මොන ලෙඩේට වෙද මහත්මයෙක් ගාවට ගියත් කසායක් නියම කරනවා සැක නැහැ. කම්මැලි නැතුව කසායක් බොන එක පෙති අහුරක් ගිල දමනවාට වඩා ශරීරයට හිතකර බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. සකස් කරන ක්‍රමය අනුව කසාය වර්ග පහකට (5) පමණ බෙදා දක්වන්න පුළුවන්. එයින් මුල්ම වර්ගය ගැන කියන්නයි යන්නේ. ඒ කියන්නේ ඖෂධයක අඩංගු වෙලා තියෙන ගුණය වතුරෙහි දිය කරලා සාදා ගන්නා පානය. මේක ආහාරයක් බව කාටත් පැහැදිලි නේ. මේකත් හදන ක්‍රම තුනක් තියනවා. ක්‍රම තුනේම පොදු ලක්ෂණය තමයි ඖෂධීය ගුණය වතුරට ඇද්දවීම.

1 වන ක්‍රමය: බෙහෙත් ද්‍රව්‍ය අමුවෙන් ගෙන තලා කොටි මිරිකා පිරිසිඳු රෙදි කැබැල්ලකින් පෙරා බීම සකසා ගැනීම. ඊට ගත වෙන්නේ සුළු වේලාවක් පමණයි. මෙම ක්‍රමය සුදුසු පහසුවෙන් කෙටෙන බෙහෙත් වර්ග වලට. මේ බෙහෙත් වර්ග ගින්නට, සීතලට නැත්නම් කෘමි සතුන්ට අසුවෙලා විකෘති නොවිච්ච ඒවා වෙන තරමට ගුණයි. බෙහෙත් වර්ග කෙටෙනවා හොර නම් වතුර චුට්ටක් විතර එක් කළාට කමක් නැහැ. වතුර වැඩි වුණහම කොටන්න කරදරයි. හරියට වැඩේ වෙන්නේ නැහැ. කොටලා ඉවර වුණහම ඒකට වතුර එක් කරලා හොඳට මිරිකා ගන්න ඕන කරනවා ඖෂධීය ගුණය වතුරට ඇදෙන කම්. ඊට පස්සේ හොඳ පිරිසිඳු රෙදි කඩකින් පෙරන්න ඕනෑ. මේ ක්‍රමය සුදුසු කොළ, මල්, පොතු බෙහෙතට නියම කරන වෙලාවලට. ඒවා පහසුවෙන් කෙටෙනවා. ගල් වංගෙඩියක් තියෙනවා නම් වඩාත් හොඳයි. බ්ලෙන්ඩරය කඩා ගන්නැතුව කොටා ගත්තත් ඉතින් මොකෝ. වැඩේ කෙරෙනවා නම් උපකරණය කුමක් වුවත් කමක් නෑ. වුවමනාවට වඩා දියාරු වෙන එක සුදුසු නැහැ. ඒ නිසා පමණට වතුර දාන්න පරිස්සම් වෙන්න. හුඟක් සරලයි වගේ හිතුනට මේ ක්‍රමයට හදා ගන්න පුළුවන් ඖෂධ වර්ග රාශියක් තියෙනවා. බෙහෙත් බර රාත්තල් බාගයක් නම් (ග්‍රෑම් 225) නම් වතුර අඬු කෝප්ප 2 ක් තමයි නියම ගානට පදම එන පිළිවෙල.

2 වන ක්‍රමය: මේක සුදුසු හාල් වගේ පහසුවෙන් කුඩු වෙන බෙහෙත් ද්‍රව්‍ය වලට. වංගෙඩියක් නැත්නම් ග්‍රයින්ඩරයක් පාවිච්චි කරලා හොඳට කුඩු කර ගෙන ඒ කුඩු වතුරට දාලා පැය 24 ක් තියෙන්නට හැරියාම එහි ඇති ගුණදායක කොටස් වතුරට ඇදෙනවා. රාත්තල් බාගයකට (ග්‍රෑම් 225) වතුර අඬු කෝප්ප දෙකක් හොඳ පදම. භාජනය වහලා තියන්න. විශේෂයෙන් පින්න වදින්න තියන්න කිව්වොත් හැර අනෙක් වෙලාවට පින්න නොවදින විදියට තියන්න වග බලා ගන්න. සිසිල් ස්ථානයක තියන්න. ඒ කිව්වේ ශීතකරණයේ දාන්න කියලා නෙමෙයි. පැය විසි හතරක් ගියාම පෙරලා ගන්න. අතර මැද කලතන්න අවශ්‍ය නැහැ. නිකම් තිබුනාම හොඳටම ඇති.

3 වන ක්‍රමය: ගස් මුල් වගේ තද ද්‍රව්‍ය අඩංගු බෙහෙත් සීට්ටු වලටයි මේ ක්‍රමය සුදුසු. වියළි ද්‍රව්‍ය, යුෂය නොපෙනෙන ද්‍රව්‍ය මේ ක්‍රමයට සකස් කරනවා. බෙහෙත් බර රාත්තල් බාගයකට (ග්‍රෑම් 225) වතුර අඬු කෝප්ප 16 ක් (රාත්තල් කාලකට වතුර කෝප්ප 8 ක්) එනම් බෙහෙත් බර වගේ අට ගුණයක් වතුර බර එන විදියට, තව විදියට කියනවා නම් බෙහෙත් පත දෙකකට වතුර පත 16 ක් ( බෙහෙත් පතකට වතුර පත 8 ක්) - බෙහෙත් වගේ අට ගුණයක් බරට වතුර දාලා තම්බන්න ඕනෑ. වතුර බර අඩුවී අඩු වී හතරෙන් එකක් වෙන කම් හින්දන්න. ගෑස් ලිප ලෝහ භාජන නම් සුදුසු නැහැ. දර ලිපක් බැඳ ගන්න. හැම වෙලාවෙම මැටි බාජන නැත්නම් පිඟන් මැටි (සෙරමික්) බාජන ගන්න. ලිප තියන්න මැටි බාජන තමයි සුදුසු. පිරිසිඳුකම අංක එක බව මතක් කරන්න අවශ්‍යයි. උණු උණුවේ බොන්නේ නැහැ. හොඳින් නිවුණාම පෙරා පානය කිරීමයි සුදුසු. හුඟක් වෙලාවට අනුපානයක් එක්ක ගන්න තමයි කියන්නේ. පළමු පානය කසාය දෙවැනි පානය ඒ කියන්නේ අනුපානය තව මොකක් හරි බොන්න ඔන්න මෙන්න කියලා එකතු කරන ද්‍රව්‍යයක්. ඒක ලෙඩේ අනුව වෙනස් වෙන්න පුළුවන්.

බෙහෙත් බොන්න ඉස්සර ලෙඩාට නිදිමත යන කම් පහසුවෙන් ඉන්න හරින්න ඕනෑ. බීපු පසුවත් නිදා ගන්න තහනම්. පත්තියම් වෙනකම් වෙන වැඩක යෙදුණාම හරි.

"https://si.wikipedia.org/w/index.php?title=කසාය&oldid=470123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි