ජනවාරි 6 එක්සත් ජනපදයේ කැපිටල් ප්‍රහාරය

2021 ජනවාරි 6 වැනිදා, එවකට එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුග්‍රාහකයින් පිරිසක් විසින් වොෂින්ටන් ඩීසී හි පිහිටි එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල වටලන ලදී. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වී මාස දෙකකට පසු ප්‍රහාරය සිදු විය. ඡන්ද විද්‍යාලයන්හි ඡන්ද ගණන් කිරීමට බාධා කිරීම මගින් තේරි පත්වූ නව ජනපති ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය නිල වශයෙන් තහවුරු කිරීම වැළක්වීම ප්‍රහාරයේ අරමුණ විය. කෙසේ වුවද ඡන්ද ප්‍රථිඵල තහවුරු කිරීම වැළක්වීමට ප්‍රහාරය අසමත් විය. ප්‍රහාරය ගැන විමර්ෂණය කිරීම සඳහා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ නිගමනය වූයේ ට්‍රම්ප් විසින් ඡන්ද ප්‍රතිඵල පෙරළා දැමීම පිණිස සිදු කළ පියවර හතකින් යුත් සැලැස්මක මස්තකප්‍රාප්තිය වූයේ කැපිටල් ප්‍රහාරය බවයි.

ප්‍රහාරය ඇරඹී පැය 36 ක කාලය තුල පස් දෙනෙක් මරණයට පත් විය. කැපිටල් පොලීසියේ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකුත්, මත්ද්‍රව්‍ය විෂවීම හේතුවෙන් තවත් අයෙකුත්, තිදෙනෙක් ස්වභාවික හේතු නිසාද මිය ගියහ. පොලිස් නිළධාරීන් 174 දෙනෙකු ඇතුලුව විශාල පිරිසක් තුවාල ලැබීය. ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ පොලිස් නිළධාරීන් හතරදෙනෙකු ඉන් පසු මාස හතක් තුල සියදිවි නසා ගත්හ. 2022 ජුලි 7 වැනිදාට ගණන් බලා ඇති පරිදි ප්‍රහාරකයන් විසින් සිදු කළ මූල්‍යමය අලාභහානි එ.ජ. ඩොලර් මිලියන 2.7 ඉක්මවීය.