පද්මසිරි ත්‍රීමා විතාරණ

(පද්මසිරි ත්‍රිමාවිතාන වෙතින් යළි-යොමු කරන ලදි)

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ උගෙනුම ලැබූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකි. 1981දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහි සටනේ නායකයෙක් විය. එයට විරුද්ධ සටනේදී වද පමුණුවා මරා දමනා ලදී.

පද්මසිරි ත්‍රීමාවිතාන (Padmasiri Thrimavithana)
උපත
පද්මසිරි ත්‍රිමාවිතාන

1964 පෙබරවාරි 24
ගල්දූව, කහව, අම්බලංගොඩ, ගාල්ල, ශ්‍රී ලංකාව
මියගිය දිනය1988 ඔක්තෝම්බර් 22 සෙනසුරාදා
රත්නපුර
මිය යාමට හේතුවවද දී මරා දැමීම
දේහය සොයාගැනීමවැල්ලවාය මැදගොඩ කොස්ලන්ද මාර්ගය ආසන්නයේ තිබූ කැලෑවකදී
අධ්‍යාපනයඅම්බලන්ගොඩ මැදම්පාගම රොන්නදූව විද්‍යාලය

කහව වේරගොඩ විද්‍යාලය

ගාල්ල මහින්ද විද්‍යාලය
රැකියාවවෛද්‍ය ශිෂ්‍ය
සංවිධානයඅන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

ජීවන තොරතුරු හා අධ්‍යාපනය සංස්කරණය

1964 පෙබරවාරි 29 දින දකුණු ලක ගාල්ලේ අම්බලන්ගොඩ,කහව,ගල්දූව ග්‍රාමයේ දී උපන් පද්මසිරි ත්‍රිමාවිතානගේ පියා වෘත්තියෙන් ගාල්ල මහාධිකරණයේ භාෂා පරිවර්ථකයෙක්.සහෝදරයින් 4 ක් සහ සහෝදරියක් සිටි පවුලේ වැඩිමලා වූ ත්‍රිමාවිතාන මූලික අධ්‍යාපනය හදාරන්නේ අම්බලන්ගොඩ මැදම්පාගම රොන්නදූව විද්‍යාලයෙන් සහ කහව වේරගොඩ විද්‍යාලයෙන්.ඉන් පසුව ද්වීතික අධ්‍යාපනය සඳහා ගාල්ලේ ප්‍රධාන පෙලේ බෞද්ධ පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුලත් වන ත්‍රිමාවිතාන ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරනවා.ඔහුගේ තෙවන අවස්ථාවේදී ඔහු විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන අතර ඒ අනුව 1985 දී කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලත් වෙනවා.

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සංස්කරණය

නමුත් 1977 වසරේ බලයට පැමිණෙන ජේ.ආර්.ජයවර්ධන රජය විවෘත ආර්ථිකය හදුන්වා දෙනු ලබන අතර එතුලින් පොදු මහජන සේවාවන් පෞද්ගලීකරණය කරමින් පවතිනවා.ඒ පෞද්ගලීකරණය කිරීමේදී අධ්‍යාපනයද පෞද්ගලීකරණය කිරීමට ඔවුන් යොමු වෙනවා.ඒ අනුව 1978 අංක 16 දරණ පනත පාර්ලිමේන්තුවට යොමු කරන අතර එය සම්මත වෙනවා.ඒ අනුව 1978 මාර්තු මස 29 දින උසස් අධ්‍යාපන අමාත්‍යංශය ලෙස එකට පැවති අමාත්‍යංශය දෙකඩ වෙනවා.

එසේම එම පනතේ විශ්ව විද්‍යාලීය ප්‍රතිපාදන කොමිසම ගැන මෙසේ සඳහන් වෙනවා.

“විශ්ව විද්‍යාල කොමිසම් සභාව සභාපතිවරයෙකු හා වෙනත් සාමාජිකයින් සිව් දෙනෙක්ගෙන් සමන්විත වන අතර ඔවුන් සියලු දෙනා ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.”

ඒ අනුව ජනපතිවරයාට කැමති අවස්ථාවක විශ්ව විද්‍යාල පද්ධතියට අත පෙවීමේ හැකියාව ඉන් හිමි වුනා.

එසේම 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ 25 වන ව්‍යවස්ථාවට අනුව සැකසූ විශේෂ විධි විධාන මඟින් අධ්‍යාපන පාඨමාලාවන් පැවැත්වීමට පිළිගත් ආයතන සඳහා අවසර ලබා දි තිබුනා.එහි පිළිගත් ආයතන යන්න නිර්වචනය කොට තිබූ අතර,එම ආයතන ලියාපදිංචි කිරීමේ සිට පාඨමාලා ගාස්තු දක්වා වූ විධි විධාන දක්වා තිබුනා.මෙම පිළිගත් ආයතන යනු වෙන මොනවාවත් නොව පෞද්ගලික විශ්ව විද්‍යාල බව සිසුන් මෙන්ම සාමාන්‍ය ජනතාවද ඉක්මනින්ම දැන ගත්තා.

ඒ අනුව රාගම තලගොල්ල ප්‍රදේශයේ පිහිටි තලගොල්ල රජයේ රෝහල හා එහි හෙක්ටයාර 14 ක් වූ ඉඩම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට පවරා ගත් අතර එහි සිසුන්ට ඉගෙනීම් කටයුතු සිදුකරගෙන යාමට රාගම උතුරු කොළඹ රෝහල රජය මඟින්ම වෙන්කර දුන් අතර 1981 සැප්තැම්බර් 09 දා එය සිසු අයිතියට පත් කලා.

නමුත් ඊට විරුද්ධව ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයන් නැගී සිටියා.මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මඟින් ශ්‍රි ලංකාවේ නිදහස් අධ්‍යාපනයට විශාල හානියක් වනවා දුටු ශිෂ්‍ය සංගම් ඊට විරුද්ධව සටන දියත් කලා.එය පන්ති වර්ජනය හා සුළු විරෝධතා වූවත් එය මඟින් ශ්‍රී ලාංකීය ජන මනස අවදි කර වූයේ නැහැ.නමුත් පසුව මෙම අරගලය ජය ගැනීමට එය හොඳ අඩිතාලමක් වුනා.

නියෝග, කළු ජූලිය හා මර්ධනය සංස්කරණය

මේ අතර 1983 දී  රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් දෙවන වසර විභාගය සඳහා කොළඹ වෛද්‍යය පීඨයේ සිසුන් හා එක්ව විභාගයට පෙනීසිටීමට ගත් උත්සහය වලකාලමින් අධිකරණය මඟින් තහනම් නියෝගයක් ගැනීමට බහුතරයක් වූ සිසුන් පෙළ ගැසුනා.ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොළඹ වෛද්‍ය පීඨය වෙතින් ස්වායක්ත කර ගැනීම පමණයි.නමුත් උසාවිය මඟින් එම තහනම් නියෝගය ලබා නොදෙන ලදී.එහෙයින් සිසුන් පංති වර්ජනය කොට විභාගයද වර්ජනය කරන ලදී.

මේ අතර ශ්‍රී ලාංකිය ඉතිහාසයට නොමැකිය හැකි කළු පැල්ලමක් එක් කල 1983 ජූලි කලබල ආරම්භ වූ අතර හදිසි නීතිය මඟින් සියලු ශිෂ්‍ය සංගම් තහනම් කරනා ලදී.ඒ සමගම ආරම්භ වූ භීෂණීය වටපිටාව නිසා සිසුන්ගේ අරගලයේ දීප්තිය අඩු වුණී.

මේ අතර දෙමාපිය සංගමය නම් සංගමයක් බිහි වී තිබූනි.ඔවුන් සිසුන්ගෙන් ප්‍රශ්ණය තමන්ට භාර දී විභාගයට වාඩි වන ලෙස ඉල්ලා සිටියේය.මෙහිදී ශ්‍රී ලංකා ශිෂ්‍ය අරගල ඉතිහාසයට ඓතිහාසික වැරදීමක් එක් කරමින්  කොළඹ වෛද්‍ය පීඨයෙහි සිසුන් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් සමඟ එක්ව ඉඳ දෙවන වසරේ විභාගය ලියනා ලදී.

කාලය ගෙවී ගිය අතර 1987 වසර ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයට එක් වන්නේ තීරණාත්මක වසරක් ලෙසයි.ඒ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙහි සිසුන් සිය අවසන් වසර විභාගයට පෙනී සිටීමට සූදානම් වූ නිසා වෙනි.එවරද ඔවුන් කොළඹ වෛද්‍ය පීඨයෙහි සිසුන් සමඟ අවසන් වසරේ විභාගයට වාඩි කරලීම පාලකයන්ගේ අපේක්ෂාව වූ අතර ඒ තුලින් අධ්‍යාපන සුදුසුකම් නොමැතිව,මුදලේ බලයෙන් කොළඹ වෛද්‍ය පීඨයෙහි ගෞරව උපාධියක් ලබා දීමට විධි විධාන සම්පාදනය කරන ලදී.

මෙය ශ්‍රී ලාංකිය ශිෂ්‍ය ව්‍යාපාරයට පැහැදිලි අභියෝගයක් සේම කඩයිමක්ද විය.එය වඩාත් තිවෘ වූයේ 1987 ජූලි 29 අත්සන් කල ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුමය.එය අත්සන් කල දිනයේ දී පිටකොටුවේදී සරසවි සිසුන් කල උද්ඝෝෂණයට අමානුශික පොලිස් ප්‍රහාරයක්ද එල්ල විය.

කෙසේ වෙතත් 1987 ජුලි 30 වෛද්‍ය පීඨ අවසන් විභාගය පැවත්වීමට කටයුතු සූදානම් කර තිබූ අතර මෙම තීරණයට විරුද්ධව දැඩිව කටයුතු කල අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුව ඒ සදහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද එක් කර ගන්නා ලදී.කෙටි කලකින් සියල්ල සංවිධානය කොටගෙන ඔවුන් 1987 ජූලි මාසය විරෝධතා මාසයක් ලෙස නම් කරන ලද අතර කතිකා කර ගත් පරිදි 1987 ජුලී 13 දින රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කලේය.

නමුත් රජය ප්‍රශ්ණය විසදීම වෙනුවට සිදුකලේ වෛද්‍යවරු මර්ධනයයි. නමුත් ඒ මර්ධන හමුවේ නොසැලී ලංකා ඉතිහාසයේ දීර්ඝතම වැඩ වර්ජනය ලෙස දින 29ක වැඩ වර්ජනයක් සිදු කල අතර ජයග්‍රහණය පෙනි පෙනී එය අතහැර දැමුණී.නමුත් එය වෛද්‍ය ශිෂ්‍ය අරගලය සඳහා මනා පිටුබලයක් විය.ඉන් ඔවුන් පාඩම් බොහෝ ඉගෙන ගත්තේය.හුදෙකලා වැඩ වර්ජන කිරීමෙන් පමණක් අරගලය ජයගත නොහැකි බව වටහා ගත වෛද්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනයක් උදෙසා උපාධිය පමණක් නොව පෞද්ගලික විශ්ව විද්‍යාලද නොතිබිය යුතුය යන්න පොදු මහජනයා අතරට ගෙන යමින්,

“පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්”

යනුවෙන් සටන් පාඨයත් සමඟ අරගලය වෙනස්ම ආරකින් නැවත ඇරඹුණි.

මෙහිදි මුල් පෙළ නායකයන් ලෙස පද්මසිරි ත්‍රිමාවිතාන,වෙනුර එදිරිසිංහ,අතුල සේනාරත්න,සරත් කොල්ලුරේ වැනි ශිෂ්‍ය නායකයින්‍ය.ඔවුන් ලක්ෂ 40 ක් පමණ වූ ශිෂ්‍ය ප්‍රජාවක් නියෝජනය කරමින් නිදහස් අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් නැගී සිටියෝ වෙති.

මෙසේ ශිෂ්‍ය අරගලය වසරක් පමණ ඇදී ගිය අතර පද්මසිරි ත්‍රිමා විතාන රත්නපුර ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරමිනි.ඔහු හික්කඩුවේ සිට රත්නපුරය බලා ගියේ තම දිවියට ඇති මරණීය තර්ජන දැන දැනම වේ.

මරා දැමීම සංස්කරණය

දිනය:-1988 ඔක්තෝම්බර් 22 සෙනසුරාදා

වේලාව:-නිශ්චිත නොමැත (තදින් අන්ධකාරය වැටී ඇත.)

ස්ථානය:-රත්නපුර නගරය-රත්නපුර බස් නැවතුම්පොළ

එක් වරම පැමිණි පැජරෝ රථයකින් ඒ ආසන්නයේ සිටි පුද්ගලයින් තිදෙනෙක් එක්වරට රථය තුලට දමාගෙන වේගයෙන් වැල්ලවාය දෙසට ඇදී ගියේය.

ඒ පද්මසිරි ත්‍රිමාවිතාන,රංජිත් පෙරේරා හා B.D.බන්දුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා ජීවත්ව සිටිනු දුටු අවසාන අවස්ථාව විය.නැවත ඔවුන් හමුවෙන විට ඔවුන් පණ පිටින් සිටියේ නැත.

ඔවුන් එදින රාත්‍රියේ දරුණු වද බන්දන වලට ලක් කොට තිබුණි.ඒ අතරින් ත්‍රිමාවිතානයන්ගේ සිරුර සිගරට් කොට වලින් පුළුස්සා,නියපොතු ගලවා,යටි පතුල් පලා,අවසන හිසට ගැසූ පරාල ඇණයකින් ඔහුගේ මරණය සිදු කොට තිබුණි.

පසුව ඔහුගේ මලසිරුර හා අනෙක් දෙදෙනාගේ මල සිරුරු ලණුවකින් ජිප් රථයකට ගැට ගසා මාර්ගය දිගේ ඇදගෙන ගොස් වැල්ලවාය මැදගොඩ කොස්ලන්ද මාර්ගය ආසන්නයේ තිබූ කැලෑවකදී පුළුස්සා (හරි හැටි නොවේ.යම් තරමින් දරුණුවට පුළුස්සා තිබූ බව වාර්තාවේ.)වල දමා තිබී ඇති අතර පසු දින එනම් 1988 ඔක්තෝම්බර් 23 ඉරිදා දින එම පලාතේ ගොවි මහතෙකුට හමු වූ පසු ඒ පිළිබද ආරක්ෂක අංශ දැනුවත් කර තිබූ අතර ඔවුන් විසින් වැල්ලවාය පොලිසියට මදක් එපිටින් වූ වැල්ලවාය සුසාන භූමියේ එම මල සිරුරු මිහිදන් කරන ලදී.

මල සිරුර ගොඩ ගැනීම හා නඩුව සංස්කරණය

නමුත් රත්නපුර මන්ත්‍රී නන්ද එල්ලාවල මහතා විසින් සිදු කල පැමිණිල්ලකින් පසුව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් මත එවකට මොණරාගල වැඩ බලන මහේස්ත්‍රාත් B.S.H. ජයසේකර මහතා ඉදිරියේ ඒවා ගොඩට ගෙන ඒවායේ මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා වැල්ලවාය රෝහලට යවන ලද අතර එහිදී එවකට එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය K.තිස්වරම්පිල්ලේ මහතා විසින් මරණ පරීක්ෂණය සිදු කල අතර ඔවුන් ඇද සිටි ඇදුම් අනුව ඔවුන්  පද්මසිරි ත්‍රිමාවිතාන,රංජිත් පෙරේරා හා B.D.බන්දුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා බව ඥාතීන් හා හිත මිතුරන් හඳුනාගන්නා ලදී.

ඉන්පසු ත්‍රිමාවිතාන හා අනෙක් දෙදෙනාගේ මලසිරුරු හෙලිකොප්ටර් මාර්ගයෙන් කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයට ගෙන එන ලදුව 1988 ඔක්තෝම්බර් 31 දින එනම් ත්‍රිමාවිතාන මිය ගොස් දින 9 කට පමණ පසු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් විය.එහි සඳහන් පරිදි ඔහුගේ ශරීරයේ පිළිසුම් තුවාලද,ඔහුගේ පාද 2කම සහ අත් 2කම කඩා තිබූ අතර,ශරීරයේ වෙඩි තුවාල 4ක සලකුණුද තිබී ඇත.එහි පශ්චාත් මරණ පරීක්ශණය සිදු කල කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය M.S.ලක්ෂ්මන් සල්ගාදු මහතා පවසා තිබුනේ තමන් දෙවරක්ම මරණ පරීක්ෂණය සිදු කල බවයි.

ත්‍රිමාවිතානගේ මරණය සම්බන්ධව සැකපිට 1988 ඔක්තොම්බර් 26 දින විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් කොළඹදී ගලංගමුව විදානගමගේලාගේ සුසන්ත පුංචිනිළමේ නම් අයෙකු අත්තඩංගුවට ගත් අතර පසුව හෙළි වූයේ ඔහු එවකට සබරගමු පළාත් මහ ඇමැති G.V.පුංචිනිළමේ මහතාගේ පුත්‍රයා බවයි.(පසුව G.V.සුසන්ත පුංචිනිළමේ රත්නපුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර රාජ්‍ය පරිපාළන හා කළමණාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා බවටද පත්විය.)

පසුව අභිචෝදනා 13ක් මත එවකට රත්නපුර අධිකරණ විනිසුරු K.T.මිත්‍රසිරි මහතා ඉදිරියේ රත්නපුර අංක 2 මහාධිකරණයේදී විභාගයට ගත් අතර ත්‍රිමා,බන්දු,රංජිත්‍ ත්‍රිපුද්ගල ඝාතන නඩුවට අදාලව විත්තිකරුට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැති වූ හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරනා ලදී.

අපි යන්නේ කොයි පාරේ... සංස්කරණය

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ත්‍රිමාවිතානගේ මළ සිරුර පවුලේ අයට භාරදී රහසේම ආදාහනය රජය කටයුතු කලත්,එයට විරුද්ධ වූ අන්තර් වෛද්‍ය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ රෝහලේ වහල මතට නැග ත්‍රිමාගේ මල සිරුර ඉල්ලා මාරාන්තික සත්‍යග්‍රහයක් සිදු කිරීමට පටන් ගත් නමුත් ආණ්ඩුව ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා ඔවුන් සිය සිරුරට පෙට්ට්‍රෝල් වත් කරගෙන ගිනි තබා ගැනීමට සැරසෙනවාත් සමඟ ආණ්ඩුව කරන්නට දෙයක් නොමැති නිසා කුඩා පෙට්ටියක දැමූ ත්‍රිමාවිතානගේ දේහය ලබා දෙන ලදී.

ඉන්පසු අන්තර් වෛද්‍ය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඔහුගේ ආදාහන උත්සවය පවත්වන ලදී.එයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණි බව සඳහන් වේ.ඔවුන් ත්‍රිමාගේ දේහය පසුපසින් ජන ගංගාවක් සේ කොළඹ තුන්මුල්ල හරහා බොරැල්ල කනත්ත තෙක් ඇදී ආ අතර මෙහිදී වෙනුර එදිරිසිංහ,අතුල සේනාරත්න,සරත් කොල්ලුරේ,සිසිර කීර්ති ජයවර්ධන,කුමාර කුලතුංග වැනි ඉදිරිපෙළ ශිෂ්‍ය නායකයන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන දිගටම සිදුකරගෙන යන බවත් මෙය ආරම්භයක් පමණක් බවත් ත්‍රිමාගේ දේහය ඉදිරිපිටදී සපථ කලේය.

ඉන් පසු රජයේ මිනීමරු අදිසි හස්තය වෙනුර එදිරිසිංහ,අතුල සේනාරත්න,සරත් කොල්ලුරේ,සිසිර කීර්ති ජයවර්ධන,කුමාර කුලතුංග ආදී සියලුම ඉදිරිපෙළ නායකන් බිළි ගනිද්දී ඔවුන් ඇතිකල අරගලය රට පුරා බුර බුරා ගිනි ගත්තේය.අවසානයේදී ආණ්ඩුව පවත්වාගෙන යාමට නම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබද ප්‍රශ්ණය විසඳිය යුතු තත්ත්වයකට රජය පත්වුණි.

අවසානයේ රජය තම පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය හකුලා ගත් අතර ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියට නව වෛද්‍ය පීඨයක් එක් කරමින් එම රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කැලණිය විශ්ව විද්‍යාලයට ලබා දෙන ලදී.අද එය හදුන්වන්නේ රාගම වෛද්‍ය පීඨය ලෙසයි.

ශිෂ්‍ය අරගලයක් පොදු මහජනතාව හා සම්බන්ධව සංවිධානාත්මක ලෙසින් ශ්‍රී ලංකාව පුරා පැතිර බහු ජන අරගලයක් ලෙස ඉදිරියට ගොස් ජයග්‍රහණය කල පලමු වතාව ලෙස රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කල අරගලය දැක්විය හැක.

ත්‍රිමාවිතාන මියගොස් 2020 ඔක්තෝම්බර් 22 දිනට වසර 32ක් සපිරේ.නමුත් අදත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය අරගලයක් පවතුන්නේ කොතැනද,එතැන ත්‍රිමාවිතාන නාමය බැදී පවතියි.

අදටත් ගාල්ල,අම්බලන්ගොඩ,කහව,ගල්දූව ගමේ පේමසිරි ත්‍රිමාවිතානගේ මහගෙදර ඉඩමේ මුල්ලක ත්‍රිමාගේ භෂ්මාවෂේශ තැන්පත් කොට සාදා ඇති පොච්චියේ සිටුවා ඇති මල් පැලයේ රක්ත වර්ණ ඇන්තූරියම් මලක් සෑම දිනකම පිපි බලා සිටියි.

“අපි යන්නේ කොයි පාරේ....

ත්‍රිමා ,වෙනුර ගිය පාරේ.....”

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය