හිත එක විදියකට තියා ගන්න බැරි වෙන තරමට රෝග ලක්ෂණ පෙන්නුම් කරන පීනස අපෙන් සහනය තුරන් කර දවල් කාලය එකම වේදනාවක් බවටත් රාත්‍රී කාලය අසහනයක් බවටත් පත් කරනවා. ඇතැම් විට බෙහෙත් කළත් අහන්නේ නැහැ. සමහර අයට හොඳ වෙලා වගේ පෙන්නලා ආයෙත් මතු වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මේක අපේ පැවැත්ම කල්ක්‍රියාව පිළිබද ගැටළුවක්. අප ප්‍රිය කරන ආහාර නිතර ගන්නා විට යම් යම් වෙනස් කම් ශරීරයේ වෙනවා. වාතය, පිත, සෙම හෝ මේ දෙකක් හෝ තුනම හෝ අසමතුලිත වෙන්නට ඒක හේතු වෙන්න පුළුවන්. නිදා ගන්නා ප්‍රමාණය, දවල් නිදා ගන්නේ ද යන්න, විශේෂයෙන් පෙරවරුවේ නිදා ගන්නේ නම්, රෑ නිදි නොලබා සිටින්නේ නම්, විශේෂයෙන් මධ්‍යම රාත්‍රීයට පසු නිදි මරනවා නම්, අවේලාවේ දිය නානවා නම්, අධික ලෙස ආතතියක් ඇති වන විදියට දුක් වෙනවා නම්, වේදනාකාරී ලෙස අධ්‍යාපන කටයුතු වල නියැලෙනවා නම්, විසඳ ගන්න බැරි ප්‍රශ්න නිසා කල්පනාව එක අතකට ඇදී යනවා නම්, අධික ලෙස ව්‍යායාම කරමින් ශරීරයට දුක් දෙනවා නම්, නිවැරදි ගුරුවරයෙක් නොමැතිව අත්තනෝමතික ලෙස භාවනා කරමින් සිතට වද දෙනවා නම්, අධික ලෙස මෛථූන සේවනය කරනවා නම්, උත්තේජක ඖෂධ (ගංජා, අබිං, මද්‍යසාර) මාත්‍රාව ඉක්මවා ගන්නවා නම්, අපිරිසිඳු පරිසරයක වැඩි වේලාවක් ගත කරන්නට වෙලා නම්, අධික ලෙස ආත්මාර්ථකාමීව සිත් විකෘති බවට පත් වෙලා නම්, අපට මේ රෝග වැළඳෙන්නට ඇති ඉඩකඩ වැඩියි.

කොහොමද සුවපත් භාවය සහනය ළඟා කර ගන්නේ. ඉහතින් කියාපු හේතු අතරින් තමන්ට අදාළ “හේතු” හඳුනා ගෙන ආපස්සට හරවන එක තමයි නියම ක්‍රියා මාර්ගය. ඒක දන්නේ තමන් විතරයි. වෙදැදුරාට කළ හැක්කේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කරලා ඔබගේ පැවැත්ම කොයි වගේ එකක්ද කියලා සොයලා තහවුරු කර ගැනීම පමණයි. මම මේ ටික සඳහන් කළේ බෙහෙත් අහන්නේ නැති රෝගීන් ගැන හිතලා. කාටත් පොදුවේ දහ අට පීනසෙන් කොයික වැළඳිලා තිබුණත් ඒක සුව කර ගන්න උපකාරී වන තෙලක් සිඳ ගන්න ක්‍රමය කියා දෙන්නම්.

ඕනැ කරන ඖෂධ වර්ග:

රතු ළූණු කිලෝ 1 ක්

තල තෙල් බෝතල 1 ½ ක්

අමු ඉඟුරු ග්‍රෑම් 20 ක් (කළං 4 ක්)

පෙරුංකායම් ග්‍රෑම් 20 ක්

කලුදුරු ග්‍රෑම් 20 ක්

ගම්මිරිස් ග්‍රෑම් 20 ක්

කරාබු නැටි ග්‍රෑම් 20 ක්

සූදුරු ග්‍රෑම් 20 ක්

තිප්පිලි ග්‍රෑම් 20 ක්

වසාවාසි ග්‍රෑම් 20 ක්

වැල්මී ග්‍රෑම් 20 ක්

හදන්නේ මෙහෙමයි:

රතුළූණු හොඳින් සෝදා සුද්ධ කර හීනියට ලියා ගන්න. ඒවා වංගෙඩියක හෝ බ්ලෙන්ඩරයක බහා කොටා ගන්න අතර වතුර ස්වල්පය බැගින් එකතු කරමින් යුෂ බෝතල් එක හමාරක් (1 ½) වන තරමට හදා ගන්න. යුෂ ටික පෙරා ගත්තාම ඇති. යුෂ බෝතල් එක හමාර හදා ගන්න රතුළූණු කිලෝ එකට වතුර බෝතල 1 ¼ ක් විතර එකතු කරන්න වෙනවා. ප්‍රධාන ඔසු දෙවර්ගය රතුළූණු සහ තල තෙල් බව පැහැදිලිනේ. අනෙක් වර්ග ටිකත් වෙන වෙනම සෝදා ගන්න. පළමුව වැල්මී ටික අඹරා ගන්න. වතුර යම්තමින් එකතු කරලා කල්කය වගේ හදා ගන්න. ඊට පසුව කලුදුරු, කරාබුනැටි, සූදුරු, වසාවාසි, ටික අර විදියටම යම්තමින් වතුර එක් කරමින් කල්කය වන තරමට අඹරා ගන්න. ඊට පසුව, අමු ඉඟුරු, තිප්පිලි යන දෙක අඹරා ගන්න. අර වගේම කල්කය හදා ගන්න. දැන් ඒ වර්ග ඔක්කොම එකට ගෙන තනි කල්කයක් වෙන විදියට නැවත අඹරන්න. බෙහෙත් ගලක් හෝ මිරිස් ගලක් පාවිච්චි කරන එක සුදුසුයි. ඒ පහසුකම් නැති නම් බ්ලෙන්ඩරය පාවිච්චි කළාට කමක් නැහැ. දැන් තෙල සිඳින්න සූදානම්. ලොකු ඇතිලියක් ගෙන සෝදා ලිප තබා ඒකට රතුළූණු යුෂ එකතු කරන්න. ඒ එක්කම තල තෙල් එකතු කර කලතන්න. දැන් හදාගත්තු කල්කය තෙලට එකතු කර කලවම් කරන්න. කල්කය දිය වුණාට පස්සේ ලිපට ගින්දර දාන්න. තෙලුයි වතුරයි කලවම් වෙන්නේ නැහැ කියලා ඔබ දන්නවානේ. තෙල බිඳිති වලට කැඩිලා තමයි මේ මිශ්‍රණය හැදිලා තියෙන්නේ. මේ කෂාය හින්දන්න ඕනා වතුර ඔක්කොම හිඳිලා යනකම්. හින්ඳන අතරතුර කලතන්න එපා. මද ගින්නේ හින්ඳන්න. වතුර ඔක්කොම හිඳුණාට පසුව පෙරා කල් තබා ගැනීමට සුදුසු බඳුනකට අසුරන්න.

පාවිච්චි කරන ක්‍රමය:

සතියේ ඔබට විවේකම දවස තෝරා ගෙන පෙරවරු 9 ට පමණ තෙල් මේස හැන්දක් පමණ නස්න කරන්න. ඒ කියන්නේ තෙල් ටිකක් පීරිසියකට දාගෙන ඇඟිලි තුඩු අගින් තෙල් ස්වල්පය බැගින් ගෙන නාසයට උරන්න. ඔක්කොම ජාති දැවිල්ල ජාති බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ටිකක් දැවිල්ලයි. කිවිසුම් යයි. පැය බාගයක් පමණ ගත කළාම ඇති. හොඳට නාසට වැදුණ බව තේරෙන විට ඇල්වතුර නාන්න. දෙවරක් මුත්‍රා යනකම් නාන්න. මේක සතියකට එක් වරක් කළාම ඇති. නා අවසන් වූ පසුව ඒ තෙලම හිසේ ගාන්න. සතියේ දින හතම පෙරවරුවේ යහමින් නාන්න. නෑමෙන් පසුව හිසේ තෙල් ගාන්න. මෙච්චර නොවෙයි ප්‍රතිකාරය. තව තියෙනවා. තමන්ට නොගැලපෙන කෑම බීම නොගෙන ඉන්න. කල්ක්‍රියාව හදා ගන්න, ඔබනේ දන්නේ ඔබේ හැසිරීම. එය පාලනය කර ගන්න. හිතේ සහනය වැඩි කර ගන්නා ක්‍රමයකට හිතන්න පුරුදු වෙන්න. පරාර්ථකාමී වෙලා තමන්ගේ පවුලේ අයට, නෑයන්ට, මිතුරන්ට හැකි පමණ උපකාර කරන්න. මිනිසාට සේවය කරන්න මාර්ගයක් හොයා ගන්න. කරුණාවෙන් අනිත් අයගේ ප්‍රශ්න දිහා බලලා හැකි ලෙසකින් උපකාර කරන්න. එවිට සිතේ සහනය වැඩි වෙනවා. පසු තැවීම පහ වෙනකම් වැඩ යොදා ගන්න. සති තුනක් පමණ යනවිට ගුණයක් දැනෙන්නේ නැතිනම් ඔබේ පැවැත්මේ වරදක් ඇති බව වටහා ගන්න. වරද හදා ගැනීමේ හැකියාව ඇත්තේ ඔබටමයි.

සටහන: මේ තෛලය දේශීය වෙදැදුරුතුමෙකුගේ අත් පොතකින් ලබා ගත් එකක්.

"https://si.wikipedia.org/w/index.php?title=පීනස්_තෙලක්&oldid=469001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි