පුරිජ්ජල ශ්‍රී සරණංකර හිමි

ක්‍රි.ව. 1884 ජනවාරි 20 දා මාතලේ දිස්ත්‍රික්කයේ පූරිජ්ජල ගම්මානයේ අධිකාරම් වළව්වේ මුන්වහන්සේ උපත ලැබිය. අධිකාරම් වළව්වේ පුංචි බණ්ඩාර නිළමේතුමා හා හලංගොඩ ලොකු කුමාරිහාමි මුන්වහන්සේගේ මව්පියන් වූහ.

තම පුතුව මහණකිරීමට තීරණය කළ පුංචි බණ්ඩාර නිළමේතුමා සිය මස්සිනා වූ තිබ්බටුවාවේ වලව්වේ ලොකුබණ්ඩාර නිළමේතුමාට දන්වා ඔවුන්ගේ ඥාතීවරයෙක්වූ 1913 වසරේදී අපවත්වූ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන්ට මාතලේ කොහොන් විහාරයේදී තම පුතුව භාරදුන්නේය. ඒ අනුව සුමංගල මහානාහිමි යටතේ පැවිදි වී සංඝරාජ පිරිවෙනින් ඉගෙනුම ලැබ 1904 වසරේදී සුමංගල මහානාහිමි යටතේම උපසම්පදාව ලැබිය. ක්‍රි.ව. 1907 දී තේවා මුරය ලැබ 1947 දී කාරක සභාවටත් පත්වූ මුන්වහන්සේ ස්වකීය ආචාර්යයන්වහන්සේගේ අපවත්වීමෙන් පසු කුරුණෑගල රිදී විහාරයේ අධිපති වී ලේවැල්ල ගංගාරාමය හා මහනුවර පෝයමලු විහාරය පිළිසකර කිරීමට අනුශාසකත්වය දුන් අතර , ක්‍රි.ව. 1956 දී වැලිවිට සරණංකර මහානාහිමියන් අපවත්වූ පසු මහානාහිමි ධුරයට පත්වී 1963 දෙසැම්බර් 28 දා අපවත්වූහ. වර්තමාන මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් වන තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි හා පූරිජ්ජල ශ්‍රී සරණංකර හිමි මුන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිවරුන්ය.