ණය සංකල්පයේ හා බැංකු කර්මාන්තයේ ඓතිහාසික පසුබිම 1

සංස්කරණය

බලවතා විසින් දුබලයා යටපත් කරනු ලැබීම ස්වභාවධර්මයේ අයෝමය රීතියයි. එහෙත් වසර තිස් ලක්ෂයකට පෙර ශිෂ්ඨාචාරය ගත වීමට වන් ප්‍රාග් ඓතිහාසික මිනිසා පැවැත්ම පිළිබඳ පොදු අරගලයේදී මෙම රීතිය තවදුරටත් භාවිත කලද තම මූලික අවශ්‍යතා සපුරා ගැනීම වඩාත් නිරන්තර අවශ්‍යාතවන් සපුරා ගැනීමේදී තම ප්‍රජාවේ සෙසු සාමාජිකයන් හා ගණුදෙණු කිරීම ඔස්සේ වඩාත් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි බව කෙමෙන් උගත්තේය. එකල ප්‍රධානතම හුවමාරු භාණ්ඩය වූයේ ආහාර අතිරික්තයයි. මේ අන්දමින් ගොඩ නැඟුන ලොව ප්‍රථම හුවමාරු මාඬ්‍යය හෙවත් බාටර් ක්‍රමය ක්‍රි. පූ 6000 දී බටහිර ආසියාව වාසභූමි කොටගත් සුමේරියන් වරු අතර ව්‍යවහාර වූ බව පුරා විද්‍යාඥයෝ පවසති. මේ කාලය තුල මිනිසා උගත් වැදගත්ම පාඩම නම් ‘විශ්වාසය’ යන සාධකය මත ගණුදෙනුවේ එක් අන්තයක් සම්පූර්ණ කිරීම කල්දැමිය හැකි බව නොහොත් ‘ණයට’ ගණුදෙනු කල හැකි බව වටහා ගැනීමය. ඉංග්‍රීසි භාෂාවේ ‘ණය’ හඳුන්වන Credit යන වචනය විශ්වාසය හා කීර්තිනාමය හැඟවීමට යොදා ගැනීම බේ සම්බන්ධයට අගනා නිදසුනකි. ක්‍රිපූ 2000 දී සුමේරියානු ධනවතුන් ගොවීන්ට අස්වැන්නෙන් අයකොටගනු වස් කිරි දෙනුන් හා බීජ ණයට දුන් බවට සාක්ෂි ඇත. ආදී සුමේරියන් භාෂව තුල ‘පොලිය’ හැඳන්වුන Mas නැමති වචනය අළුත උපන් වසු පැටියා හැඳින්වීමටද යොදා ගැනීම තුල ගැබ්වූ අරුතද අති විශාලය. ක්‍රිපූ 600 දී පමණ භාවිතයට එක්වූ ව්‍යවහාරික මුදල් (ප්‍රාමාණික වටිනාකමක් සහිත ලෝහ කාසි) වල කාර්යය වූයේ හුවමාරු මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. මධ්‍යතන යුගයට පෙර දැවැන්ත ආර්ථිකයකට හිමිකම් කී පුරාණ ග්‍රීක් වරු වයින් හා ඔලිව් තෙල් යහමින් නිපදවුවද ධාන්‍ය හා මස් දේශිය පරිභෝජනයට ප්‍රමානවත් වූයේ නැත. එහෙයින් විදෙස් රටවල් හා කරන වෙලඳාම මත දැඩිව යැපීමට ඔවුනට සිදුවිය. එහෙත් මධ්‍යතන යුගයේ රටවල් අතර භාණ්ඩ ප්‍රවාහනය යනු ත්‍රාසජනක ක්‍රියාවකි. සොර සතුරෝ හා මංපහරන්නෝ වෙළඳ ගැල් කණ්ඩායම් එනතුරු පාළු පෙදෙස් වල මඟ බලා උන්හ. මුදල් රැගෙන යාම අවදානම් හෙයින් ඇතැම් ගණුදෙනු කෙරුනේ මිලදී ගන්න විසින් දෙන ලියවිල්ලක් මතය. බුදුන් වහන්සේගේ කාලයේ ඉන්දියාවේ වෙලධුන් යොදාගත් ‘ආදේශ’ නම් පොරොන්දු ලියැවිල්ල ලොව පළමු ‘විනිමය බිල්පත’ (Bill of Exchange) ලෙස සැලකේ. පුරාණ රෝමයේ ධනවතුන් ආරක්ෂාව පතා දේවස්ථාන වල තැන්පත් කලහ. මෙහි පදනම වූයේ උත්තරීතර පූජකතුමන් ලා සොරකම් නොකරන බවට ඔවුන් තුල වූ විශ්වාසයයි. අනිත් අතර දේව කෝපයට බිය වූ මංකොල්ලාකරුවෝ දේවස්ථාන බිඳිමෙන් වැලකී සිටියහ. මුදල් ඇවැසිතා සදහා තම බඩු උකස් කිරීමේ පුරුද්ද පැතිර ගියේ මෙකලය. මෙතුලින් දුගීන් මුළුමනින් බුන්වත් භාවයට පත්වීම සමාජ ගැටළුවක් වූයෙන් ලීබඩු, ගොවි උපකරණ, හා ඇඳුම් පැළඳුම් උගස් ගැනීම තහනම් කිරිමට සීසර් තුමාට සිදු විය. දාර්ශනික අරිස්ටෝටල්ගේ අදහස වූයේ ප්‍රතිලාභ සලකා ණය දීමේ පුරුද්ද සමාජයේ සදාචාරාත්මක ඉදිරිගමනට බාධාවක් බවයි. යේසු බිලිඳා බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක් තුල උපත ලබන විට රෝම අධිරාජ්‍යයේ යටත් දේශයක් තුල වෙළඳාම හා මුදල් හුවමාරුව බෙහෙවින් දියුණු මට්ටමක පැවතුන බව සිතිය හැක. ජෙරුසලමේ දේවමාලිගය කඩාවැදුන යේසුස් එහි සිටි මුදල් මාරුකරන්නන් පලවා හැරීමේ බයිබල් කතාවෙන් හැඟවෙන්නේ එහි මුදල් හුවමාරු පොලක් (Exchange House) පැවති බවයි. හීබෲ පූජකයන් යුදෙව් දහම විනාශ කරන බවට යේසු තුමා කල චෝදනාවේ පදනම වූයේ ඔවුන් මුදල් වෙළඳ පොලට සෘජුව සම්බන්ධව සිටීම බව සිතිය හැක. ‘ටෝරාව’ හෙවත් පරණ තෙස්තමේන්තුවේ මුල් කොටස තුල පොළි ගනුදෙනු තහනම් කෙරුනේ යුදෙව්වන් අතරේ පමණී. ඒ වාසිය මත යුදෙව්වෝ අන්‍ය ජාතික වෙලඳුන්ට විශාල වශයෙන් පොලියට මුදල් ණයට දුන්හ. ජේසු තුමා මෙන්ම මහමද් තුමාද පොලී ඉපයීම හෙලා දුටූ බැවින් මධ්‍යතන මුදල් වෙලඳ පොලේ ඒකාධිකාරිය දැරුවෝද සතුරු උපද්‍රව නිසා මධ්‍යධරණී මුහුද තරණය කොට යුරෝපයට ගොඩ බට යුදෙව්වෝමය. බැංකුකරණ කර්මාන්තය එහි මුල් යුගයට එලැඹෙමින් තිබිණ. එහෙත් යේසුස්ගේ ලේ දෑත් වල තැවරුන පවුකාරයන් ලෙස සැලකුන යුදෙව්වන්ට ඉතාලියේ දේපොල මිලදි ගැනීමට මධ්‍යතන කතෝලික පල්ලිය අවසර නුදුන්නේය. මේ හේතුවෙන් ඔවුන් ණය දුන්නේ කඩ මණ්ඩි වල ඇටවූ බංකු මත හිඳ කෑගසමිනි. ඉතාලි බසින් බංකු හැඳින්වෙන්නේ Banca ලෙසයි. එහෙත් යුදෙව්වන්ට නීතියෙන් හා සමාජයෙන් හිමිවූ අඩු අනුකම්පාවෙන් ඵල නෙලීමට සිතූ ඇතැම් කපටි වෙළෙන්දෝ ගත් ආපසු නොගෙවා ඔවුනට වංචා කලහ. අසරණ යුදෙව්වන්ට කල හැකිවූයේ තම වස්ත්‍ර ඉරාගෙන හිඳ සිටි බංකුව කඩා බිඳ දමා පොලොවේ හැපෙමින් වැලපීම පමණි. පසුකාලීනව ඉංග්‍රීසි ඹBench හා Bank යන යෙදුම් ගොඩ නැඟුනේ ඉතාලි Banca යන වචනය මත බවත්, බුන්වත් භාවය හඳුන්වන ඉංග්‍රීසී Bankrupt වචනයට පදනම් ව් ඇත්තේ ‘කඩා බිඳ දැමූ බංකුව’ (Broken- bench) යන අදහස බවත් භාෂා ප්‍රවීණයන්ගේ මතයයි. ඉන්දියානු හෝ මිසර ශිෂ්ඨාචාර තුල උපන් සංකල්පයක් ලෙස සැලකෙන ගිණුම්කරණයේ අත්තිවාරම වූ දිවිත්ව සටහන් ක්‍රමය (Double Entry System) ඉතාලි ජාතිකයන් උගත්තේ 13 වන සියවසේදීය. මෙමඟින් ණය පොලියෙන් ලැබිය හැකි පොලී ආදායමක් වුව තෑගි හෝ පරිත්‍යාගයන් අර්ථකථනය කල හැකි බවද ඔවුහු නොපමාව උගත්හ. මෙම පැහැදිලි නොමඟ යැවීම මැදිහත් ඉවසා වැදෑරීමට මධ්යතන කතෝලික පල්ලියට සිදුවූයේ කුරුස යුද්ධ සඳහා ඔවුනටද යහමින් මුදල් උවමනා වූ බැවිනි. එමඟින් සටනිහන් වූයේ ඉතාලි මුදල් වෙළඳ පොල මත ඒ දක්වාත් යුදෙව්වන් විසින් පවත්වාගෙන අසීරු එකාධිකාරයේ අවසානයයි. එහි ප්‍රථිඵලයක් ලෙස ඉතාලිය නව දේශීය බැංකු කරු පන්තියක් පැන නැඟුන අතර සුප්‍රකට ‘බර්ඩි’ හා ‘පෙරුසි’ යන කුවේර පවුල් එහි පුරෝගාමීත්වය දැරූහ. බ්‍රිතාන්‍යයේ තුන්වන එඩවර්ඩ් රජු ද තමා විසින් ණයට ගත් ඉතාලි ෆ්ලොරීන් නව ලක්ෂයක දැවැන්ත ණය මුදල ආපසු නොගෙවා පැහැර හැරීම නිසා මෙම පවුල් දෙකම බුන්වත් භාවයට පත්වුවද සමකාලීන තවත් ඉතාලි කුවේර පවුලක් වූ ‘මෙඩිසි’ වරු විසින් ඇරඹූ බැංකුව අද දක්වාත් පවතී. මේ කාලයේ පැන නඟුන ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ හේතුවෙන් සෘජු පොලී ආදායම් වලට එරෙහිව පණවා තිබූ නාමික නීති රීති පවා ලිහිල් කිරීමට අවසානයේ කතෝලික පල්ලියට සිදුවිය. මෙය ඉදිරි කාලය පුරා බැංකුක්‍රමයේ සීග්‍ර වර්ධනයකට ඉවහල් වූ බව නොකිව මනාය. ඉංග්‍රීසි විප්ලවය තුලින් බ්‍රිතාන්‍යයේ පළමුවන චාල්ස් රජු බලයෙන් පහ කිරීමට ප්‍රංශයේ හා ජර්මනියෙ යුදෙව් බැංකු කරුවන් ඔලිවර් ක්‍රොම්වෙල්ට විශාල ණයක් සැපයූ බවට ඓතිහාසික සැකයක් ද ඇත. මෙකල යුදෙව්වන් හා යුරෝපීයයන් අතර වූ ගැටුම ප්‍රකට ගත්කරු ශේක්ස්පියර් විසින් තම ‘වැනීසියේ වෙලෙන්දා’ නාටකයෙන් අපූරුවට නිරූපණය කොට තිබේ. 1661 දී Stockholm Banco නමින් ප්‍රථම ස්වීඩ්න් බැංකුව විවෘත කල ජෝන් පාල්ම්ස්ට්‍රච් නැමත්තා ලොව පළමු බැංකු නෝට්ටුව නිකුත් කලේය. එහෙත් මෙම ආයතය ඉක්මනින්ම බුන්වත් භාවයට පත්වූයේ තම් වත්කම් ඉක්මවා නෝට්ටු නිකුත් කල බැවිනි. බැංකුව වසාදැමුන අතර වංචා කිරීමේ චෝදනා වලට වරද කරුවූ පාල්ම්ස්ට්‍රච්ට සිරබත් කෑමට සිදුවිය. තම දැවැන්ත සේප්පු තුල වූ අතිරේක ඉඩකඩ යොදාගනිමින් කිසියම් ගාස්තුවකට යටත්ව ආරක්ෂිත සේප්පු සේවා සැපයීමට ලන්ඩනයේ රන් කරුවන් ඉදිරිපත් වූයේ මේ අතරය. නාගරික මංකොල්ලකෑම් බහුල මේ කාලයේ මෙය ධනවතුන්ට ඉමහත් සහයක් වූවාට සැක නැත. රන්කරුවන් කෙරේ තිබූ ඉමහත් විශ්වාසය හේතුවෙන් අවශ්‍ය වූ විටෙක ඒවා ආප්සු ලබා ගැනීම වෙනුවට ඔවුන් නිකුත් කල භාණ්ඩ භාරගැනීමේ කුවිතාන්සි ගණුදෙනු හිලව් කිරීමේ ගෙවුම් ලියවිල්ලක් ලෙස යොදා ගැනීමට බොහෝ සේවාලාභීහූ පෙලඹුන අතර ඒ හේතුව නිසා තැන්පත් කල මුදල් හෝ රත්‍රන් අතුරින් භෞතික වශයෙන් ආපසු ගන්නේ තම්පත් කරුවන්ගෙන් ඉතා සුළු ප්‍රතිශතයක් බවත්, ඉතිරි සංචිතය කෙටිකාලීනව ආයෝජන කොට ලාභ ඉපයිය හැකි බවත් ලන්ඩනයේ රන් කරුවෝද නොපමවා අවබෝධ කොටගත්හ. මෙය නූතන බැංකුකරණයේ ආරම්භය ලෙස සැලකිය හැක. මේ අතර නව අවුරුද්දක් ප්‍රංශය හා යුද වැදුන ඉංග්‍රීසිහූ 1690 දී අන්ත පරාජයක් ලැබූහ. දකුණු බ්‍රිතාන්ය මුහුදේ සටන් වලින් ඔවුනට අහිමි වූ යුද නැවු ගනන 11 කි. බ්‍රිතාන්‍යයේ තුන්වන විලියම් රජුගේ විශාලතම ගැටළුව වූයේ අබ්බගාත තත්වයට පත්ව සිටි රාජකීය නාවුක හමුදාව යලි ගොඩ නැඟීම සදහා රන් පවුම් දොලොස් ලක්ෂයක් සොයාගැනීමයි. ලන්ඩනයේ රන්කරුවන් අනුගමන කල පිළිවෙත නිරීක්ෂණය කල ඔහුගේ උපදේශකයෝ මහජන තැම්පතු සංචිතයක් රැස්කිරීම තුලින් මුදල් සපයා ගැනීමට කල්පනා කලහ. මෙහි ප්‍රථිඵලය වූයේ 1694 ස්ථාපිත කෙරුන එංගලන්ත බැංකුවයි (Bank of England). කුඩා තැන්පතු පවා ව්හාර ගැනුන අතර ඒ වෙනුවෙන් අයකැමිගේ අත්සන සහිත නිකුත් වූ කුවිතාන්සිය නීත්‍යානුකීල ගණුදෙනු කිරීමේ ලියවිල්ලක් ලෙස භාවිත කල හැකි විය. දින 12ක් තුල තමාට අවශ්‍ය ණය ප්‍රාග්ධනය රැස්කරගැනීමට විලියම් රජු සමත් වූයේ මහජනයාගේ මේ ආයතන කෙරේ තැබූ ඉමහත් විශ්වාසය හේතුවෙනි. එංගලන්ත බැංකුව වනාහී වත්මන් බැංකු ක්‍රමයට පදනම් වූ මුල් ආකෘතිය ලෙස සැලකේ.

Chamara Siriwardene

ණය සංකල්පයේ හා බැංකු කර්මාන්තයේ ඓතිහාසික පසුබිම 2

සංස්කරණය

17 වන සියවස තුල යුරෝපයේ බැංකු ක්‍රමය වඩාත් ප්‍රචලිත වීමට තුඩු දුන්නේ 1694 ස්ථාපිත කෙරුන ලොව ප්‍රථම මධ්‍ය බැංකුව වූ ‘එංගලන්ත බැංකුවේ’ (Bank of England) සාර්ථක උපහැරණයයි. පොලී ආදායම් තවදුරටත් කතෝලික පල්ලියේ තහනමට ලක් නුවූ හෙයින් බොහෝ ධනවත්තු මෙය තම ප්‍රාග්ධනය සඳහා වඩාත් ආකර්ශනීය ආයෝජන මාර්ගයක් ලෙස දුටූහ. මෙකල යුරෝපා මහාද්වීපයේ විශාලතම බැංකුකරුවා වූයේ ප්‍රසියාවේ නව වන විල්හෙම් රජු ගේ අනුග්‍රහය මත අතිශය බලවත් වූ මේයර් ඇම්ෂල් රොත්ස්චයිල්ඩ් නම් යුදෙව්වාය. අමෙරිකානු නිදහස් සටනින් පසු එක්සත් ජනපදය 1781 දී ‘උතුරු ඇමෙරිකනු බැංකුව’ (Bank of North America) නමින් තම ප්‍රථම බැංකුව විවෘත කලාය. පැරිසියේ ‘ප්‍රංශ බැංකුව’ (Banque de France) පිහිටුවන ලද්දේ ප්‍රංශ විප්ලවයෙන් පසු නැපෝල්යන් බොනපාර්ට් විසිනි. ඔහු ඊට ආකෘතිය කොටගත්තේ ද එංගලන්ත බැංකුවයි. කෙසේ වුවද රට තුල ඇතිවී නව මුදල් වෙලඳපොල ගැන නැපෝලියන් තුල ඒ හැටි ප්‍රසාදයක් නොතිබිණ. “ රජයක් බැංකු මට යැපෙන විට සැබෑ තීරකයා වන්නේ ඔවුන් මිස රජය නොවේ. මන්ද ණය හිමියා සැමවිටම ණයගැතියාට ඉහිලින් සිටින නිසාය. මුදලට මාතෘ භූමියක් නැත. එහෙයින් බැංකු කරුවාට දේශමාමකත්වයක්ද නැත….” මෙම නිගමනය මුළුමනින්ම වැරදි නොවන බවට එක් උදාහරණයක් වූයේ නැපෝලියන් ගේ යුද්ධ මාලව අතරතුර යුරෝපාඅ මහාද්වීපයේ ඇතිවූ භාණ්ඩ හිඟයේ වාසිය ලබමින් මහා පරිමාණයෙන් කළුකඩ ජාවරමට මුදල් සැපයූ මේයර් ඇම්ෂල් රොත්ස්චයිඩ් එමඟින් අධික ලාඟ ලැබීමයි. එංගලන්ත බැංකුවෙන් ලබා ගත් ණය හා මහජනයාට විකුණූ යුද බැඳුම්කර මඟින් බ්‍රිතාන්‍යය තම යුද වියදම් පියවා ගත්තාය. කෙසේ වුවද පමණට වැඩි දේශමාමකත්ව මුදල් වෙලඳ පොලට වඩා රටකට බොහෝ අහිතකර විය හැකි බව නැපෝලියන් වටහා ගන්නවිට ප්‍රමාද වූවා වැඩිය. 1815 ජුනි 18 දා වෝටර්ලූ හි දී ඉංග්‍රීසීන් විසින් ඔහු තීරණාත්මක ලෙස පරාජය කරන ලදී. අද මෙන් දියුණු සන්නිවේදනයක් නොතිබූ එදා තොරතුරු හුමවාරුව සිදුවූයේ පණිවුඩ කරුවන් හරහා බැවින් වෝටර්ලූ සටනින් නැපෝලියන් පරාජය වූ අරංචිය එදාම බ්‍රිතාන්‍යයට ලඟාවූයේ නැත. එහෙත් යුද බිමේ සිටි සිටි පෞද්ගලික පණිවුඩකරුවෝ මේ පණීවුඩය එදිනම සවස ඇම්ෂල් රොත්ස්චයිල්ඩ් ගේ ලන්ඩනයේ විසූ පුත් නාමන් රොත්ස්චයිල්ඩ්ට පරෙවියෙකු මඟින් ලැබීමට සැලැස්වූ බව ජනප්‍රවාදය කියයි. තමා ලද තොරතුර රහසක් ලෙස තබා ගත් නාමන් වහා වෙලඳපොලට ගොස් තමා සතු බ්‍රිතාන්‍ය යුද බැඳුම්කර අලෙවි කරන්නට පටන් ගත්තේය. මේ ආරංචිය ලන්ඩනයේ පැතිරගියේ ලැව් ගින්නක් මෙනි. බොහෝ දෙනා සිතුවේ නැපෝලියන් යුද්ධය ජයගෙන ඇති බැවින් ඒවායේ අගය අඩුවීමට පෙර රොත්ස්චයිල්ඩ් තම බැඳුම්කර විකුනන බවයි. මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය වෙලඳ පොලේ යුද බැඳුම්කර වල අගය ක්ෂණීකව පහත වැටුන අතර රොත්ස්චයිල්ඩ් තම නියෝජිතයන් හරහා ඒවා ඉතා අඩු මුදලකට මිලදී ගත්තේය. නැපෝලියන් පරාජය වූ පහුවදා තහවුරු වන විට බ්‍රිතාන්‍ය යුද බැඳුම්කර මඟින් අධික ලාභයක් ඉපයීමට රොත්ස්චයිල්ඩ් වරු සමත් වූහ. 1825-26 මහා ආර්ථික අර්බුදය අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජයට අවශ්‍ය වූ කාසි සපයන ලද්දේ නාමන් රොත්ස්චයිල්ඩ් විසිනි. ඇමෙරිකානු සිවිල් යුද්ධය ඇරඹෙන විට එක්සත් ජනපදය පුරා බැංකු 1500ක් පමණ ක්‍රියාත්මක විය. භාවිතයෙ තිබූ මුදල් නෝට්ටු වර්ග ගණන 7000 ට ආසන්නය. මෙය එක්සත් ජනපදයේ ‘නිදහස් බැංකු යුගය’ලෙස හැඳින්වේ. එහෙත් සිවිල් යුද්ධයේ වියහියදම් පියවා ගැනීම සඳහා විශාල පොලියක් මත මෙමආයතන වලින් ණය ලබා හැනීමට නොසිතූ ඒබ්රහම් ලින්කන් ‘හරිත-ඒකක (Green Bucks) නමින් නිකුත් කල තමාගේම වූ නෝට්ටුව පසුකලෙක එක්සත් ජනපද ඩොලරය බවට පත් විය. 1914 ජුනි 28 දා හැබ්ස්බර්ග් ඔටුන්න හිමි ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයා සර්බ් අන්තවාදියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධිය මත ජර්මනිය පළමු ලෝක යුද්ධය ඇරඹූයේ දේශීය බැංකු ණය මඟින් යුද පිරිවැය පියවා ගැනීමේ අටියෙනි. අපේක්ෂිත යුද ජයග්‍රහනය මඟින් ලබා ගන්නා අර්ථික ප්‍රතිලාභ තුලින් නෙම නය හා පොලිය ගෙවාදැමිය හැකි වනු ඇති බවට ගණන් බලා තිබිණ. එහෙත් ජේ පී මෝර්ගන් සමාගම හරහා රුසියාවට ඩොලර් මිලියන 12 ක යුද ණයක් ලබා දුන් ඇමෙරිකානුවෝ නැගෙනහිර ප්‍රසියාවට පහර දී ජර්මන් අවධානය ප්‍රංශයෙන් ඉවතට යොමුකරවන මෙන් දෙවන නොකොලස් සාර්ගෙන් ඉල්ලා සිටියහ. පලමු ලෝක යුද්ධයේ දිශාව තීරණය කෙරුනේ ජර්මන් කාලතුවක්කු මගින් නොව ජර්මනිය අනුගමනය කල ‘වොන් ශ්ලයිෆන්’ යුද සැලසුම මුළුමනින්ම අවුල් කල මෙම ණය මුදල විසිනි. 1917 බලයට පත් බොල්ෂෙබවික් වරු එම ණය මුදල ගෙවීම පැහැර හැරිය අතර පළමු ලෝක යුද්ධයෙන් ජර්මනිය ලද පරාජයට ‘යුදෙව් බැංකු කරුවන්’ වග කිව යුතු බවට ජර්මන් දක්ෂිනාංශය චෝදනා නැඟූහ. පරාජය නිසා ලබාගත් දේශීය ණය වත් ගෙවාගත නොහැකි ව සිටි ජර්මනියට වර්සෙල්ස් ගිවිසුම මඟින් යුද වන්දිත් ගෙවීමට නියම වීම ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නාක් වැනිය. මෙහි ප්‍රථිඵලය වූයේ ඈ 1923 වන විට අධිඋද්ධමන තත්වයකට (Hyperinflation) මුහුන පෑමයි. යුද්දයට පෙර මාර්ක් 3ක් වූ බිත්‍තරයක මාර්ක් මිලියන 30 දක්වා ඉහල ගියේය! දීර්ඝ කාලීන ණය ගිවිසුම් වල අගය ශුන්‍ය වීම නිසා ජර්මන් බැංකි පද්ධතිය කඩ වැටුනි. මේ තත්වය යටතේ ජර්මන් ආර්ථිකය ස්ථාවර කිරීම සදහා ඩොලර් මිලියන 20ක චක්‍රිය ණයක් ලබා දීමට නැවතත් ඇමෙරිකාවට සිදුවිය. ජර්මනියෙන් වන්දි අයකොටගැනීම දින නියමයක් නොමැතිව කල්දමන ලදී. එහෙත් 1929 වෝල් විථියේ අර්බුදය හමුවේ ඇමෙරිකාව විසින් ඉහත කී ඩොලර් මිලියන 20 චක්‍රිය ණයමුදල අහෝසි කිරීම ඊට ඇබ්බැහිවී සිටි ජර්මන් ආර්ඨිකයට එල්ල වූ මරු පහරකි. ඊලඟ වසරේ ලෝක ආර්ථික අවපාතය මඟින් සිදුවූයේ ජර්මනිය කබලෙන් ලිපට වැටීමයි. සෝවියට් වරුන්ට හොර රහසේ නිපදවූ අවි විකුණමින් කලින් වතාවේ අත්දුටුවාක් මෙන් අධිඋද්ධමන තත්වයක් වැලැක්වීමට ජර්මනියට මෙවර හැකි වුවද රටේ ජීවන තත්වය බරපත ලෙස පිරිහී විරැකියාව වඩාත් උග්‍රවිය. එහි අවසන් ප්‍රථිඵලය වූයේ 1933 උග්‍ර දක්ශිණාංශික ජාතික සමාජවාදී ජර්මන් කම්කරු (නාසි) පක්ෂය බලයට පත්වීමයි. ඇඩොල්ෆ් හිට්ලර්ගේ එක් අරමුනක් වූයේ යුදෙව් සාධකය ආර්ථිකයෙන් පමනක් නොව සමාජ හා සංස්කෘතික වශයෙන්ද මුලිනිපුටා දැමීමයි. දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ‘මෙෆෝ’ බිල්පත් මර්ගයෙන් මාර්ක් බිලියන 30ක් නිකුත් කරන ලෙස ජර්මන් මහ බැංකුවට අණ කල ඔහු එය ගෙවීමට අපේක්ෂා කලේ නැගෙනහිර භූමි පෙදෙස් වලින් අත්පත් කොට ගන්නා අමුද්‍රව්‍ය හා සම්පත් තුලිනි. ඔහුගේ වෑයම අසාර්තක වීමට බලපෑ හේතූන් රැස අතරට ඇමෙරිකානුවන් විසින් අයහපත් ණය ඉතිහාසය නොසලකමින් රතු හමුදාවට නැගෙනහිර යුද්ධය පවත්වාගෙන යාමටාවශ්‍ය අවිආයුධ හා වාහන සඳහා සෝවියට් වරුනට ලබාදුන් ඩොලර් බිලියන 130 ක කල්බදු ණය පහසුකමද දායක වූ බව පිලිගත යුතුය. දෙවන ලෝක යුද්ධයෙන් යුරෝපය අත්දුටු ආර්ථික විනාශය අන් කවදාකටත් වඩා අතිමහත් විය. බොහෝ රටවලට යුද්ධයේ ව්‍යසනයෙන් ගොඩ ඒමට හැකියාවක් නොතිබිණ. ශිෂ්ඨාචාරයේ ජීවනාලිය වූ ආර්ථිකය හැකි ඉක්මනින් යථාතත්වයට පත් කිරීම අත්‍යාව්ශ්‍ය විය. යුද්ධය අවසන් වීමටත් පෙර ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවන ලද්දේ නෙම අරමුණ වෙනුවෙනි. එහි ප්‍රධාන දායකයා වූයේ එක්සත් ජනපදයයි. කෙසේ වුවද ඇමෙරිකානුවන්ගේ සැඟවුන අරමුණු ගැන සැකයෙන් පසුවූ රුසියානුවෝ මෙම වැඩසටහන නැගෙනහිර යුරෝපයේ තම අනුහස් වැයික්කි තුල ක්‍රියාත්මක කිරීමට ඉඩ නුදුන්හ. මේ හේතුවෙන් යුරෝපයේ සෝවියට් කලාපය දෙවන ලෝක යුද්ධයෙන් පසු පෙන්නුම් කලේ සාපේක්ෂ වශයෙන් අඩු සංවර්ධනයකි. මෙම තත්වය සෝවියට් ක්‍රමයේ බිද වැටීමටද කිසියම් අයුරකින් දායක වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. මේ හේතුවෙන් තම මුල් අරමුණින් බැහැරවූ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියාව අප්‍රිකාව හා ලතින් ඇමෙරිකාවේ දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩසටහන් වලට යොමු වුවද ණය කොන්දෙසි හරහා ඒ ඒ රටවල ඇමෙරිකාව වෙනුවෙන් දේශපාලන මැදිහත් කිරීම් කරන බවට මෙම සංවිධාන වලට චෝදන එල්ල වී ඇත. වසානයේ මුළුමනින්ම කඩා වැටුන ජර්මන් ආර්ථිකය හා බැංකු පද්ධතිය යලි නඟා සිටුවීමට දැවැන්ත ආයෝජන කිරීමට මිත්‍ර පාක්ෂිකයන්ට සිදුවිය. බොහෝ රටවල් මේ වන විට අවබෝධ කොට ගෙන සිටියේ මේ තාක් මූලික වශයෙන් රජයේ හා දැවැන්ත ව්‍යාපාර වලට පමණක් පහසු කම් සැලසූ බැංකු ක්‍රමය ආර්ථිකයේ විවිධ අංශ ඔස්සේ විමධ්‍යගත කිරීම තුලින් සංවර්ධන ඉලක්ක කරා ලඟා වීමට විශාල රුකුලක් බවයි. තාක්ෂණයේ ප්‍රතිලාභ වැඩි වැඩියෙන් මහජනයාට බෙදියාම නිසා ඉහල ගිය ජීවන මට්ටම් තුලින් සිල්ලර බැංකු කර්මාන්ත සඳහා විවර වූයේ කදිම නව වෙලඳ පොලකි. 1950 ෆ්‍රෑන්ක් මැක්නමාරා නැමති ව්‍යාපාරිකයා තම අවන්හල් බිල්පත කුඩා කාඩ් පතක් මඟින් අර්පනය කිරීම සුප්‍රකට Diners Club® කාඩ් පතේ උපත ලෙස සැලකේ. 1958 ඇමෙරිකනු බැංකුව (Bank of America) විසින් තම ගණුදෙනු කරුවන් සඳහා නිකුත් කල BankAmericard කාඩ් පතට කැලිෆෝනියවේ සිල්ලර වෙලඳුන් අතර පුළුල් පිල්ගැනීමක් හිමි විය. මෙය VISA කාඩ්පතේ ආරම්භයයි. මේ අතර American Express බැංකුව සංචාරකයන් ඉලක්ක කොටගෙන විදෙස් රටවල පවා භාවිත කොට හැකි කාඩ්පතක් නිකුත් කලේය. මීට කිසි සේත් දෙවනි වීමට නොසිතූ ඉංග්‍රීසීහූ 1966 Barclaycard නමින් තම ප්‍රථම ණය කාඩ් පත හඳුන්වා දුන්හ. සිල්ලර බැංකු සේවාවන් වඩාත් ප්‍රචලිත වීමට තුඩු දුන්නේ පරිඝණක විප්ලවයයි. රික්ත වෑල්ව වෙනුවට ට්‍රාන්සිස්ටරය ආදේශ වීම නිසා දත්ත තාක්ෂණය වඩාත් දියුණු විය. 1967 ජුනි 27 දා බාර්ක්ලේ බැංකුව ලොව ප්‍රථම ස්වයංක්‍රීය අයකැමි යන්ත්‍රය (ATM) දකුණු ලන්ඩනයේ ස්ථාපිත කරන ලදී. මේ ගැන ඔවුන් පලකල ප්‍රචාරක දැන්වීම අපූරුය: “ අපි හෙට උදෑසන 9.00 විවෘත කරන අතර කිසිදා නොවසන්නෙමු…” කෙසේ වුවද ඉලෙක්ට්‍රොනික බැංකු ක්‍රමයේ සැබෑ විප්ලවය වූයේ 1973 දී කාඩ් පත් ගණුදෙනුවක කාලය විනාඩිය දක්වා අඩු කිරීමට හැකි වීමය. කාඩ්පත යනු වටිනාකම් ගණුදෙනු කිරීමේදී, සම්ප්‍රේෂණයේදී හා පරිවහනයේදී සඳහා මුදල් වෙනුවට යොදාගත හැකි වඩාත් ආරක්ෂාකාරී ආදේශයක් බවට දැන් පොදුවේ පිළිගැණින. වසර තිස්ලක්ෂයකට පෙර සොබාදහමේ රීතියට අනුව ජීවත් වූ මිනිසා මීට වසර හාරදහසකට පෙර භාණ්ඩ හුවමාරුවට පුරුදු වීමද , වසර දෙදහසකට පෙර ගණුදෙනු සඳහා අතර මැදි මාධ්‍යයක් ලෙස ව්‍යවහාර මුදල් සොයා ගැනීමද, අනතුරුව බැංකු ක්‍රමය ආශ්‍රිතව මුදල් මැවීමට ඉගනීමද, මේ වනවිට එසේ මවන ලද මුදල් ඉලෙක්ට්‍රොනික ස්වභාවයෙන් ගබඩා කොට භාවිත කිරීමද ශිෂ්ඨාචාරයේ ප්‍රගමනය විදහා දක්වන තවත් එක් නිදසුනකි.

Chamara Siriwardene

ගෝලීය ඛණිජ තෙල් මිල අර්බුදය සහ අබ්දුල්ලාගේ 'වෙළඳ යුද්ධය'

සංස්කරණය

ලොව ප්රදානතම ඛණිජ තෙල් අපනයන කරු වන සෞදි අරාබි රාජධානිය දෛනිකව නිපදවන බොරතෙල් ප්රමාණය බැරල් අනූහත් ලක්ෂයකි. එසේ වුවද එය ඇගේ සමස්ථ නිෂ්පාදන ධාරිතාවෙන් සියයට අසූවකට අඩු වේ. සෞදිය මෙන්ම ඛණිජ තෙල් අපනයන ආර්ථික මත යැපෙන ඇගේ සෙසු ඔපෙක් [Organization of Petroleum Exporting Countries] සගයන් විසින් මේ තාක් අනුගමනය කල සාමාන්ය උපාය වූයේ වෙලඳපොල සැපයුම පාලනය කිරීම තුලින් සිය නිෂ්පාදනය සඳහා ලෝක වෙලඳ පොල තුල ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට තැත් කිරීමයි. අත දිග හැර වියදම් කරන රටක් වන සෞදියට සිය අයවෙය පරතරය පියවා ගැනීම සඳහා ඉහල තෙල් මිලක් අත්යාවශ්ය මන්දැයි වටහා ගැනීම අසීරු නැත. බොර තෙල් බැරලයක මිල ඩොලර් 85 ක සීමාවකට ඉහල නැංවීම ඇගේ අභිලාෂය වූ අතර මෙම අසීරු ව්යායාමයේ දී ඇගේ නිබඳ සහකරු වූයේ ඔපෙක් සාමාජිකත්වය නොදැරුවද, වෙළඳ පොලෙහි ඊලඟ බලවත්ම තෙල් අපනයන කරු වූ රුසියාවය. මෙම ආර්ථික එකඟත්වය තමාට කෙතෙක් වැදගත් වීද යත් ඒ වෙනුවෙන් මැදපෙරදිග දේශපාලනයේ තමා ඒ තාක් අනුගමනය කල සම්ප්රදායික වත් පිලිවෙත් පවා කැප කිරීමට රියාද් පාලනය මැලි නොවීය. ක්රෙම්ලිනයේ උපාය වූයේ නව ගෝලීය ප්රවණතා හමුවේ අබල දුබල තත්වයට පත්වෙමින් තිබූ ඔපෙක් සංවිධානයට අත්වාරු අල්ලමින් ඒ වෙනුවෙන් මැදපෙරදිග සිය භූදේශපාලන ඉලක්ක සදහා ඔවුන්ගේ අවනත භාවය සහතික කොට ගැනීමය. කෙසේ වුවද පසුගිය මාස කිහිපය තෙල් වෙලඳ පොලට උදා කලෙ අයහපත් සමයකි. ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවේ ඉහල පෙලේ ජනරාල් වරයකු කාසිම් සොලෙයිමානි ඇමෙරිකානුවන් විසින් මරාදැමීමෙ උණුසුමත් සමඟ ක්ෂණිකව 4% න් මිල ඉහල ගියද, එය වහා සමනය වූයේ සිද්ධිය මත යුද්ධයක් හට නොගනු ඇති බව ඉක්මනින්ම පෙනී ගිය නිසාය. අනතුරුව රවල් 84 පැතිර ගිය පැතිර ගිය කොරෝනා අවදානම හේතුවෙන් ගමනාගමන හා ප්රවාහන ක්ත්රයේ හට ගත් දැවැන්ත පසුබෑම හමුවේ වසරාම්භය ඩොලර් 69ක් වූ බොර තෙල් බැරලය ඩොලර් 51 ක් දක්වා ඇද වැටිණ. ඛණිජ තෙල් යැපුම් ආර්ථිකයක් සහිත වියදම් අධික සෞදියට මෙමඟින් වූ බලපෑම කෙතෙක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. ඉක්මන් ක්‍රියාමාර්ගයක් සඳහා ඔවුන් තුල ඇතිවන නො ඉවසිල්ලද අවබෝද කොට ගැනීමට අපහසු නොවේ. පසුගිය සිකුරාදා වියානා නුවරදී රැස්වූ ඔපෙක් නියෝජිතයෝ මෙම තත්වයට විසඳුම ලෙස යොජනා කලේ වත්මන් දෛනික තෙල් සැපයුම 1.5% න් හෙවත් බැරල් පසලොස් ලක්ෂයකින් අඩු කිරීමයි. එමඟින් තෙල් මිල තවදුරටත් පහත වැටීම වලක්වා ගැනීම හැකි වෙනු ඇතැයි අපේක්ෂා කරන ලදී. එහෙත් මෙම ප්රයත්නය සාර්ථක නුවූයේ ඔපෙක් සංවිධානයේ උපාය මාර්ගික වෙළඳ සහකරු වූ රුසියාව මෙම යෝජනාව කුරිරු ලෙස ප්රතික්ෂෙප කිරීම හෙතුවෙනි. බැරලයකට ඩොලර් 20 තරම් අඩු පිරිවැයකින් තෙල් නිපදවන රුසියානුවන්ට තෙල් මිල ඩොලර් 50 සීමාවක පවත්වාගෙන යාම ප්රමාණවත් වන අතර වත්මන් මිල මට්ටම තවත් මාස කිහිපයක් ඔස්සේ පවත්වාගෙන යාම තුලින් වඩාත් ඉහල නිෂ්පාදන පිරිවැයක් සහිත ඇමෙරිකානු කනිඅ තෙල් කර්මාන්තය දණින් හෙලීම ඔවුන්ගේ අරමුණයි. ක්රිමියා අර්බුදය මත තමාට සම්බාධක පැනවූ ඇමෙරිකාවට අමතක නොවන පාඩමක් උගැන්වීමට ව්ලදිමීර් පුටින් අදිටන් කොටගෙන සිටි සෙයකි. රුසියානු සහකරුවන් විසින් තමා අතරමං කිරීම නිසා බලවත් අමනාපයට පත් සෞදි අරාබිය මීට ප්රතිහාර දක්වා ඇත්තේ තමා ඊලඟ මාසයේ සිට දෛනික තෙල් නිෂ්පාදනය දිනකට බැරල් එකොලොස් ලක්ෂයක් දක්වා ඉහල නංවන බවට දී ඇති ප්රතිඥාවකිනි. මෙම අනපේක්ෂිත තීරණය හේතුවෙන් ඊයේ වන විට ලෝක වෙලඳ පොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 45 සිට 30 දක්වා තව දුරටත් අඩු වූ අතර එය 1991න් පසු වාර්තා වූ පහලම අගයයි. විශාල අපනයන වට්ටම් හරහා රුසියාවේ යුරෝපීය තෙල් ගැනූම් කරුවන් ආකර්ෂණය කොට ගැනීමටත්, තෙල් වෙළඳ පොලේ තම පංගුව [Market Share] වඩාත් පුළුල් කොට ගැනීම තුලින්ලාපේක්ෂා කරන ඉහල පිරිවැටුම හරහා සිය ආදායම් ඉලක්ක වලට ලඟාවීමටත් රියාද් පාලකයෝ අපේක්ෂා කරති. විෂ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙමඟින් සෞදිය තමා අමනාප කල රුසියාවට එරෙහිව වෙලඳ යුද්ධයක් [Trade War] අරඹා ඇති බවය. එහෙත් මෙය සෞදියටම පාරා වළල්ලක් වනු ඇතැයි ඔවුහු අනතුරු අඟවති. මන්ද යත් රියාද් පාලනය සිය තීරණය නිවේදනය කොට පැය කිහිපයක් ඇතුලත Aramco නැමති සෞදි ජාතික තෙල් නිෂ්පාදන සමාගමේ කොටස් වල අගය රියාල් 32 දක්වා 9% කින් පහල ගිය අතර රියාද් හි කොටස් වෙළඳ පොල තුල ද ඒ හා සමාන පොදු කඩා වැටීමක් වාර්තා වූ බැවිනි. මෙමඟින් සෙසු ඔපෙක් සාමාජිකයන්ට වන ආර්ථික බලපෑම වඩාත් අයහපත් වනු ඇතත් එම තත්වයට සමාජීය හා දේශපාලන වශයෙන් ඔරොත්තු දීමට සෞදියට වඩා හැකියාවක් දුක් කම්කටොළු හුරු පුරුදු වෙනිසියුලාව හා ඉරානයට ඇති බව පොදු පිලිගැනීමයි. මෙමඟින් රුසියානු ආර්ථිකයට ඇතිවන බලපෑම කවරේද? සෞදිය ප්රකාශයට පත් කල වෙළඳ යුද්ධය හේතුවෙන් රූබලයේ අගය එක රැයක් තුල 10%න් අවප්රමාණ විය. එහෙත් ඩොලර් කෝටි 570 ක ආපදා සංචිතයකට හිමිකම් කියන රුසියානුවන්ට ඉදිරි වසර 6 ඇතුලත තෙල් බැරලයක මිල ඩොලර් 25 දක්වා අඩුවුවද ඊට ඔරොත්තු දීමේ හැකියාව ඇත. සෞදිය හා සාපේක්ෂව ගත් කල අඩු නිෂ්පාදන පිරිවැය, තෙල් අපනයනය ආදායම මත ආර්ථිකය මුළුමනින්ම රඳා නොපැවතිම, සිය තෙල් විකුණුම් වලින් වැඩි ප්රතිශතය රූබල්, යුවාන් හා යුරෝ මුදල් ඒක වලින් සිදු කිරීමට හැකිවීම මෙහිදී ඔවුන් සතු තීරණාත්මක වාසි වේ. රුසියානු ආර්ථිකය මේ වන විට ඩොලරය මත යැපෙන්නේ වඩාත් අඩුවෙන් බැවින් මෙහිදී ඔවුන්ගේ කේවල් කිරීමේ හැකියාව [Bargaining power] ඉහලය. එ මෙන්ම දේශපාලන වශයෙන් රුසියාව මැදපෙරදිග සිය බලය තහවුරු කොටගෙන අවසන් බැවින් ඔවුන්ට තවදුරටත් සෞදිය යනු වැදගත් දේශපාලන සාධකයක් ද නොවේ. අනිත් අතට ඔපෙක් යෝජනාව ප්රතික්ෂෙප කිරීමට රුසියාවට ඇති හෙතුද ඉතා කෙටි කාලීනය. බොහෝ විට ඇමෙරිකානු තෙල් කර්මාන්තය ප්රමානවත් ලෙස හෙම්බත් කරවීමෙන් අනතුරුව නැවත ඔපෙක් සංවිදානය හා තෙල් මිල ඉහල දැමීමේ එකඟත්වයකට එලඹීමට ඔවුනට ඕනෑ තරම් අවස්ථාව ඇත. එහෙයින් අකලට හටගත් 'අබ්දුල් - ඉවාන්' වෙලඳ හබය බත් හැලිය ඉදුන සැනින් සමථයකට පත්වනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. එහෙත් සියළු මිනිස් පුරෝකථන ව්යවර්ථ කිරීමේ හැකියාව සොබාදහමට (හෝ දෛවයට) ඇති බව අමතක නොකල යුතුය. මන්ද යත් තෙල් වෙලඳ පොලෙහි පමණක් නොව ලෝකයේම අනාගතය අවසන් වශයෙන් තීරණය වනු ඇත්තේ කොරෝනා අභියෝගයට මුහුණ දීමට මිනිස් වර්ගයා දක්වන හැකියාව මත බැවිනි.

Chamara Siriwardene - 2020 මාර්තු 9

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:Business_and_Economics&oldid=454336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි