ජනවර්ග ඉතිහාසය යනු, ඉතිහාසගත වාර්තා මගින් යම් ජන වර්ගයක, ගෝත්‍රයක, සංස්කෘතිය හෝ සිරිත් විරිත් පිළිබඳව හැදෑරීමය. මෙමගින් දැනට පවතින හෝ නොපවතින ජන වර්ගවල ඉතිහාසය පිළිබඳවද සොයා බැලේ.

ජනවර්ග ඉතිහාසය හැදෑරීමේදී පොත්පත් හා ලේඛනවලට අමතරව සිතියම්, සංගීතය, චිත්‍ර, ඡායාරූප, කතන්දර, භාෂා විලාශය, ස්වභාව සෞන්දර්ය, ස්ථානාත්මක සොයාබැලීම්, පුරාවිද්‍යාත්මක සමීක්ෂණ, කෞතුකාගාර වස්තූන්, සිරිත් විරිත්, භාෂාව හා ස්ථාන නාම ආදිය පිළිබඳවද සොයා බැලේ.

විමර්ශනයන්හි වැදගත්කම සංස්කරණය

ජනවර්ග ඉතිහාසඥයන් ලේඛනවලින් ඔබ්බට ගිය විමර්ශනයක යෙදීම තුළින් ඔවුන්ට ඉතා ගැඹුරු අධ්‍යයන වල යෙදීමේ අවස්ථාව ලැබේ. මොවුහු ජන වර්ගවල ඇතුලාන්තයද ගැඹුරින් විමසා බලන හෙයින් ඒවායේ ඉතිහාසය සහ විවිධ චාරිත්‍ර විධික්‍රම අතර අන්තර් සබඳතා, ඉතිහාසයේ අපැහැදිලි තැන් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත හැකිය. විශේෂයෙන්ම ඉන්දියානු ජනවර්ග පිළිබඳව හැදෑරීමේදී මෙම ක්‍රමය ඉතා ප්‍රයෝජනවත් ය.

ජනවර්ග ඉතිහාසයේ අර්ථදැක්වීම කෙමෙන් දියුණු වූවකි. සාමාන්‍ය ඉතිහාසය හැදෑරීමට වඩා ජනවර්ග ඉතිහාසය හැදෑරීමේදී භාවිතා වන පර්යේෂණ ක්‍රම හා මූලාශ්‍ර නිසා එය වඩාත් ප්‍රතිඵලදායකය (විලියම් ෆෙන්ටන්) පසුකාලීනව ඇක්ස්ටෙල් විසින් හඳුන්වා දුන් පරිදි ජනවර්ග ඉතිහාසය යනු ජනවාර්ගික හා ඉතිහාස මූලාශ්‍ර ඇසුරින් යම් සංස්කෘතියක හෝ සමාජයක සිදුවූ වෙනස්කම් අධ්‍යයනය කිරීමයි.

ෂෙෆලීන් හඳුන්වාදුන් පරිදි, ජනවර්ග ඉතිහාසය මඟින් මිනිසුන් සමාජයීය සිද්ධීන් ග්‍රහණය කරගන්නා ආකාරය සහ ඒවා සංස්කෘතියට ඈඳෙන ආකාරය පිරික්සා බලයි. අවසානයේදී සිමන්ස් විසින් පළ කළ මතය වන්නේ ජනවර්ග ඉතිහාසය යනු හැකිතාක් මූලාශ්‍ර උපයෝගී කරගනිමින්, හැකිතාක් දිගු කාල පරාසයක් තුළදී යම්කිසි සංස්කෘතියක් පිළිබඳ කෙරෙන ගවේෂණාත්මක පර්යේෂණයක්ය යන්නයි. එය වඩාත් අලංකාර වන්නේ දැනට ජීවත් වන අයගේ මතකයන් සහ වචන ද එකතු වූ විටයි.

"https://si.wikipedia.org/w/index.php?title=ජනවර්ග_ඉතිහාසය&oldid=471466" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි