පිළිමතලාවෙන් දවුලගල පාරේ උඩුනුවර පිහිටා ඇත. මහාමාර්ගය අද්දරම තණ බිස්සක් සහිත ගෙමිදුලකින් වටවුණු වලව්ව පිහිටා තිබෙනවා. සමස්ත වික්‍රම කරුණාතිලක අභයවර්ධන බුවනෙකසේකර ජයසුන්දර මුදියන්සේ රාලහාමිලාගේ ටිකිරි බණ්ඩා පානබොක්කේ (ජ්‍යෙෂ්ඨ) තමයි මෙහි මුල් හිමිකරු. ඔහු ක්‍රි.ව 1876 වසරේ දී සාදා නිම කර ඇති පැරණි වලව්ව අදත් එදා පෙනුමෙන්ම දැකගත හැකියි. එය දෙමහල් ගොඩනැගිල්ලක්. මැද මිදුලක් සහිත වලව්වට ඉදිරියෙන් සහ පැත්තකින් විශාල තණ බිස්සක් පිහිටා තිබෙනවා. එය තනා තිබෙන්නේ උත්සව ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සඳහායි. දැනට මෙම වලව්ව සංචාරක නිකේතනයක් ලෙස භාවිත කරනවා.වලව්ව ඇතුළු භූමිය අක්කර දෙකක ඉඩමක පැතිර තිබෙනවා. වලව්වේ විශාල කාමර, කෑම කාමරය, සාලය, ලී කැටයමින් අලංකාර කරන ලද විශාල කණු, දොර ජනෙල් පුරාණ ගෘහ නිර්මාණ ශිල්පයට උදාහරණ සපයනවා. මෙහි විශාල කාමර හයක් දැකගත හැකියි. ලී පෙට්ටගම්, කබඩ්, හාන්සි පුටු, ඇඳන් ඇතුළු විවිධ ගෘහ භාණ්ඩ රාශියක් අදට ද ආරක්ෂාකාරීව පවතිනවා. උඩුමහලේ ආලින්දය, බිම් මහලේ මුළුතැන්ගෙය, ඒ ආසන්නයේ ඇති වී අටුව, පානබොක්කේ වලව්වේ පෞරාණික බවට හොඳම උදාහරණ යි. වහලයට සෙවිලි කර ඇත්තේ සිංහල උළුයි. මැද මිදුල දෙපැත්තේ දොරටු අසල පා සේදීම සඳහා ගල් පතුරු දෙකක් තබා තිබෙනවා.

"https://si.wikipedia.org/w/index.php?title=පානබොක්කේ_වලව්ව&oldid=602555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි