සබරගමු ශාන්තිකර්ම” යනු සබරගමු පළාතට පමණක් ආවේණික අදටත් ඉතාම පැරණි ගම්වල ඉඳහිට හෝ සිදු කෙරෙන සෞන්දර්ය අතින් පරිපූර්ණ ජීවමාන කලාවකි.

සබරගමු ගැමි ජීවිත හා සහසම්බන්ධ ව්‍යවහාරික භාෂාව, සංස්කෘතිය, ආගම හා අභිචාර මෙන්ම ඇදහිලි හා විශ්වාස ආදී සියල්ලක්ම මෙම සම්ප්‍රදායේ ශාන්තිකර්ම හා අත්‍යන්තයෙන් බැඳී පවතී. අනෙකුත් උපසංස්කෘතීන් හා සසඳා බැලූ කල සබරගමු උපසංස්කෘතිය මහා සංස්කෘතියේ සාරය උකහා ගත්ත ද අදටත් නොඉඳුල් දේශීයත්වයෙන් යුතුව දැකිය හැකි වේ. සබරගමු නර්තනය ද එම සංස්කෘතියේ නිතර කථා බහට ලක් නොවන එහෙත් එසේ කථාබහට ලක්විය යුතු සංස්කෘතික අංගයකි. විවිධ හේතුන් මත ක්‍රමක්‍රමයෙන් අභාවයට යන සබරගමු ශාන්තිකර්ම වත්මන් සමාජයට නැරඹීමේ වාසනාව අල්ප වුව ද අප ඒ පිළිබඳව කිසියම් අවබෝධයක් ලැබීම පිණිස මේ තොරතුරු ඉදිරිපත් කරමු.


සබරගමු නර්තන සම්ප්‍රදාය තුළ යක්ෂයන්, දෙවියන් හා ග්‍රහයන් වෙනුවෙන් පවත්වන ශාන්ති කර්ම රැසකි. ඒ අතුරින් “වටකුමාර සමයම” යනු යකුන් විෂයෙහි පවත්වනු ලබන තොවිලයකි. ගැබ්ගත් කාන්තාවන්ට සෙත් ශාන්තිය ලබා ගැනීම වටකුමාර සමයමෙන් අපේක්ෂා කෙරේ. සබරගමු සංස්කෘතිය තුළ වටකුමාර සමයම, වටයක්කාරිය, වටයක් තොවිලය, කුමාර සමයම. කුමාර තොවිලය, කුමාර යකුම ආදී නම් රැසකින් මෙම ශාන්තිකර්මය හඳුන්වනු ලබයි. ගැබ් නොගන්නා කාන්තාවන්ට ගැබක් අපේක්ෂාවෙන් ද, ගැබ්ගෙන සිටින කාන්තාවන්ට සෙත ශාන්තිය පතා ද, දාරකෝත්පත්තියෙන් අනතුරුව දරුවා ආරක්ෂා කර ගැනීමට ද අතීත ගැමියන් මෙම ශාන්තිකර්මය පවත්වා ඇති බව විද්වත් මතයයි. මෙම ශාන්තිකර්මයේ පුද ලබන ප්‍රධාන යක්ෂයා වන්නේ වටකුමාර යක්ෂයාය. ලාංකේය මහා සංස්කෘතිය තුළ වටකුමාරයා හෙවත් කළුකුමාරයා යනු කාන්තාවන්ට වින කරන යක්ෂයා යැයි පොදු මතයක් පවතී. සබරගමුවාසී යකැදුරන්ට අනුව වටකුමරු යනු එම කළුකුමාරයාගේම එක් අවතාරයකි. ඔවුන් පවසන අයුරින් කළුකුමාරයාට අවතාර පහකි. අඳුන්කුමරා, සඳුන්කුමරා, කළුකුමරා, තොටකුමරා හා වටකුමරා යනු එම අවතාර පහයි. මොවුන් කාන්තාවන්ට විවිධ අයුරින් වින කරන බව අතීතයේ සිටම ඔවුන්ගේ පිළිගැනීමයි. එම දෝෂයන්ගෙන් අත්මි¼දීම උදෙසා වටකුමාර යකුට පිදවිලි දී ඔහු සතුටු කර සෙත් ශාන්තිය ලබා ගැනීම අරමුණු කරගෙන මෙම ශාන්තිකර්මය පැරණි ගැමියන් විසින් පවත්වයි.


උපත් කතාව.

වටකුමාර සමයම උපත් කතාව සෘජුවම වටකුමාරයාට සම්බන්ධ වූවකි. ඔහුගේ ස්වභාවය පිළිබඳ කුමාර සමයමේ එන ශාන්තිකර්ම ගීත සාහිත්‍ය මඟින් විස්තර කරනුයේ මෙලෙසිනි.


වතක ඔවිඳු කුරු මුරු වූ කිවිඳුට

අණක වතක සර සිව්නෙක කිරුළද

වතක එරන් පැහැ කළු වතකුත් හැඳ

උපත කියමි වටකුමරුන්ගේ සොඳ


එම පුරාවෘත්ත කතාවට අනුව ශී‍්‍ර දේවි නම් බිසවට බොක්සැල්ල මහසොප් මහතෙරණුවන් වහන්සේ දැක අධික රාග සිත් ඇති වී සිහිනයක් දැකීමෙන් ගැබ් ගනී. බමුණු මතය වූයේ බිසව පිරිමි දරුවෙකු කුසේ දරා සිටින බවයි. බිසව විසින් දස එකඩ මසකින් එම කුමරුවන් ප්‍රසූත කරන අතර, ඔහු “ශී‍්‍ර සිද්දත්ත” නම් විය. සත් හැවිරිදි වියේදී සිද්දත්ත නමින්ම මහණ දිවියට ඇතුළු වන ඔහු තරුණ වියට එළඹ දිනක් අනුරාධපුර වටදාගෙයක සක්මන් කරමින් සිටියදී රූමත් කුමාරිකාවක් දැක රාගසිත් ඇතිව වටදාගෙයින් වැටී තිබේ. අනතුරුව වම් ඇලය බිඳී ස්තී‍්‍රන් කෙරෙහි ආලයෙන් රකුසු වේශයක් මැවුණු බව අතීත ගැමියන්ගේ විශ්වාසයයි. මෙම පුරාණ කතාව කුමාර තොවිලයේ අන්තර්ගත කුමාර පෙළපාලි ආශිර්වාද ගායනා තුළ කාව්‍ය රසයෙන් පිරිපුන්ව විස්තර කර ඇත.


බොක්සැල්ලේ නිරිඳුහට - එළඳ බිසව සත හට

රුවින් මන සහතුට - එළඳ පාවා දී නිරිඳු හට


එළඳ ලිය රූපත් - දුට අය කරති අගපත්

‍ලඳ බොලඳ යහපත් - වියදරු දොල දුකින් උපතක්


එක්මස දෙමස යන - තුන්මස හාරමසයෙන්

පස්මස සමස යන - සත්මසින් කිරි එරෙති එම දින


අටමස පසු වෙමින - නම මසට නම් වෙමින.

දස එකඩ මාසයෙන් - උපන් කුමරෙක් එදා මෙලෙසින්.

මනෝ විද්‍යාත්මක

සංස්කරණය

චිකිත්සනයක් වන අයුරු

සංස්කරණය

ගැබිණි කාන්තාවන්ට හා දරුවෙකු අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට මානසික සුවතාවය යනු දිව්‍ය සැපතකි. නිරවුල් මනසකින් යුක්ත වීම දරුවෙකු කුස දරා සිටින කාන්තාවකට අත්‍යවශ්‍ය තත්ත්වයකි. මෙම ශාන්තිකර්මය හරහා අවිඥානිකව සිදුවන්නේ මනස නිරවුල් කිරීම හා මානසික තෘප්තිය ලබා දීමයි. ගායන, නර්තන, වාදන හා හාස්‍යජනක නාට්‍යමය අංග හරහා ශාන්තිකර්ම ඇදුරන් ආතුර මනස රස වින්දනයට යොමු කරවා නිවා සනසනු ලැබේ. බෞද්ධ දර්ශනයේ ආභාසය ලබා පෝෂණය වී ඇති උක්ත ශාන්තිකර්මයේ සිත නිරවුල් කිරීමේ මාර්ගය ලෙස කලාව තෝරාගෙන ඇත්තේ බුදුන් පවා සෞන්දර්යය රසවිඳ ඇති නිසාවෙනි. බුදුන් වහන්සේ යනු “අහසින් වැටෙන වර්ෂාවේ පවා අනුපමේය සෞන්දර්යයක් දුටු මහා ශාස්තෘවරයෙකු” බව සෞන්දර්යයවාදීන්ගේ මතයයි. මෙම ශාන්ති කර්මයේ ගීත හා නාට්‍යමය අවස්ථා වලදී දරුවෙකු ලබා ගැනීමත්, දරුවෙකු කුස දරා සිටින අවස්ථාවක හැසිරිය යුතු ආකාරයත්, එහිදී සිදුවන ශාරීරික වෙනස්කම් ආදියත්, දොලදුක් පිළිබඳවත් රසවත්ව ඉදිරිපත් කරමින් ආතුරයාට දරුවෙකු පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. ගර්භණී සමයේදී ඇතිවන දොලදුක් පිළිබඳ එහි “දොල උපත” නම් නාට්‍යමය අංගයේදී මෙලෙස විස්තර කෙරේ.


අරුචි වෙමින් කට කෙලද පෙරෙන්නේ

එරුචි වෙමින් ගුරු ගල් ගෙන කන්නේ

රසැති දෙයක් මෙන් ඇඹුල්ම කන්නේ

පැමිණි මෙදුක් කෙලෙස ද ඉවසන්නේ


ගර්භණී කාන්තාවක ලෙස සැරසී රඟමඬලට පැමිණෙන යකැදුරා බෙර වාදකයා සමඟ සංවාදයක යෙදේ. හාස්‍ය රසයෙන් යුතුව සිදුවන මෙම සංවාදය තුළ ව්‍යාංගාර්ථයෙන් ලිංගිකත්වය හා ගර්භණී සමයේ ඇතිවන ශාරීරික අපහසුතා පිළිබඳ කියවේ. හාස්‍ය ඉපදවීමත්, ඒ හරහා සිදුවන මානසික සහනයත් ආතුරයාට තම අරමුණ ඉටුකර ගැනීමට මඟ පාදනු ලැබේ. පූජාවිධි රටාව අවසානයේ සබරගමු ශාන්තිකර්ම සම්ප්‍රදායටම ආවේණික සළුසැලීම නම් චාරිත්‍රය සිදුකරන අතර, එහිදී සළුවක් යොදා ගනිමින් ආතුරයාට සෙත් කරන ප්‍රධාන ඇදුරා ආතුරයාට වටකුමාරයාගේ දෝෂයක් ඇත්නම් මේ මොහොතේ පටන් ඒ සියලු දෝෂයන් විනාශ වූ බව පවසා මානසික සහනය සලසයි‍. අතීත ඇදුරන් ශාන්තිකර්ම හරහා සිදුකරන ලද්දේ මානසික චිකිත්සාවක් බව මේ අනුව පැහැදිලි වේ. බෞද්ධ දර්ශනයට අනුව යමින් චිත්ත සමාධිය ඇති කිරීම ඔස්සේ ‌බොහෝ රෝග වලින් මිදීමේ හැකියාව ඇති බව “වටයක්කාරිය ශාන්ති කර්මය” හරහා අතීත ඇදුරන් අපට පැහැදිලි කර දී තිබෙන්නේ මේ අයුරිනි.

අද වනවිට තාක්ෂණික දියුණුවත්, සාමාන්‍ය ජනයා මෙවන් යාතුකර්ම විශ්වාස නොකිරීමත්, ශාන්ති කර්මයක් පැවැත්වීමට අධික වියදමක් දැරීමට සිදුවීමත්, ශාන්තිකර්ම ශිල්පීන් දුර්ලභ වීමත් ආදී කරුණු හේතුකර ගනිමින් සබරගමු වටකුමාර සමයම නම් ශාන්ති කර්මය අභාවයට යමින් පවතියි. මේ වන විට මෙම ශාන්ති කර්මය සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. එය ද විනෝදාස්වාදය, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ දැනුම උදෙසා හෝ සංස්කෘතික කලාංගයක් ලෙස සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිවයි.

සටහන රඹුක්කන කීර්ති එස්.කුමාර

"https://si.wikipedia.org/w/index.php?title=කුමාර_සමයම&oldid=488718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි