චන්ද්‍රයාන් වැඩසටහන

චන්ද්‍රයාන් වැඩසටහන හෙවත් ඉන්දියානු චන්ද්‍ර ගවේෂණ වැඩසටහන ‍යනු ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ඉස්රෝ) විසින් සිදු කෙරෙමින් පවතින චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම් මාලාවකි. මේ වනවිට වැඩසටහන යටතේ මෙහෙයුම් තුනක් සිදු කෙරී ඇත. 2008 සිදු කෙරුනු චන්ද්‍රයාන් 1, 2019 දී සිදු කෙරුනු චන්ද්‍රයාන් 2, සහ 2023 දී සිදු කෙරුනු චන්ද්‍රයාන් 3 යනු එම මෙහෙයුම් තුනයි.

චන්ද්‍රයාන් වැඩසටහනෙහි පළමු මෙහෙයුම ලෙස, චන්ද්‍රයා වටා කක්ෂගත වන ඕබිටර් යානයකින් සහ චන්ද්‍රයා මත වේගයෙන් ඝට්ටනය වන ඉම්පැක්ටර් යානයකින් සමන්විත වූ චන්ද්‍රයාන් 1 මෙහෙයුම 2008 දී දියත් කෙරුනි. ඉම්පැක්ටර් යානයේ ඝට්ටනයත් සමග චන්ද්‍ර පෘෂ්ඨය වෙත ළඟාවූ පස්වෙනි රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය බවට ඉස්රෝ පත්විය. වර්ෂයක කාලයක් පමණ සක්‍රීයව පැවති චන්ද්‍රයාන් 1 ඕබිටර් යානය මගින් චන්ද්‍රයා මතුපිට ජලය පවතින බව සොයාගන්නා ලදී. චන්ද්‍රයාන් වැඩසටහනෙහි දෙවන මෙහෙයුම වූ චන්ද්‍රයාන් 2 මෙහෙයුම 2019 වර්ෂයේදී දියත් කෙරුනු අතර, එය ඕබිටර් යානයකින් ද, චන්ද්‍රයා මතුපිට මෘදු ගොඩබැසීමක් සිදු කරන ලෑන්ඩරයකින් සහ රෝවරයකින් ද සමන්විත විය. ඕබිටර් යානය සාර්ථකව කක්ෂගත වූ නමුත් ලෑන්ඩරය පරිගණක දෝෂයක් හේතු කොට ගෙන චන්ද්‍රයා මතට කඩා වැටුනි. වැඩසටහනෙහි තුන්වන මෙහෙයුම වූ චන්ද්‍රයාන් 3 ද ඕබිටරයකින්, ලෑන්ඩරයකින් සහ රෝවරයකින් සමන්විත වූ අතර, 2023 අගෝස්තු 23 වැනිදා ලෑන්ඩරය චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයට ගොඩබස්වනු ලැබීය. ඒත් සමගින් ඉන්දියාව චන්ද්‍රයා මත සාර්ථකව මෘදුව යානයක් ගොඩ බැස්වූ 4 වැනි රාජ්‍යය බවටත්, චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය වෙත යානයක් ගොඩ බැස්වූ පළමු රාජ්‍යය බවටත් පත්විය.

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රයාන්_වැඩසටහන&oldid=579886" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි