කලාව, පන්තිය සහ වටිනාකම


සමහරුන් කලාව දකින්නේ එක් සමාජ පන්තියකට පමණක් අයත් අනෙක් සමාජ පන්තීන්ට අයත් පිරිස් එයින් බැහැර කරවන්නක් ලෙසිනි. මෙකී සන්දර්භය තුල කලාව ධනය, කලාකෘතීන් මිළදී ගැනීමේ හැකියාව සහ ඒවා රසවිඳීමට විවේකය ඇති ඉහල පාන්තික පිරිසගේ කි‍්‍රයාකාරකමක් ලෙස දකිනු ලබයි. මෙම සංකල්පයට උදාහරණයක් ලෙස යුරෝපයේ මහා ධනස්කන්ධයන්ට හිමිකම් කී රාජකීය පවුල් විසින් වර්සේල්ස් හි විවිධ ස්ථාන සහ ශාන්ත පීටර්ස්බර්ග් හි ආරාමයේ එක්රැස්කොට ඇති අතිමහත් කලාකෘතීන් එකතුව දැක්විය හැකිය. එවැනි කලාකෘති එකතූන් පවත්වාගෙන යාම ධනවතුන්, රජයන් හෝ ආයතන විසින් කරගෙන යනු ලබයි.

බොහොමයක් සංස්කෘතීන් තුල කලාත්මක හා වටිනා භාණ්ඩ සිය තත්වය පිලිබඳ සංකේතයන් ලෙස සලකනු ලැබ ඇති අතර වර්තමානයේද එසේ සලකනු ලැබේ. ප‍්‍රංශ රජවරුන්ගේ පුද්ගලික මාලිගයක් වූ ලූවර් ප‍්‍රංශ විප්ලව සමයේ කලා කෞතුකාගාරයක් ලෙස සාමාන්‍ය ජනතාවට විවෘත කිරීමෙන් පසු 1783 පමණ සිට මීට ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රවේශයක් ආරම්භ විය. බොහෝ නූතන ප‍්‍රසිද්ධ කෞතුකාගාර සහ පාසැල්වල කුඩා දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන කලා අධ්‍යාපන වැඩසටහන් කලාව සෑම අයෙකුටම ප‍්‍රවේශවිය හැක්කක් විය යුතුය යන මෙම ප‍්‍රවේශය අනුගමනය කරමින් සකස්ව ඇති බව පෙනී යයි. එක්සත් ජනපදයේ කෞතුකාගාර අතිශය ධනවතුන් විසින් පොදු ජනතාව වෙත කරන ලද පරිත්‍යාගයන් ලෙස සැලකෙයි (උදාහරණයක් ලෙස නිව්යෝර්ක් හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය ආරම්භ කොට ඇත්තේ දුම්රිය මාර්ග විධායකයකුවූ ජෝන් ටේලර්ගේ පුද්ගලික කලාකෘතීන් එකතුවෙනි). කරුණු මෙසේ වී තිබියදීත් 21 වන සියවසේදී පවා ධනය හා සමාජ තත්වය නිරූපනය කිරීම කලාවේ එක් වැදගත් කාර්ය භාරයක් ලෙස තවදුරටත් පවතී.

ධනවතුන්ට සිය තත්වය විදහා දැක්වීම සඳහා සාමාන්‍ය ජනයාට මිළදීගත නොහැකි කලාවක් නිර්මාණය කිරීම සඳහා වූ උත්සාහයන්ද පැවත ඇත. 1960 සහ 70 දශකයන්හි කලාවේ එක් ප‍්‍රමුඛතම එළැඹුමක් වූයේ විකිණීම හෝ මිළදි ගැනීම කළ නොහැකි කලාවක් බිහිකිරීමයි. පශ්චාත් ලෝක යුද්ධ සමයේ විසූ ජර්මානු චිත‍්‍ර ශිල්පියකු වූ ජෝසෆ් බුයුස් කියා සිටියේ ‘හුදු ද්‍රව්‍යාත්මක සැකසුමක් කරනවාට වඩා වැඩි දෙයක් ඉදිරිපත් කළයුතු බව’ යි. මේ කාල වකවානුව තුල ප‍්‍රසංග කලාව, වීඩියෝ කලාව සහ සංකල්පීය කලාව ආදී වශයෙන් නව ආකෘතීන් රැසක් කරලියට පැමිණි යුගයක් විය. මෙහිදි අදහස්වූයේ කලාකෘතිය රඟදැක්වීමක් වන්නේ නම් එය අවසානයේ මිළදී ගැනීමට හෝ විකිණීමට කිසිවක් ඉතිරි නොවන බවය. ‘1960 දශකයේ මැදදී ආරම්භවී 1970 දශකයේදී වඩාත් ප‍්‍රචලිවූ කලාව පිලිබඳ ප‍්‍රජාතාන්ති‍්‍රක සංකල්පයන්ගෙන් කියැවුනේ කලාව යනු කලාත්මක නව්‍යකරණයට ලක්වූ වෙළඳ භාණ්ඩයක් බවය. සංකල්පීය කලාව යන පුළුල් ප‍්‍රවර්ගය තුල හඳුනාගන්නා කලාකරුවෝ ඉදිරිපත් කිරීම් සහ ප‍්‍රකාශන කි‍්‍රයාකාරකම් තුලින් චිත‍්‍ර හා මූර්ති ආදී ප‍්‍රවර්ගයන් තුල ගැබ්ව පැවති ද්‍රව්‍යාත්මක ස්වරූපය ඉක්මවා යෑමට උත්සාහ කළහ.

අනතුරුව එළැඹි දශක කිහිපය තුල වෙළඳපොළ වීඩියෝ මධ්‍ය නිර්මාණන්හි සීමාසහිත පිටපත් සංඛ්‍යාවක් නිකුත් කිරීම, සමහර නිර්මාණයන් සඳහා විශේෂිත පිරිසකට පමණක් ආරාධනා කිරීම ආදී ක‍්‍රමවේදයන් අනුගමනය කිරීම ආදිය හේතුවෙන් මෙම අදහස් අවලංගුවී යම්න් පවතී. මෙම නිර්මාණයන් බොහොමයක් තේරුම්ගත හැක්කේ අදහසක්, වීඩියෝවක් හෝ බැලූබැල්මට කැලිකසල යැයි පෙනෙන දෙයක් කලා කෘතියක් යැයි සැලකෙන්නේ ඇයිද යන්න පිලිබඳව හදාරා ඇති ප‍්‍රභූන්ට පමණකි. තත්වය විදහා දැක්වීම කලාකෘතිය හිමිකර ගැනීම වෙනුවට එය තේරුම්ගැනීම බවට පත්ව ඇත. මේ අනුව තවදුරටත් කලාව ඉහල පාංතික කි‍්‍රයාකාරකමක් ලෙසින් පවතී. ‘2000 ගණන්වල ඞීවීඞී තැටිගත කිරීමේ තාක්‍ෂණය බෙහෙවින් ප‍්‍රචලිතවීම සමඟ කලාකෘතීන් විකිණීම මඟින් සිය ලාභ උපදවන කලාකරුවන් හා කලාගාර පද්ධතිය සීමාසහිත පිටපත් සංඛ්‍යාවක් ඒවා එක්රැස් කරන්නන්ට විකිණීම ආදී උපක‍්‍රමයන් මඟින් වෙළඳාම පාලනය කිරීමේ ක‍්‍රමවේදයක් නිර්මාණය කොටගෙන ඇත’.