කථිකාචාර්ය ප්‍රියන්ත බණ්ඩාර

ස්වයං නොරෝධායනය සමාජ විද්‍යාත්මක දෘෂ්ටියකින්..

ලෝකයේ ජීවත්වන මිනිසුන් කාණ්ඩ කිහිපයකට ඇතුළත් කළහැකි බව සාමාන්‍ය අදහසයි.එහෙත් එම කාණ්ඩ කිරීම් යටතේ එකිනෙකා ඇසුරු කිරීම සදහා දක්වන ලැදියාව අනුව වර්ගීකරණය කළ හැකි ද යන්න උභ‍තෝකෝටිකයක්.එසේ වුවත් මනෝ විද්‍යාත්මකව නම් පුද්ගලයාගේ පෞරුෂ ස්වභාවය අනුව ඔවුන් කෙබදු දැයි නිශ්චය කර දැක්විය හැකියි.ඒ අනුව අන්තර් වර්තිත, බහිර් වර්තිත ලෙස වර්ගීකරණයක් පවතින බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.නමුත් සමාජ විද්‍යාඥයින් හා සමාජ මානව විද්‍යාඥයින් මිනිසුන් මේ සමාජමය ඇසුරට ඇති රංචු ලැදියාව පිළිබදව තව තවත් ගැඹුරු අධ්‍යයනයන් ට යුමු වීමට නව කොරෝනා හෙවත් චොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියේ ස්වභාවය පදනම්ව මිනිස් හැසිරීම හා සමාජමය හැසිරීම අධ්‍යනය කිරීඑන් වටහා ගත යුතු කරුණකි.එසේ වුවත් මීනිසුන් සාමාජීය සත්ත්ව කොට්ටාශයක් ලෙස සමාජ විද්‍යාඥයින් අර්ථ දක්වන්නේ සමස්ථ හැසිරීම් අධ්‍යයනය කිරීමෙන් නම් එය මෙවන් අවදානම් සුවිශේෂී අවස්ථාවන්(දවසක් දෙකක් සතියක් හමාරක් මතු නොව මාසයක් දෙකක් පමණක් නොව දිගු කළක් ගත කරන බැවින්)තුළ ප්‍රදර්ශනය වන්නේ කෙසේ ද යන්න අවධානය යොමු කළ යුතු ය.බටහිර රටවල විශේෂයෙන් ම කාර්මීකරණය ට හා යන්ත්‍රසූත්‍ර බදු ජීවිත ගත කරන මිනිස් කොට්ටාශයන් ගේ හැසිරීමත් පෙරදිග විශේෂයෙන් ම දකුණු ආසියාතික කලාපයේ මිනිසුන්ගේ සාමාජීය හැසිරීම් ස්වභාවයත් එකිනෙකට සාපේක්ෂ වෙනසක් පවතියි.ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි දකුණු ආසියානු කලාපයේ රටවල් බොහොමයක තවමත් එකට එක්වී ජීවත් වීමට සජීවීව ලං වී අදහස් හුවමාරු කර ගැනීමට දුක සැප බෙදා ගැනීමට,හාදකම් පැවැත්වීමට මිතුරු කම් පැවැත්වීමට ,නෑදෑකම් අලුත් කිරීමට විශේෂයෙන් කෑ වෙති.ඒ සදහා ක්‍රියාමාර්ග ද සමාජ සංස්කෘතික හර පද්ධතීන් විසින් නිර්මාණය කර ඇත. එබැවින් නව කොරෝනා වෛරසය දැඩි බලපෑම් එල්ල කළ ද සාමාජීය කටයුතුවලින් මිදී සිටීමේ අපහසුකම මෙම රටවල මිනිසුන් ට ඇති ප්‍රධානම ගැටලුවකි.එයම මෙවැනි වසංගත රෝග ව්‍යාප්තියට ද බලපෑම් ඇති කරයි.

එහෙත් ශ්‍රී ලංකාවේ වසංගත රෝග සදහා ස්වයං නිරෝධායනය අනාදිමත් කාලයක සිට පැවත එන සමාජ සංස්කෘතික ප්‍රතිමාණයකි.විශේෂයෙන් ම බෝවන වසංගතයක් අවස්ථාවලදී ගමේ හෝ නගරයේ හෝ එවන් වසංගතයකට ගොදුරු වුවහොත් දින 14ක් නිවසට වී සිටීම ට ශ්‍රී ලාංකිකයෝ පුරුදු ව සිටිති.විශේෂයෙන් ම වසංගත තත්ත්වයක් ලෙස කලින් කලට මතු වන පැපොළ ,කම්මුල් ගාය,සරම්ප ,ඇස් ලෙඩ  ඒ සදහා උදාහරණ කිහිපයකි.මෙහි ඇතැම් රෝග දෙය්යන්ගේ ලෙඩ ලෙස සැලකෙන අතර දින 14 ක් යන තුරු නිවසේ එක් කොටසකට සීමා කර සියලු සමාජ සම්බන්ධතා අත් හැර හුදකලාව සිටීමට සලස්වයි.නිවසට පැමිණෙන්නන් දැනුම්වත් කිරීම සදහා කොහොඹ කොළ අත්තක් එල්ලා තැබීම,ගොක් කොළයක් කඩුල්ලේ එල්ලා තැබීම වැනි සංකේතාත්මක සංනිවේදන මාධ්‍යයක් යොදා ගනියි.අදාළ රෝගියාගේ අත්‍යවශ්‍ය පෞද්ගලික අවශ්‍ය තා සදහා මෙන් ම ආහාර පාන ලබා දීම සදහා එක් පුද්ගලයෙකු ස්ව කැමැත්තෙන් ම ඉදිරිපත් වී එම කාර්යය දින 14 පුරා සිදු කරනු ලබයි.දින 7ක් 8ක් ගෙවුණු තැන අදාළ රෝගියාගෙන් විෂ බීජ පැතිරෙන ඉඩ කඩ වැඩි හෙයින් වඩාත් කල්පනාකාරී වෙයි.දිය නෑම සදහා ළිද අසල නොව වෙනම වෙන් වූ ස්ථානයක් හෝ වැවේ වෙන් වූ වෙනම ස්ථානයක් සකස් කර දෙයි.විශ බීජ හරණය සදහා විවිධ දේශීය ඖෂධ පැළෑටි අතු රිකිලි ආදිය දැමීම දුමායනය,තම්බා බොන්නට දීම වැනි දෑ ද සිදු කෙරෙයි.බොහෝ විට දිය නෑමට දෙන්නේ ද නිශ්චිත කාලයක් ගත වූ පසුව ය.මෙසේ රෝගී පුද්ගලයා සමග ඇයි හොදයිකම් නොපා සිටීමට සැමා විධිවිධානයක් ම යොදන අතර එවන් අවස්ථාවල දී රෝගියාට ඇතිවන මානසික කම්පනය හා හුදෙකළාව මග හැරවීම සදා රාත්‍රියට ඔහු හෝ හැය හෝ රදවා සිටින ස්ථානයට කිසියම් නිශ්චිත දුරක සිට කව් ගී ගැයීම ජාතක කතා පොත කියවීම,කතාන්දර කීම රටේ තොටේ වංහුං කීම වැනි දෑ ද සිදු කෙරෙයි.චීනයේ වුහාන් හි වැසියන් ඔවුන්ගේ හුදකලාව මගහරවා ගැනීමට ඈතට ඇසෙන සේ ගී මිමිනීමත් මේ අපේ පාරම්පරික ඥානයෙන් බිදී ගිය එකක් විය හැකිය.කෙසේ වෙතත් ස්වයං නිරෝධායන අවස්ථාවේ දී ද ඔවුන් හුදකලා නොකර සිටීම මානව සමාජයේ යහ පැවැත්මට ඉතා වැදගත් ම වෙයි.මන් ද මිනිසා සාමාජීය සත්ව කොට්ටාශය ක් වන බැවිණි.එසේ නම් මේ අවස්ථාන්වේ ස්වයං නොරඔධායනය සදහා ද අධි තාක්ෂනික උපකරණ යොදා ගැනීම මගින් ඔවුන් හුදලලා නොකිරීම ට වග බලා ගන්නවා සේම අපේ පැරණි ස්වයං නිරෝධායන අවස්ථාවල දී අනුගමනය කළ දුර සිට සජීවී ව ඇසෙන සන්නිවේදන ක්‍රමෝපායන් අනුගමනය කිරීම වැදගත් වනු ඇත.නො එසේ නම් ඔවුන් මේ ඇතිවන මානසික කැළඹිලි සහගත තත්ත්වයන් හමුවේ දැඩි ඉච්ඡා භංගත්වයටත් මානසික අවපීඩනයකටත් ලක් වීමේ ඉඩ කඩ වැඩි වනු ඇත.එවිට කොරේ පිටට මරේ කියා වෙනත් අතුරු ප්‍රතිපළයන් ට පිළියම් සෙවීමට සිදු වනු ඇත.

කථිකාචාර්ය ප්‍රියන්ත බණ්ඩාර

පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය

පොලොන්නරුව, ශ්‍රී ලංකා