පාසල්

(ගුරු ගෙදර වෙතින් යළි-යොමු කරන ලදි)

පාසල යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම සඳහා ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ ඉගෙනුම් පරිශ්‍රයන් සහ ඉගෙනුම් පරිසරයන් සැපයීමේ අරමුණින් සැලසුම්කරන ලද ආයතනයක් වේ. බොහෝ රටවල සාමාන්‍යයෙන් අනිවාර්ය වූ විධිමත් අධ්‍යාපන පද්ධතීන් පවතී. මෙහි දී සිසුහු පාසල් මාලාවක් තුළින් ස්වකීය ප්‍රගතිය සාක්ෂාත් කරගනිති. මෙම පාසල් සඳහා විවිධ රටවල විවිධ යෙදුම් භාවිත වන නමුත් බාල දරුවන් උදෙසා ප්‍රාථමික පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කළ ගැටවර පිරිස් වෙනුවෙන් පවතින ද්විතීයික පාසල් ප්‍රධාන වේ. උසස් අධ්‍යාපන පාඨමාලා පවත්වන ආයතන පොදුවේ විශ්වවිද්‍යාල යනුවෙන් හැඳින්වේ.මෙම මූලික පාසල්වලට අමතර ව සමහර රටවල සිසුහු ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයට පෙර මෙන් ම පසු ව ද පවත්වනු ලබන විවිධ පාඨමාලාවන් හදාරති. ළදරුපාසල් හෝ පෙරපාසල් යනු වයස අවුරුදු 3ත් 5ත් අතර වැනි ඉතා බාල වියෙහි දැරියන් උදෙසා පවත්වන පාසල් වැඩසටහන් ය. ද්විතීයික අධ්‍යාපනයෙන් පසු ව විශ්වවිද්‍යාල, පුහුණු පාසල්, උසස් විදුහල් හෝ සෙමනේරි වැනි ආයතනවල අධ්‍යාපනය ලැබිය හැකි ය. නෘත්‍ය පාඨශාලාවන් හෝ ආර්ථිකවිද්‍යා පාඨශාලාව වැනි යම්කිසි විෂය ක්ශේත්‍රයකට අයත් පාඨමාලාවන් පමණක් ලබාදෙන ආයතන ද පවතී. විකල්ප පාසල් තුළ දී සම්ප්‍රදායෙන් බැහැර නිර්දේශයන් සහ ක්‍රමවේදයන් යටතේ අධ්‍යාපනය ලබාදිය හැකි ය.රාජ්‍ය නොවන ආයතන විසින් පවත්වන පාසල් ද පවතින අතර මේවා පෞද්ගලික පාසල් යනුවෙන් හඳුන්වනු ලැබේ. නිසියාකාර හෝ සුවිශේෂී රාජ්‍ය අධ්‍යාපන පද්ධතියක් නොපවතින විට පෞද්ගලික පාසල් පිහිටක් විය හැකිය. ක්‍රිස්තියානි පාසල්, හවුසා (මුස්ලිම් පාසල්) , යෙෂිවා (යුදෙව් පාසල්) වැනි ආගමික අරමුණු මත පවත්වාගෙන යනු ලබන පෞද්ගලික පාසල් මෙන් ම ගුණාත්මක බවින් වැඩි අධ්‍යාපනයක් සැපයීම හෝ වෙනත් පෞද්ගලික අභිමතාර්ථ පිණිස ද පෞද්ගලික පාසල් පවත්වා ගෙන යනු ලැබේ. යුධපුහුණුව සහ ව්‍යාපාර පාසල් වැනි ආයතන වැඩිහිටියන් ඉලක්ක කරගත් පාසල්වලට නිදසුන් ය.ගෘහස්ත පාසල් සහ අන්තර්ජාල මාධ්‍ය පාසල් යනු සාම්ප්‍රදායික පාසල් ගොඩනැගිලිවලින් බැහැර ව ස්ථානගත වන පාසල් විශේෂයකි. පොදු වශයෙන් පාසල් විවිධ සංවිධාන ව්‍යුහයන් යටතේ පැවතිය හැකි ය.

එංගලන්තයේ පාසලක්

නිරුක්තිය

සංස්කරණය

ඉතිහාසය සහ සංවර්ධනය

සංස්කරණය

සිසුන් නිශ්චිත ස්ථානයකට එක්තැන් කර අධ්‍යාපනය ලබාදීම පිළිබඳ අදහස පුරාණ සම්භාව්‍ය අවධියේ සිට පැවතෙන්නකි. අඩු තරමින් පුරාණ ග්‍රීසිය, රෝමය, ඉන්දියාව සහ චීනය තුළ විධිමත් පාසල් පැවති බවට සාක්ෂි ඇත. බයිසැන්තියානු අධිරාජ්‍යය ප්‍රාථමික මට්ටමේ පටන් ඇරඹුණු ආයතනගත වූ අධ්‍යාපන පද්ධතියකට හිමිකම් කියා ඇත. Traditions and Encounters නම් මූලාශ්‍රයට අනුව ප්‍රාථමික අධ්‍යාපන පද්ධතිය ක්‍රි.ව. 425දී ස්ථාපිත කර ඇති අතර සාමාන්‍යයෙන් සොල්දාදුවකු අවම වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සපුරා තිබිණි. අතැම් අවස්ථාවන්හි කාර්යක්ෂම වූ මෙන් ම බොහෝවිට දැවැන්ත ද වූ අධිරාජ්‍යයේ පරිපාලන ව්‍යුහය උගත් පුරවැසියන් බහුතරයක් වූ බවට සාක්ෂි දරයි. ආක්‍රමණකාරීත්වයන්ට මුහුණදීමට ගත් සිය ප්‍රයත්නයේ දී රෝමානු සංස්කෘතියේ සමෘද්ධිමත්බව මෙන් ම මහඟුබව ද බයිසැන්තියමට බොහෝසෙයින් අහිමිවුණ ද, ඔවුහු සිය යුධ අත්පොත්වල නිපුණත්වයේ වටිනාකම ඉස්මතු කර ඇත. ක්‍රි.ව. 1453දී අධිරාජ්‍යයේ බිඳවැටීම තෙක් ම බයිසැන්තියානු අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩ ව ක්‍රියාත්මක විය.මුල් මධ්‍ය අවධීන්හි දී අනාගත පූජකයන් සහ පරිපාලකයන් බිහිකිරීම අරමුණු කරගනිමින් බටහිර යුරෝපය තුළ අද දක්වා ම දැනට ඇති පැරණිත ම පාසැල් වන සහ අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලබන The King's School, Canterbury, King's School, Rochester, St Peter's School, York සහ Thetford Grammar School ඇතුලු ව දියොකීසීය පාසල් (cathedral schools) සැලකිය යුතු සංඛ්‍යාවක් ආරම්භ කෙරුණි. ක්‍රි.ව. 5වැනි සියවසේ ඇරඹුමත් සමග ආගමික විෂයන් මෙන් ම ලෞකික විෂයන් ද උගැන්වුනු ආශ්‍රමික පාසැල් (monastic schools) ද යුරෝපය පුරා පිහිටුවිනි.

වත්මන් සමාජය අදහස් කරන ආකාරයේ පාසල් පද්ධතියක් බිහිකරගැනීමට සමත් වූ තවත් සංස්කෘතියක් නම් ඉස්ලාමයයි. ක්‍රමවත් අධ්‍යාපන සහ දැනුම් ව්‍යාප්ත කිරීමේ ක්‍රමවේදයක් , අරමුණු වෙනුවෙන් සැකසුනු ව්‍යුහයන් යොදාගත් එය දැනුම ලබාදීම මුල්කරගත්තේ විය. මුල දී මස්ජිදය විසින් ආගමික කටයුතු සහ ඉගෙනුම් ක්‍රියාකාරකම් ඒකාබද්ධ කෙරුණු නමුත් මස්ජිදයෙන් බැහැර ව පවතින පාසැලක් වූ ක්‍රි.ව. 859 දී බිහිවුණු අල් ක්වරාවියන් වැනි මද්රාසා පාසල් 9වන සියවසේ දී හඳුන්වා දිනි. පොදුජනතාව උදෙසා කාලිෆ්වරයකුගේ පරිපාලකත්වය යටතේ මද්රාසා පද්ධතිය හඳුන්වා දුන්නෝ ද ඔවුහු ම ය.

ඔටෝමන්වරු යටතේ Bursa සහ Edirne යන නගර අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයන් බවට පත්විය. ඔටෝමන්වරුන් විසින් මස්ජිදයක්, රෝහලක්, මද්රාසාවක්, මුළුතැන්ගෙයක් සහ භෝජන ශාලාවකින් ද සමන්විත වූ Külliye නම් අධ්‍යාපනික ආයතන විශේෂයක් හඳුන්වා දුන් අතර නොමිලේ ආහාර පාන, සෞඛ්‍යය පහසුකම් සහ වාසස්ථාන ද සැපයූ එය විසින් අධ්‍යාපන ආයතනයන්ට නව මුහුණුවරක් ලබාදුන්නේය.

12වන සියවසේ දී යුරෝපය තුළ විශ්වවිද්‍යාලයයන් දක්නට ලැබුණි. ඒ තුළ ශාස්ත්‍රීයවාදය ( scholasticism) වැදගත් මෙවලමක් වූ අතර විද්‍යාර්ථීහු schoolmen යනුවෙන් හැඳින්විනි.මධ්‍යකාලීන අවධියේ සහ වැඩි වශයෙන් ම මුල් නූතන අවධියෙහි (විශ්වවිද්‍යාලවලට ප්‍රතිවිරුද්ධ ලෙස) පාසල්වල අරමුණ වූයේ ලතින් භාෂාව ඉගැන්වීමයි. grammar school යන යෙදුමට මගපෑදුවේ මේ විසිනි. එක්සත් ජනපදයේ දී මෙය ප්‍රාථමික පාසල උදෙසා අවිධිමත් ව ව්‍යවහාර වුවත් එක්සත් රාජධානියේ දී දක්ෂතාවය හෝ යෝග්‍යතාවය මත පදනම් ව අයදුම්කරුවන් ව බඳවා ගන්නා පාසලක් හැඳින්වීමට එය භාවිතා වේ. මේ හේතුවෙන් පාසල් විෂය නිර්දේශය ව්‍යවහාරීය භාෂාවන්ට (vernacular languages) අදාළ සාක්ෂරතාවය ලබා දීමට මෙන් ම තාක්ෂණ, කලා, විද්‍යා සහ ප්‍රායෝගික විෂයන් ද ඇතුලත් වන පරිදි පුළුල් වපසරියක් කරා ක්‍රමික ව පැතිරි ගොස් ඇත.

18වන සියවසේ දී යුරෝපයේ ඇතැම් පළාත්හි අනිවාර්ය පාසල් පැමිණීම සාමාන්‍ය සංසිද්ධියක් බවට පත්විය. ඩෙන්මාර්ක් සහ නෝර්වේහි මෙය 1739 සහ 1711 තරම් ඈතක දී හඳුන්වා දුන් අතර සාමාන්‍ය ජනතාවගේ සාක්ෂරතාවය ඉහළ නැංවීම ප්‍රාථමික අරමුණ විය. එක්සත් ජනපදයේ මෙන් ම අනෙකුත් පෙදෙස්වල ද වූ මුල්කාලීන රජයේ පාසල් බොහොමයක් තනි ගුරුවරයකු විසින් එකම පන්ති කාමරයක ශ්‍රේණි හතකට අයත් දරු දැරියන් පිරිසකට උගැන් වූ තනි කාමරයේ පාසල් විය. 1920ගණන් වල ආරම්භයත් සමග තනි කාමරයේ පාසල් පන්ති කාමර රැසක් බවට පරිවර්තනය විය.

ප්‍රාදේශීය යෙදුම්

සංස්කරණය

හිමිකාරීත්වය සහ පරිපාලනය

සංස්කරණය

භාහිර සබැඳි

සංස්කරණය
Find more information on පාසල් by searching Wikipedia's sister projects:

  Dictionary definitions from Wiktionary
  Textbooks from Wikibooks
  Quotations from Wikiquote
  Source texts from Wikisource
  Images and media from Commons
  News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=පාසල්&oldid=687967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි