ආතර් වෙදමුල්ල මහතා රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයෙකි. මියයන විට 92 වියෙහි පසු වූ වෙදමුල්ල මහතා දෙදරු පියෙකි. වර්ෂ 1931 අප්‍රේල් මස 01 වැනිදා දෙවුන්දරදී උපත ලද ඔහු දෙවුන්දර දාපුළුසෙන් කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. අනතුරුව දෙවුන්දර ද්වි භාෂා විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකය සමත් වූ හෙතෙම ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹා ඇත. පසුකාලීනව ජ්‍යෙෂ්ඨ සහතිකධාරී ගුරු පත්වීමක් ලැබූ වෙදමුල්ල මහතා බලපිටිය ගුරු විද්‍යාලයෙන් සාමාන්‍ය ගුරු පුහුණුව ලබමින් සිය වෘත්තියට අදාළ මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඇත.

ආතර් වෙදමුල්ල
උපත1931 අප්‍රේල් 01
දෙවුන්දර, මාතර
විපත2023 ජුලි 24
අධ්‍යාපනයදෙවුන්දර දාපුළුසෙන් කණිෂ්ඨ විද්‍යාලය, දෙවුන්දර ද්විභාෂා විද්‍යාලය

ගුරු පුහුණුව අවසන් කළ වෙදමුල්ල මහතා දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය යන විදුහල්හි උප ගුරුවරයකු ලෙස සේවය කළේය. ඒ මහතා ගුරු වෘත්තියෙහි නියැළෙන අතර විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පරිපාලන උපාධිය සම්පූර්ණ කරමින් 1965දී අනුයුක්ත ගුරුවරයකු ලෙස විභාග දෙපාර්තමේන්තුවේ සේවයට එක්ව ඇත.

විභාග දෙපාර්තමේන්තු සේවා කාලයේදී අධ්‍යාපන සේවයට අන්තර්ග්‍රහණය කිරීමත් සමඟ ඒ මහතා සහකාර විභාග අධිකාරී තනතුරෙහි සිට විභාග කොමසාරිස් ජනරාල් තනතුර දක්වා ක්‍රමානුකූලව සිය වෘත්තීය දිවියෙහි හිණිපෙත්තට ළඟා වීමට සමත් විය.

දේශීය විශ්වවිද්‍යාලවලින් ගත් උපාධි සුදුසුකම්වලට අමතරව එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් පිරිනමන අධ්‍යාපනික මිනුම් හා ඇගැයීම් පිළිබඳ ඩිප්ලෝමාව ද ඒ මහතා හිමි කර ගෙන ඇත. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙහි ශාඛා රැසක ශාඛා භාර මාණ්ඩලික නිලධාරී ලෙස කටයුතු කර ඇති හෙතෙම විභාගවල ඇගැයීම් ක්‍රියාවලියේ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දී ඇත.

කොළඹ මැලේ වීදියේ අතිශය පැරණි ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය විභාග දෙපාර්තමේන්තුව බත්තරමුල්ල පැලවත්තේ පිහිටි සියලු නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත නව පරිශ්‍රයක් වෙත රැගෙන ඒමේ කාර්යයෙහි නියමුවා ලෙස ද වෙදමුල්ල මහතා හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ ජාතික විභාග පද්ධතිය නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ලෝකයේ සෙසු රටවල් විසින් ද ඉහළින්ම පිළිගනු ලබන අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳ සහතික නිකුත් කිරීම දක්වා සිදු කරන ලද පරිවර්තනයෙහි පූර්ණ ගෞරවය ද ඒ මහතාට හිමිවේ.

"https://si.wikipedia.org/w/index.php?title=ආතර්_වෙදමුල්ල&oldid=598988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි