පශ්චාත් යුද කැළඹිලි තත්වය

ජර්මනිය සමග යුද්ධය අවසාන වීමෙන් පසු රඳවා ගෙන සිටින අය නිදහස් කරන ලෙස ඉල්ලමින් පැන නැගුණු මහජන මතය දැඩි විය. 1945 මැයි 30 දින ඒ.පී.ජයසූරිය රඳවා ගෙන සිටින නිදහස් අරගලයේ උද්ඝෝෂකයින් කොන්දේසි රහිතව නිදහස් කළ යුතු යැයි රාජ්‍ය මන්ත්‍රණ සභාවට විසඳුමක් ඉදිරිපත් කළේය. එම ඉල්ලීමට අනුමැතිය ලැබුණි. විරුද්ධ වූයේ බ්‍රිතාන්‍යයන් විසින් නම් කළ දෙදෙනකු පමණි. එහෙත් ඔවුන් නිදහස් කරන ලද්දේ උපවාසයකින් පසු තවත් දින දෙකක් ගත වීමෙන් අනතුරුවයි. නිදහස් කරන ලද අය වීරයින් සේ පිළිගෙන රටපුරා උපහාර පවත්වන ලදී. වාමාංශිකයියෝ යුද්ධයට පෙර තිබූ තත්වයට වඩා බලවත් වූහ.

යුද්ධය පැවති කාලය තුළ ඇති වූ කලබලකාරී තත්වයන් මර්දනය කිරීමෙන් පාලනය කළ නමුත් එකල පනවන ලද නියමයන් ලිහිල් කිරීමත් සමග මහජනතාවගේ කෝපය උත්සන්න විය. සැප්තැම්බර් මාසයේ සිට කොළඹ ට්‍රෑම් රථ සේවය, වරාය, ආදී ස්ථානවල වර්ජන රැල්ලක් ඇති විය.

නොවැම්බරයේදී ලංකා සම සමාජ පක්ෂයේ මූලිකත්වයේන් 'ඕල් සිලොන් යුනයිටඩ් මෝටර් වර්කර්ස් යුනියන්' (All ceylon united motor workers union) විසින් දිවයින පුරා වර්ජනයක් දියත් කරන ලදී. එන්.එම්.පෙරේරා, පිලිප් ගුණවර්ධන සහ තවත් නායකයින් අත්තඩංගුවට ගත් නමුත් වර්ජනය සාර්ථක විය.

වී බූසලයකට රු 8/- ක් ගෙවීමේ පදනම මත රජය විසින් වී එකතු කිරීමට එරෙහිව සමස්ත ලංකා ගොවි සම්මේලනය (All Ceylon Peasant Congress) ක්‍රියාත්මක විය. ඇතැම් පළාත්වල ගොවීහු රජයට වී දීම ප්‍රතික්ෂේප කළහ. මේ නිසා සිය ගණනකට එරෙහිව නඩු පවරන ලදී. 1946 දී සම්මේලනය රාජ්‍ය මණ්ත්‍රණ සභාව දක්වා පා ගමනක් සංවිධානය ක‍ෙළ්ය. ඔවුහු සහල් එකතු කිරීම අත්‍යවශ්‍ය නීතිය ඉවත් කරන ලෙස ඇමතිවරුන්ට බලකර සිටියහ.


1946 දී රජයේ සේවකයන් (දුම්රිය සේවය ද ඇතුළුව) ආරම්භ කළ වර්ජනය වරාය ගෑස් කොම්පැනිය ආදී ආයතන දක්වා විහිදී ගොස් මහා වැඩ වර්ජනයක් බවට පත් විය. පාලකයෝ මුලදී සාකච්ඡා සඳහා අවස්ථාවක් නොදුන්හ. එහෙත් අන්තිමට වැඩ බැලූ ආණ්ඩුකාරවරයා රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් හමුවීමට එකඟ විය. මෙම නියෝජිතයින්ට උපදෙස් සැපයූ එන්.එම්.පෙරේරා පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. එහෙත් වැඩ වර්ජකයෝ ඔහු නැතිව අවසාන තීරණයකට පැමිණීම ප්‍රතික්ෂේප කළහ. අවසානයේ පෙරේරා නිදහස් කළ අතර විසඳුමක්ද ඇති විය.

කෙසේ වෙතත් වැඩ බැලූ ආණ්ඩුකාරවරයා දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු නොකළේය. දෙවැනි මහා වැඩ වර්ජනය 1947 මැයි - ජුනිවලදී ආරම්භ විය. මෙම නැගී සිටීම මර්දනය කිරීමට පොලීසියට සහය වීම සඳහා ලංකා ආරක්ෂක බලකාය (Ceyion Defence -Force) කැඳවන ලදී. කොළඹ හයිඩ් පාක් හි පැවති වර්ජකයන්ගේ රැස්වීමකින් පසු කොළොන්නාව බලා යන ගමනේදී, දෙමටගොඩදී පොලීසිය විසින් පිරිසට පිට පිට තබන ලද වෙඩි පහරකින් රජයේ ලිපිකරු සේවා සංගමයේ වී.කන්දසාමි ජීවිතක්ෂයට පත් විය. වැඩවර්ජනය මැඩ පැවැත්වීමට ගත් ක්‍රියාමාර්ගය සාර්ථක විය. කෙසේ වෙතත් බිත්තිවල ලියැවුණු ප්‍රකාශවලින් බ්‍රිතාන්‍ය පාලකයන්ට දන්වා සිටියේ "ඔවුන් ඉක්මනට නොගියහොත් එලවා දමනු ඇත." යනුවෙනි. බොම්බේ මියුටිනි (Bombay Mutiny) නොහොත් බොම්බේ හමුදා කැරැල්ල සහ ඉන්දියන් හමුදාව තුළ ඇති වුණු එවැනි තවත් කලබලකාරී තත්වයන් හේතුකොට ගෙන බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් පසු බැසීම ආරම්භ කළහ. ශ්‍රී ලංකාවේදී ඔවුන්ගේ තත්වය අස්ථිර විය හැක.


http://en.wikipedia.org/wiki/Sri_Lanka_independence_struggle#Post-war_unrest