ඉන්දියා චීන යුද්ධය - 1962
දේශ සිමා පිළිබඳ ප්‍රශ්නයක් මුල්කරගෙන ඉන්දියාවත් - චීනයත් අතර ඇති වූ අර්බුදය නිසා හටගත් යුද්ධය ඉන්දියා - චීන යුද්ධය ලෙස හැඳින්වේ. මෙම යුද්ධය 1962 ඔක්තෝබර් මස 20 දින ආරම්භ වී නොවැම්බර් මස 21 දින චීනය විසින් ඒකපාක්‍ෂිකව ප්‍රකාශිත සටන් විරාමයක් යටතේ කෙළවර විය. මාසයක් පමණ පැවති මෙම යුද්ධය ජාත්‍යන්තර වශයෙන් අර්බුදකාරි තත්ත්වයක් උද්ගත කරනු ලැබීණ. ජාත්‍යන්තර අර්බුද පිළිබඳව කරනු ලබන අධ්‍යයනයකදී මෙයද වැදගත් වන්නේ එහෙයිනි.
ඉන්දියාවත් චීනයත් අතර දේශසීමා අර්බුදයක් පැන නැගීමට ප්‍රධාන හේතුව වුයේ ඉන්දීය චීන දේශ සීමාවේ එක්තරා භූමි ප්‍රදේශයක් සම්බන්ධයෙන් දෙරට විසින් හිමිකම් කියා පෑමයි. එලෙස හිමිකම් කියනු ලැබුවේ ඉන්දියා චීන දේශසීමාවේ ටිබෙට් රටට නුදුරින් පිහිටි අක්සායි චින් (AKSAI CHIN) නැමැති ප්‍රදේශය සම්බන්ධයෙනි. පළමුව හිමිකම් කියනු ලැබුවේ ඉන්දියාව විසිනි. දෙවනුව හිමිකම් කියනු ලැබුවේ නැතහොත් ඉන්දියාව හිමිකම් කීම ප්‍රතික‍්ෂේප කරනු ලැබුවේ චීනය විසිනි. මෙකී හිමිකම් කීම හා ප්‍රතික්ෂේප කිරීම් කරනු ලැබුවේ එක් ඓතිහාසික සාධකයක් පදනම් කර ගනිමිනි. එනම් ඉන්දියාව විසින් ඉන්දියාව සතුව තිබු සිතියමක් හා චීනය විසින් චීනය සතුව තිබු සිතියමක් ඇසුරිනි. ගැටළුව මතුවුයේ ඉන්දියාව හා චිනය සතු වු සිතියම් හි ඉන්දියා චීන දේශසීමාව දෙයාකාරයකට සලකුණු කර තිබීමෙනි.
මෙම සිතියම් දෙකට අනුව ඉන්දියාව හා ටිබෙට් අතර වැටි තිබුණ එක්තරා මාර්ගයක් විය. එම මාර්ගය වැටී තිබුනේ ඉන්දියානු දේශ සීමා ප්‍රදේශයක් වු අක්සා චින් හරහාය. චීනයේ සිංකියැං ප්‍රදේශයේ යාර්ඛාන්ඩ් (YARKHAND) නම් ස්ථානයේ සිට නේපාල දේශ සීමාවට යාබදව පිහිටි බටහිර කොටසේ වු ටක්ලා කොට් නම් (TAKLAKOT) ස්ථානයට වැටි තිබුන මෙම මාර්ගයට පිවිසුනේ ඉන්දියානු දේශසීමාවට අයත් සේ සැලකුණු අක්සායි චින් ප්‍රදේශය හරහායි.
අක්සායි චින් ප්‍රදේශයේ අයිතිය පිළිබඳව ප්‍රශ්නය ඉන්දියාව විසින් මතුකරනු ලැබුවේ එක්තරා ඓතිහාසික හේතුවක් නිසාවෙනි. එනම් චීනය විසින් ඉන්දියාවට ආසන්න දේශසීමා රාජ්‍යයක් වු ටිබෙටය හැසිරවීමට චිනය උත්සහ දරන බව එක්තරා සිද්ධියක් ඇසුරින් ඉන්දියාවට පෙනී ගිය හෙයිනි. ඒ සිද්ධිය නම් චීනය විසින් ඉන්දියාවටත් හොරෙන් ඉන්දියානු දේශසීමා ප්‍රදේශයක් වු අක්සායි චින් හරහා 1957 වසරේදි මහා මාර්ගයක් ඉදි කිරිමයි. මෙම මහා මාර්ගය ඉදිකරනු ලැබුවේ 1956 දී සොයා ගත් ඉහත කී යාර්ඛාන් නම් ස්ථානයේ සිට අක්සායි චින් හරහා තක්ලාකොට් නම් ස්ථානයට වැටී තිබුන අඩි පාරක් ඔස්සේය.
