දැදිගම සූතිඝර දාගැබ
පුරාණ බෙදීම් අනුව බෙලිගල් කෝරලයේ කීරවැලි පත්තුවටද....වර්තමානයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකපොල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයට අයත් දැදිගම ග්‍රාමයෙහි මෙම ඵෙතිහාසික ස්ථානය පිහිටා ඇත.
ගමන් මාර්ගය
1.කොළඹ නුවර මාර්ගයේ (කිලෝමීටර් හැට හය - හැට හත අතර පිහිටි) නෙළුන්දෙනිය හන්දියෙන් ගලපිටමඩ මාර්ගයේ කි.මීටර් 3 ක් පමණ ගමන් කිරීමෙන්
2.අවිස්සාවේල්ල කෑගල්ල මගෙහි පිටගල්දෙනිය හන්දියෙන් හැරී තුංතොට හරහා
ඉතිහාසය
දැදිගම යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගරයකි. අවම වශයෙන් මධ්‍ය ශිලා යුගයේ දී මෙම ප්‍රදේශය ජනාවාසව පැවැති බව නිශ්චය කර ගැනීමට හැකි සාධක ප්‍රදේශයෙන් හමු වී තිබේ.සෙල්ලිපි හා පැරණි සාහිත්‍ය කාව්‍ය වල පුංග ගාම (පාලි මහා වංශය) දැතිගම (තිසර සංදේශය) ජාති ගාම (උත්තමාලා සංදේශය) ඤාතිගාම ( වන පැරකුම් රජුගේ සෙල්ලිපිය)යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙම කොට වෙහෙර පිහිටා ඇති දැදිගම ග්‍රාමයයි.
මහා වංශයට අනුව ක්‍රිව 12 වන සියවසේදී මානාභරන රජු විසින් දක් ෂිණ දේශයේ අග නගරය ලෙස පුංග ගාමය යොදාගෙන ඇති අතර එතුමාගේ බිසව වූයේ රත්නාවලී නම් කුමරියයි. රත්නාවලී බිසව දැදිගම, යම් ස්ථානයකදී පින්වත් කුමරකු බිහි කළා ය.ඒ මෙම ස්තානයේ උපදින කුමරා එසේ මෙසේ කුමරයකු නොවේ.
ඒ වෙන කවුරුත් නොවේ ලංකා රාජ වංශයේ ශ්‍රේෂ්ඨ රජවරයකු වශයෙන් ත්‍රි සිංහලයම එක්සේසත් කරමින් මහත් කීර්තියක් ඉසිලූ ( ක්‍රිව් 1153-1186 ) කාලයේදී පොලොන්නරුවේ රජ වූ 1 වන මහා පරාක්‍රමභාහූ රජතුමා ය.එතුමා යුව රජු වශයෙන් සිටි කාලයේ දී තමා උපන් ස්ථානය සිහිවීම පිණිස තිඹිරිගෙය තිබූ තැන කුඩා ස්තූපයක් ගොඩනඟයි,පසුව මුළු රටම එක්සේසත් කර ඉන් අනතුරුව එම කුඩා ස්තූපය මැදිකොට උපන් ස්තානයේ රියන් 120 (අඩි 300) උසට සූතිඝර නමින් චෛත්‍යක් කරවූ අතර එය දැදි ගම කොට වෙහෙර බවට පුරාවිද්‍යාඥයන් ගේ මතයයි.
වර්තමානය
1947 දී පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව මගින් දැදි ගම කොට වෙහෙර කැණීම් කර සංරක්‍ෂණය කර ඇති අතර වර්තමානයේ උස අඩි 47ක් හා වට ප්‍රමානය අඩි 804ක් වේ.
මෙමෙ ස්තූපය කැනීම් කිරීමේදී ධාතු ගර්භ 10 හමුවී ඇති අතර එක් ධාතු ගර්භයක තිබී හමු වූ දැදිගම ලෝකඩ ඇත්පහන අද ලෝක ප්‍රසිද්ධ වී තිබෙයි.(ඇත් පහන කොළඹ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත) මෙම පහනහි මිනිසුන් දෙදෙනෙක් ඇතෙකු මත හිද සිටින අකාරයට නිර්මිත මෙහි ඇතා හොඩයෙන් උක් ගසක් දරාගෙන සිටි.පහනට අවශ්‍ය තෙල් ඇතාගේ කුසට පිරවිය යුතු අතර පහන දැල්වීමේදී අඩුවන තෙල් ඇතාගේ කුසේ සිට ලිංගය තුලින් ක්‍රමයෙන් වෑස්සෙන ආකාරයට මෙය නිර්මාණය කොට ඇත. මේ සදහා පැරණි නිර්මාණ ශිල්පියා ස්ථිතික ජල විද්‍යා මූල ධර්මය භාවිතා කොට ඇත.
මීට අමතරව රන් තහඩුවෙන් කළ බුද්ධ ප්‍රතිමාව, පොළොන්නරු යුගයේ කාසි, පද්මාකාර දා ගැබේ ආකෘතිය, මැණික් ගල් වූ ධාතු කරඬුවක්, ලෝකඩ සහ මැටි පහන්, වටිනා පාෂාණ ආදී නිධන් වස්තූන් ද ධාතු ගර්භයෙන් හමු වී තිබේ. මේ සියල්ලටම වඩා අපූරුම දෙය වන්නේ කුඩා ස්තූපයේ දා ගැබ තුළ තිබී හමු වූ තරමක් විශාල මැටි කොරහ ය. පුරා විද්‍යාඥයන් අනුමාන කරන්නේ කිරිකැටි කුමරු නෑවීම සඳහා මෙම කොරහ උපයෝගී කර ගන්නට ඇති බවය. මෙම පුරාවස්තු වර්තමානයේ කොට වෙහෙරට වම් පසින් ඇති පුරා විද්‍යා කවුතුකාගාරයේ තැම්පත් කර මහජන ප්‍රදර්ශනයට තබා ඇත.