චිකුන්ගුන්යා යනු වෛරස් ආසාදනයකින් ඇතිවන රෝගයකි. චිකන්ගුන්යා වෛරසය ආබොවයිරසයකි. ඇල්ෆාවයිරස් යන ගණයට අයත්වේ. ඊඩිස් නම් මදුරු විශේෂය මගින් මිනිසා වෙත මෙම වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වේ. මෑතක සිට චිකන්ගුන්යා රෝගය නිසා හදිසි ව්‍යවසනයක් ඇතිවී ඇති අතර මෙ මගින් මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. මෙහිදී ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ ඇතිවේ. මෙහිදී හන්දිපත්වල දීර්ඝ කාලයක් කල්පවත්නා ලෙස වේදනාවක් හටගනී. රෝගයේ මුල් අවස්ථාවලදී හටගන්නා උණ දින දෙකේ සිට පහ දක්වා කල්පවතී. නමුත් උණත් සමග ඇතිවෙන හන්දිපත් වේදනාව සති ගණනක් හෝ මාස ගණනක් පැවතිය හැකිය.

රෝග කාරකයන් ශරීරයට ඇතුළු වු අවස්ථාවේ සිට රෝග ලක්ෂණ ඇතිවීම සඳහා ගතවන කාලය (බිජෞෂණ සමය) දින දෙකක් හෝ හතරක් වේ. සෙල්සියස් අංශක 39 දක්වා වුවද ඇතිවිය හැකි උණ (පැරන්හයිට් අංශක 102.2) සිරුරේ කඳ කොටසෙහි හෝ ඇතැම් විට අත්පා වල ඇතිවන ලේ පැහැති පැල්ලම්, හන්දි කිහිපයක ඇතිවන හන්දිරුදාව හෝ හන්දියක් ආසාදනය වීම මෙහි රෝග ලක්ෂණ වේ. හිසරදය, ඇස්වල ඇතිවන රතුපැහැති බව සහ ආලෝකය දෙස බැලීමෙදී ඇස්වල ඇතිවන වේදනාව අනෙකුත් සුළු රෝග ලක්ෂණවේ. සාමාන්‍යයෙන් උණ දින දෙකක් පමණ කල්පවත්නා අතර ඉන්පසුව ක්ෂණිකවම සුව අතට පත්වේ. නමුත් හන්දිපත් කැක්කුම, තදබල හිසරදය, නින්ද නොයාම සහ සිරුරේ ඇතිවන අනිකුත් අපහසුතාවයන් දින පහක් හෝ හතක් වැනි කාලයක් පවතී. රෝගියාගේ වයස අනුව ඔහුගේ හෝ ඇයට හන්දිපත් රුදාව ඇතිවන කාල සීමාව විවිධ වේ.

රෝගය ඇති වීමට හේතු සාධක

සංස්කරණය

චිකන්ගුන්යා වෛරසය සාමාන්‍යයෙන් අප්‍රිකාව හා ආසියාව යන නිවර්තන කලාපීය රටවල දක්නට ලැබේ. ඊඩ්ස් වර්ගයේ ආසාදිත මදුරුවෙකු දෂ්ඨ කිරීම මගින් මිනිසාට රෝගය බෝවෙයි. චිකන්ගුන්යා වසංගතය ව්‍යාප්ත වන්නේ මිනිසාගෙන් මදුරුවාට සහ නැවත මදුරුවාගෙන් මිනිසාට ලෙසට රෝගය ව්‍යාප්ත වීමෙනි.

චිකන්ගුන්යා යන වචනය රෝගය ඇතිවීමේදී වන අධික හන්දිපත් වේදනාව නිසා රෝගීන් සිටින ඉරියව්ව විග්‍රහකරන අර්ථය ඇතිව ප්‍රාදේශිය සභාවකින් ඇතිවූවක් ලෙස සැලකේ. මැකොන්ඩේ (Malconde) භාෂාවට අනුව චිකන්ගුන්යා යනු “නැවීසිටීම” යන අරුත දෙන වචනයකි. මෙම වෛරසය ප්‍රධාන ලෙසටම වදුරන් තුළ දකින්ට ඇති අතර මිනිසා ඇතුළු අනෙකුත් ජිවීන් වර්ග වලද වෛරසය ගබඩා වී තිබිය හැකිය.

රෝගය වලක්වා ගැනීම

සංස්කරණය

රෝගය වළක්වා ගැනීමේ කාර්යක්ෂම ක්‍රියාමාර්ගය වන්නේ ආසාදිත මදුරුවන් ගෙන් ආරක්ෂා වීමයි. ඩී.ඊ.ඊ.ටි, ඉකාරිඩීන්, පී.එම්.ඩී හෝ අයි. ආර් 3535 වැනි මදුරුවන් විකර්ෂණය කරන ද්‍රව්‍ය මේ සඳහා යොදා ගැනේ. මදුරුවන්ට දෂ්ඨ කළ නොහැකි ආකාරයට අත්දිග කමීස සහ කලිසම් ඇදීම මගින්ද ආරක්ෂාවිය හැකිය. මීට අමතරව කෘමිනාශක වර්ගයක් වන පයිරොක්සයිඩ ඇදුම් වලට යෙදීම මගින්ද මදුරුවන්ට විකර්ශනය කළ හැකිය. මදුරු දඟර වල භාවිතා වන වාෂ්පශීලී පයිරත්රොයිඩද මදුරුවන් පලවා හැරීමට උපකාරීවේ. මදුරුවන්ට ඇතුලුවීමට නොහැකි වන ආකාරයට දොර ජනෙල් ආවරණය කර තැබීම කිරීමටද පුළුවන. නමුත් දිවාකාලයේදී ක්‍රියාකාරීව හැසිරෙන ඊඩ්ස් ඊජිප්ටයි හා ඊඩ්ස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙක දෂ්ඨ කරනුයේ නිවසින් පිටත එලිමහනේදී නිසා ඉහත සඳහන් කරන ලද ක්‍රියාමාර්ග නිසා ලැබෙන ප්‍රතිලාභය අවම වේ. නමුත් මෙම රෝග වාහක මදුරුවන් මර්ධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=චිකුන්ගුන්යා&oldid=374205" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි