තෙත් සදාහරිත වනාන්තර
හැදින්වීම....
සංස්කරණයශ්රී ලංකාවේ පහත රට සහ මැදරට තෙත් කලාපයේ ඇති ස්වභාවික වනාන්තර, නිවර්තන තෙත් සදාහරිත වනාන්තර ලෙස හැදින්වේ. බොහෝ කලකට පෙර පහතරට සහ මැදරට තෙත් කලාපයෙන් වැඩි කොටසක් මෙම වනාන්තර වලින් වැසී තිබේ. තේ,රබර් වැනි බෝග වගාකිරීම සඳහා ද ජනාවාස ඇතිවීම ද හේතු කොට ගෙන මෙම වනාන්තර ප්‍රදේශ විශාල ලෙස එළි කර තිබේ.අද මෙම දේශගුණික කලාපයේ වනාන්තර ප්‍රදේශ ඇත්තේ 8% ටත් වඩා අඩුවෙනි.දැනට ඉතිරිව ඇති වනාන්තර අතුරින් ප්‍රසිද්ධියක් දරන්නා වූ ප්‍රධාන වනාන්තරයක් නම් ලෝක ප්‍රසිද්ධ සිංහරාජ වනාන්තරයයි. ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තර, ජගත් බීයෝම යටතේ සලකා බැලූන නිවර්තන වර්ෂා වනාන්තර වලට කදිම නිදසුනකි. ශ්‍රී ලංකාවේ මෙම වනාන්තර උතුරින් දැදුරු ඔයෙනුත්,දකුණින් වලවේ ගඟිනුත්, නැගෙනහිරින් මුහුදු මට්ටමේ සිට මීටර 305 (අඩි 1000) සීමාවෙනුත් වටවී තිබේ. ශ්‍රී ලංකාවේ මුළු නිවර්තන වර්ෂා වනාන්තර ප්‍රමාණය අක්කර ලක්ෂ 4 කි.
වනාන්තර ප්‍රදේශ අක්කර ප්‍රමාණය
සංස්කරණය- සිංහරාජ අඩවිය 100,000
- කන්නෙලිය 15,000
- දැදියගල 9,000
- කැලණි නිම්නය 12,000
- මූලටියාන 8,000
- නාකියාදෙනිය 6,000
- රම්මල් කන්ද 4,000
පාරිසරික සාධක
සංස්කරණයසාමාන්ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 2500-5000 ට වැඩි මෙම ප්‍රදේශ වලට වැසි ලැබෙන්නේ නිරිතදිග මෝසම් සුළං මගිනි. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙ.අංශක 27 පමණ වන අතර වාතයෙහි ආර්ද්‍රතිවය 70%ක් පමණ වේ. අවුරැද්ද මුළුල්ලේ ඒකාකාරීව පවතින උෂ්ණත්වය, වර්ෂාපතනය සහ සූර්ය තාපය මෙහි ශාක වර්ධනයට ඉතා හිතකර පරිසරයක් ලබා දෙයි.මෙම ප්‍රදේශයේ බොහෝ ගස් වල වරින් වර කොළ හැලෙන නමුත් අවුරුද්ද මුළුල්ලේම රිකිලි ලියලමින් පවතින නිසා නිවර්තන සදාහරිත වනාන්තර යනුවෙන් මෙම වනාන්තර හැදින්වේ. වර්ෂාව අධික නිසාත්, උෂ්ණත්වය ඉහළ නිසාත්, ආලෝකය හොඳින් ලැබෙන නිසාත් මෙම වර්ෂා වනාන්තර ඝනව වැඩී තිබේ. එබැවින් ඛණිජ වලින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ශාක වලට උරාගෙනය. එමනිසා මෙම වනාන්තර වල පස ඛණිජ වලින් හීන වේ. එනම් පස එතරම් සරු නොවේ. තවද වර්ෂාව අධික බැවින් පසේ ක්ෂීරණය, එනම් ලවණ පසේ ගැඹුරට සේදීයාම වැඩියෙන් සිදුවේ.
ශාකමය අගය
සංස්කරණයශ්රී ලංකාවේ තෙත් සදාහරිත වනාන්තර වල ශාක විශේෂ 100 සිට 140 දක්වා වූ ප්‍රමාණයක් අන්තර්ගත වේ.මෙම වනාන්තර වල ඇති වෘක‍්‍ෂයන් හි උස එකිනෙකට වෙනස්ය.එමනිසා ඒවා ස්ථරීය ආකාරයකට දිස්වේ.එනම් යටිරෝපණයක් දක්නට ලැබේ. වැඩිම උස ශාකය මීටර 45ක් පමණ උසට වැඩෙන අතර එවැනි ශාක වල මුදුන් එකට එක්වී අඛණ්ඩ වියනක් සාදයි.මෙම වියන සාදන වෘක්ෂ වලට කටබොඩ, මලබොඩ, කිරිහැඹිලිය, අරිද්ද වැනි වෘක්ෂ විශේෂ අයත් වේ. උද්භිත ශාක වන හොර, බූ වැනි වෘක්ෂ "ඩිප්ටෙරොකාපස්" කුලයට අයත් වේ. වියන් ස්ථරයට පහළින් මිටි ගස් වලින් යුක්ත තවත් එක් ස්ථරයක් හෝ ස්ථර 2ක් ද ඊට පහළින් පඳුරු සහිත ස්ථරයක්ද වේ.ඊට යටින් අවසාන වශයෙන් අකාෂ්ඨමය පඳුරු විශේෂ වලින් බිම් වැස්ම හෙවත් වටි වගාව දක්නට ලැබේ. වෘක්ෂ, පඳුරු සහ පැළෑටි වලට අමතරව ඉතා විශාල කාෂ්ටමය ආරෝහක ශාක විශේෂ ගණනාවක් ද මෙම වනාන්තර වල දක්නට ලැබේ. මේවා වියන් ස්ථරය තරමටම වැඩේ. උදා: වෙනිවැල් ගැට, පුස්වැල් ශ්‍රී ලංකාවට විශේෂ වූ ශාක 3100 ටත් වඩා ප්‍රමාණය අතුරින් 28%ක ප්‍රමාණයක් මෙම වනාන්තර තුළ දක්නට ලැබේ. ශාක විශේෂ අනුව වෙනස් වුවද ශ්‍රී ලංකාවේ නිවර්තන වර්ෂා වනාන්තර කොංගෝ, ඇමර්සන් වැනි වනාන්තර වලට ස්වභාවයෙනුත්, පෙනුමෙනුත් සමාන වේ. උඩු වියන හේතුවෙන් වනාන්තරය තුළට ආලෝකය වැටීම සීමා කෙරෙන හෙයින් ඒ තුළ අඳුරු බවක් දක්නට ලැබේ. වියන් ස්ථරයේ ඇති ප්‍රධාන ශාක : දොඹ. කීන, නා, මලබොඩ, වල්දෙල්, ඇටඹ එමෙන්ම මෙම වනාන්තර තුළ උඩවැඩියා වර්ග රාශියක් ඇත.
සත්ත්වමය අගය
සංස්කරණයමෙම වනාන්තර ජෛව විවිධත්වයෙන් යුක්තය. කෘමි විශේෂ, ගොළුබෙලි විශේෂ, මත්ස්‍ය, උරග, ඇමීෆීබියා, පක්ෂි විශේෂ සහ ක්ෂීරපායී සත්ත්ව විශේෂ රාශියක් ද මෙහි සිටී.
සිංහරාජ අඩවිය
සංස්කරණයජගත් උරුමයක් ලෙස සැලකෙන සිංහරාජය සත්ත්ව සහ ශාක විවිධත්වයෙන් යුක්තය.රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක 3 පුරා පැතිරී ඇත. හෙක්ටයාර් 11.18 පමණ පැතිරී ඇති අතර ලොව පරිසරවේදීන්ගේ අවධානයට යොමුවී ඇත. කඳු පංති 3න් යුත් මෙහි උසම ස්ථානය හිනිපිටිගල බටහිර කන්ද වේ. නිවර්තන වනාන්තර වල ඇති ප්‍රධාන වියන් ස්ථර වන වියන් ස්ථරය, උප වියන් ස්ථරය, යටි වියන් ස්ථරය සහ බිම් වියන් ස්ථරය මෙහි ද දක්නට ලැබේ.1978 දී සිංහරාජය මිනිසා සහ ජෛවගෝලීය රක්ෂිතයක් ලෙස නම් කෙරුණ අතර 1988 දී ජාතික උරුමයක් ලෙසද 1989 දී ලෝක උරුමයක් ලෙස ද නම් කෙරුණි.
තෙත් සදාහරිත වනාන්තර වල වෙසෙන විවිධ සතුන්
සංස්කරණයක්ෂී රපායීන් | උරගයන් | පක්ෂීන් |
---|---|---|
විශාල ක්ෂීරපායීන් | සර්පයන් | පක්ෂීන් |
අලියා, ගෝනා, දිවියා,වැලිමුවා, මී මින්නා, කොළ දිවියා, කළු වඳුරා, දුඹුරු තිත් දිවියා, නරියා, රිළවා | පලා පොළගා, කුණ කටුවා, මූකලන් කුණකටුවා, තෙලිස්සා,තිත් පොළඟා, මුදු කරවලා, නාගයා, මාපිලා, කබර දත් කැටියා, මල් කරවලා, ලේ මැඩිල්ලා, හාල් දණ්ඩා, හෙණ කඳයා, දිය බරියා ,ලංකා දියබරියා , පිඹුරා, දෙපත් නයා | සර්ප උකුස්සා, කඳුකර උකුස්සා, කළු උකුස්සා, හොට පළල් දුම්කාවා, ගිරා මලිත්තා, ලංකා සැළලිහිණියා, රතුවත මල්කොහා, අළු ගිරවා, ගිනි කුරැල්ලා, කළු සිළු කඩුවා, අළු ටිකිරිත්තා,කොට්ටෝරුවා, කැහිබෙල්ලා, ලංකා සිතාසියා, කුරුළු ගොයා, ලංකා රතු දෙමළිච්චා, සූටික්කා, ලංකා බට ඇටිකුකුළා, හිස කළු කොණ්ඩයා, කෑරලා, අළු දෙමළිච්චා, ලය තැඹිලිවන් නිල් මැසිමාරි |
කුඩා ක්ෂීරපායීන් | කටුස්සන් හා හූනන් | |
ලංකා දම් වර්ණ මීයා, කටු මීයා, ගෙමියා, ඌරු මීයා, වෙල් මීයා, හික් මීයා, කළු දඬු ලේනා,අළු ඉරි කැළෑ ලේනා,කළු ඉරි ලේනා, කල වැද්දා, හම්බාවා, උරුලෑවා,දුඹුරු මුගටියා, දිය බල්ලා, ඉත්තෑවා, කබල්ලෑවා, රන් මුගටියා | පලා කටුස්සා, මූකලන් කටුස්සා, කරමල් බෝදිලිමා, අං කටුස්සා, මූකලං හූනා, ගල් හූනා, කබරගොයා | |
කැලෑ වවුලන් | හිකනළුන් | |
කිරි වවුලා, කෙහෙ වවුලා, කොට කන් වවුලා, තුටිකන් වවුලා, යක් වවුලා | ගැරඬි හිකනලා, පුල්ලි හිකනලා, තෙල් හීරළුවා |
ෙම් අඩවියත් බලන්න
මූලාශ්‍ර : නවයුගය, 2008 ඔක්තෝම්බර් කලාපය