චිනය විසින් ඉන්දියාවෙන් ඉතාමත් දුර බැහැර ප්‍රදේශයක ඉදි කරනු ලැබු මෙම මහා මාර්ගය පිළිබඳව ඉන්දියාව තොරතුරු දැනගත් විගසම චීනය වෙත විරෝධය පළකරනු ලැබිණ. ඒ 1958 ඔක්තොම්බර් මස 18 වෙනිදාය. එවැනි විරෝධයක් පළ කිරීමට හේතු දෙකක් විය. එකක් නම් එම මහා මාර්ගය ඉන්දියානු දේශ සීමාවට අයත්වු අක්සායි චින් ප්‍රදේශය හරහා ඉන්දියාවේ අවසරයකින් තොරව ඉදිකර තිබීමයි. අනෙක නම් මෙම ක්‍රියාව තුළින් ඉන්දියාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද වැදගත් වන්නාවු ටිබෙටය හැසිර වීමට චීනය උත්සහ දරා ඇති බව ඉන්දියාවට ඒත්තු යාමයි.
මේ ප්‍රශ්නය මුල් කරගෙන මේතාක් දෙරට අතර වු ඓතිහාසික සබදතාවය තව තවත් පළුදු වන්නට විය. ටිබෙටය මුල් කරගෙන ඉන්දියාවත් චිනයත් අතර වු සබඳතාවය පළමු වරට පළුදු වුයේ 1950 දීය. එහිලා බලපෑ හේතුව වුයේ ඉන්දියාවට උතුරින් පිහිටි දේශසීමා රාජ්‍යයක් වු ටිබෙටය පාලනය කිරීමට චීනය දැරූ උත්සහයයි. 1949 දී චීන මහජන සමුහාණ්ඩුව පිහිටු වීමෙන් පසුව ටිබෙටය සම්බන්ධයෙන් චීනය දැරූ මෙම උත්සහය ඉන්දියාව කෙරෙහි එක්තරා ආකාරයක අමනාප බවක් උද්ගත කරනු ලැබුවද එය එතරම් දුරදිග ගිය එකක් නොවීය. එම අමනාප කම් යටපත් කරමින් 1954 අප්‍රේල් මාසයේදී ටිබෙටයට අදාලව ඉන්දියාව හා චීනය අතර සංස්කෘතික ගිවිසුමක් පවා අත්සන් කරනු ලැබිණ.
එම ගිවිසුමේ පුර්විකාවට අනුව පංචසීල ප්‍රතිපත්තියට අනුව සාමකාමී සහජීවනය පදනම් කරගත් ප්‍රතිපත්තියකට අනුව දෙරට ක්‍රියා කරන බවටත් සෙසු බාහිර ලෝකයා සමඟ පවත්වන සබඳතා වලදී ඒ ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරන බවටත් එකඟ වුහ. 1954 දි අත්සන් කරනු ලැබු යතෝක්ත ගිවිසුමෙන් වැඩි කලක් ගතවීමට පෙර දෙරට අතර තිබු විශ්වාසය වඩාත් පළුදු වුයේ 1957 දී චීනය විසින් යාර්ඛාන්ඩ් සිට අක්සායි චින් හරහා ටිබෙටයේ සිට තක්ලා කොට් නම් ස්ථානය ඉදි කරනු ලැබු මහා මාර්ගය නිසයි.
මෙම මහා මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් 1957 ඔක්තොම්බර් මාසයේදී චිනය වෙත විරෝධය පළකල ඉන්දියාව කියා සිටියේ කිසිදු විවාදයකින් තොරව එම මාවත වැටී ඇත්තේ ඉන්දියානු දේශසීමාවට අයත් අක්සායි චින් හරහා බවයි.මෙම මාවත ඉදි කිරීම ඉන්දියානු සෝදිසි මුර සංචාරයන්ට බාධකයක් වි ඇති බවත් ඉන්දියාව විසින් ප්‍රකාශ කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් චීන රාජ්‍යයේ ප්‍රතිචාරය වුයේ එම මාර්ගය වැටී ඇති පෙදෙසේ වලට ඉන්දීය මුර සංචාරයන් ඇතුළත් නොවිය යුතු බවත්එසේ ඇතුළත් වන්නේ නම් එය චීන දේශ සීමාවට බලෙන් ඇතුළු වීමක් ලෙස චීන රජය විසින් සළකනු ලබන බවත් ප්‍රකාශ කරමින් ඉංදීය විරෝධය ප්‍රතික්ෂේප කිරීමයි. මෙයින් අදහස් වන්නේ ඉන්දියාව විසින් හිමිකම් කියු අක්සායි චින් ප්‍රදේශයට චීනයද හිමිකම් කියු බවයි. මෙලෙස අක්සායි චින් නම් වු එකම ප්‍රදේශයකට චීනයත් ඉන්දියාවත් එක ලෙස හිමිකම් කියනු ලැබුවේ එම ප්‍රදේශය ඉන්දියාවට අයත් ලෙස ඉන්දීය රජය සතු සිතියමේ එය චීනයට අයත් ලෙස චීනය සතු සිතියමේත් සටහන් වී තිබීම නිසාය.
අක්සායි චින් ප්‍රදේශය ඉන්දියාවට අයක් වන සේ සිතියම් වෙනස් කිරීමට ඉන්දියාව විසින් චින රජයෙන් ඉල්ලීමක් කරන ලද්දේ චින රජය වෙත විරෝධය පළ කිරීමට පෙර 1958 අගෝස්තු 21 දින දීය. චීනය ඒ සම්බන්ධයෙන් එතරම් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වු හෙයින් 1958 ඔක්තොම්බර් 18 දා ඉන්දියානු විරෝධය චීනය වෙත ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරනු ලැබිනි.
ඉන්දියානු විරෝධය සම්බන්ධයෙන් චිනය ප්‍රකාහකර සිටියේ අක්සායි චින් නම් ප්‍රදේශය චීන දේශ සිමාවට අයත් වුවක් බවයි. මෙවැනි විරෝධතාවයක් ප්‍රකාශ කරන්ටත් පෙර එනම් 1954 ඔක්තොම්බර් මාසයේ ඉන්දීය අගමැති නේරු චීන සංචාරයක යෙදුන අවස්ථාවේදී ඉන්දීය චීන දේශසීමාවේදී ඉන්දීය චීන දේශසීමා ප්‍රශ්නය පිළිබඳව චෞ-එන්-ලායි සමඟ සාකච්ඡා කර තිබුනද කිසිදු එකඟත්වයකට පැමිණ නොතිබුනි.
එම අවස්ථාවේදී චීනය කියා සිටියේ ඉන්දියා චීන දේශසීමාව ඉන්දියාවේ බ්‍රහ්මපුත්‍ර නදියේ සිට සැතපුම් 20 කට උතුරින් පිහිටා ඇති බවයි. එහෙත් ඉන්දියාව කියා සිටියේ චීන ඉන්දියා දේශ සීමාව පිහිටා ඇත්තේ බ්‍රහ්මපුත්‍ර නදියේ සිට සැතපුම් 70 කට උතුරින් පිහිටි මැක්මොහාන් රේඛාව් සිට බවයි. ඉන්දියාව දැරූ මෙම අදහසට පදනම් වුයේ ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතියදි ටිබෙටය සමඟ ඇතිකර ගත් එකඟතාවයකි. ඉන්දියා චීන දේශසීමා සම්බන්දයෙන් බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රකාශකර තිබුනේ එකී දේශසීමාම බ්‍රහ්මපුත්‍ර නදියේ සිට සැතපුම් 70 කට උතුරින් පිහිටි මැක්මොහාන් රේඛාවේ සිට පිහිටා ඇති බවයි. ටිබෙටය මේ සම්බන්ධයෙන් එකඟත්වයක් පල කළත් චීනය මෙවැනි එකඟත්වයක් පිළිබඳව අත්සන් කර නොතිබුණි.
මේ ත්ත්වය යටතේ 1954 දි නේරු චෞ -එන්-ලායි සාකච්ඡා වලදීත් චීනය දැරූ අදහස වුයේ ඉන්දියා චීන දේශ සීමාව බ්‍රහ්මපුත්‍ර නදියෙන් සැතපුම් 20 කට උතුරින් පිහිටා ඇති බවයි. එහෙත් එය ඍජුව ප්‍රකාශ නොකල චෞ එන්ලායි රාජ්‍ය තාන්ත්‍රික විලාසයෙන් නේරුට දක්වා සිටියේ චීන ඉන්දීය සිතියම් වැරදි විය හැකි බවත් එය සංශෝධනය කිරිම එකී ප්‍රදේශ මැනීමෙන් හා දෙපාර්ශවය අතර සාකච්ජා කිරීමෙන් විසඳා ගත යුතු බවයි.
1954 දී චීනය දැරූ මෙම ස්ථාවරය සම්බන්ධයෙන් කිසිඳු වෙනසක් 1958 වන විටත් සිඳු නොවීය. එහෙයින් ඉන්දියානු විරෝධය ප්‍රකාහ කළ අවස්ථාවේදීත් චීනය කියා සිටියේ ඉන්දියාව චීනය අතර දේශ සීමාවන් නිර්නය කිරීම කිසි විටකත් නොකර ඇති බවත් එහෙයින් ඒවා මිනුම් ගත කරන තෙක් දෙරට අතර පවත්නා දේශසීමා එලෙසින් පවත්වා ගත යුතු බවයි.
1958 දී චීනය ප්‍රකාශ කළ මෙම අදහසෙහි අර්ථය නම් ඉන්දියාව හිමිකම් පානු ලබන අක්සායි චින් ප්‍රදේශය චීනයට අයත් ප්‍රදේශයක් බවයි. අනික් අතට ඉන්දියාව දැරූ අදහස වුයේ අක්සායි චින් ප්‍රදේශය ඉන්දියාවට අයත් බවයි. මේ සම්බන්ධයෙන් 1958 දී දෙරට අතර පැනනැගුන මතභේදය ක්‍රමක්‍රමයෙන් උත්සන්න වීමේ අවසාන ප්‍රතිඵලය වූයේ චීනය විසින් 1962 ඔක්තෝබර් මාසයේ 20 වන දින ඉන්දීය දේශ සීමාව වෙත ආක්‍රමණයක් කිරීමයි.
එම ආක්‍රමණයේදී ඉන්දියාවේ නැගෙනහිරින් වු ඉන්දියා චීන දේශ සීමාවේ වූ බටහිර හා නැගෙනහිර කොටස් වටකරමින් අක්සායි චින් ප්‍රදේශයේ වූ ඉන්දීය හමුදාවන් විනාශ කිරීම සඳහා පූර්ණ ප්‍රහාරයක් දියත් කරනු ලැබීය.
චීන ආක්‍රමණය ඉදිරියේ පසු බසිනු ලැබූ ඉන්දීය හමුදාවෝ පලවා හැරීමට ආක්‍රමණිකයාට ගත වූයේ මසකටත් නොවැඩි කාලයකි. චීන ආක්‍රමණය හමුවේ අසරණ වූ නේරු ඇමරිකාව හා නොබැඳි රටවල සහාය පතනු ලැබුවද චීනය විසින්ම ඒකපාක්‍ෂිකව කරනු ලැබූ සටන් විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟම යුද්ධය අත්හිටවනු ලැබිනි. එවැනි සටන් විරාමයක් ප්‍රකාශ කිරීමට චීනය ඉදිරිපත් වූයේ කුමන හේතුවක් නිසාවුවද ඉන්දියාව විසින් චීන ආක්‍රමණය හෙළා දකිනු ලැබුව ද සටන් විරාමයට අවනත වුනි. නොවැම්බර් 21 දින ඇතිකරගත් මෙම සටන් විරාමයට පසුව 1962 දෙසැම්බර් 1 දින චීන හමුදාවෝ සිය දේශ සීමාවන් තෙක් පසු බසිනු ලැබූහ.
1962 නොවැම්බර් මස 21 සිට දෙසැම්බර් පළමුවන දින වනවිට දෙපාර්ශවය අතර එකඟතාවය වූයේ ඒතාක් ඉන්දීයව හිමිකම් පෑ අක්සායි චින් ප්‍රදේශය චීනයට අයත් බවත් සෙසු දේශ සීමා ප්‍රදේශ සම්බන්ධයෙන් මැක්මොහාන් රේඛාව දෙරටේ දේශ සීමා මායිම් සේ සලකා ක්‍රියාකරන බවයි.
1962 චීනය විසින් ඉන්දියාව ආක්‍රමණය කිරිම වූ කලී ජාත්‍යන්තර දේශපාලනයේ තවත් අර්බුදකාරී අවස්ථාවක් විය. එහි අතුරු ප්‍රතිඵලය වූයේ ඉන්දියාවත් - චිනයත් ජාත්‍යන්තර දේශපාලනය තුළ ප්‍රබල පසමිතුරන් බවට පත්වීමයි.
ආශිත ග්‍රන්ථ
සංස්කරණයමහාචාර්ය ඩබ්ලිව්.ඒම්. ප්‍රේමරත්න මහතාගේ ජාත්‍යන්තර අර්බුද කෘතිය