ගද්‍ය සාහිත්‍ය කෘති දුර්ලභ වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සමයේ ලියැවුණු විශේෂිත ගද්‍ය ප‍්‍රබන්ධයක් නම් කුවේණි අස්නයි. කුරුණෑගල සමයේ ලියැවී තිබු දළදා සිරිතට පසු ව වෘත්තගන්ධි ගද්‍ය ශෛලියෙන් රචිත ඊළඟ නිර්මාණය සේ කුවේණි අස්න දැකිය හැකි වේ. කුවේණි අස්නෙහි ද ඓතිහාසික පුරා වෘත්තයක් ගැබ් වී පැවැතුණ ද මෙය ලියැවී ඇත්තේ සංදේශයක් ඔප්පු කර සිටින ලීලාවෙන් හෙවත් දේවායාචනයක ස්වරූපයෙනි.

මෙය කෝට්ටේ හය වැනි පරාක‍්‍රමබාහු රජු දවස ලියැවුණු කෘතියක් බව සැලකේ. තව ද මෙය ලියැවුණු කාල වකවානුවෙහි පරාක‍්‍රමබාහු රජුට සතුරු බිය, රෝගාබාධ ආදිය පැවැති බව ප‍්‍රකාශ වේ. එපමණක් නො ව රජුගේ යසස, තෙද, අණ, වික‍්‍රම පතළ ව නො පැවැති බවක් මෙන් ම රජුත් ඇමැතිවරුනුත් ඇතුළු ව මුළු රටට ආරක්ෂාව අවශ්‍යව තිබුණු බවක් ද මින් ධ්වනිත වේ. මේ කරුණු අනුව කුවේණි අස්න හය වැනි පරාක්රනමබාහු රජුගේ රාජ්‍යෝදයෙහි මුල් වකවානුවේ රචනා වූ බව සිතීමට කරුණු ඇත.

කුවේණි අස්න ඇතැම් පිටපත්වල අවසානයෙහි ෂට්භාෂා පරමේශ්වර උතුරුමුළ මහතෙරිඳුන් විසින් ප‍්‍රබන්ධ කරන ලද කුවේණි මහ අස්න යනුවෙන් සඳහන් වන බැවින් කතුවරයාණන් පිළිබඳ තොරතුරක් ඉන් ප‍්‍රකට වේ.

ශ්‍රී රාහුල හිමියන්ගේ කාව්‍යශේඛරයෙහි උතුරුමුළ මහතෙරිඳු මුනුබුරු යැයි තමන් වහන්සේ ගැන හැඳින්වීම කර ඇති බැවින් එහි කියැවෙන උත්තරමූළ පර්ශ්වයේ මහතෙරුන් වහන්සේ මුන් වහන්සේ වන්නට පිළිවන. ඒ අනුව ද මේ කෘතිය කෝට්ටේ සමයේ මුල් භාගයේ ලියැවුණකැයි සිතීමට කරුණු යෙදේ. එහෙත් කුවේණි අස්න කතුවරයා පිළිබඳ තොරතුර අවිනිශ්චිත ය.

කුවේණි අස්න යනුවෙන් මේ කෘතිය නම් වී ඇත්තේ විජය - කුවේණි පුවත මේ ප‍්‍රබන්ධයෙහි ලා මූලික ප‍්‍රස්තුතය වන බැවිනි. සම්බුද්ධ පරිනිර්වාණයත් සමඟ සිදු වන විජය කුමරුන්ගේ ලංකාගමනයත් විජය කුමරු හා කුවේණී කුමරිය අතර සම්බන්ධතාවත් විජය විසින් පිටු දකින ලද කුවේණිය විසින් කෙරුණු ශාපයත් එහි ප‍්‍රතිවිපාක ලෙස පඬුවස්දෙව් රජ රෝගාතුර වීමත් මලය රජු විසින් කරන ලද සෙත් ශාන්තියෙන් රජු සුවපත් වීමත් යන ඉපැරණි පුරාවෘත්තය වර්ණනා කරන කතුවරයා අවසානයේ දී පරාක‍්‍රමබාහු රජුට ද එසේ ශාන්තිය ලැබේවා යි ප‍්‍රාර්ථනය කිරීම මේ ප‍්‍රබන්ධයෙහි අන්තර්ගතය වේ.

කොහොඹායක් කංකාරිය හෙවත් කොහොඹා යක්කමට පදනම් වී ඇත්තේ ද පඬුවස්දෙව් රජුට යෙදුණු දිවිදොස් දුරැලීමේ යාතු කර්මය පිළිබඳ පුරාවෘත්තය යි.

කුවේණි අස්න දීර්ඝ ප‍්‍රබන්ධයක් නො වේ. වෘත්තගන්ධි ශෛලියෙන් ලාලිත්‍යයෙන් යුක්ත ව හඬ නගා කියවිය හැකි සේ මේ රචනය ලියැවී තිබේ. එහි දී පූර්ව ක්‍රියාවලින් එකිනෙක වාක්‍ය ඒකාබද්ධ කරමින් එක ම අඛණ්ඩ ඡේදයක් ලෙසින් පමණක් නො ව එක ම දීර්ඝ වාක්‍යයක් වශයෙන් මේ ප‍්‍රබන්ධය කිරීමට කතුවරයා වෙර දරා තිබේ.

අවසාන ක්‍රියා යැයි සැලැකිය හැකි තැන් නොමැති තරම් ය. අවසාන ක්‍රියාවලින් වාක්‍යාවසාන තිබිය මනා තැන්හි පවා ඒවා පූර්ව ක්‍රියා ගණයට ගෙන එයින් විරාම තබා මෙය රචනා කර ඇති අයුරු පෙනේ.

කුවේණි අස්න ආරම්භ වන්නේ ‘‘ස්වස්තිවර ත්‍රිභුවනාධාර ගුණරත්න වාරාකරෝදර දුර්වාරතර ඝෝර මාරාරි භංකාර කළනාර හරකාර ඝනසාර කල්හාර...’’ ආදි වශයෙන් කර්ණ කඨෝර භාෂා විලාසයකිනි.

මෙසේ වූ සංස්කෘත බහුල්‍ය භාෂා ස්වරූපය මේ ප‍්‍රබන්ධය පිණිස බෙහෙවින් භාවිත වී ඇතත් හුදු හෙළ වදනින් සැරැසුණු මටසිලිටි රමණීය වහාරයන් ද මෙහි වරින් වර දකින්නට ලැබේ. කුවේණියගේ විරහ වේදනාව සහිත වූ වැළැපීම වෘත්තගන්ධි ගද්‍ය ශෛලිය ද ඉක්ම ගිය පද්‍යයක ස්වභාවය පළ කරන බව මෙසේ පද වෙන් කොට බැලීමේ දී මැනැවින් දැකිය හැකි ය.

‘සුපුන් සඳ උදයගින් දිලිය වට සේ පෙනේ

හමන මඳ නල සඳුන් සිහිල් ගිනි සේ දැනේ

සුවඳ මල් පෙති අතුළ යහන කටු සේ දැනේ

සමද නද කොවුල් රැව් කනත යවුලෙව් දැනේ

මදන රද යුදට දැන් දැනෙයි සැර පස ගෙනේ

මෙසඳ මෙවියෝ දුකින් කෙලෙස වෑවෙමි අනේ

යම් යම් අවස්ථා විස්තර කිරීමේ දී නාට්‍යමය විලාසයකට උචිත සේ ඒවා නිරූපණය කර තිබීම ද මේ රචනයෙහි දකින්නට ඇති විශේෂිත ගුණයකි. ඉහත උද්ධෘතයෙහි පවා ඒ ලක්ෂණය ගැබ් ව ඇති අතර කුවේණියගේ හැසිරීම් දක්වන තැන්හි ‘‘මටසිලිටු වටොර පිට තබා රන් ඉද්ද නමවමින් සොද සුපුල් සපු මල් දමෙව් සළෙල මොළකතෙහි මුල පැපෑ... මඳින් මඳහසින් නුවනගින් බලා කපු කටින්නිය...’’ වැනි යෙදුම්වලින් ඒ ලක්ෂණ මනා ව පිළිබිඹු වේ.

එහි දී විශේෂණ පද සහිත උපමාලංකාරවලින් ද එකී වර්ණනා සාරවත් කිරීමට කතුවරයා සමත් වේ. එබැවින් ශබ්ද රසයට ම මුල් තැන දුන් රචනයක් සේ ගැනුන ද කුවේණි අස්නෙහි අර්ථ රසය ද ඉස්මතු කරන ගුණාත්මක අවස්ථා එමට ය.

ඇතැම් තැන් විස්තර කරද්දී ඊට අදාළ අවශේෂ දේවල් පිළිබඳ කරුණු ඒකරාශී කොට දැක්වීම ද කතුවරයා අතින් සිදු වී ඇති බැව් නිරන්තර ව පෙනෙන්නට ඇත.

වෘත්තගන්ධි ශෛලියෙන් ලියැවුණු බැවින් කුවේණි අස්න අනුප‍්‍රාස ශබ්ද නිරන්තර ව ප‍්‍රකට වන ප‍්‍රබන්ධයකි. එහි දී ශාන්ත, ශෝකී, ප‍්‍රවේගකාරී ආදි වූ විවිධ අවස්ථා උදෙසා එකී ශෛලිය උචිත ලෙසින් උපයෝගී කොට ගෙන තිබේ.

කුවේණි අස්න කතුවරයා සිය භාෂාමය උපක‍්‍රම උදෙසා සංස්කෘත මෙන් ම හුදු හෙළ වදන් ද රිසි ලෙස භාවිතයට ගෙන ඇතුවා පමණක් නො ව තත්කාලයේ මිශ‍්‍ර වෙමින් පැවැති ද්‍රවිඩ වචන පවා මේ කෘතියට උපයෝගී කොට ගෙන තිබේ. මර්දල, මණ්ඩුඩිණ්ඩම්, ඉලංගම්, කුඩම්, උප්පාරු වැනි වදන් ඒ අතර දකින්නට පිළිවන. කතුවරයා සිංහල සංස්කෘතාදි වූ භාෂාවන් පිළිබඳ මනා නිපුණත්වයකින් යුක්ත ව සිටි පඬිවරයකු වූ බව මේ කෘතියේ භාෂා භාවිතයෙන් පැහැදිලි වේ.

කුවේණිය සහ විජය පිළිබඳ පුවත මහාවංශයේ දැක්වෙන තොරතුරු මූලාශ‍්‍ර කොට ගෙන සහ පඬුවස්දෙව් රජුගේ දිවිදොස් පිළිබඳ පුවත ජනශ‍්‍රැතිය ආශ‍්‍රයෙන් සම්පාදනය කොට ගෙන මේ කෘතියේ අන්තර්ගතය සකස් වී ඇති බැව් පෙනේ.

අවසානයේ රජුට, ඇමැති පිරිසට සහ රටට සෙත් ප‍්‍රාර්ථනය කිරීමේ කාර්යයෙන් තත්කාලීන දේශපාලන වාතාවරණය පිළිබඳ කිසියම් ඉඟියක් ද මේ කෘතියෙන් පළ වේ. එපමණක් නොව යාතු කර්ම මඟින් සෙත් ප‍්‍රාර්ථනා කිරීමේ පිළිවෙතෙහි ප‍්‍රවණතාව ගැන ද මෙය මනා සාක්ෂියක් වේ.

දිවිදොස් හැරීමේ පුවත පදනම් කොට ගත් කොහොඹා යක් කංකාරිය මෙරට ප‍්‍රචලිත යාතු කර්මයක් සේ ද සංස්කෘතිකාංගයක් සේ ද ඇගයෙන්නකි. කුවේණි අස්නෙහි එන තොරතුරු කොහොඹා කංකාරියෙහි ද දැක්වෙන්නේ එයින් ගත් ඇතැම් උපුටා ගැනීම් ද සහිත ව ය.

ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ සාහිත්‍යයෙහි එන නවතම මගක් ගත් නිර්මාණයක් ලෙසින් ද ඒ යුගයේ සාහිත්‍යය තවත් ආකාරයකින් පෝෂණය කළ කෘතියක් ලෙසින් ද සිංහල භාෂා සාහිත්‍යයට ආලෝකයක් වූ ප‍්‍රබන්ධයක් ලෙසින් ද කුවේණී අස්න අගය කළ හැකි වේ.

"https://si.wikipedia.org/w/index.php?title=කුවේණී_අස්න&oldid=657293" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි