දූෂණයක් යනු කිසියම් පුද්ගලයෙකුගේ කැමැත්තෙන් තොරව ඔවුන් සමග ලිංගික සංසර්ගයේ යෙදීමයි. අපරාධකරු විසින් තම ශරීර ශක්තිය භාවිත කර වින්දිතයා යටපත් කිරීමෙන් හෝ තම අධිකාරී බලය අවභාවිත කිරීමෙන් හෝ වෙනත් බලහත්කාරකමක් භාවිතයෙන් පුද්ගලයෙකු දූෂණයට ලක් කළ හැක. එමෙන්ම, නීත්‍යනුකූලව ලිංගික අනුමතියක් ලබා දිය නොහැකි පුද්ගලයෙකු, උදාහරණ ලෙස මානසික ආබාධයකින් පෙළෙන හෝ නීත්‍යනූකූල වයසට නොඑළෙඹුනු තැනැත්තෙකු සමග සිදු කරන ලිංගික සංසර්ගය ද දූෂණයක් වේ. ලිංගික දූෂණ අති මහත් බහුතරයක් සිදුවන්නේ කාන්තාවන්ට එරෙහිව නිසා, දූෂණය වෙනුවට බොහෝ විට ස්ත්‍රී දූෂණය යන යෙදුම භාවිත කෙරේ. එහෙත් ඕනෑම ලිංගික සමාජභාවයක් සහිත පුද්ගලයෙකු දූෂණයට ලක් විය හැක.

විවිධ අධිකරණ බල ප්‍රදේශවල, දූෂණ පිළිබඳ පැමිණිලි, නඩුවිභාග සහ විනිශ්චය ලබාදීමේ අනුපාතයන් විවිධ වේ. 2008 වර්ෂයෙහි විවිධ රටවල පොලීසි විසින් වාර්ථා කෙරුනු දූෂණ සිදුවීම් අනුව, අසර්බයිජානයෙහි දූෂණ අනුපාතය ජනගහනයෙන් ලක්ෂයට දූෂණ 0.2 ක් වූ අතර, බොට්ස්වානා හී එය ලක්ෂයට 92.9 ක් විය. මධ්‍යස්ථ අගය වූයේ ලිතුවේනියාවේ ලක්ෂයට 6.3 යි.

ලෝකය පුරා වාර්තාවන දූෂණ ඇතුලු අනෙකුත් ලිංගික ප්‍රචණ්ඩතා අති මහත් බහුතරය පිරිමින් විසින් ගැහැණුන්ට එරෙහිව සිදු කෙරේ. දූෂණ බහුතරයක් සිදුකෙරෙන්නේ වින්දිතයා හඳුනන පුද්ගලයින් විසින් වන අතර නාදුනන පුද්ගලයින් විසින් සිදු කෙරෙන දූෂණ සාපේක්ෂව විරලය. බන්ධනාගාර තුලදී පිරිමින් විසින් පිරිමි මත සහ ගැහැණුන් විසින් ගැහැණු මත සිදු කෙරෙන දූෂණ සුලභ අතර ඒවා වාර්තා වනුයේ කලාතුරකිනි.

ඉතා පුළුල් ලෙස පැතිරුනු සහ ක්‍රමානුකූලව සිදු කෙරෙන දූෂණ (උදා, යුධ කාලවල සිදුවන දූෂණ) සහ ලිංගික වහල්භාවය වැනි තත්වයන් ජාත්‍යන්තර යුධ ගැටුම් අතරතුර ඇති විය හැක. මෙවැනි ක්‍රියාකාරකම් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුධ අපරාධ ලෙස සැලකේ. කිසියම් වාර්ගික කණ්ඩායමක් විනාශ කිරීමේ අරමුණින් සිදු කෙරෙන වර්ග සංහාරයක් අතරතුර දූෂණය කිරීම් ද සිදු විය හැක.

දූෂණයට ලක් වූ පුද්ගලයින් දරුණු ලෙස කම්පනයට ලක් වීමට සහ පශ්චාත් උපඝාත ක්ලමථය (PTSD) වැනි රෝගී තත්වයන්ට ගොදුරු වීමට ඉඩ ඇත. එමෙන්ම දූෂණය අතරතුර වින්දිතයාට බරපතල තුවාල සිදු විය හැකි අතර, ගැබ්ගැනීමේ සහ ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවධානමද ඇතිවේ.

"https://si.wikipedia.org/w/index.php?title=දූෂණය&oldid=698415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි