ඩයිනෝරයන්ගේ පරණාමය

ඩයි⁣නෝසරයන් වර්ගීකරණයසංස්කරණය

========================

මේ විෂයෙදි වර්ගීකරණ සිදුකිරීමේ ප්‍රයත්න ආරම්භ වෙන්නෙ සියවස් දෙකකට ආසන්න කාලයකට පෙර සිට. වර්තමානයේදි පවතින වර්ගීකරණය පදනම් වෙන්නෙ ඩයිනෝසර සත්වයන්ගෙ ශ්‍රෝණිය (උකුල) පිහිටන ආකාරය අනුව. උකුල් පෙදෙසෙ අස්ථි සැකැස්ම ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය සිදු කෙරෙනවා. උරගයන්ගෙ උකුල් ආකාරයට සමාන උකුල් පෙදෙසක් පිහිටන කාණ්ඩය 'සොරිස්කියන්' ලෙසත්, පක්ශි උකුලකට සමාන උකුල් පෙදෙසක් සහිත කාණ්ඩය 'ඕර්නිතිස්කියන්ස්' ලෙසත් ප්‍රධාන කොටස් ද්විත්වයකට බෙදෙනවා.

ඕර්නිතිස්කියන් ගෝත්‍රය නැවත ප්‍රධාන කොටස් ද්විත්වයකට බෙදෙනවා. සෙරපෝඩා සහ තයරියාෆොරා ලෙස.

සෙරපෝඩාවන් නැවත බෙදෙනවා සෙරටොප්සියා (මීට ප්‍රථම ඔවුන් ගැන සටහනක් ඇත. ට්‍රයිසරැටොපස් වැනි විශේෂ අයත් කාණ්ඩය), ඕර්නිතෝපොඩා සහ පැකිසෙෆලෝසෝරියා ලෙස.

තයරියාෆොරා උපරි ගෝත්‍රය කොාටස් ද්විත්වයකට බෙදෙනවා ස්ටෙගොසෝරියා සහ ඇන්කයිලෝසෝරියා ලෙස.

'සොරිස්කියන්' කොටස් ද්විත්වයකට බෙදෙනවා සෝරෝපෝඩා සහ තෙරොපෝඩ් ලෙස. ටිරොනෝසෝරස් වැනි ද්වීපාදිකයන් (අනෙක් කාණ්ඩ වලත් දවීපාදිකයන් සිටිනවා නමුත් තේරෝපොඩාවන් සියල්ල ද්වීපාදිකයන්) තෙරෝපෝඩා කාණ්ඩයට අයත් වන විට බ්‍රැකියෝසෝර්, ඩිප්ලෝඩොක්ස් වැනි අති විශාල යෝධ ඩයිනෝසරයන් 'සෝරොපොඩ්' කාණ්ඩයයට අයත් වෙනවා.

මේ සරලම වර්ගීකරණ ආකාරය. විවිධ විද්‍යාතන විසින් මේ වර්ගීකරණ නාමාවලිය විවිධ අයුරින් සිදුකිරීම කලත් සාමාන්‍යයෙන් පිලිගත් වර්ගීකරණ බොහෝමයක් දිවෙන්නෙ මේ වර්ගීකරණය තව දුරටත් සංකීර්ණ කරමින්.

ඡායාරූපවල පිලිවෙලින් වර්ගීකරණය සහ සෙරටොප්සියා, ඔර්නිතොපෝඩා, පැකිසෙෆලෝසෝරියා, ස්ටෙගොසෝරියා, ඇන්කයිලෝසෝරියා, සෝරොපොඩ් සහ තේරොපොඩ් දර්ශක විශේෂ දැක්වෙනවා.

ක්‍රිටැසියස් මහා නශ්ඨ වීම

මොසේසොර් (Mosasaurus)සංස්කරණය

 
මොසේසොරසයන්

==========

ජුරාසික් සහ ක්‍රිටැසියස් අවධි වල උරගයන් පරිණාමික උච්චස්ථානයකට පැමිණි බව හැමෝම වගේ දන්න කාරණයක්. ඩයිනෝසරයන් ලෙස විකරණය වෙමින් ඔවුන් පෘථෘවිය පුරාම ප්‍රමුඛ සත්ව වර්ගයට පත්වුනා. ඒ කාලේදිම ඔවුන්ගෙ වර්ගයා ඉහල ආකාසයත් තමන්ගෙ අණසකට නතු කරගත්තා. මීට කලින් ලිපියක ඉහල ආකාසය ජයගත් ටෙරොනෝඩෝන් සත්ව කොට්ඨාසය ගැන මම විස්තර කරා. මේ සියල්ලම ගොඩබිම තුල වෙද්දි සාගර කලාපයන් තුල තවත් සත්ව කාණ්ඩයක් ප්‍රමුඛයන් වීමේ ගමන අරඹලයි තිබුනේ. මේ සටහන ඔවුන් ගැන.

1764 වර්ශයේදි නෙදර්ලන්තයේ මස්ත්‍රිහ්ට් (Maastricht) ප්‍රදේශයේ මියුස් නදිය අසබඩ හුණුගල් පතලකින් ප්‍රථම වතාවට ලෝකයට නිරාවරණය වෙනවා දැවැන්ත සත්වයෙකුගෙ ෆොසිල. මියුස් නදියට ලතින් භාෂාවෙන් භාවිතාවන වදනය 'මොසා'. 'සෝරස්' කියන්නෙ ග්‍රීක භාෂාවෙන් 'උරගයා'. මොසා නදිය අසබඩ උරගයා ලෙස භෞතීස්මය ලබනවා "මොසෙසෝර්".

මුල්කාලීන ක්‍රිටැසියස් අවධියෙදි ජීවත් වුන අර්ධ ජලජ වාසී උරගයෙක් වෙන ඒයිජියලෝසෝරිඩේ කියන උරග කාණ්ඩය පසුකාලීනව පරිණාමය වෙනවා සම්පූර්ණ ජලචර ජීවින් බවට. මේ නව ජීවින් තමයි මොසේසෝරයන්. දැන් ටෙක්නිකලි මේ සතුන් උරගයන්, හැබැයි පූර්ණ ජලජ ජීවිතයකට කොතරම් අනුවර්තනය වෙනවද කිව්වොත් සාමාන්‍යයෙන් උරගයන් සතු බිත්තර දැමීමේ හැකියාව පවා මොසේසෝරයන්ගෙ වෙනස්වීමකට ලක්වෙනවා. ඔවුන් වැඩුණු පැටවුන් බිහිකිරීමක් දක්වා අනුවර්තනයන් දක්වනවා.

දැන් අමතක නොකල යුතයි මේ 'මොසේසෝර්'/ 'මොසේසෝරස්' වගේ නම් වලින් හැඳින්වුවට මොවුන් සමස්ථ සත්ව කාණ්ඩයක්. මේ කාණ්ඩය යටතෙ උපරි වර්ගම 40 ක් පමණ මේ වන විට හඳුනගෙන නම් කරලා තියෙන්නෙ. විශේෂ ප්‍රමාණය ඊට සෑහෙන වැඩී. මොවුන් අඩි 3 ක් පමණ වන Dallasaurus turneri විශේෂයෙ සිට දැවැන්ත අඩි 60 ක් පමණ වන Mosasaurus hoffmannii විශේෂය දක්වා විවිධත්වයක් තිබුණ සත්ව කොට්ඨාසයක්.

බැඳි පටල සහිත අත් පා, ශරීරය අනාකූල හැඩයක් දැරීම, වල්ගය ප්‍රදේශය හබලක් ආකාරයෙන් පරිණාමය වීම ආදී ජලචර ජීවිතයකට ඔබින අනුවර්තන රාශියක් මොවුන්ගෙ පිහිටනවා. මොවුන්ට ඉතා වේගයෙන් හඹා ගොස් පහර දීමේ හැකියාව පැවති බවයි වර්තමානයේදි පවතින විද්‍යාත්මක මතය.

දැන් මේ මොසෙසොර්ලගෙ ප්‍රධානම ආහාරය තමයි ඇමොනිටාවන් (ඇමොනිටාවන් ක්‍රිටැසියස් යුගයෙන් බහුලව ලැබෙන ෆොසිලගත සත්වයෙක්). මීට අමතරව විශාල මෝරුන් වගේම තමන්ගෙ විශේෂයෙම සාමාජිකයන්ව පවා ආහාරයට ගෙන තිබෙනවා. වර්තමානයේදි ලැබෙන ෆොසිල සටහන් වල ඇතැම් මොසෙසෝරයන්ගෙ කපාලය හා අස්ථි ⁣ෆොසිල මත තිබෙන දත් පහරවල් හඳුනගන්න පුළුවන් වෙනත් මොසේසෝරයෙකුගෙ බවට.

මේ ප්‍රාග්ඓතිහාසික සත්වයගෙ ෆොසිල ලෝකයේ බොහෝ ප්‍රදේශවලින් හමුවෙනවා. ඒකට හේතුව ගොඩබිම ජීවත්වුන සතුන් එක් එක් ස්ථාන වලට සීමා වෙද්දි මොසේසෝරයන් සාගරය පුරාම සීමාවීමකින් තොරව පිහිනා යෑමට හැකි වු නිසා. ක්‍රිටැසියස් යුගයෙ අවසාන වසර මිලියන විස්සක පමණ කාල පරිච්ඡේදය ගත්තම සාගරය තමන්ගෙ සම්පූර්ණ අණසකට නතු කරගන්න මොසේසෝරයන්ට හැකිවුනා. ඒ වෙද්දි සාගර ආහාර ජාල වල ඉහල පුරුක්වග ස්ථානගත වෙලා හිටපු ඉක්තියෝසෝර්, ප්ලෙසියොසෝර් වැනි ජලජ උරගයන් කෙමෙන් නශ්ඨව යද්දි සාගරයේ බිහිසුණුම විලෝපිකයා බවට පත්වුනේ මොවුන්.

ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයෙ ඉන්න ජලජ ඩයිනෝසරයත් මේ මොසේසෝරයෙක්. ඒකෙදි සැබෑ සත්වයාව මඳක් විකෘති කරලා තිබ්බට නියම ස්වරූපයට සෑහෙන සමානයි. හැබැයි චිත්‍රපටයෙ වගේ අහසට පැනීමේ හැකියාවනන් ඔවුන්ට තිබීමට හැකියාවක් නෑ. ඒ පෘශ්ඨීය සහ උදරීය වරල්වල තිබෙන යම් යම් වෙනස්කම් සහ බර වැනි හේතුන් නිසා. කෙසේ නමුත් ක්‍රිටැසියස් යුගයෙ ජීවත්වුන බිහිසුණු විලෝපිකයෙක් බවනම් සත්‍යක්. ක්‍රිටැසියස් මහා නශ්ඨ වීම සමඟම පෘථෘවියෙ මොසෙසොර් පරිච්ඡේදය නිමා වෙනවා. යුරෝපා සහ ඇමරිකානු කෞතුකාගාර සෑම එකකම පාහේ මේ සත්වයන්ට අයත් ඉතාමත් පැහැදිලි ෆොසිල නරඹන්න පුළුවන්.

1. ඒයිජියලෝසෝරිඩේ

2. මොසේසෝරයෙක් ඇමොනිටාවෙක් ආහාරයට ගන්න ආකාරය.

3. මොසෙසොර්යෙකුගෙ ප්‍රතිනිර්මාණයක්.

4. මොසෙසොර් සම්පූර්ණ ෆොසිලයක්.

5. මස්ත්‍රිහ්ට් ප්‍රදේශයෙන්ම මා ලබාගත් මොසේසෝර් දතක්.

සිටසියා පරිණාමය (තල්මසුන් සහ ඩොල්ෆින්)සංස්කරණය

 
prehistoric whales evolution

පැලියෝජීන් මහා අවධිය බෙදෙනවා උප අවධි තුනකට. ඔලිගොසීනය, ඉයොසීනය සහ පැලියොසීනය.. මේකෙන් ඉයෝසීනය කියන්නෙ සෑහෙන ඉන්ට්‍රෙස්ටින් අවධියක්. ඉයෝසින් (ඉයොස්+කයිනොස්) යන ග්‍රීක පද ද්විත්වයේ සබැඳියක්. ඒකෙන් එන තේරුමට සිංහලෙන් දෙන්න පුළුවන් ආසන්නතම අර්ථය තමයි "නව සත්ව සන්තතියක උදාව"

එ් කතාව එහෙම තියෙද්දි අපි යමු 1978 ට. 1978 දි මියුනිච් සරසවියේ මහාචාර්යවරයකු වනු මහාචාර්ය පිලිප් ගින්ග්‍රිච් සංචාරයක යෙදෙනවා පාකිස්තානය සු⁣ලෙයිමාන් කඳු වැටියට. මේ සුලෙයිමාන් කඳුවැටිය කියන්නෙ වසර මිලියන ගනනාවකට කලින් පැවතී මහා සාගරයක් වන ටීතීස් සාගරය පැවති සාගර පතුල. ඉතින් අදට වුනත් සුලෛයිමාන් කඳු වැටිය මත ඇවිද්දොත් ෆොසිලකරණයට ලක්වු ප්‍රාග්ඒෙෙතිහාසික මුහුදු ජීවින් බලාගන්න පුළුවන්.

දැන් මම ඔය කිව්ව මහාචාර්යතුමාට සුලෛමාන් කඳුවැටියෙදි හම්බෙනවා ක්ශීරපායි සත්වයෙකුට අයිති හිස්කබලක කුඩා කොටසක්. මේ හිස්කබල් කොටස කාලනීර්ණයට ලක් කලාම ලැබෙන දත්ත අනුව එය වසර මිලියන 50 කට වඩා පැරණියි. සාමාන්‍යයෙන් මෙහෙම අර්ධ සැකිල්ලක් ලැබුනම සම්පූර්ණ සැකිල්ල ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්. එහෙම ප්‍රතිනිර්මාණය කරපු මේ හිස්කබලට අනුව මේක අයිති සත්වයා වෘකයෙක්ගෙ හැඩරුව දැරු ක්ශීරපායි සත්වයෙක්. සැකිල්ල නැවත ප්‍රතිනිර්මාණය කලත් ෆොසිල විද්‍යාඤයන්ට මේ සත්ව විශේෂය හෝ අවම තරමින් ඔවුන් අයත් ගෝත්‍රයවත් නීර්ණය කිරීමේ හැකියාව තිබ්බෙ නෑ..

තවදුරටත් පර්යේෂණයට ලක් කරන හිස්කබල් කොටසෙ කන ආසන්නයේ පිහිටන අස්ථිමය නෙරීමක් ඔවුන්ට දකින්න ලැබෙනවා. මේ අස්ථිමය නෙරීම හඳුන්වන්නෙ 'සිග්මොයිඩ් ප්‍රොසෙස්' කියලා. මේකෙ තියෙන විශේෂත්වය තමයි සිග්මොයිඩ් ප්‍රොසෙසය පිහිටන්නෙ ඉතාමත් විශේශිතව වූ ක්ශීරපායි ගෝත්‍රයකට.... ඒ වෙන කවුරුත් නෙවෙයි තල්මසුන්, ඩොල්ෆිනයන් අයත් සිටසියා ගෝත්‍රයට. දැන් එතකොට සිටසියාවන්ට අයත් අවයවයක් කොහොමද වෘකයෙක් වගේ සත්වයෙක්ට ලැබුණේ..? ඔව් මිත්‍රවරුනි ඒ තමයි අද ලෝකයෙ සියළු සාගරවල සැරිසරන සිටසියාවන්ගෙ පූර්වජයා. පාකිස්තානයෙන් සොයාගත් සිටසියාවාට නම දෙනවා 'පැකිසීටස්'.මේ සත්වයා ජලයේ නොව ගොඩබිම්වාසි සත්වයෙක්.. එහෙම කොහොමද වුනේ ?

වසර මිලියන 50 කට කලින් ඉයෝසීනයේදි පෘථිවිය කියන්නෙ උශ්ණත්වය වැඩි තැනක්. විශේෂයෙන්ම අද සුලෛයිමාන් කඳුවැටිය එදා කඩිනම් ශුෂ්ක පරිසරයකට හැරෙමින් පැවතුන යුගයක්. පැකිසීටස්ලා ගොඩබිම හැසිරුන වෘකයන් වගේ. එයාලට මුහුණ දෙන්න වෙනවා ආහාර සඳහා සටනකට. කඩිනමින් වෙනස් වන පරිසරයත් එක්ක ජීවත් වෙන්න සටන් කල යුතුයි. පැකිසීටස්ලා ආහාර සොයාගෙන තල්ලු වෙනවා ජලාශ්‍රිත පෙදෙස්වලට. කොහොමද එහෙම වෙන්නෙ ?

වසර මිලියන 50 කට කලින් ⁣පෘථෘවියෙ ගොඩබිම් එකිනෙක ඈත් වෙමින් ප්‍රසාරණය වෙනවා. ඈත් වීම වැඩිවෙන්න වැඩිවෙන්න නව සාගර රළ තරංග රටාවන් ගොඩනැගෙනවා. මේ රළ සමකාසන්නයේ සිට ධ්‍රැව වෙතට උණුසුම් රළ සහ සුළං ධාරා රැගෙන යනවා. මේකෙන් ධ්‍රැවාසන්න පෙදෙස් උණුසුම ඉහල යනවා. උණුසුම් ධ්‍රැවාශ්‍රිත පෙදෙස් කියන්නෙ උණුසුම් පෘථිවියක්, උණුසුම් පෘථිවියක් කියන්නෙ ප්‍රභාසංස්ලේෂණ සීග්‍රතාව ඉහල යනවා.. ප්‍රභාසංස්ලේෂණ සීග්‍රතාව ඉහල යනවා කියන්නෙ සාගර ජීවි මට්ටම් ඉහල යනවා.... ඒ කියන්නෙ නොගැඹුරු ජලයේ අපේ කතා නායක පැකිසීටස්ලට පහසුවෙන් ⁣සොයාගත හැකි ආහාර ඉහලයි... දැන් මේ සංසිද්ධියේදි විද්‍යාඤයන් පවසන ආකාරයට පැකිසීටස්ලා මුලින්ම ⁣නොගැඹුරු ජලය අසලට එන්නෙ මැරුණු මාළුන්, ජලජ ජීවින් වගේ ආහාරයට ගන්න කුණප බුදින්නන් ලෙස (scavengers)... මෙහෙම කාලයක් ගතවෙද්දි ඊලඟ තාර්කික පියවර වෙන්නෙ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න සතුන් ආහාරයට ගැනීම. මේ ක්‍රියාවලිය වර්ධනය වෙනවා දඩයම් කිරීම දක්වාම.

දැන් මේක වසර මිලියන පනහකට කලින් වුන සිද්ධියක්. මුන් කෝමද මෙහෙම හරියටම කියන්නෙ ? ඒහෙම වෙන්න බෑ වගේ හිතෙනවනම් මම මේ කියන දේත් හොයලා බලන්න. වැන්කූවර් දුපතෙ අද ජීවත්වන අළු වෘකයන් මේ පැකිසීටස්ලා වගේම මුහුදට අනුවර්තනය වෙමින් ඉන්නෙ. 😊

රයිට්, ආයෙ එමු කතාවට. දැන් ඊටපස්සෙ පැකිසීටස්ලාට මොකද වුනේ... ? මුකුත් වුනේ නෑ.. පැකිසීටස්ලා අතුරුදන් වෙනවා ෆොසිල වාර්තාවලින් වසර මිලියන පනහකට කලින්...

P.s - මුලින්ම අර හිස්කබල් කොටස විතරක් හමුවුනාට පසුව සෑහෙන ෆොසිල ප්‍රමාණයක් හමුව තිබෙනවා.

ඔවුන් ජීවත් වීම සඳහා අරගලයක යෙදුනා.. වෙනස්වන දේශගුණය සහ වියෑකි යන ගොඩබිම් ආහාර හේතුවෙන් නොගැඹුරු දිය අසලට පැමිණෙන පැකිසිටාවුන් තමන්ගෙ ආහාර ප්‍රශ්නය විසඳගන්නවා. නමුත් ජීවය මත පරිසරය ඇතිකරන නිරන්තර පීඩනය වෙනත් ආකාරයකින් ඔවුන්ව හසුකරගන්නවා. පැකිසිටාවන් ගොඩබිම ජීවත් වීමට හුරු සත්වයන්. නොගැඹුරු දිය මත ඇවිදීමටත් යාන්තන් පිහිනීමටත් සමත් වුනාට ඔවුන් ජලචර සතුන් නෙවෙයි. ඒ සඳහා ඔවුන්ට අනුවර්තන තිබුනෙ නෑ. පැකිසිටාවුන් වසර මිලියන පනහකට ඉහත ෆොසිල වාර්තා වලින් අතුරුදන් වෙනවා. ඒ ජීවි ලෝකය තුල ඔවුන්ට තිබුනු කාලය අවසන්.....

එතැන් සිට...

ඒ වර්ෂ 1994.. මහාචාර්ය පිලිප් ගින්ග්‍රිච් සුලෛයිමාන් කඳු පන්තියෙන් පැකිසිටස් ෆොසිල සොයාගෙන ගතවන 16 වන වසර. මහාචාර්ය හාන්ස් තීව්සන්, ග්‍රින්ගිච් ගෙ ප්‍රධානම ගෝලයෙක්. තීව්සන් විසින් සුලෛයිමාන් කඳු පන්තිය ආසන්නයෙ සිදුකරන පර්යේෂණ වලින් තවත් හඳුනා නොගත් ක්ශීරපායි විශේෂයක සැකිල්ලක් සොයාගනු ලබනවා. ප්‍රතිනිර්මිත සැකිල්ල පෙන්වන්නෙ අමුතු ආකාරයක ක්ශීරපායියෙක්. ගොඩබිම සංචරණය කරන ක්ශිරපායියෙකු සතු පාද ඇතිමුත් පතුල් පිහිටන්නෙ තාරාවකු මෙන් බැඳි පාද සහිතව (webbed feet)..

ඒ තවත් පරිණාමිකව සංක්‍රාන්ති අවධියක පසුවන ප්‍රාථමික තල්මස් පූර්ව⁣ජයෙක්. අපි මුලින්ම හඳුනගත්ත පැකිසිටස් ෆොසිල වාර්තා වලින් අතුරුදන් වෙන්නෙ මේ නිසයි. මේ අලුත් සමාජිකයා පැකිසිටාවුන්ට වඩා ජලජ පරිසර වලට යෝග්‍ය ලෙස හැඩගැසුනු ශරීරයක් ඇති අයෙක්. ඒ ප්‍රධාන ලක්ෂණ තුනකින්

1. වර්තමානයේ දක්නට ලැබෙන දියබල්ලන් මෙන් මාංශපේශි සහිත පැතලි වල්ගයක්.

2. අපර ගාත්‍රා කෙටි සහ පලල් ආකාරයෙන් පිහිටීම, පිහිනීම පහසුවනු පිනිස.

3. ශරීරය අනාකූල හැඩයක් දැරීම.

මේ අලුත් සාමාජිකයට තීව්සන් නම දෙනවා "ඇම්බියුලෝසීටස් නාටන්ස්".. නමේ අර්ථය 'ඇවිදින සහ පිහිනන තල්මසා'...

දැන් තිබෙනවා ගැටලුවක්... ඇම්බියුලෝසීටස්ට පූර්ණ කාලීනව ජලයේ ඉන්න පුළුවන්ද?

ඒක මෙහෙම විස්තර කරන්නන්. ගොඩබිම් ක්ශිරපායියෙකුගෙ පානීය ජල අවශ්‍යතා පවතිනවා. එහෙම ගොඩබිම් සත්වයෙක් මුහුදු ජලය පානය කරොත් එය විස වෙනවා. දැන් ප්‍රශ්නය ඇම්බියුලෝසීටස් බිව්වෙ මුහුදු ජලයද නැත්තම් ගොඩබිම් ජලයද ?

ඇම්බියුලෝසීටස් බිව්වෙ ගොඩබිම් ජලය. කොහොමද හරියටම ඒක කියන්නෙ වසර මිලියන 49 පැරණි ෆොසිලයක් බලලා ? දන්ත සැකැස්ම මත තැන්පත්වල ඛණිජ ආදිය පරීක්ෂණයට ලක් කිරීමෙන් ඒ වගේ දේවල් හරියටම කියන්න පුළුවන්. ඇම්බියුලෝසීටස් ජීවත් වුනේ ගොඩබිම ආසන්නයේ. ජලය තුල කිමිදිලා ආහාර සොයා ගියත් ඇම්බියුලෝසීටස් ජලය සොයා ආවේ ගොඩ බිමට. මේ සත්වයා ජලයේ ආහාර හඹා ගිය සත්වයෙක් නෙවෙයි, මන්දගාමී ශරීරයක් සහිත බැවින් සැඟව සිට පහරදී ගොදුරු ඩැහැගත්තෙක් (Ambush predator).

පැකිසීටස්ට තිබ්බ ගැටලු ඇම්බියුලෝසීටස්ටත් එලෙසමයි. නොගැඹුරු ටීතීස් මුහුදේ ඔවුන්ට වඩා විශාල මෝරුන් සහ ජලජ විලෝපිකයන් ඒමට. ඒ බව ඇම්බියුලෝසීටස් ෆොසිල ලැබෙන සෙඩිමන්ට් ලේයර්ස් වලම මතුවන විශාල මෝර සහ කිඹුල් ෆොසිල මඟින් පැහැදිලියි. පැකිසිටස්ට තිබ්බෙ නැති ප්‍රශ්නයකුත් ඇම්බියුලෝසීටස්ට.. ඒ තමයි මන්දගාමී අඩක් ජලයට හැඩගැසුනු සිරුර දැන් ගොඩබිමදි තවත් මන්දගාමී. ඒ හේතුවෙන් ගොඩබිම් විලෝපිකයන්ට ඔවුන් පහසු ගොදුරක්...

වර්ශ මිලියන 49 කට පෙර ඇම්බියුලෝසීටස් ෆොසිල් වාර්තා වලින් ඉවත් වෙනවා... ඒ ඇම්බියුලෝසීටාවන්ගෙ කාලය අවසන්.

ගැටලුව තාමත් ඉතිරියි. කවදා කොහෙදි කොහොමද සිටසියා පූර්වජයන් ලවණ ජලයට පූර්ණ අනුවර්තන ගෙනාවේ...?

ඇම්බියුලෝසීටාවන් වසර මිලියන 49කට පෙර ෆොසිල වාර්තා වලින් ඉවත් වෙන්නෙ සිටසියා පරිණාමය තුල ප්‍රධානතම ගැටලුව ඉතිරි කර. කවදා කොහෙදි කොහොමද සිටසියාවන් ලවණ ජලයට පූර්ණ අනුවර්තන ලබා ගත්තෙ..?

එතැන් සිට...

1994 වර්ශයේදිම වසරේදි මහාචාර්ය පිලිප් ගින්ග්‍රිච් නැවතත් සුලෛයිමාන් කඳුවැටිය අවට පර්යේෂණ මෙහෙය වීමේන් තවත් නව ක්ශීරපායි විශේෂයක ෆොසිල මතුකර ගනු ලබනවා. ඒ තවත් තල්මස් පරිණාමයේ සංක්‍රාන්ති අවධියක්. ඇම්බියුලෝසීටාවන්ට වඩා දියුණු පිහිනීමේ අනුවර්තන වලින් සන්නද්ධ මේ නව විශේෂය සතු ප්‍රධාන ලක්ෂණ කිහිපයක් මෙසේයි.

* කෙටි, ශක්තිමත් බෙල්ලක් සතු වීම.. කිමිදීමට වඩා ප්‍රයෝජනවත්

* පසු ගාත්‍ර තවත් කෙටි වී හබල් මෙන් සැකැස්ම

* වල්ගය තවත් මාංශපේෂිමය වීම.

* විශේෂිත දන්ත සැකැස්ම

අඩි දහයක පමණ දිගින් යුත් මේ සත්ව විශේෂය "රෝඩෝසීටස්" නමින් නම් කරනු ලබනවා.

 
රෝඩෝසීටාවෙක්

තල්මසුන් පරිණාමයේ මුහුදු ජලය සඳහා පූර්ණ අනුවර්තන දක්වන පලමු සාමාජිකයා තමයි වසර මිලියන 46 කට ප්‍රථම පරිණාමය වන රෝඩෝසීටස්. රෝඩෝසීටස් කොහොමද විලෝපිකයන්ගෙන් ආරක්ෂා වුනේ ? මේ ගැටලුවට පිලිතුර තිබෙන්නේ මේ සත්ව⁣යගෙ කර්ණ ශංඛයේ සමබරතාව රකින අවයවය මත. රෝඩෝසීටස් සමබරතාව අතින් ඉහලයි. වේගයෙන් පිහිනා යන ගමන් ඉතාමත් ඉක්මනින් දිශා මාරු කිරීමටත්, හැරවීමටත් ඇති හැකියාව රෝඩොසීටාවන් සතුයි. එමගින් ඔවුන්ගෙ මුල් පූර්වජයන් මුහුන දුන් විලෝපිකයන්ගෙන් බේරි යාමට රෝඩෝසීටාවන් සමත් වුනා. ඔවුන් සාගර කලාප විශාල ප්‍රමාණයක සුලබව පැතිරුනා..

නමුත් රෝඩෝසීටාවන් නැවතත් වෙනස්වන දේශගුණය නිසා ගැටලුවලට මුහුණ දෙනවා. පැවැත්ම සඳහා ඔවුන් සටන් කල යුතුයි, වෙනස් විය යුතුයි.. වෙනස් නොවුනොත් පැවැත්ම අවසානයි. වසර මිලියන 46 කට පෙර අවසාන රෝඩෝසිටාවන් ෆොසිල වාර්තා වලින් ඉවත් වෙනවා....

ඊජිප්තුවෙ බටහිර කාන්තාරය.. කයිරෝ නුවරට කිලෝමිටර් සීයක් පමණ නිරිතදිගට වන්නට පිහිටි 'වාඩි අල් හිට⁣ාන්" ප්‍රදේශය කියන්නෙත් ප්‍රාග්⁣ෛඑතිහාසික ටීතිස් සාගරය පැතිරී පැවති කොටසක්. වසර මිලියන ගනනක් පැරණි ⁣සාගර සත්ව විශේෂ වල ෆොසිල මෙහෙදි පොලව මතුපිට දැකගන්න පුළුවන්. මේ ප්‍රදේශයෙන් හමුවෙනවා අඩි 50 ක් පමණ දිගු තල්මස් පූර්වජයෙක්. එවක පැවතී සාගරයේ සුපිරි විලෝපිකයා තමයි මේ බැසිලෝසෝරස්.

රෝඩෝසීටාවන් ඉදිරියට පැමිණිලා, වෙනත් ස්වරූපයන්ගෙන්.. බැසිලෝසෝරස් රෝඩෝසීටාවන්ට නොතිබුන තවත් ජලචර අනුවර්තනයන්ගෙන් සන්නද්ධ වෙනවා.

*ජලය තුල හොඳින් පෙනීම සඳහා දියුණු ඇස්.

* ජලය තුල ඉතාමත් තියුණු කන් ඇසීමෙ හැකියාව.

* ආඳකු මෙන් දිගු හැඩයක් සතුවීම, නොගැඹුරු දියේ දඩයමට.

මේ අනුවර්තන සියල්ලත් සමඟ බැසිලෝසෝරස්ට අතීතයෙ හිමිවු දැන් ප්‍රයෝජනයක් නැති අවයවයකුත් එලෙසම පවතිනවා. ඒ තමයි පසුගාත්‍රාවල ඉතිරිව ගිය ශේෂයන්.

මිලියන 39 කට පෙර සාගර ආධිපත්‍යය අචලතාපී සත්වයන් අතට ගැනීමට බැසිලසෝරයන්ට හැකි වෙනවා. පෙර තම පූර්වජයන් ආහාරයට ගත් විලෝපිකයන් මේ වෙද්දි බැසිලෝසෝරයන්ගෙ ආහාර බවට පත්ව හමාරයි..

මධ්‍යකාලීන ඊයෝසීන අවධියේ බැසිලෝසෝරයන් සමඟ මුහුදේ සරනවා තවත් අපූරු සත්වයෙක්. බැසිලෝසෝරයන් තරම් මහේශාක්‍ය නොවුන, ඉතාමත් සැඟවුනු දිවියක් ගෙවු කුඩා සිටසියාවන් විශේෂයක් වන මොවුන් හඳුන්වන්නෙ "ඩොරුඩොන්ට්ස්" නමින්. ඩොරුඩොන්ට්ස්ලා ප්‍රමාණයෙන් සහ හැඩහුරුකමෙන් වත්මන් ඩොල්ෆිනයන් වගේ.

ෆොසිල සාධක අනුව බැසිලෝසෝරයන් තමන්ගෙ ඤාාතීන්වන කුඩා ඩොරුඩොන්ට්ස්ලව ආහාරයට ගත් බව තහවුරුයි. බැසිලෝසෝරයන් මෙන් විශාල විලෝපිකයන්ගෙන් මිදෙන්න ඩොරුඩොන්ට්ස්ලා රංචු ආකාරයෙන් ගැවසුන බවට විද්‍යඤයන් අදහස් පලකරනවා.

වසර මිලියන 35 කට පොරොතුව නැවතත් දේශගුණික විපර්යාස. මුල් කාලීන ඉයෝසිනයේදි රත්වුන ලෝකය නැවත සිසිල් වෙනවා. සාගර සිසිල් වෙන අතරේ දකුණු ඇමරිකානු භූ තැටියෙන් වෙන්වෙන ඇන්ටාර්ක්ටික් භූ තැටිය ධ්‍රැවාසන්න හිම වැස්මක් බවට තහවුරු වෙනවා. ධ්‍රැවාසන්න හිම තහවුරු වෙන්න ජලය අවශ්‍යයි.. පෘථිවිය මත පවතින ජලය ධ්‍රැවාසන්නයේදි ඝනීභවනය වෙද්දි ගෝලීය සාගර ජලමට්ටම් පහත බසිනවා.

බැසිලෝසෝරයන් දෙසට හැරෙමු.. ඔවුන් ශරීරය ප්‍රමාණය විශාලයි දිගටියි. හැඩගැහිලා තියෙන්නෙ නොගැඹුරු ජලයේ පිහිනා ගොස් දඩයම් කරන්න. සාගර ජලමට්ටම් අවම වෙද්දි බැසිලෝසෝරයන් දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙනවා. ඔවුන්ට ගැඹුරු ජලයට අනුවර්තනය වෙන්න කාල වේලාව මදී.... මධ්‍ය ඉයෝසීනයේදි බැසිලෝසෝරයන් පෘථිවියෙන් සමුගන්නවා. ඔවුන්ගෙ ඉදිරි පැවැත්මක් නෑ.

එ්ත් එතරම් අණසක නොපැතිරු ඩොරුඩොන්ට්ස්ලා මේ අභියෝගය ජයගන්නවා. කුඩා, සමානුපාතික, මෙහෙයවිය හැකි සිරුරින් යුත් ඩොරුඩොන්ට් සත්වයන් ගැඹුරු දියට සංක්‍රමණය වෙනවා. ඩොරුඩොන්ට්ස්ලා වර්තමානයෙ ඔබ දකින සියළු තල්මසුන් සහ ඩොල්ෆිනයන්ගෙ පූර්වජයා..පරිණාමය විශාල මෙන්ම මහේශාක්‍ය බැසිලෝසෝරයන්ට වඩා කාරුණික වෙන්නෙ ඩොරුඩොන්ට්ස්ලට..

ඩොරුඩොන්ට්ස්ලගෙ පසුකාලීනයන්ට නැවත විලෝපික තර්ජන ඇතිවෙනවා. ප්‍රාග්⁣ෛඑතිහාසික සාගරවල දරුණුම දඩයක්කරුගෙන්.. ඒ තමයි එතෙක් මෙතෙක් සිටි සුවිසල්ම මෝර විශේෂය වන මෙග⁣ලඩොන් මෝර විශේෂයන්ගෙන්.. ඔවුන්ගෙන් ගැලවෙන්නනම් නව සිටසියාවුන් තමන්ගෙ නිජබිම් වලින් ඈතට යා යුතුයි.

මෝරුන් කියන්නෙ චලතාපි සත්වයන්. ඔවුන්ගෙ ශරිර උණුසම පරිසර උෂ්ණත්වයත් සමඟ ඒ තත්වයට පත්වෙනවා. සිටසියාවන් අචලතාපින්, ඔවුන්ට පුළුවන් වෙනස් පරිසර උශ්ණත්වයන්ගෙදි තමන්ගෙ ශරීර උශ්ණත්වය පාලනය කරගන්න. එහෙනම් ඉතිරි එක් තාර්කික විකල්පයයි..... ඒ ධ්‍රැවාසන්න පෙදෙස් වලට සංක්‍රමණය. මෝරුන්ට බෑ එතකොට සිටසියාවන් එලවන්න. සීතල සාගර ජලය ඔවුන්ට මාරාන්තිකයි. නමුත් සිටසියාවන්ට පුළුවන් උශ්ණත්වය පාලනය කරගන්න.

ෆ්ලෝයන් වලදි මම ලිව්ව ලිපියෙ සඳහන් කලා තල්මස් වර්ගයා ආර්ක්ටික් සාගරවලට සංක්‍රමණය විමේ පරිණාමික ක්‍රියාවලිය සිත්ගන්නාසුළු කතාවක් බව. මෙතෙක් ඔබ කියෙව්වෙ ඒ කතාව...

ඩොරුඩොන්ට්ස්ලාගෙ මුණුපුරු මිණිබිරියන් අදත් සීතල ආර්ක්ටික් සාගර තුල සරන්නෙ ජීවය කෙරෙහි පරිසරය ඇතිකරන පීඩන වල ආන්තික ඵලයක් ලෙස. අද ඔවුන් විශේෂ අසුවක පමණ විහිද ගිය සිටසියා ගෝත්‍රය. නිල්තල්මසුන් , තෙල්මන්ද තල්මසුන් , ඔර්කා, බෙලුගා, ඩොල්ෆින්ස්, පොර්පොයිස් වැනි විශාල පරාසයක ඔවුන් විවිධත්වය පෙන්නුම් කරනවා. එමෙන්ම දියුණු බුද්ධියක් සතු, හැගීම් දැනීම් සතු දියුනු ජීවින් ඔවුන්.

වසර මිලියන 50 කින් එපිට වෘකයෙක් වැනි සත්ව විශේෂයක් නැවත සාගරයට හැරෙනවා.. ඒ ගමන බියකරු මෙන්ම වාසනාව මත රඳා පැවති සමස්ථ ක්‍රියාවලියක්. නැවත මුහුදට අනුවර්තනය වීම අපි හඳුන්වනවා රිවර්ස් එවලුශන් කියලා... අන්න ඒ විශේෂ ජීවින් කොටස ලංකාව අවට අපත් සමඟ ඉන්නවා කියන එකත් මතක තියාගන්න කියලා ඉල්ලමින් මේ කතා⁣ව හමාර කරනවා.

ප්ලැකොඩර්මාවුන් (Placodermi)සංස්කරණය

===============

 
ප්ලැකොඩර්මාවුන්

ඩයිනෝසරයන් මිහිමත ජීවත් වුන කාලයටත් එපිටින් වාසය කල ජීවීන් ගැන කතා කරද්දි ප්ලැකොඩර්මාවුන් කියන නශ්ඨව ගිය සත්ව විශේෂ එක්තරා අවධියකදි පෘථිවිය පුරාම සිය අණසක පැතිරවු සත්ව වර්ගයක් (class). ප්ලැකොඩර්මි කියන නමේ ග්‍රීක අර්ථය 'සන්නාහයක්/ වැස්මක් සහිත සමකින් යුත්' වැනි අරුතක්. සිලූරියන් අවධියේ ( ඒ කියන්නෙ මීට වසර මිලියන 440 කට පමණ පෙර ඇරඹි) ඩේවෝනියන් අවධියේ අවසාන කාලය තෙක් (ඒ කියන්නෙ වසර මිලියන 360 කට පමණ පෙර) මේ ප්ලැකොඩර්මාවුන් පෘථිවියේ සාගර තුල වාසය කලා. සාමාන්‍යයෙන් මොවුන්ගෙ පොදු ලක්ෂණය තමයි හිස, ගෙල සහ පපුව ප්‍රදේශය ගන සන්නාහයක් මෙන් වු ආවරණයකින් වැසී පැවතීමත් ශරීරයේ ඉතිරි කොටස් කොරපොතු ආවරණයකින් වැසී පැවතීමත්. දැන් මේ ප්ලැකොඩර්මාවුන්⁣ගෙ විවිධත්වය ඉතාමත් අධිකයි. සිලූරියන්, ඩෙවෝනියන් අවධි තුල පෘථිවියෙ සාගර පුරාම පැතිරීම වගේම විවිධත්වය දකින්න පුළුවන් ෆොසිල සාධක වලින්. සෙන්ටිමීටර 30 පමණ විශේෂ අයත් වන බොත්රියොලෙපිස් ගනයේ සිට අඩි 20 ක් පමණ විශාල වන ඩන්ක්ලිඔසිටියස් ගනය දක්වා මොවුන් විවිධ ප්‍රමාණ වලින් ජීවත්ව තිබෙනවා.

මේ අතරින් මම කතා කරන්නෙ ඩන්ක්ලිඔස්ටියස් ගනය ගැන. ඩන්ක්ලිඔස්ටියස් ගනයට මේ වන විට හඳුනාගත් ෆොසිල සාධක අනුව විශේෂ දහයක් අයත්. : D. terrelli, D. belgicus, D. denisoni, D. marsaisi, D. magnificus, D. missouriensis, D. newberryi, D. amblyodoratus, and D. raveri තමයි මේ විශේෂ. මේ අතරින් ලෝකයේ ප්‍රථමයෙන්ම බිහිවු පෘශ්ඨවංශීක සුපිරි විලෝපිකයෙක් තමයි ඩන්ක්ලිඔසිටියස් ටෙරෙලි. අමරිකාවේ කැලිෆෝනියා, ටෙනිසි , ඔහායෝ ප්‍රදේශ වලින් බහුලවම මේ ෆොසිල හමුවෙනවා. ඇතැම් විද්‍යාඤයන්ට අනුව ටෙරෙලිට හනු වලින් දිය හැකි බලය සැලකිල්ලට ගෙන එතෙක් මෙතෙක් විශාලතම සපාකෑම ලබාදිය හැකි සත්වයා ලෙස නම් කර තිබෙනවා, නමුත් බහුතර මතය අනුව නම් ඒ ස්ථානය හිමිවෙන්නෙ Livyatan melvillei නමින් හඳුන්වන ප්‍රාග්⁣ෛඑතිහාසික තල්මස් විශේෂයකට සහා Carcharodon megalodon නමින් හඳුන්වන ප්‍රාග්⁣ෛඑතිහාසික මෝරුන් විශේෂයට. නමුත් ඩන්ක්ලිඔසිටියස් අවතක්සේරු කල යුතු නැහැ. සාමාන්‍යයෙන් මේ හනු තෙරපුම (bite force) එක ගනනය කරන්නෙ ගොදුරේ වර්ග අඟලකට යෙදෙන රාත්තල් ප්‍රමාණයේ බරින්. මේක අපි වර්තමානයේ ඉන්න කිඹුලෙක්ගෙ හනු තෙරපුමත් එක්ක සංසන්දය කරොත් කිඹුලෙක්ට යෙදිය හැකි හනු තෙරපුම වර්ග අඟලකට රාත්තල් 3700 ක පමණ බලයක්. ඩන්ක්ලිඔස්ටියස් ටෙරෙලිගෙ මේ ප්‍රමාණය වර්ග අඟලකට රාත්තල් 8000+ .

දැන් මේ අපි කතා කරපු ටෙරෙලි වගේ ප්ලැකොඩර්මාවුන් ඩෙවෝනියන් යුගයේ සාගර කලාප සිය අණසකට නතු කරගෙන හිටියට ඩේවෝනියන් අවධිය අවසාන වෙන කාලවකවානුවෙදි සිදුවු නශ්ඨවීම් සිද්ධිදාමයේදි නශ්ඨව යනවා. පසුකාලීනවා

ඩන්ක්ලිඔසිටියස් ගනය සහ සියළු ප්ලැකොඩර්මාවුන්ගෙ නශ්ඨවීම පිළිබඳව විවිධ මත තිබෙනවා. එයින් වඩාත් ප්‍රචලිත මත ⁣ද්විත්වය මෙහි සඳහන් කරනවා. පලවෙනි මතය තමයි ප්ලැකොඩර්මාවුන්ගෙ පරිණාමයට පසුකාලීනව සිදුවෙන අස්ථිමය මසුන් පරිණාමයත් සමඟම ආහාර සඳහා තරඟයට මුහුණදීමට නොහැකිව ප්ලැකොඩර්මාවුන් වඳව ගිය බව. දෙවන මතය තමයි ඩෙවෝනියන් අවධියේදි සාගර ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය සීඝ්‍රයෙන් පහල බැස්ස නිසා ඩන්ක්ලිඔසිටියස් වැනි විශාල සත්වයන්ට ඔක්සිජන් ප්‍රමාණවත් නොවී කුඩා මත්ස්‍යන් පමණක් ඉතුරි වු බව. මේ මතය සනාථ කරන කාරණයක් විදිහට විද්‍යාඤයන් ගෙන එන සාධකයක් තමයි ඩෙවෝනියන් නශ්ඨවීමෙන් පසුව වසර මිලියන ගනනකින් එළඹෙන මීසෝසොයික අවධිය දක්වාම විශාල මසුන් පරිණාමය නොවීම.

ප්ලැකොඩර්මාවුන්ගෙ ෆොසිල නැවත ප්‍රතිනිර්මාණය කිරීමෙන් පසු ලැබෙන ජීවමාන රූප ඉතාමත් අපුරුයි. බොත්රියොලෙපිස් ගනය පිටසක්වල ජීවින් ලෙස දිස්වන අතර ඩන්ක්ලිඔස්ටියස් වැනි විශේෂ මායා කතා වල එන අති දරුණු සත්වයන් මෙන් දිස්වේ. ඩයිනෝසරයන්ට පෘථිවිය මත සක්මන් කිරීමට කලින් සිටි සුපිරි විලෝපිකයන් කාණ්ඩයක් වන ප්ලැකොඩර්මාවුන් ගැන කෙටි කතාව එහෙමයි.

 
මේම පක්ෂින්ගේ ප්‍රමාණය හා මිනිසාගේ ප්‍රමාණය සැසදුවිට

භීතියේ පක්ශියා (Terror Birds)

=========================

මේ Phorusrhacidae යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන දකුණු ඇමරිකානු කලාපය සිය අණසකට නතුකරගෙන සිටි භීතියේ පක්ශීන්, එසේත් නැත්තම් 'ටෙරර් බර්ඩ්ස්' සත්වයන් ගැනයි.

 
Phorusrhacidae

සෙනෝසොයික අවධිය යනු ක්ශීරපායින්ගෙ කූටප්‍රාප්තිය සිදුවු අවධිය. ක්‍රිටැසියස් නශ්ඨවීමෙන් පසුව යෝධ සත්වයන්ගෙන් හිස් වෙන පෘථෘවිය වසර මිලියන ගනනකින් පසු ඇතිවෙන සෙනොසොයිකයේදි නැවත යෝධයන්ගෙන් පිරෙනවා. මෙවර එය පෙර මෙන් උරගයන් නොව ක්ශිරපායි යෝධයන්ගෙ ලෝකයක්. ටෙරර් බර්ඩ්ස්ලා ඇතිවෙන්නෙ මේ ක්ශිරපායින්ගෙන් පිරි ඉතිරී යන පෘථෘවිය තුල.

ටෙරර් බර්ඩ්ස් කියන පොදු නමක් භාවිතා කරාට මොවුන් අයත් වන්නෙ ෆොරස්රැසිඩ්ස් කියන කුලයට. මීටර් 1 සිට මීටර් 4 පමණ උස පරාසයක වැඩෙන ශක්තිමත් ⁣විශාල හොටක් සහ වේගයෙන් දිවීම සඳහා සකස්වු ගාත්‍රා සහිත මේ පක්ශීන් වසර මිලියන 62 කට එපිටින් වු සෙනොසොයික අවධියේ සිට වසර මිලියන 1.8 පෙර පහලවු ප්ලයස්ටොසීන යුගය දක්වාම විශේෂනය වෙමින් පැවත ඉන්පසුව නශ්ඨව යනවා.

දකුණු අමරිකානු කලාපයේ ජීවත් වු මේ ෆොරැසිඩ්ස් විශේෂ වලින් එකම එක් විශේෂයක් දකුණු හා උතුරු අමරිකානු කලාප යා කරමින් බිහිවෙන පැනමා භූ තැටිය ඔස්සේ උතුරු ඇමරිකාව තරණය කරනවා. ඒ තමයි ටයිටැනිස් වොලරි කියන ෆොරැසිඩ් විශේෂය.

මේ සත්වයන්ගෙ හමුවී ඇති ෆොසිල සාධක මත සිදුකර ඇති පර්යේෂණවලට අනුව මොවුන්ට පැයට කිලෝමීටර 48 දක්වා වේගයක් ජනනය කිරීමට හැකියාව තිබු සත්ව කොට්ඨාසයක්. සෙනොසොයිකයෙ පැතිර ගිය අශ්ව විශේෂ පවා හඹා ගොස් දඩයම් කිරීමට මෙමගින් ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

ඉතාමත් මෑතකදි සිදුකල පර්යේෂණ මඟින් ෆොසිල විද්‍යාඤයන්ට සඳහන් කරන්නෙ මේ පක්ශින් හඹා ගොස් ග්‍රහණය කරගත් ගොදුර පොළවේ ගැසීම මඟින් අඩපණ කල බවයි. වර්තමානයේදි අප්‍රිකාව තුල ජීවත්වන Sagittarius serpentarius පක්ශියා මේ උපක්‍රමය යොදාගන්නවා ගොදුරු සෙවීමේදි. ඒ වගේම මොවුන්ගෙ ශක්තිමත් පාද මඟින් පහරදීමේ හැකියාව මොවුන්ට තිබී ඇත. වර්තමානයේදි ජීවත්වන කැසොවරි , පැස්බරුන් වැනි විශේෂ වලට මේ පා පහර එල්ල කිරීමේ හැකියාව පවතිනවා

මොවුන්ගෙ වඳ වීමට ප්‍රධානම හේතුව ලෙස දක්වන්නේ පැනමා භු තැටිය මඟින් වසර මිලියන දෙකකට පමණ පෙර උතුරු හා දකුණු අමරිකානු මහද්වීප යා වීම. මේ හේතුවෙන් උතුරු ප්‍රදේශවල සිට මාංශභක්ෂක කාර්නිවෝරාවන් (වලසුන්, සුනඛ සහ බිළාල පවුලට අයත් සතුන්) දකුණට සංක්‍රමණය වීම නිසා ෆොරැසිඩ්ස් විශේෂවලට ඇතිවු තරඟය ජය ගැනීමට නොහැකිව නශ්ඨව ගිය බව.

වෙලෝසිරැප්ටර්සංස්කරණය

==============

1923 වර්ශයේදි විද්‍යවට මුලින්ම හඳුන්වාදෙන මේ ඩයිනෝසර විශේෂය සොයාගනු ලබන්නේ මොන්ගෝලියානු ගෝබි කාන්තාරයෙන්. දැනට මෙහි හඳුනාගත් විශේෂ ද්විත්වයක් සිටිනවා. වෙලෝසිරැප්ටර් මොන්ගෝලියෙන්සිස් සහ වෙලෝසිරැප්ටර් ඔස්මොල්ස්කි මේ විශේෂ ද්විත්වය. ජුරාසික් පාර්ක් චිත්‍රපටය හේතුවෙන් ප්‍රසිද්ධියට පත්වෙන මේ වෙලෝසිරැප්ටරයන් පිලිබඳ ඇතිවී තිබෙන දුර්මත බොහෝමයි. පලමුවෙන්ම ඔවුන් ඔබ චිත්‍රපටය තුල දකින රැප්ටරයන් තරම් විශාල සත්වයන් නෙවෙයි. දෙවනුව ඔවුන් එතරම්ම බුද්ධිමත් සත්ව විශේෂයන් නෙවෙයි, තෙවෙනුව සැබෑ රැප්ටරයන් පිහාටු සහිත ජීවි කාණ්ඩයක් බවයි සැලකෙන්නේ. (පිහාටු පැවතියාට ඔවුන් පක්ශින් නොවෙයි).

වර්තමානයේදි ස්වාභාව විද්‍යා කෞතුකාගාර බොහෝමයක රැප්ටර් ප්‍රතිනිර්මාණවල මේ පිහාටු සහිත සිරුර ඔවුන් නිර්මාණය කර තිබෙනවා.

 
Velociraptor

ඡායාරූපවල පිලිවෙලින් චිත්‍රපටයේ වෙලෝසිරැප්ටරයන්, වෙලෝසිරැප්ටර් මොන්ගෝලියෙන්සිස් ප්‍රතිනිර්මාණයක්, සංසන්දනාත්මක ප්‍රමාණය.

 
Pterosaurs

ටෙරෝසෝරයන්

===============================

සත්ව පරිණාමික වංශකථාවෙ ඉහල ආකාසයට අවස්ථා හතරකදි ජීවය ඉහලට එසවෙනවා. ප්‍රාථමීක ඩෙවෝනියන් අවධියේදි කෘමීන් තමයි පලමු පියාපත් ඇති බල පියැසැරියකට හිමිකම් කියන්නේ. ඊට සෑහෙන කලකට පසුව මීසෝසොයික අවධියේදි ටෙරෝසෝරයන් අහසට නගිනවා. ඉන්පසුව ජුරාසික යුගය අවසානයත් සමඟම ප්‍රථම පක්ශීන් බල පියාසැරියට එළඹෙනවා... අවසාන වශයෙන් මේ බල පියාසැරියට එළඹෙන්නෙ ඉහල ඉයෝසීන යුගයෙදි ක්ශීරපායින්ගෙ කයිරොප්ටෙරාවන්. කයිරොප්ටෙරාවන් කියන්නෙ වවුල් විශේෂ අයත් ⁣ක්ශීරපායී ගෝත්‍රය...

දැන් මේ විවිධ කාණ්ඩ පියාසැරිය සිය පරිණාමය තුලදි අත්පත් කරගත් විදි හරි අපූරු කතාන්දර. විශේෂයෙන්ම පක්ෂි පරිණාමය අංග සම්පූර්ණ ලෙස විස්තර කර ඇති පරිණාමික ක්‍රියාවලියක්.

මේකෙ මේ ඔය කතා ලිව්වට ලියන්න අදහස් කලේ ටෙරෝසෝරයන් ගැන. මීසෝසොයික අවධියේදි මිහිමත පහලවෙලා ක්‍රිටසියස් මහා වඳවීමත් සමඟම ටෙරෝසෝරයන් මිහිමතින් තුරන් වෙනවා. ටෙරෝසෝරස් කියන නමේ ග්‍රීක අර්ථය 'පියාඹන උරගයා'. උරගයා කිව්වට විද්‍යාත්මක වර්ගීකරණය අනුව ටෙරෝසෝරයන් උරගයන් නෙවෙයි, ඔවුන් වෙනම කණ්ඩායමක්.

දැන් සමහර තැන්වලදි මේ ටෙරෝසෝරයන්ට 'ටෙරෝඩැක්ටිල්' කියලත් භාවිතා වෙනවා. ඒ භාවිතාව ටෙක්නිකලි දෝශ සහිතයි. ඒක වෙන්නෙ මෙහෙම. ටෙරෝසෝරයන් කියන්නෙ සමස්ථ ගෝත්‍රයට. ටෙරෝඩැක්ටිලයන් කියන්නෙ ටෙරෝසෝරස් ගෝත්‍රයේ එක් ගනයක්. ආතර් කොනන් ඩොයිල්ගෙ ලොස්ට් වර්ල්ඩ් පොතේ නිල් මැටි සහිත බිමක දියමන්ති සොයන්න කූඩයකින් ආවරණය වෙලා යන රොක්ස්ටන් සාමි ගැන මතක අයට ටෙරෝඩැක්ටිල්ලා අමතක වෙන්න විදිහක් නෑ.. හරි දැන් පැටලැවිල්ලා ලිහුනා කියලා හිතෙනවා.

දැන් මේ ටෙරෝසෝරයන් විවිධ ප්‍රමාණ, විශේෂ, බරින් යුක්ත හාදයො. අල්ලක් තරම් පොඩි 'ටෙරෝඩැක්ටිලස් කොචී' විශේෂයේ සිට මීටර් දහයක පමණ වින්ග්ස්පෑන් එකක් තිබ්බ එතෙක් මෙතෙක් පියාසැරිය ලැබු විශාලතම සත්වයා විරුදාවලිය ලත් ක්වේට්සල්කෝට්ලස් විශේෂය වෙනකන් අධි විවිධත්වයක් තිබු සත්ව කාණ්ඩයක්.

මොවුන්ගෙ පියාපත් සමෙන් සැදුම්ලත් බැඳි පටලයක් ආකාරයෙන් පිහිටන්නෙ. (වවුලන්ගෙ වගේ) මුල් මීසෝසොයික නිදර්ශක වල සිට පසුව ක්‍රිටසියස් නිදර්ශක දක්වා අධ්‍යනය කරද්දි බලන්න පුළුවන් මුල් කාලීනව දත් පිහිටි මුඛයන් සහ දිගු වල්ගා පිහිටියත් ක්‍රිටසියස් අවධිය වෙනකොට දත් අවම වෙලා වල්ගා ක්ශීනව යනවා. ඒ පියාසැරිය සඳහා වඩාත් හොඳින් අනුවර්තනය වීමට.

දැන් මේ පහත පිලිවෙලින් තියෙන්නෙ රැම්ෆොරින්කස් මුඑන්සටරී, රැම්ෆොරින්කස් ලොන්ගිකූඩස්,

ටෙරොඩැක්ටිලස් කොචී කියන විශේෂ තුනේ බර්ලින් කෞතුකාගාරයේ මට මුණගැහුන ෆොසිල නිදර්ශක තුනක් සහ ආර්ටිස්ටික් රීකන්ස්ට්‍රක්ශන් සහ ක්වෙට්සකෝට්ලස් කියන විශේෂයේ සංසන්දනාත්මක ප්‍රමාණය. මේකෙන් යම් අදහසක් ගන්න පුළුවන් වෙයි මීසෝසොයික මහා අවධියට අයත් ට්‍රියාසික් අවසාන වකවානුවෙ සිට ක්‍රිටසියස් යුගය දක්වා අහස කොතරම් කාර්යබහුල, ජනාකීර්ණ තැනක් වන්නට ඇද්ද යන්න.

සෙරටොප්සිඩේ කුලය

==================

 
Ceratopsia

ලෝකයේ ප්‍රසිද්ධම ඩයිනෝසර විශේෂ වලින් එකක් තමයි ට්‍රයිසරැටොප්ස් විශේෂය. ජුරාසික් පාර්ක් චිත්‍රපට⁣ පෙලේ ප්‍රථම චිත්‍රපටයේ සිට අවස්ථා ගනනකදී චිත්‍රපට සහ කතාංග මාලා තුලින් මේ සත්වයා දැකගත හැකී වීම ඊට එක් හේතුවක්. ට්‍රියැසික් යුගය තුල ඇමරිකානු කලාපය තුල බහුලව වාසය කල මේ සත්වයන් අයත් වන්නෙ සෙරටොප්සිඩේ කුලයට. සෙරටොප්සිඩේ කුලය කොතරම් විවිධත්වයක් දැක්වු කුලයක්ද යත් විශේෂ ගනනාවක් ට්‍රියැසික් අවධිය තුල මිහිමත ජීවත් වුනා. පහත පින්තූර තුලින් මේ විවිධත්වය බලන්න පුළුවන්. සියළුම විශේෂ මෙහි දැක්වෙන්නේ නැති වුනත් විශේෂ බොහෝමයක් මෙහි දකින්න පුළුවන්. සෙරටොප්සිඩාවන් යනු ශාඛ භක්ෂක කුලයක්. ට්‍රයිසරැටොප්සයන් පමණක් දැක ඇති ඔබට සිතාගන්න පුළුවන් වෙයි පරිණාමික දිනපොත තුල ට්‍රියැසික් යුගය යනු කොතරම් විවිධත්වයක් ඉසිළු අපූරු භු යුගයක්ද බව..

බුද්ධිමත්ම ඩයිනෝසර විශේෂය

=====================

කලකට ඉහතින් ජේ.ආර් සමන් මංජුල විසින් රචිත පිටසක්වල ජීවය ගැන පොතේ තිබුනු සටහනක් පසුකලෙක ලංකාවෙ පිටසක්වල ජීවය වැනි සංකල්ප ගැන උනන්දුවක් දක්වන රසික සමාජය විසින් පතුරුවනු ලැබුවෙ සත්‍ය කතාවක් විදිහට. මේය අැත්තක්ද

මංජුල මහත්මයගෙ පොතේ තිබුනෙ ක්‍රිටැසියස් වඳවීමට ප්‍රථම ජීවත් වූ ඩයිනෝසර විශේෂක් බුද්ධිමත් බවින් අග්‍රස්ථානයක පසුවු බවත්, පසු කලෙක ඔවුන් පරිණාමය වී හෝමෝ සේපියන්වරුනට සමාන රුවින් යුතු වූ බවත්, දියුණු ශිෂ්ඨාචාරයක් ගොඩනැගූ ඔවුන් පසුකලෙක පෘථෘවිය හැර ගොස් විශ්වයෙ ඇතැම් ස්ථාන ජනාවාසකරණයට ලක් කල බවත් , අද අපට අසන්නට ලැබෙන පිටසක්වල ජීවීන් යනු ඔවුන් විය හැකි බවත්.

දැන් මේ ඉහත කතාව මත තමයි අද සටහන පදනම් වෙන්නෙ. මේ කතාවෙ හැටියට මෙවැනි මතයක් පවතිනවාද ?

1982 වර්ෂයේදි කැනඩාවෙ ඔටාවා කෞතුකාගාරයේ පෘශ්ඨවංශි ෆොසිල භාරකරුව සිටි ඉතාමත් ප්‍රසිද්ධ ෆොසිල විද්‍යඤයකු වන ඩේල් රසල් විසින් උපකල්පනයක්, (පරිකල්පිතයක් කිව්වොත් වඩාත් නිවැරදි) ගොඩනගනවා චික්සුලුබ් උල්කාව නොගැටී ක්‍රිටැසියස් මහා නශ්ඨවීම ( ක්‍රිටැසියස් නශ්ඨවීම , චික්සුලුබ් ග්‍රහකය පිලිබඳව පෙර සටහන් කර ඇති ලිපි මාලාව කියවන්න) සිදු නොවුනානම් එකල ජීවත්වු ද්වීපාදික තෙරොපොඩ් සත්ව විශේෂ අතරින් බුද්ධිමත් සත්වයින් කුමන ආකාරයකින් පරිණාමය වේද යන්න. මෙතනදි බොහොම පැහැදිලිව මතක තබා ගතයුතු දෙය තමයි මෙය පරිකල්පන පර්යේෂණයක් (Thought experiment). මෙහිදි හුදු අනුමාන, වර්තමාන සත්වයන්ගෙ පරිණාමික තත්වයන් ආශ්‍රයෙන් සිදුකල උපකල්පන ආදියෙන් තමයි මේ චිත්‍රය ගොඩනගන්නෙ. ඩේල් රසල් නිර්මාණය කරන පරිණාමික ඩයිනෝසර ආකෘතිය ඕනැවට වඩා මානවරූපි ආකෘතියක් (Anthropomorphic) ගත් බවට එකල ග්‍රෙගරි .එස් පෝල්, තෝමස් හොල්ට්ස් වැනි ෆොසිල විද්‍යාඤයන්ගෙ දරුණු විවේචන වලට ලක්වුනා. ඩේල් රසල් තමන් නිර්මාණයය කරපු ආකෘතිමය සත්වයාට දුන් නාමය තමයි ඩයිනෝසෝරිඩ් කියන්නෙ.

මෙතෙක් වෙනකන් මම විස්තර කරේ මේ කතාවෙ අර්ධ විද්‍යාත්මක කොටස. ව්‍යාජ විද්‍යාත්මක (pseudo science) කොටසට සම්පූර්ණයෙන්ම මෙය බැහැර කරන්න අසීරු නිසා අර්ධ විද්‍යාත්මක යයි පැවසීම නිවැරදියි.

 
Troodon

දැන් මේ ඩේල් රසල් ගොඩනගන කල්පිතය වගේම මෑත කාලීනව තිරගත වුන ජුරාසික් පාර්ක් වැනි චිත්‍රපට තුලින් ත් රැප්ටර් සත්වයින් සතු බුද්ධිය ඉස්මතු කරලා පෙන්නනවා. ඇත්තටම මේ සත්වයන් බුද්ධිමත්ද යන්න විමසා බැලීම තමයි අරමුණ ⁣ඩේල් රසල්ගෙ කල්පිතයට පාදක වෙන සැබෑවටම ජීවත්වුන ඩයිනෝසර විශේෂයක් තමයි ටෲඩෝන් විශේෂය. සාමාන්‍යයෙන් ඩයිනෝසර විශේෂ අතරින් බුද්ධිමත්ම විශේෂය ලෙස විද්‍යාඤයන් නම් කරන්නෙ මේ ටෲඩෝන්ලව. ටෲඩෝන් ෆොර්මෝසුස් විශේෂ මේ ගනයට අයත් පැහැදිලිව හඳුනාගත් එකම විශේෂය. මොවුන් බුද්ධිමත්ම ඩයිනෝසර විශේෂය ලෙස හැඳින්වීමට හේතුපාදක වෙන්නෙ ඔවුන්ගෙ ශරීර කපාල අනුපාතය ඉහල අගයක් ගැනීම. ඒ කියන්නෙ ශරීරයට සාපේක්ෂව ඉහල කපාල ධාරිතාවක් දැරීම. නමුත් ශරීර කපාල අනුපාතය ඉහල අගයක් ගත් පමණින් ඔවුන් අතිශයින්ම බුද්ධිමත් ජීවි කොටසක් යැයි පැවසීම වැරදි ප්‍රකාශයක්. ටෘඩෝන් කපාල ධාරිතාව අනුව ඔවුන්ගෙ බුද්ධිය උපරිමයෙන්ම සමාන වෙන්නෙ වර්තමානයේ ජීවත්වන පක්ශීන්ගෙ බුද්ධියට. කිසිසේත්ම ඉතාමත් ප්‍රාථමික ක්ශීරපායියෙකුගෙ බුද්ධියට පවා ලඟා වීමට ටෘඩෝන්ට හැකියාවක් නැහැ. ටෘඩෝන් විශේෂයටත් වඩා පහල මට්ටමක තමයි අනෙක් රැප්ටර් සතුන්ගෙ ශරීර කපාල අනුපාතය පිහිටන්නෙ. චිත්‍රපටවල කතාන්තරවල තිබු පමණින් සත්‍ය නොවන මෙවන් ප්‍රකාශ සහ අතිශයෝක්තීනට වඩා විද්‍යත්මක කරුණු වෙනස් බව මතක තබා ගන්න.

1. ටෘඩෝන් ප්‍රතිනිර්මාණයක්

2/3. ටෘඩෝන් සහ ඩේල් රසල් නිර්මාණය කල ඩයිනොසොරිඩ්

මුලාශ්‍රය - පරිණාමික දින පොත

"https://si.wikipedia.org/w/index.php?title=ඩයි⁣නෝසරයන්&oldid=444360" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි