මුරා යති වල්ලිය නොසිතු ලෙ සා ගමන විඩා හල මෙහි අතු පතර ව සා දකින සැමා හට මෙය වෙයි නිවන තොසා ලෙසින් එම නුගරුක පිළිබඳවම 1820 වසරේ රචනා වූ නාරි සංඳේශයේ ද දැකගත හැක.

බෞද්ධ විහාර සංස්කරණය

පොතුපිටියේ වර්ථමානය වන විට ප්‍රධාන බෞද්ධ විහාර හතරක් පමණ දැකගත හැකිය. ඒ අතරින් ඉපැරණිතම විහාරය වන්නේ පොතුපිටියේ රජමහා විහාරය හෙවත් පොතුපිටිය පූජාරාම විහාරයයි. පොතුපිටිය වාලුකාරාම විහාරය ඉදිවූවේ ක්‍රිස්තුවර්ශ 1700 ශත වර්ශයේ ලන්දේසි සමයේදීය.වාලුකාරාමයට පූජාවක් වශයෙන් 1798 වසරේ දී පූජාරාමය ගම් වාසීන් විසින් පූජාකරවා තිබේ. පූජාරාමයේ සිටි ධම්මසිරි සහ පිලානන්ද යන තෙරුණ්වහන්සේලා 1940 දශකයේදී පමණ ධම්මතිලකාරාමය යනුවෙන් හැඳින්වූ අභිනවවිහාරය අරඹන ලදී. පොතුපිටියේ පුශ්පාරාම විහාරය වාලුකාරාම විහාරයේම කොටසකි. අතීතයේ පොතුපිටියට අයත්ව පැවතියා වූ කවුඩුදූව,අරඹවත්ත ආදී විහාරස්ථාන වර්ථමානයේ වෙනත් ග්‍රාමයන් වෙත බෙදී ගොසින තිබේ. ඉතා නූතන කාලයේ ඉදිකලා වූ කුඩා විහාරස්ථාන ද්විත්වයක්ද පොතුපිටියේ දැකගත හැක.

අල්ලිය දේවාලය සංස්කරණය

පොතුපිටිය ප්‍රදේශයේ පැවති ඉපැරණි දේවාලයක් පිළිබඳ සඳහනක් වර්ශඛණ්ඩරාශ්ට්‍රයේ සඳහන් වේ. එහි සඳහන් වන්නේ අලගියවන්න කවීශ්වරයා සඳහන් කළා වූ පොතුපිටියේ විසුවා වූ ආදිවාසි ජනකණ්ඩායමකි. ඔවුන් ගස්ගල්සතුන් ඇදහූවන් විය. ඔවුන් වන්දනාමාන යාගහෝම හදිහූනියම් කල ස්ථාන හැඳින් වූවේ අල්ලිය නමින. පොතුපිටිය මූණමල්ගහවත්ත නොහොත් ගල්කැටියාගොඩ ඔවුන් විසූ බව වස්කඩුබද්ද විවරණය ග්‍රන්ථයේ සදහන් වේ. පොතුපිටිය රජමහා වෙහෙර ග්‍රන්ථයේ සඳාහන් වන්නේ මෙම දේවාලයේ 1700 ශතවර්ශයට සමකාලීනව ආඬිගුරු නොහොත් කපු පදවිය දරා ඇත්තේ බස්තියන් හින්නගේ සිංඥොහාමි නැමති අයෙකු බවය. නාරි සංදේශය රචනා කරවන සමයේ මෙම කපු තනතුරේ හිමිකරුවන් තුන් දෙනෙකු විය. ඒ ජසෙන්තුහින්නගේ බස්තියානා, ජසෙන්තුප්‍රනාන්දුගේ ජොවානා සහ දොමින්ගු යන අයයි. පසුව 1900 දශකය පමණ සමයේදී දේවවන්දනයට කැපවන භූමියක් වන්නට ඇත.

මූලාශ්‍ර සංස්කරණය

නාරි සංඳේශය(1820)/නාරි සංඳේශයට අරුත් විවරණය 1913/1914/1925/ වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍රය නොහොත් වස්කඩුබද්ද විවරණය 1875(වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි) ජයවර්ධනපුර ඉතිහාසය(1925) ඩබ්ලිව්. ඒ. එෆ් . ධර්මවර්ධන/ පොතුපිටිය රජමහ වෙහෙර 1998(බද්දේගම සුමන හිමි)

"https://si.wikipedia.org/w/index.php?title=පොතුපිටිය&oldid=497673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි