කඩවර සමයම
කඩවර කංකාරිය පවත්වන පලාත්
කඩවර කංකාරිය කන්ද උඩරට පමණක් නොවෙයි, උතුරුමැද හා වයඹ යන පළාත්වලත් දකින්න ලැබෙනවා. උතුරුමැද පළාතේ පවත්වන කඩවර නැටීම, කොහොඹා යක් කංකාරියේ එක් අවස්ථාවක් ලෙස ගත හැකියි. වයඹ පළාතේ ක නැටීම, දළකඩවරට ගොටු පිදේනි කැපකොට දීමට සීමාවන්නක් ලෙස දැක්වීමට පුළුවන්. උඩරට මධ්‍යම පළාතේ කඩවර යක් කංකාරියේ දී රීරි කඩවර, කොට කඩවර, රතිකඩවර, දළ කඩවර යන යකුන්ට වෙන වෙනම දොළ පිදේනි, ගොටු කැපකොට දෙනවා. පන්යක්‌කම, කපුයක්‌කම, නයියක්‌කම, වැදියක්‌කම, දරුයක්‌කම, බොරුයක්‌කම, මහයක්‌කම යන යක්‌කම් හතක් මුළු රැයක් එළිවන තෙක් පවත්වනවා.
කඩවර කංකාරිය පවත්වන අවස්තා
නිසි කාලයට දරුගැබ් ගැනීම් සිදුනොවීම, හටගත් ගැබ ගබ්සාවීම, නියමිත කාලයට මාස් ශුද්ධිය ඇති නොවීම, කිලිමාල, ලේමාල වැළඳීම මෙන්ම මල්වර දෝෂ, තනිකම් දෝෂ, රතිකම් දෝෂ, ඇඟ වෙව්ලීම ආදී ස්‌ත්‍රීන් හා සම්බන්ධ වූ ලෙඩ රෝග හා සබැඳි යක්ෂයන්ට පවත්වන තොවිලයක් ලෙස කඩවර කංකාරිය සැලකෙනවා. එමෙන්ම දරු ප්‍රසූතිය පමාවීම, අංගවිකල දරුවන් බිහිවීම, බිහි වූ දරුවන් විවිධ සංකූලතා නිසා දින කිහිපයකින් මරණයට පත්වීම සෞඛ්‍ය පිළිවෙත් දියුණු නොවූ පුරාණයේ බහුල වූ අතර, ඒවා සිදුවන්නේ ද කඩවර බැල්ම නිසා බව එකල දැඩි සේ විශ්වාස කළා.
මේ ලෙඩරෝගවලින් කාන්තාවන් නිදහස්‌කර ගැනීමට කඩවර යක්ෂයාට පුද පූජා දොළ පිදේනි පුදා සතුටු කළ යුතු බව යි සැලකුණේ. එසේ යක්ෂයා සතුටුකර තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට තුන්තිස් පැයක් මුළුල්ලේ කඩවර යක් කංකාරියක් පැවැත්විය යුතු බව විශ්වාස කර තිබෙනවා.