පරිගණනයෙහි අක්ෂර සංඛ්යාංක හා සංකේත නිරූපණය

පරිගණකය නැමති යන්ත්‍රය මගින් විවිධ  ශබ්ද,පින්තුර,සංඛ්‍යා සහ අක්ෂර නිරූපණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව ඔබ පුදුම වනවා ඇත.සරලව කිවහොත් අපි දකින සැබෑ ලෝකයේ සියලුම දේ මෙම යන්ත්‍රය තුළ ගොඩ නංවා ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ඔබ මවිත වනවා ඇති.එසේම එම ක්‍රියාවලිය බෙහෙවින් සංකීර්ණ බව ඔබ සිතනවා ඇති. නමුත් එය එසේ නොවේ. ඔබ පරිගණකය තුළින් දකින සියලු ම වර්ගයේ බහු මාධ්‍ය අංගයන් සරල සංවෘත හා විවෘත ස්විචයන් රාශියක් සංකලනය වීමෙන් නිර්මාණය වූවකි.එම ස්විචයන් ප්‍රමාණයෙන් මිලියන ගණනක් වුව ද කරනු ලබන කාර්යය සාමාන්‍ය ස්විචයක ක්‍රියාව ම වේ.මෙහිදී යොදා ගනු ලබන ක්‍රමෝපාය වන්නේ අප දකින සත්‍ය ලෝකයේ ඇති සියලුම ශබ්ද,පින්තුර හා සංඛ්‍යා දත්තයන් ලෙස ගෙන ඒවා ස්විචයන් මගින් නිරූපණය කල හැකි ආකාරයේ දත්තයන් බවට පරිවර්තනය කර ගැනීමයි.පහත සටහනින් එය මැනවින් නිරූපණය වේ.

පරිගණකයේ දත්ත සැකසීම හා ගබඩා කිරීමට යොදා ගනු ලබන්නේ විදුලියයි. විදුලිය  ඉතා වේගයෙන් කම්බි තුලින් ගමන් කිරීම සිදු වේ.එසේම යාන්ත්‍රික කොටස් වලට වඩා විද්‍යුත් කොටස් වැඩි නිසා පරිගණකයේ සිදුවන දෝෂ ප්‍රමාණය සම්පුර්ණයෙන්ම යාන්ත්‍රික කොටස් වලින් පමණක් සමන්විත යන්ත්‍රයක සිදුවන දෝෂ ප්‍රමාණයට වඩා අවම වේ.

විද්‍යුතයට ස්විචයන් හරහා ගමන් කළ හැකිය.ස්විචය වසා ඇති විට දී විද්‍යුතය ගමන් කරන අතර(මෙය 1 යන සංඛ්‍යාවෙන් නිරූපණය කරයි), විවෘත කර ඇති විට දී  විද්‍යුතය එය හරහා ගමන්නොකරයි(මෙය 0 යන සංඛ්‍යාවෙන් නිරූපණය කරයි).සත්‍යලෝකයේ තොරතුරු පරිගණකය  තුළ සැකසීමට නම් ස්විචයන් උපයෝගී කරගනිමින් එම දත්ත නිරූපණයට ක්‍රමයක් අවශ්‍ය වේ. මේ සඳහා විවිධ කේත ක්‍රමයන්  යොදා ගනු ලබයි.මේ සඳහා යොදා ගනු ලබන ප්‍රධාන කේතමය ක්‍රමයන් පහත විස්තර කර ඇත.