පරිණාමයේ අරමුණ බුද්ධිමත් ජීවීන් බිහිකිරීමද

පරිණාමයේ අරමුණ බුද්ධිමත් ජීවීන් බිහිකිරීම යන්න සම්පූර්ණ වැරදි මතයක්. මතක තබා ගතයුතු පලමු කාරණය වන්නෙ පරිණාමික ක්‍රියාවලියට එලෙස අරමුණක් නැති බව. පරිණාමික ක්‍රියාවලිය තුල විවිධ ජීවි විශේෂ හටගැනීම සිදුවෙනවා. මේ බිහිවෙන විශේෂ තමන් ජීවත්වන පරිසරයට උචිත නොවේනම් ඔවුන් නශ්ඨවීමට ලක්වෙනවා. උචිතයාගෙ පැවැත්ම තමයි පරිණාමයේ ප්‍රතිඵලය.

දැන් මේ ගැටලුවේදි බොහෝ අය විමසන ප්‍රශ්නයක් තමයි ඇයි එහෙනම් හෝමෝ සේපියන්වරු පමණක් බුද්ධිමත් ?

ඉහත මම සඳහන් කරා පරිණාමය කියන්නෙ අරමුණක් ඇති ක්‍රියාවලියක් නොවන බව. එමෙන්ම පරිණාමික ක්‍රියාවලිය තුල උචිතයා ඉතුරු වී අනුචිතයා නශ්ඨවීම සිදුවෙනවා. මෙතනදි උචිතයා ඉතුරු වෙන්නෙ ඇයි ? ඒකට හේතුව තමන් ජීවත්වන පාරිසරික සාධක වලදි තමන්ගෙ රඳා පැවැත්ම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් ලක්ෂණ ඔහු සතු වීම. එසේනම් සමාන පරිසර තත්වයන් තුල ජීවත්වන හැම විශේෂක්ම සමාන විය යුතුද ? නැහැ..! කිසිසේත්ම එසේ විය යුතු නැහැ. මේක අපි උදාහරණ කිහිපයක් ගමු.

උදාහරණ - 01

අප්‍රිකානු සැවනා භූමි තුල ජීවත්වෙන ජිරාෆයන් විශේෂනය වෙලා තිබෙනවා ඇකේශියා පත්‍ර ආහාරයට ගන්න. ඔවුන්ගෙ සමස්ථ පරිණාමික ක්‍රියාවලිය සලකලා බැලුවොත් ඔවුන් ක්‍රම ක්‍රමයෙන් විශේෂනය වෙන්නෙ උස ඇකේශියා තුරු මුදුන්වල පත්‍ර ආහාරයට ගන්න. මේ සඳහා ක්‍රමයෙන් ග්‍රෛවී කශේරුකා දිගු වෙන ගමන් ඊට සරිලන ලෙස ඔවුන්ගෙ ශරීරය වෙනස් වෙනවා. (දැන් මේක මේ අවුරුදු පනහකින් සීයකින් වෙන ක්‍රියාවලියක් නෙවෙයි, ඒ නිසා සත්වෝද්‍යානයක මුව රංචුවකට උස කොස් ගහක් දීලා පරම්පරා දෙකක් තුනක් බැලුවම ග්‍රෛවී කශේරුකා දිගු වෙනවා කියලා හිතනවනම් කරුණාරලා පරිණාමය වැනි විෂයන් අධ්‍යනයෙන් බැහැර වෙන්න) දැන් එතකොට ජිරාෆයන් සතු ප්‍රයෝජනවත් ලක්ෂණය කුමක්ද ? දිගු ගෙලක් සහ උස ශරීරයක් පිහිටීම.

අපි ඒ පාරිසරික නිකේතනයටම අනුගත වර්වට් වඳුරන් සලකා බලමු. වර්වට් වඳුරන් ආහාරයට ගන්නෙත් ජිරාෆයන් ආහාරයට ගන්න ඇකේශියා ශාඛයම තමයි. දැන් එතකොට වර්වට් වඳුරන්ට දිගු ගෙලක් පිහිටනවද ? නැහැ. උස ශරීරයක් පිහිටනවද ? නැහැ. මෙතනදි වර්වට් වඳුරන් ජිරාෆයන් බුදින් රුක් අගට ලඟා වෙන්නෙ තමන්ගෙ රුක්වාසී උචිත වීම් නිසා. ඔවුන් ඉතාමත් සුහුරු ලෙස උස රුක් පතර අතරින් ගමන් කරන්න , එහි ජීවත් වෙන්න අනුවර්තනය වෙලා තියෙන්නෙ.

මේ සත්ව විශේෂ දෙකක්.. එකම නිකේතනයක් තුල ජීවත් වෙන. නමුත් ඔවුන් දක්වන උචිතෝන්නතිය නිසා අදාල නිකේතනය තුල ඔවුන්ට නොනැසි ජීවත් වීමේ හැකියාව තිබෙනවා. දැන් මේ උචිත වීමට එකම පරිණාමික මඟක යා යුතුද ? නැහැ.. ඒ සඳහා වෙනත් වෙනස් ප්‍රයෝජනවත් ලක්ෂණ ඔවුන්ට ක්‍රමික පරිණාමයක් ඔස්සේ ලැබිලා තියෙන්නෙ.

උදාහරණ - 02

ඔබ දන්නවා ඇති අස්ථිමය මසුන්ට (ඔබ එදිනෙදා දකින සාලයාගෙ සිට, බලයා, පරවා ආදී) ජලය තුල නොගිලී සිටීම සඳහා වායු කුටීරයක් පිහිටලා තිබෙනවා. මේ නිසා තමයි ඔවුන් සාගර, ගංගා පතුලට නොගිලී සිටින්නෙ. ඒ ඔවුන් ජීවත්වන පරිසරය තුල නොනැසී ජීවත් වීමට පරිණාමිකව ලද උචිත ලක්ෂණයක්.,එය ඔවුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් ලක්ෂණයක්.

දැන් අපි සලකා බලමු අස්ථිමය මසුන් කාණ්ඩයට අයත් නොවන කාටිලේජමය මත්ස්‍යයෙක් වන මෝරුන්ව. මෝරුන් හට පෙර සඳහන් කල වායු කුටීර පිහිටන්නේ නැහැ. එහෙනම් කොහොමද ඔවුන් නොගිලී සිටින්නේ ? මේ සඳහා මෝරුන් දක්වන අනුවර්තනය තමයි ශරීරයේ දෙපසින් පිහිටන පාර්ශ්වීය වරල් ද්විත්වය. මේ මඟින් ඔවුන්ව ගුවන් යානයක හැසිරීමට සමාන ආකාරයකට ජලය තුලදි නොගිලී සිටීමට උපකාරී වෙනවා. ඒ තමයි ඔවුන්ගෙ පරිණාමික ගමන් මඟ තුල ලබාගෙන ඇති උචිත ලක්ෂණය. එය ඔවුන්ට ඉතාමත් ප්‍රයෝජනවත් ලක්ෂණයක්. දැන් මේ පරිසර පද්ධතිය තුලදි අස්ථික මත්ස්‍යයන් සහ මෝරුන් නොනැසී පවතිනවා. අස්ථික මසුන්ට මෝරුන්ට මෙන් පාර්ශ්වීක වරල් නොපිහිටා තිබීමෙන් හෝ මෝරුන්ට අස්ථික මත්ස්‍යයන්ට මෙන් වායු කුටීර නොපිහිටා තිබීමෙන් ඔවුන් නශ්ඨවීම සිදුව නැහැ. ඒ සඳහා ඔවුන් වෙනස් නමුත් උචිත ලක්ෂණ දරනවා.

දැන් ඔබට වැටහෙන්න ඕන පරිණාමික ගමන් මඟ තුල අරමුණක් නැති බවත්, සුදුසු තත්වයන්ට මුහුණ දීමට සමත් ප්‍රයෝජනවත් ලක්ෂණ දරනවුන් අදාල පරිසර තත්වයන් තුල තම පැවැත්ම තහවුරු කරගන්නා බවත්.

මේ ගැටලුවෙ මුලට යමු නැවත. මිනිසා පමණක් එසේ නම් බුද්ධිමත් වුයේ කෙසේද ? මේ ගැටලුව සෛද්ධාන්තිකව ඉතාමත් වැරදි ආකාරයට සකස් වු ගැටලුවක්. මෙතනදි මුලින්ම එල්ලවෙන ප්‍රති ගැටලුව තමයි "බුද්ධිමත්" බව යන්නෙන් ඔබ අදහස් කරන්නෙ කුමක්ද යන්න. (මීට පෙර මා සටහන් කල සිටසියා බුද්ධිය පිළිබඳව ලිපිය කියෙව්වොත් මේ ගැටලුව නිරවුල් වනු ඇති, ඒ නිසා ඒ ගැන නැවත විස්තර කරන්නෙ නැහැ)

විවිධ සත්ව විශේෂ තමන් ජීවත් වන පරිසරයට අධිඋචිතෝන්නතිය දක්වන අවස්ථා කිහිපයක් මම නැවත උදාහරණ ලෙස ගන්නම්

උදාහරණ 01

කිඹුල් විශේ අයත්වන කාණ්ඩය වසර මිලියන 85 කින් පමණ සැලකිය යුතු පරිණාමයකට ලක්ව නැහැ. ඒ ඔවුන්ගෙ අධිඋචිතෝන්නතිය නිසා.

උදාහරණ 02

බ්‍රැකියොපෝඩාවන් වසර මිලියන 500 කින් පමණ සැලකිය යුතු පරිණාමයකට ලක්ව නැහැ.ඒ ඔවුන්ගෙ අධිඋචිතෝන්නතිය නිසා.

උදාහරණ 03

සීලකැන්ත් මත්ස්‍යයන් වසර මිලියන 400 පමණ සැලකිය යුතු පරිණාමයකට ලක්ව නැහැ. ඒ ඔවුන්ගෙ අධිඋචිතෝන්නතිය නිසා.

දැන් මේ සත්වයන් තමන් ජීවත්වන පරිසරය තුල නොනැසී ජීවත් වීමේ හැකියාව උපරිම තත්වයට ලඟා වී ඇති සත්වයන්. ඒසේ නම් ඔවුන් තවත් වෙනස්කම් වලට භාජනය වීම සිඝ්‍ර ලෙස සිදුවන්නෙ නැහැ. යම් පරිසරයකට තමන් උචිත නම් තවදුරටත් වෙනස් වන්නෙ ඇයි ? එසේ වීම අනවශ්‍යයි.

හොමිනිඩ්වරුන්ට (මිනිසා සහ ආසන්න මානව විශේෂ අයත්) ස්වාභාවිකව උල් දත්, නිය පිහිටන්නෙ නැහැ. ඔබ අද නිරුවත්, නිරායුධ හෝමෝ සේපියානුවකු ඝර්ම කලාපික වැසිවනාන්තරයකට මුදා හැරියොත් ඔහු දිවි රැක ගැනීමෙ සම්භාවිතාව සැලකිය යුතු ලෙස පහල බසින බව ඔබ දන්නවා. පරිණාමික ගමන් මඟ තුල හොමිනිඩ්වරුන් ලද උචිත ලක්ෂණය වන්නෙ බුද්ධිය. අධිඋචිතෝන්නතියට ලක්වන බුද්ධිය තුලින් ඔවුන් විවිධ පාරිසරික නිකේතන ජය ගනිමින් දිවිරැක ගැනීම සිදු කරනවා. උල් දත් නිය වෙනුවට බුද්ධිය භාවිතා කර ඒ සඳහා විකල්ප නිපදවා ගැනීම සිදුකරනවා. මුල් කාලීනව රංචු වශයෙන් ජීවත් වීමට ඇතිවු කථන හැකියාව නිසා මේ අධිඋචිතෝන්නතිය සීඝ්‍ර ලෙස සිදු වෙනවා. නමුත් එය ඔවුන් සතු ඔවුන්ට සුවිසේශි, නොනැසි පැවැත්ම සඳහා ප්‍රයෝජනවත් ලක්ෂණයක් මිස පරිණාමය තුල ඊට වඩා වැඩි දෙයක් බුද්ධිය සඳහා නොලැබෙනවා. වසර මිලියන 400 පැවැත්ම රැකගැනීම සඳහා අධිඋචිතෝන්නතියට ලක්ව ඇති සීලකැන්තාවෙකුට බුද්ධියේ ඇති වැදගැම්මක් නැහැ. වසර මිලියන ගනනක් දිවි රැකගැනීමට සමත් කිඹුල් විශේෂ වලට බුද්ධිය වැදගත් නැහැ. මේක සමාන වෙන්නෙ මා මුලින් සඳහන් කල වර්වට් වඳුරන් සහ ජිරාෆයන්ට. ගස් නගින්න පුළුවන් වර්වට් වඳුරෙකුට දිගු ගෙලක් අවශ්‍ය නැහැ, දිගු ගෙලක් සහිත ජිරාෆයන්ට ගස් නැගීම සිදුකල යුතු නැහැ. එලෙස බුද්ධිමත් බව යනුත් අපට ප්‍රයෝජනවත් ලක්ෂණයක් මිස එය සෑම වර්ගයකම, විශේෂයකම සත්වයන් හට අවශ්‍ය විශේෂ ලක්ෂණයක් නොවෙයි. එසේනම් ඔබ වටහාගත යුතු වන්නෙ බුද්ධිමත් ජීවීන් බිහිකිරීම යන්න පරිණාමය සතු අරමුණක් නොවන බවයි

බුද්ධිය සහ පරිණාමය

==================

පරිණාමය සම්බන්දව කතාබහ සිදුකරන විට නොයෙක් වාද විවාදයන් තුල මා දැක ඇති ඉතාමත් ප්‍රසිද්ධ ගැටලුවක් තමයි "පරිණාමය සත්‍යක් නම් හෝමෝ සේපියන්වරු පමණක් බුද්ධිමත්ව ඇත්තේ කෙසේද?" යන ගැටලුව. මේ ගැටලුවට පිලිතුරු දීමට තනි සටහනකින් සිදු කල නොහැක්කක්. නමුත් අති සරල ලෙස මෙයට පිලිතුරක් ලෙස කිවහැක්කෙ ඔබ බුද්ධිය මනින මිම්ම හෝමෝ සේපියානුවන් කරගෙන තිබීම නිසා එකී ගැටලුව ඉස්මතුව ඇති බවයි. පරිණාමය නැමැති ක්‍රියාවලියට අරමුණක් නැති බව වටහාගත යුතුයි. පරිණාමික ක්‍රියාවලිය තුල බිහිවන්නේ පරිසර තුල නොනැසී ජීවත් වීමට හැකි ජීවින්. ඔවුන් බුද්ධිමත්ද නැතිද යන්නට පරිණාමික ක්‍රියාවලිය තුල අර්ථ විරහිත ඉසව්වක්. නමුත් ඔබ බුද්ධිය කියන මිම්ම තුලින් ජීවය මැනීමට තැත් කරන්නෙකු නම් මේ ක්‍රියාවලිය වටහා ගැනීමට ඔබට අපහසු දෙයක් බවට පත්වනු ඇති.

මේ ගැටලුවට අදාල දෙයක් යැයි හැඟුන නිසා මානව බුද්ධිය සහ තවත් ජීවි විශේෂයක බුද්ධිය අලලා මා වෙනත් තැනක සටහන් කල ලිපියක් මෙහි පලකරනවා.

///

මානව බුද්ධිය සහ සිටසියා බුද්ධිය

=============================

අට්ඨක නිපාතයේ පහාරාද සූත්‍රයේ එන තිමිර තිමිංගලයන් පිළිබඳව දැනගත් පසු යොදුන් ගනනාවක් දිග බියකරු මුහුදු සත්වයන් පිළිබඳව සිතන්නට පටන් ගත්තේ ඉතාමත් කුඩා අවදියෙදිය. යොදුන් ගනනක් වු මේ භයංකර සතුන්ට වු බිය මැඬගෙන උත්සන්න වුයේ ඔවුන් දැක ගැනීමේ කුතුහලයයි. බයිබලයේ එන දෙවියන් විසින් නිනීවේ යෑමට අණකල පසුව දෙවියන්ට අකීකරුව ටාර්ශීෂ් නගරයට යන ජෝනාව ගිලගත් තල්මසාත්, කාර්ලෝ කොලොඩි ලියු පිනෝකියෝ කතාවේ පිනෝකියෝගේ පියා ජෙපෙටෝව ගිලගත් තල්මසාත් මා මනසින් නිර්මාණය කරගත් අයුරින්ම තවමත් මනසෙයි ගබඩාව ඇත. පාසැල් අවධියේදි යාන්තම් ඉංගිරිසි ගැටගසා ගැනීමට හැකිවු කල හර්මන් මෙල්විල් ගෙ මොබිඩික්හී ඊශ්මායෙල් ඇතුළු නාවුකයන් පිකෝඩ් නැවෙන් තෙල්මන්ද තල්මසුන් හඹා යෑමත් අවසානයේදි පිකෝඩ් නැවෙහි කපිතාන් අහබ්, ⁣මොබිඩික් නම්වූ ධවල තෙල්මන්ද තල්මසාට බිලිවන ආකාරයේත් චිත්ත රූප මනසින් වින්දෙමි. රොජ්ර් සහ හල් දෙසොහොයුරන්ගෙ චරිතයන්ට පණ පෙවු විලාර්ඩ් ප්‍රයිස් සිය 'whale adventure' කෘතිය තුල රොජර් හරහා මරණාසන්න තල්මසෙකු නැවක් කරා මෙහෙයවන ආකාරය කුතුහලයෙන් කියවීමි.

තල්මසුන් ගැන කියවන නිසාත්, වන සතුන් කෙරෙහි වූ ඇල්මත් නිසා ප්‍රථම වතාවට කොළඹ කෞතුකාගාරයට මාව රැගෙන ගියේ පියා විසිනි. තාත්තගෙ අතේ එල්ලී කෞතුකාගාරයට තුලට පියනැගූ වහාම කෞතුකාගාරයේ පියස්ස මත සිට පහතට එල්වා තිබූ නිල් තල්මස් ඇටසැකිල්ල දෙස සෑහෙන වෙලා බලා සිටියා මතකය. වයස පහකට හයකට වැඩි නොවු කුඩා දරුවෙකුට කෞතුකාගාර පියස්සේ සිට එල්ලා ඇති තල්මස් ඇටසැකිල්ල අතිවිශාල වස්තුවක් ලෙස දිස්වේ. එතෙක් කල් කතා තුලින් දුටු බියජනක සත්වයා පිළිබඳව වු බිය එදින සිට අතුරුදහන් වූවා මෙන්ම එදවස පටන් බිය වෙනුවට කුතුහලයත් ඔවුන් කෙරෙහි ආදරයත් වැඩෙමින් පවතී. කුඩා කල චිත්ත රූප මවාගත් ඒ බියකරු සතුන් ලංකාව අවට සැරිසරන බව දැනගත් වහාම ඔවුන් සොයා ගියෙමි. මේ වන විට දකුණු මුහුදින් නාවුක සැතපුම් 15 - 20 කට පමණ එපිට මුහුද තෙක් නිල් තල්මසුන් ⁣මුණ ගැසීමට සෑහෙන වතාවක් යාත්‍රා කර ඇත්තෙමි. වයඹට වන්නට කල්පිටියෙ සිට ගැඹුරු මුහුදට යාත්‍රා කර ඇත්තෙමි, ත්‍රිකුණාමලයේ සිට ගැඹුරු මුහුදට යාත්‍රා කර ඇත්තෙමි, බොල්ටික් මුහුදේ සැරිසරන බොව් හෙඩ් තල්මසුන් නිරීක්ෂණය කර ඇත්තෙමි, ස්කැන්ඩිනේවියානු ෆියොර තුල වාරයකට පැමිණ කැරිබියානු දූපත් කරා සංක්‍රමණය වන විවිධාකාර තල්මසුන් නිරීක්ෂණය කර ඇත්තෙමි. එබැවින් ඔවුන් ගැන සහ ඔවුන් වෙනුවෙන් මේ ලිපිය සටහන් කරමි.

ලොව සුපිරිම ජීවියා මනුෂ්‍යාය යන්නට මානවකේන්ද්‍රවාදී දැක්ම තුල කාලයක සිට පැලපදියම් අදහසකි. බයිබලය තුල දෙවියන් අන් සියළු සත්වයන් මනුශ්‍යයා කේන්ද්‍රකොට මවා ඇත යන කියමන මත වැඩිදියුණු වී ඇති එකී දැක්ම යල්පැන ගිය දැක්මක් මෙන්ම දෑස් වසා පවතින් කඩතුරාවකි. පෘථිවිය තුල බුද්ධි මහිමයෙන් අගතැන්පත් එකම ජීවියා හෝ හොඳම ජීවියා මනුශ්‍යා නොවේ, ඔවුන් බොහෝ දෙනෙක් නොදැන සිටියාට පෘථිවිය මත තවත් බුද්ධිමත් ශ්‍රෙෂ්ඨ ජීවි කොඨ්ඨාසයක් වාසය කරයි. ඉතිහාසයෙන්, සාහිත්‍යයෙන් මෙන්ම සංස්කෘතිය තුලින් මානවයාව රැගෙන ඔසවා තබා ඇති ස්ථානය ඔවුන්ට සැබැවින්ම උරුමද යන්නට නැවත ප්‍රශ්න කල යුතු කාලයක් දැන් පැමිණ ඇත. ඒ අප හා පෘථිවිය මත වසන තවත් අපූරු ජීවි කොඨ්ඨාසක් සමඟ අදහස් හුවමාරුව දියුණු කර ගැනීමට වෙර දරන විද්‍යාවෙ නව කඩඉම් හරහාය.

"බුද්ධිය" මැනීමේ මානව සාපේක්ෂ මිම්ම හේතුකොටගෙන මානවයන් වන අප පෘථිවිය අමතක කොට දමා සෑහෙන කලක සිට පිටසක්වලින් බුද්ධිමත් ජීවීන් සෙවීමු. SETI (Search for extraterrestrial intelligence) වැනි ව්‍යාපෘති හරහා ඩොලර් බිලයන ගනන් වැය කොට පිටසක්වල බුද්ධිය සෙවීමු. නමුත් ඒ සොයනා අතරතුරු කිසිම විටෙක පෘථිවියේ පවතින ජීවය කෙරෙහි සංවේදි නොවීමු. මේ වන විට SETI මෙන් ජීව විද්‍යාවෙ ATI ව්‍යාපෘති දියත් කොට ඇත. ATI යනු (Searching for Alternative terrestrial intelligence) එනම් පෘථිවිය මත විකල්ප බුද්ධිය සොයා යෑමයි. සීටොලොජි විෂය (තල්මසුන්, ඩොල්ෆින් විශේෂ පිළිබඳව අධ්‍යන විෂය) පිළිබඳව විද්වතුන්ගෙ අදහසට අනුව ප්‍රයිමේටා බුද්ධිය සම්භවය වීමට වසර මිලියන ගනනකට මත්තෙන් සාගරය තුල සම්භවය වූ සිටසියා බුද්ධිය මෙයින් එක් විකල්ප බුද්ධියකි. සිටසියා ගෝත්‍රය තුල ඇතැම් විශේෂ ඇත්තෙන්ම මානවයාට වඩා දියුණු සමාජීය, භාෂාමය සහ නොනැසි ජීවත් වීමේ හැකියාවන් දරයි. බ්‍රිටිශ් කොළොම්බියා සරසවියේ සත්ව විද්‍ය සහ චර්යා රටා පිලිබඳව ශාස්ත්‍රීය ගවේෂණ සිදුකරන ආචාර්ය ජෝන් ෆෝර්ඩ්ට අනුව ඔර්කාස් (killer whales) නමින් හඳුන්වන සිටසියාවන් විශේෂයේ විවිධ ගහනයන් තුල භාවිතාවන භාෂාව හැසිරවීමේ ඌරුව එකිනෙකට වෙනස්ය. ඔවුන් රංචු වලට ආවේණික උපභාෂා භාවිතා කරයි. එසේ ඔවුන් තනාගෙන ඇති උපභාෂාවන් කෙතරම් අදාල රංචුවලට ආවේණිකද යත් අදාල රංචුවකින් වසර ගනනාවකට පෙර අතරමංව මිනිස් ඇසුරේ ඇතිදැඩි වු ඔර්කාවකු නැවත රංචුවට සම්බන්ධ කිරීමට හැකි තරම් විශේෂත්වයක්, ආවේණිකත්වයක් උසුලයි. එමෙන්ම පැටගෝනියාව තුල සිදුවන හම්ප්බැක් තල්මසුන්ගෙ භාෂා විලාශයන් අපූරු තොරතුරු හෙලි වෙමින් පවතී.

සත්ව විද්‍යා විශය තුල සිටසියා අධ්‍යනය තරම් විශාල ලෙස සිදුවන වෙනත් කිසිඳු සත්ව කොට්ඨාසයක් නැති තරම්ය. නමුත් ලංකාව තුල සිටසියා අධ්‍යනය පසුගාමීම ක්ශේත්‍රයයි. සිටසියා අධ්‍යනය කොතරම් සංකීර්ණ මෙන්ම ගුප්ත විෂයක්ද කියතොත් මේ පිළිබඳව ගවේෂණය කල විද්‍යාඤයන් ගනනාවක්ම සිටසියාවන් හේතුවෙන් තමුන්ගෙ ජීවිතයේ අරමුණු පවා වෙනස් කර ඇත. ඩොල්ෆින් විශේෂ වසර 12 කට වඩා අධ්‍යනය කල ආචාර්ය ජෝන් ලිලී පවසන්නේ බුද්ධිය නැමැති සංකල්පයේ සීමාව ඇත්තෙ මානවයන්ට බැවින් සිටසියා බුද්ධිය තේරුම් ගැනීමට ඔවුන් අසමත්ව ඇති බවයි.. සිටසියාවන් පසෙකලා තමන් කවුද සෙවීමේ මෙහෙයුමක ආචාර්ය ලිලී මේ වන විට නිමග්නව ඇත. ආචාර්ය ස්පොන්ග් එසේ සිදුකල තව අයෙක්. මනෝවිද්‍ය ක්ශේත්‍රය තුලින් සිටසියා අධ්‍යානයට පැමිණි ඔහු සිටසියා අධ්‍යානයන් තුල දැකගත් බුද්ධිය හේතුවෙන් සියළු හැදෑරීම් පසෙකලා මනුශ්‍ය වාසයේ සිටින සිටසියාවන්ට නිදහස ලබාදීම සඳහා ව්‍යාපෘති මෙහෙයවයි. මොවුන් සියළු දෙනාගෙම පොදු සාධකය නම් ඔවුන් අධ්‍යානය කිරීමට ගිය සත්ව විශේෂය ඔවුන්ව අධ්‍යනය කොට ඔවුන්ගෙ හැසිරීම් වෙනස් කරවීමයි.

සියවස් ගනනාවක සිට මානවකේන්ද්‍රීය කැඩපත තුලින් තමන් දෙස බලා බුද්ධිය නැමැති ඔටුන්න තම හිස මතම රුවාගන්නා මානවයා කිසිම විටෙක ඩොල්ෆින් සත්වයෙකු හෝ තල්මසෙකු බුද්ධිමත් බව පිලිගැනීමට මැලිවේ. පියාඹන පීරිසයකින් පැමිණෙන හෝ දියුණු අභ්‍යවකාශ ගමනකින් පසු මුණ ගැසෙන ජෙලි තට්ටුවකට වූවද බුද්ධිමත් ජීවියෙකු යැයි කීමට මැලි නොවන මානවයා තමන් සමඟ පෘථිවිය තුල වාසය කරන සාගරය තුල පිහිනා යන ක්ශිරපායියකුගෙ බුද්ධිමත් බව පිලිනොගැනීමට තරම් කුහක වේ.

මේ කුහක කමට හේතුව වන්නේ වසර මිලියන අටක මානව පරිණාමය තුල බුද්ධිය මනින හොඳම සහ එකම සාධකය ලෙස මානවයා දකින 'තාක්ෂණයයි'. මස් ඉරා කෑමටත්, තමන්ව ආරක්ෂා කර ගැනීමටත් ස්වභාවධර්මය තුලින් උල් දත් සහ නිය නොලද හොමිනිඩ්වරුන් එකී අවශ්‍යතා සංතෘප්ත කරගත්තේ ගල් ආයුධ නිපැයුමෙනි. එදවස පටන් තාක්ෂණය සහ බුද්ධිය මිතුරන් වු අතර තාක්ෂණය නොමැති තැන බුද්ධියක් නැත යන්නත්, බුද්ධිය ඇති තැන තාක්ෂණය අනිවාර්යයෙන්ම පැවතිය යුතුය යන්නත් වන සූත්‍රය මානව කපාල තුල ජානගතව ඇත. එබැවින් ප්ලාස්මා තුවක්කුවක්වත්, ලැප්ටොප් එකක් හෝ ස්මාර්ට් දුරකථනයක් තියා ගල් ආයුධයක්වත් අත නැති ඩොල්ෆිනයකුගෙ බුද්ධිය මානවයාටනම් නොගිනිය හැකි සාධකයකි.

තාක්ෂණය සංකලනය වු දැක්ම තුල බුද්ධිය යනු පටු අර්ථ නිරූපනයකි. එකී පටු අර්ථ නිරූපනය නැමැති උගුල තුල මානවයන් වන අප සිරව සිටිමු. එකී පටු අර්ථ නිරූපනයෙන් ඔබ්බට පිහිටි පුළුල් අර්ථයනට හසුවන සිටසියා බුද්ධිය එබැවින් අපට ග්‍රහණය කර ගැනීමට අසීරුය.

ප්‍රාග්ඉතිහාසය විශය තුල හැදෑරීම් වලදි මා සැම විටම සිතනා එක් කරුණක් ව⁣න්නෙ හෝමෝ නියැන්ඩර්තාල්වරු අද ජීවත්ව සිටියා නම් කුමකින් කුමක් වෙයිද යන ගැටළුවයි. මානව කපාල ධාරිතාවට වඩා ඉහල කපාල ධාරිතාවක් දැරූ යුරේසියානු හිම බිම් තුල ජීවත්වු නියැන්ඩර්තාලයන් සේපියන්වරුනට වඩා බුද්ධිමත් බවට ව්‍යුහීය මෙන්ම සංස්කෘතිමය සාධක සාක්ෂි දරයි. ගල් ආයුධයේ සිට නියැන්ඩර් නිම්නයේ ලෙන් බිත්ති තුල ඔවුන්ගෙ දෑතින් බිහිවු ලෙන් චිත්‍ර සහ වැඩ දැමු කැටයම් සේපියන් ඉතිහාසයට වඩා නිර්මාණාත්මකය. නියැන්ඩර්තාල්වරු අද ජීවත්ව සිටියානම් "බුද්ධිය" අර්ථ නිරූපනයේ දැවැන්ත සංවාද පෘථිවිය තුල ඇතිවන්නට ඉඩ තිබුණි. ඒ ඔවුන් සහ අප අතර ඇතිවන බුද්ධිමය වෙනස මතය.

සැබැවින්ම ව්‍යුහීයව සලකා බැලු කල මානවයන්වන අපට දියුණුම මස්තිෂ්කය පිහිටයිද ? ක්ශිරපායි මස්තිශ්කය තුල පදනම් ව්‍යුහය වන්නෙ Paleocortex කොටසයි. 'Paleo' යන වදනින්ම ගත්කල මේ කොටස පූර්වජ උභය ජීවි/ උරග සම්භවය පෙන්නුම් කරයි. Rhinic lobe ලෙස හඳුන්වන මේ කොටස පෙර හඳුනාගෙන තිබුනෙ ගන්ධයන්ට සංවේදි කොටස ලෙසයි (ග්‍රීක බසින් Rhinos = නාසය), මීට උඩින් පවතින ස්ථරය Limbic lobe ලෙසත්, තෙවන කොටස supralimbic lobe ලෙසත් හඳුන්වයි. මේ කොටස් ත්‍රිත්වයටම ඉහලින් ඒවා වසා පවතින් සෛල ස්ථරය neocortex ලෙස හඳුන්වයි. Neocortex කියන වචනාර්ථය ගත්තොත් 'නව මොළය' කියන අර්ථය තමයි තියෙන්නෙ. මේ කොටස තුල සංකීර්ණ අක්සන සෛල, උපාගමයන් සහ අනුශාඛා මුලීක් සෛල ස්ථර පිහිටයි.

ක්ශීරපායි මොළය සහ මානව මොළය වෙනස්වන්නෙ neocortex ප්‍රදේශයේ ආස්තරණ මත. Neocortex ප්‍රදේශය වර්ධනය ඉදිරිපසට සිදුවෙන අතර මෙය බුද්ධිය පිළිඹිබු කරන අවස්ථාවක් ලෙස සලකනු ලබනවා. අන්තර් විශේෂ අතර බුද්ධිය සංසන්දනයෙදි neocortex ස්කන්ධය, cortical ප්‍රදේශයේ වර්ගඵලය, සහ neocortex නැමුම් වල ගැඹුර වැනි දෑ සැලකිල්ලට ගනු ලබනවා. ඊට අමතරව ගැටලු විසඳීමේ හැකියාවන්, සාංගමික හැකියාවන් සලකනු ලබනවා. උදාහරණයකට මීයකු වැනි කුඩා සත්වයෙකුගෙ සාංගමික හැකියා අනුපාතය 1:9 ඒ අනුව මොලයෙන් 90% ක් ප්‍රාථමික හැඟීම් දැනීම්වලටත් 10% සාංගමික හැකියාවලටත් වැය වනවා. පූසෙකුගෙ මේ අනුපාතය 1:1 යි. ඒ අනුව 50% බැගින් එය බෙදී යනවා. මානවයන් වන අප ප්‍රාථමික හැඟීම්, දැනීම් වැනි දෑ සඳහා යොදන ප්‍රතිශතය 10%. ඒඅනුව සාංගමික හැකියාවන් සඳහා වැඩිම ප්‍රතිශතය මානවයන්ගෙ. නමුත් සිටසියාවන් ගත් විට මේ ප්‍රතිශතය 1:25. ඒ අනුව සාංගමික හැකියාවන් සඳහා වැඩිම ප්‍රතිශතයක් මොලයෙන් වෙන් කරනු ලබන්නේ සිටසියාවන්.

අනුශාඛා සෛල, උපාගමයන්, සෛල සම්බන්ධීකරණය වැනි කාර්යන් අනුව සිටසියා මොලය මානවයන්ට වඩා ගව් ගනනාවක් ඉදිරියෙන්. ජීව විද්‍යවෙහි මොළයට සිරුර දක්වන අනුපාතය මත හා neocortex නැමුම් මත අප බොහෝ විට බුද්ධිය තීරණය කරනවා. මීයකු,බල්ලකු, පුසෙකු, චිම්පන්සියෙකු සහ මානවයකුගෙ මොළයන්ට අදාප සමීකරණය යෙදු විට අප ඉදිරියෙන්. නමුත් අදාල සමීකරණය ඔර්කාවකුගෙ මොළයට අදාල කල විට අප ඔර්කාවාට වඩා පසුපසින්.

ක්ශීරපායින්ට තිබෙන Rhinic, limbic, supralibic ස්ථර තුන සහ ඒ වසා පවතින Neocortex ස්ථරය වෙනුවට සිටසියාවන්ට Rhinic, lombic ,supralimbic ස්ථරවලට අමතර හතරවන ස්ථරයක් පිහිටයි. සිටසියාවන්ට හැර වෙනත් කිසිඳු ක්ශිරපායියෙකු හට මෙය නොපිහිටයි. Limbic සහ supralimbic ස්ථර අතර පිහටන මේ ස්ථරය paralimbic ස්ථරය ලෙස හඳුන්වයි.

මෙයින් සිදුවන්නෙ තවත් සීඝ්‍ර ලෙස සංවේදන ග්‍රහණය කිරීම. උදාහරණයකට කුණු බිත්තරයකින් ඔබට දමා ගැසුවොත් එය වැදීම, රිදීම, ගන්ධය සියල්ල සම්බන්ධීකරණ වී මොළයෙන් හඳුනා ගැනීමට යම්කිසි කාලයක් ගතවේ. නමුත් සිටසියාවකුට මේ සඳහා ගතවන කාලය මානවයන්ට සහ අනෙක් ක්ශිරපායින්ට සාපේක්ෂව අතිශයින්ම කෙටියි. මේ හතරවෙනි ස්ථරයත්, neocortex නැමුම් නිසාත් සිටසියා මස්තිෂ්කය අපට වඩා අතිශයින්ම දියුණුයි. තෙල්මන්ද තල්මසෙකුගෙ කපාල ධාරිතාව 9000cc ද , ඔර්කාවකුගෙ 6000 cc ද වන විට අපේ එය 1300 cc පමණ වේ, එමෙන්ම නියැන්ඩර්තාල් කපාල ධාරිතාව 1600cc පමණ වේ.

එසේ විශාල මොළයන්ට හිමිකම් කියන මේ සතුන් තාක්ෂණිකව කිසිත් නිපදවන්නෙ නැත. ඔවුනට රූපවාහිනී , රේඩියෝ, රේඩාර්, න්‍යෂ්ටික අවි නැත. නමුත් ඔවුන්තුල විවිධ කාර්යන් සඳහා පරිණාමිකව ලැබී ඇති දායාද පවතී. තෙල්මන්ද තල්මසෙකුට අතිධ්වනි තරංග විදීමේ හැකියාව පවතී. Clicks ලෙස නිකුත් කරන මේ තරංග මගින් ගොදුර අඩපණ කිරීමට ඔවුන් සමත්ය. සිටසියාවන් සියල්ලටම ශරිරයෙිම පවතින සෝනාර් පද්ධති පිහිටයි. එමඟින් ඔවුන් සාගරය පුරා විවිධ ස්ථාන සොයා පිහිනා යයි.

අප සබ්මැරීන තනමු. නමුත් සිටසියාවන්ට එය අවශ්‍ය නැත. ඔවුන් ස්වභාවධර්මය විසින් සැදි සබ්මැරීනයන් වේ. අප මානව කපාල ධාරිතාව අනුව බුද්ධි පරීක්ෂණ ඒකකයක් සත්ව විශේෂ වලට ලබා දුන්නොත් මානව කපාලය අනුව මානවයා ලකුණු 100 ලබා ගනී නම් බල්ලෙකු ලබාගන්නා ලකුණු මට්ටම 15 කි. මේ සූත්‍රය සිටසියාවන්ට ආදේශ කලහොත් එය 2000 කි.

අප සිටසියාවන් ගැන තවමත් දන්නෙ ඉතා සුළු ප්‍රමාණයකි. ඔවුන්ගෙ සංඛාත, භාෂාව ග්‍රහණය කරගැනීම සඳහා අප අසමත් වන්නෙ අප මොලයන් ඔවුනට වඩා ප්‍රාථමික බැවින්. අපට ඔවුන්ගෙ තරංග ග්‍රහණය කර ගැනීමට තරම් මානව මොළය සුක්ෂම නැත. එබැවින් අප කියනා දෙය ඔවුන්ට නොතේරේ, ඔවුන් කියනා දෙය අපට නොතේරේ. නමුත් අපේ සංඛාත තව දුරටත් මන්දගාමී කොට ඔවුනට ලබාදුන් විට ඔවුන් ඒවාට ප්‍රතිචාර දක්වයි. උදාහරණයක් ලෙස සිටසියාවන් මානව සංගීතයට ප්‍රතිචාර දක්වයි.

ඔබ සිටසියා සංවේදන පිලිබඳව නොදන්නා තරම්, විද්‍යාව තවමත් සිටසියා සංවේදන ගැන නොදන්නා තරම්. සිතන්න ඔබට තව කෙනෙකුගෙ ශරීරය හරහා නැරඹිමේ හැකියාව තිබුනාය කියා. හෘද වස්තුවට රුධිරය ගමන් කරන හැටිත්, වාතයෙන් පෙනහළු ඉහිල්වෙන හැකිලෙන සැටිත් නරඹන්න තිබුනාය කියා. සිටසියාවන්ට මේ හැකියාව පවතී. අතිධ්වනි තරංග හරහා සිටසියාවන්ට මෙය සිදු කල හැකිවේ. ඩොල්ෆිනයකුට තවත් ඩොල්ෆිනයකුගෙ ශරීරයේ පවතින පිලිකාවක් හඳුනාගත හැකිවේ. තවත් සත්වයෙකු ජලයේ ගිලීම සහ පාවීම අතර වෙනස සිටසියාවන් හඳුනාගන්නෙ පෙනහලු තුල වතුර පිරෙන ආකාරයෙනි.

ඉතින් මේ සතුන් බුද්ධිමත් නැද්ද ? කවදාක හෝ ඔවුන්ගෙ සංඛ්‍යාත කියවීමේ හැකියාව විද්‍යාව සොයාගනු ඇත. එදිනට මානව වර්ගයා ලෙස සිටසියාවන් වෙනුවෙන් උත්තර බැඳීම පහසු කාරයක් නොවනු ඇත.