පසු කාලීන පාලනය: දෙපාර්ශවය අතර විරාමය

දක්ෂිණ ලංකාවේ ගාලු කොටුව - පළමුව පෘතුග්‍රීසීන්ගේද පසුව ලන්ද්සීන්ගේද ආරක්ෂිත ස්ථානය

ගිවිසුම නැවත පණ ගැන්වුවද ලන්දේසීන් හා උඩරට අතර නොසන්සුන්තාවය නිම නොවීය. මුන්ස්ටර් (Munster) ගිවිසුම මගින් 1648 දී යුරෝපය තුළ ලන්දේසීන්ගේ ස්වාධිපත්‍ය තහවුරු කරන ලදී. ඒ නිසා තම අසල් වාසීන් සමග එකවිට විනාශකාරී යුද්ධයක පැටලීමකින් තොරව වෙළඳාම හා යටත් විජිත පුළුල් කර ගැනීම නොකඩවා කරගෙන යාමට ඔවුනට අවස්ථාව උදා විය. මෙයට වෙනස්ව උඩරට රාජධානිය නිරතුරුව කෙරුණු සටන්වලින් හෙම්බත්ව සිටියේය. එයට ඒ දක්වා මඩකලපුව, ත්‍රීකුණාමලය සහ මුහුදුබඩ පෙදෙස් අල්ලා ගත නොහැකි විය. එයට තිබුණු සීමිත සම්පත් ප්‍රමාණය අභ්‍යන්තර අස්ථාවරත්වය හේතුවෙන් විනාශ විය.

එසේ වුවද 1652 සිට ලන්දේසි - උඩරට ඒකාබද්ධ හමුදා මුහුදුබඩ පෘතුග්‍රීසි බලකොටුවලට එරෙහිව සටන් කළහ. මෙම කාලයේදී රාජසිංහ රජුට කොග්ගල "පටබැඳි" නම් උප රජෙකුගෙන් උදව් ඉල්ලීමට සිදු විය. එයින් අදහස් වන්නේ මේ වන විට උඩරට රාජ්‍ය විමධ්‍යගත වී තිබුණූ බව සහ ප්‍රාදේශීය රජවරුන්ට සෑහෙන බලතල හිමිව තිබුණු බවයි.

ගොඩබිමින් වටවුණු උඩරට ජනතාව කෝරළවල සහ සබරගමුව යන ප්‍රදේශවල හොඳින් ජිවත් වූ නමුත් ඔවුනට ලන්දේසීන්ගේ මුහුදු බලය කෙරේ විශ්වාසය තබන්නට සිදු විය. ඉක්බිති 1655 දී ජෙරාර්ඩ් හල්ෆ්ට් (Gerard Hulft) යටතේ විශාල නාවික හමුදාවක් ළඟා වූ අතර පෘතුග්‍රීසීන්ගේ යටත් විජිත අගනුවර වූ කොළඹ මුහුදෙන් සහ ගොඩබිමින් වටකොට යුද්ධයේ අවසාන අදියර කරා පැමිණ තිබුණේය. මෙම අවස්ථාවෙදී රාජසිංහ රජු කිසිසේත් ලන්දේසීන් විශ්වාස නොකළේය. නගරය අල්ලා ගත් සැණෙකින් එය උඩරට රාජධානියට භාරදිය යුතු බව රජු ඉතා දැඩිව කියා සිටියේය. 1656 දී මෙය සිදු වූ විට ලන්දේසීන් කළේ දොරටු වසා දමා උඩරැටියන්ට ප්‍රත්‍යන්ත දේශයේ සිටින්නට සැලැස්වීමයි. සිදු වූ දෙය ලන්දේසීන්ගේ තවත් ද්‍රෝහි ක්‍රියාවක් ලෙස වටහා ගත් රාජසිංහ රජු ඔහුගේ විනාශකාරී ක්‍රියාවන් නැවත වරක් ආරම්භ කළේය. ඔහු 1640 මැද භාගයේදී කොළඹ අවට ප්‍රදේශයේ විනාශකාරී ක්‍රියාවන් කර උඩරට බලා ආපසු ගියේය. ලන්දේසීහු මේ අතර 1658 දී යාපනය රාජධානියේ බලය අත්පත් කර ගෙන උඩරට රාජ්‍යයෙහි ස්වභාවික සතුරා වූ පෘතුග්‍රීසීන් පිටමං කළහ.

රාජසිංහ රජු ඔහුගේ ආරක්ෂිත කඳුකර දුර්ගයේ සිට පෘතුග්‍රීසීන්ට කළාක් මෙන් ලන්දේසීන්ටද එම උපක්‍රම යොදා ගනිමින් හිරිහැර කිරීම ආරම්භ කළේය. 1660 දී ලන්දේසි පාලනය යටතේ තිබුණු ත්‍රීකුණාමලය ආසන්නයේ සිටි රාජසිංහ රජුගේ හමුදාව රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා අල්ලා ගත්තේය. අනතුරුව සෙංකඩගලට ගෙන යනු ලැබූ නොක්ස් 1680 දක්වා එහි ජීවත් වූයේය. ඔහුගේ ලේඛණවල 17 වැනි සියවසේ කන්ද උඩරට රාජධානිය ගැන ඉතා අගනා ඓතිහාසික තොරතුරු අඩංගුවේ. රාජසිංහ රජු සමහර විට ලන්දේසි බලය ලංකාවෙන් තුරන් කිරීමට ප්‍රංශ ජාතිකයන්ගෙන් උදව් ලබා ගැනීම සම්බන්ධයෙන් සලකා බලන්නටද ඇත.

ලන්දේසීන් සමග රාජසිංහ රජුගේ සන්ධානය සම්බන්ධයෙන් අතෘප්තියට පත් ප්‍රභූවරු හා ජනතාව දැක්වූ විරෝධතාවන්ට මුහුණ දීමට රජුට සිදු විය. රාජ්‍යයේ අභ්‍යන්තර තත්වය කෙතරම් අස්ථාවර තත්වයකට පත් වූයේද කිවහොත් රාජසිංහ රජුට ටික කලකට මාළිගය අතහැර යාමට සිදුවුණු අතර කැරලිකරුවෝ සෙංකඩගල නගරය අල්ලා ගත්හ. වාර්ෂික ඇසල පෙරහැර පැවැත්වීම අත්හිටුවන ලදී. 1664 දී රජු අඹන්වෙල රාළ නම් ප්‍රභුවරයා විසින් මෙහෙයවූ කැරැල්ලකට මුහුණ දුන්නේය. මහත් සේ කෝපයට පත් රජු දිය යුතු දඬුවම කුමක්දැයි තීරණය කර ගත නොහැකිව ඔහු ලන්දේසීන් වෙත පිටත් කර හැරියේ උඩරට ප්‍රභූවරයෙක් හෙයින් ඔහුට මරණය පමුණුවනු ඇතැයි අපේක්ෂාවෙනි. එහෙත් එය වැරදීමක් විය. අඹන්වෙල රාළ කන්ද උඩරට පිළිබඳව ඔහුගේ දැනුම ලන්දේසීන්ගේ විශාල පොල්වත්තක් ලබා ගැනීම උදෙසා ලන්දේසීන් සමග හුවමාරු කර ගත්තේය. ඔහු මිය ගියේ මහා ධනවතකු ලෙසිණි.

මේ සියලු සිද්ධීන් සිදු වෙද්දී රජු ඔටුන්න රැක ගැනීමට සමත් විය. ඔහු දළදා මාළිගාවේ ප්‍රධාන ගොඩනැගිල්ලට තවත් වහළක් එකතු කරමින් පුද බිම පුළුල් ක‍ළේය.


http://en.wikipedia.org/wiki/R%C3%A2jasimha_II#Late_Reign:_Stalemate