චන්ද්‍රයා- අනාගත සැලසුම්


2004-01-14 වනදා ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් W. බුෂ් 2020 වන විට නව මිනිසුන් සහිත චන්ද්‍ර මෙහෙයුම්වලින් යුත් සැලසුමක් සඳහා වූ Vision for Space exploration ප්‍රකාශයට පත් කරන ලදී. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා නාසාහි සැලසුම 2005 මාර්තු 19 ප්‍රකාශයට පත් කළ අතර විවේචකයන් විසින් ඇපලෝ 2.0 ලෙස නම් කළේය. පුරෝගාමී මිනිසුන් රහිත මෙහෙයුම වූ ලූනා රීකනයිසන්ස් ඕබිටරය (Lunar reconnaissance orbiter) 2008 දී නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මෙම LRO විසින් සඳ මතුපිටෙහි අධි විභේදන ඡායාරූප ගනු ලබනු ඇති අතර මෙමඟින් චන්ද්‍ර ආවාට නිරීක්ෂණය කිරීමේ හා සංවේදනය කිරීමේ චන්ද්‍රිකාව (LCROSS) රැගෙන යනු ඇත. එමඟින් ෂැකල්ඩන් ආවාටයෙහි ජලය පැවතීමට ඇති හැකියාවක් ගැන පර්යේෂණ සිදු කෙරෙනු ඇත.

චීනය විසින් 2012 දී සඳ මතට රෝවරයක් ගොඩ බැස්වීමටත් 2017 දී සාම්පල නැවත රැගෙන ඒමේ මෙහෙයුමක් සංවිධානය කිරීමටත් සැලසුම් සකස් කරයි. චීනය විසින් 2020ට පෙර සඳ මත ගඟනගාමීන් ගොඩ බැස්වීමට රුසියාව සමඟ වැඩ කිරීමට ද එකඟතාවයකට ද එළඹී ඇත.

2010 ට පෙර නිකුත් කිරීමට හැකිවන පරිදි ජපානය විසින් LUNAR –A නැවත සැලසුම් කර ඇත. ජපාන අභ්‍යාවකාශ ඒජන්සිය 2020 ආසන්නයේ දී මිනිසුන් සහිත චන්ද්‍ර ගොඩබෑමක් සැලසුම් කර ඇති අතර එමඟින් 2030 වන විට මිනිසුන් සහිත චන්ද්‍ර මධ්‍යස්ථානයකට මඟ පාදයි. කෙසේ නමුත් තවමත් මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන වෙන් වී නොමැත.

2008 අප්‍රේල් වන විට ඉන්දියාව මිනිසුන් රහිත චන්ද්‍ර ඕබිටරයක් වන චන්ද්‍රයාන් නිකුත් කිරීමට අපේක්ෂා කරයි. ඉන්දියානු අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) සම්පූර්ණයෙන්ම තමන්ගේ වන මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගවේෂණයක් එළඹෙන දශකය තුළ සිදු කිරීමට සැලසුම් කරන අතර 2014 වන විට අභ්‍යාවකාශයට මිනිසෙකු යැවීමටත් 2020 දී මිනිසෙකු සඳ මතට ගොඩ බැස්වීමටත් සැලසුම් කර ඇත.

රුසියාව විසින් ද ඔවුන් විසින් නතර කර දමා තිබූ මිනිසුන් රහිත ලෑන්ඩරයක් හා ඕබිටරයක් වූ ලූනා ග්ලෝබ් ද නැවත ආරම්භ කරනවා යැයි ප්‍රකාශ කර ඇත. එය 2012 දී නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.

ජර්මනිය ද 2007 මාර්තු මාසයේ දී ප්‍රකාශයට පත් කර සිටියේ ඔවුන් විසින් 2012 දී ජාතික චන්ද්‍ර ඕබිටරය LEO නිකුත් කරන බවයි.

2007 අගෝස්තු මාසයේ දී නාසා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ සියලු අනාගත මෙහෙයුම් හා චන්ද්‍ර ගවේෂණ සිදු කරනු ලබන්නේ සම්පූර්ණයෙන්ම මෙට්‍රික් පද්ධති භාවිතයෙන් බවයි. මෙය සිදු කරනු ලබන්නේ දැනටමත් මෙට්‍රික් පද්ධති භාවිතා කරන අනෙකුත් ‍රටවල අභ්‍යාවකාශ ඒජන්සි සමඟ ස‍හයෝගීත්වය වර්ධනය කර ගැනීම සඳහාය.

යුරෝපානු අභ්‍යාවකාශ ඒජන්සිය ද අවුරෝරා වැඩසටහනේ කොටසක් ලෙස සඳ මතට මිනිසුන් සහිත මෙහෙයුමක් දියත් කිරීම සඳහා වූ එහි අරමුණ ප්‍රකාශයට පත් කරන ලදී.

2007 සැප්තැම්බර් 13 වනදා X Prize සංවිධානය ගූගල් සමඟ Google Lunar Xprize ප්‍රකාශයට පත් කරන ලදී. මෙම තරඟයට තරඟ කරන්නන්හට පුද්ගලිකව ධනය යොදවන ලද රොබෝ රෝවර චන්ද්‍රයා මත ගොඩ බැස්වීමටත් අවම වශයෙන් සඳ මතුපිට මීටර් 500ක් ගමන් කිරීම හා පෘථිවිය වෙතට වීඩියෝ, රූප හා දත්ත නැවත එවීම ඇතුලු මෙහෙයුම් අරමුණු කිහිපයක් ඉටු කිරීමටත් සිදු වේ.