දිගු ශරීරයක් , උල් හිසක් හා රවුම් කන් ඇති උරුලෑවන්ගේ කකුල් ඉතා කෙටි ය. වලිගය දිග ය. බළල් පවුලට අයත් සත්වයෙකු වුවත් කලවැද්දා හා උගුඩුවා තරම් වත් ජනප්‍රිය සුරතලෙකු බවට උරුලෑවා පත්නොවන්නේ උගේ පීනල් ග්‍රන්ථිය නිසා ය. උන්ගේ යටි බඩේ එය පිහිටයි. ඔවුන්ගේ බඩ යට ලෝම ඝනව පිහිටනවා. සිරුරේ ඉහළ තිබෙන ළා වර්ණය පහළට යන විට තද පැහැයක් ගන්නවා. කෝපි පාට හිස , සුදු හොම්බ හා කර වටේ මාල ලෙස පිහිටන රේඛා ඉතා පැහැදිලි ය. වළලු හත අටක් ලෙස රේඛා ඇති වලිගේ කෙළවර සුදු ය. පැටවුන්ගේ ලෝම ඉතා මෘදු ය. ආසියාවේ බොහෝ රටවල මේ සත්වයා දැකිය හැකි වුවත් ලංකාවේ සිටින උප විශේෂය අප රටට ආවේණිකයි.


අප රටේ සෑම පෙදෙසකම දැකිය හැකි උරුලෑවා අඩි 5000ක් තරම් උස සීත කදුකරේ පවා වාසය කරයි. කැලෑ පාලුවේ පරිසර හානි හේතුවෙන් වර්තමානයේ උරුලෑවා කෑලෑවට වඩා තේ වතු හා ගෙවතු ආශ්‍රිතව දැක ගත හැකිය. පළතුරු , කුඩා පක්ෂින් , කෘමීන් , ශාක කොටස් වැනි ආහාර සේම කිරි , පාන් , බත් වැනි ආහාරත් උරුලෑවන්ගේ මෙනූවට ඇතුළත්.

උරුලෑවා විහිදන සුවඳට වශී වුණ පිරිසකුත් සිටින බව පැවසූ විට ඔබ පුදුම වේවි . උපන් දා සිට මියෙන තෙක්ම උරුලෑවා පීනල් ග්‍රන්ථියෙන් සුවඳ විහිදවනවා. ඒ ආරක්ෂක උපක්‍රමයක් ලෙසයි. යාපනයේ වශී ගුරුකම් කරන උදවිය උරුලෑවා මරන එකම හේතුව යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සඳහා පීනල් ග්‍රන්ථිය ලබා ගැනීම පමණම ය.

එය ඉතා සෝචනීය තත්ත්වයකි. දියුණු යැයි පවසන සමාජයක අප සතුව පමණක් ඇති ( රතු දත්ත පොතට පවා ඇතුළත්ව ඇති ) මෙම උරුලෑ උප විශේෂය පරිසර සංරක්ෂණය , සමාජ දැනුවත්භාවය වැනි ක්‍රියාමාර්ග ඔස්සේ රැකගැනීම කාලීන යුතුකමක් වන්නේ ය.

"https://si.wikipedia.org/w/index.php?title=උරුලෑවා&oldid=470732" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි