කැවුම්
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. |
කැවුම් යනු වටිනා හෙළ මවුලකි. සියවස් (හෝ සහස්‍ර) ගණනක අතීතයක් ඇති මෙහි නාමයේ මුල සෙවීමේ දී, 'කන දේ කැවුම්' බව පෙනේ. අතීතයේ දී රාජ්‍ය වටිනාකමක් කැවුමට තිබී ඇති අතර වත්මනේ දී කැවුමේ වැදගත් කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේ දීය. පෙර කල කැවුම් වර්ග 18ක් තිබී ඇත. මේ ගැන සද්ධර්ම රත්නාවලියේ ලියවී තිබේ.
රජ කාලයේ දී අලුත් අවුරුද්දට රජු බැහැ දැකීමට එන උසස් රාජ්‍ය නිලධාරියෝ ගෙනෙන තෑගිබෝග අතර කැවුමට මුල් තැනක් වූ අතර යුධ පිටියේ දී කැවුම ඖෂධයක් විය. සොල්දාදුවන්ගේ කෑමට තැනින් තැනට පහසුවෙන් කැවුම් ගෙන යා හැකි වූ අතර තුවාල නරක් වීම වැලැක්වීය.
කැවුම් ඉතිහාසය
සංස්කරණයඅවුරුදු රසකැවිලි අතර කැවුම් බෙහෙවින්ම ප්‍රමුඛ ස්ථානයක් ගනී. කැවුම් හා බැඳුණු ඉතා වටිනා හා පොහොසත් සාහිත්‍යයක් තිබෙන බව ජන සංස්කෘතිය අධ්‍යයනය කරන විට පෙනී යයි. එය සියවස් ගණනාවක් අතීතයට යන්නකි.කැවුම් පුරාණය, කැවුමේ ඉතිහාසය හරිම රස ය.කැවුමේ රසයට වඩා එහි ඉතිහාසය ඉතා රසවත් ය.මිනිසාගේ උපතේ සිට කෙස් කැපීම, කන් විදීම, ඉඳුල් කට ගෑම, අකුරු කියැවීම, වැඩිවියට පත්වීම, විවාහය යන ජීවිතයේ අමරණීය අවස්‌ථාවලදී ද, කැවුම් ප්‍රමුඛ ස්ථානයක් ගනී.
කැවුම් පිසින්න නොදන්නේ නම් එය කාන්තාවන්ට මහත් අඩුවකි. මහෞෂධයන් අමරාදේවී පිරික්‌සීමට පවා කැවුම් ඉවීම කරවූ බව උමංදා කතුවරයා අගේට පෙන්වා ඇත. දුටුගැමුණු මහ රජතුමා කරවූ රුවන්මැලි සෑයේ වැඩ කළ සේවකයන්ට සංග්‍රහය සඳහා අතුරු පසට කැවුම් තිබුණු බව ථූපවංසය කියයි. හෝපිටිගම සෙල්ලිපියේ සඳහන් රාජකීය වට්‌ටෝරුවෙහිද රජගෙදර කැවුම් ගැන සඳහන් වේ.සමන්ත පාසාදිකා විනය අටුවාවේ රාජ සික්ඛාපදයෙහි එන අටුවා කතාවක කැවුම් පිළිබඳ කියවේ. පෙර සිතුල් පව්වේ විසු එක් භික්ෂුවක ‘අහෝ! හෙට සංඝයාට මෙපමණ වූ කැවුම් පිසත්වා!‘ යැයි ආරාමිකයන්ට ඉඟියක් පිණිස පොළොවෙහි රවුමක් ඇන්දේය. දක්ෂ ආරාමිකයෙක් එය දැක එපරිද්දෙන්ම කැවුම් පිස ගෙනැවිත් දෙවැනි දවසෙහි සංඝයා රැස්වු කල්හි සංඝ තෙරුන් වහන්සේට මෙසේ කීවේය. ‘ස්වාමීනි, මින් පෙර එක් ස්වාමීන් වහන්සේ නමක විසින් දානශාලා දොරටුව අසල කැවුම් පිණිස සංඥාවක් කරන ලදි.දැන් මෙයින් මතු ස්වාමීන් වහන්සේලා තම තමා කැමති දේ අනුව අවශ්‍ය දේ කියත්වා! අපි ඒවා සපයන්නෙමු‘යි කීවේය. එය ඇසූ තෙරුන් වහන්සේ එතැනම නැවතුණි. එක් භික්ෂුවකුදු කැවුම් නොගත්තේය. අරාමය තුළ වුවත් භික්ෂුවකගේ ලෝල බව නිසා ලැබුණු කැප සරුප් කැවුම් වුවද නොවැළැඳූහ.
උමංදාවේ පැණෙනා මහෞෂධයන් අමරාදේවීය පිරික්සුවේ කැවුම් ඉවීමට ඇණවීමෙනි. එහිම එන කාලගෝල කථාවේ දික්‌තලාගේ මවුපියන් බැලීමට ඔවුන් දෙපළ යන්නේ කැවුම් කදක් ගෙනය. කුස ජාතකයේ කියැවෙන කුස රජුගේ මුහුණ කැවුමකට උපමා කර ඇත. කැවුම් තිබියදී මහ රහත් නමකට දන් නොදී තනිවම රහසින් කැවුම් කෑ නිසා හේ මතු ආත්මයේ කැවුමක හැඩැති මුහුණක් ගෙන ඉපදුණේය. මසුරු සිටාණෝ උඩු මහලට ගොස් කාටත් හොරෙන් කැවුම් උයා කෑ පුවතක් ජාතක පොතේ පැනේ.
සද්ධර්මාලංකාරයෙහි එන ශ්‍රද්ධා සුමනාව දේවී දානයක් දීමට වත්කමක් නැති වුවත් කැවුම් පිදීමට උපන් ආශාව දෙවියන්ට පෙනුණි. දෙවියෝ ඇයට දිව්‍ය ලෝකයෙන් කැවුම් ගෙනැවිත් දුන්හ. දුගී පැල්පතහි සිට රාජ මාළිගාව දක්‌වා කැවිල්ලක් ලෙස කැවුම් වැදගත්ම තැනක් ගත් ආකාරය පිළිබඳ මේ ජන සාහිත්‍යය ඇරින් කළ බෞද්ධ සාහිත්‍යයෙන් පෙනේ.
පූජාවලියේ සඳහන් අනුරුද්ධ කුමරු ළමයින් සමග සෙල්ලම් කරන විට කැවුම්වලට ඔට්‌ටු අල්ලා පැරදුණේය. නිවෙසේ තිබූ කැවුම් ඉවර වී තිබුණු නිසා කුමරුගේ මව කුමරු රැවටීමට දාසියකගේ අත හිස් කැවුම් පෙට්‌ටියක් යැවුවේය. එහෙත් ඔහුගේ පින් බලයට ඒ හිස්‌ව තිබූ පෙට්‌ටිය කැවුමින් පිරී ගියේය.[1]
කැවුම් වර්ග
සංස්කරණයහැඳි කැවුම් , මුං කැවුම් , උළුඳු කැවුම්, උටුපු, කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, උඳු කැවුම්, දිය කැවුම්, පැණි කැවුම්, කුඩු කැවුම්, ගෑරුප්පු කැවුම්, පනා කැවුම් ආදී 18ක් වේ.
කැවුම් පිසීම
සංස්කරණයහාල් පිටි, පැණි හා පොල්තෙල් මීට අත්‍යාවශ්‍ය වේ. හාල් පිටි හා පැණි මිශ්‍ර කොට, උණු පොල්තෙල් සහිත තාච්චියක බදිනු ලැබේ. කොණ්ඩ කැවුම් සෑදීමට (කොණ්ඩය ගැනීමට) ඉරටු කූරක් භාවිතයට ගැනේ. රන් වන් පැහැ වී බැදුනු පසු එය පිටතට ගනු ලැබේ.
- ^ https://archives1.silumina.lk/2019/04/13/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%9A%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BD-%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD-%E0%B6%B4%E0%B7%80%E0%B6%AD[permanent dead link]