ආගමික කණ්ඩායම් විසින් පරිණාමය ප්‍රතික්ෂේප කිරීම

සංස්කෘතික, දේශපාලනික සහ දේවධර්මීය හේතු මත විවිධ ආගමික කණ්ඩායම් විසින් පරිණාමය ප්‍රතික්ෂේප කිරීම සිදුවෙයි. මිනිසුන් ඇතුළු පෘථිවියෙහි සිටින ජීවින්ගේ සම්භවය ගැන අතීතයේ තිබූ ප්‍රකටම මතය වූයේ මැවුම්වාදයයි. මැවුම්වාදය යනු යම්කිසි දිව්‍යමය භූතාර්ථයක් විසින් ජීවින් අද පවතින ස්වරූපයෙන්ම නිර්මාණය කෙරුනු බවට සැළකෙන ආගමික විශ්වාසයයි. එහෙත් 19 වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිට, ස්වභාවික වරණය හරහා ජීවින් පරිණාමය වීම ආනුභූතික විද්‍යාත්මක සත්‍යයක් ලෙස විද්‍යාත්මක ප්‍රජාව විසින් පිළිගැනුනි.

ලොව පුරා ඇති වෘත්තිමය විද්‍යාත්මක සංවිධාන වල පිළිගැනීම වන්නේ, පරිණාමය සහ මැවුම්වාදය පිළිබඳව ඇති විවාද විද්‍යාත්මක විවාද නොව ආගමික විවාද වන බව යි. විද්‍යාත්මක ප්‍රජාව තුල පරිණාමය සත්‍යයක් ලෙස පිලිගැනෙන අතර, මැවුම්වාදය ව්‍යාජ විද්‍යාවක් ලෙස සැළකේ. මෙම මතභේදයට ඉතා දිගු ඉතිහාසයක් තිබුන ද, වර්තමානය වන විට ප්‍රධාන වශයෙන් එහි අවධානය විද්‍යා අධ්‍යාපනය වෙත යොමු වී ඇති අතර, මැවුම්වාදයෙහි දේශපාලනික ආධාරකරුවන්ගේ අරමුණ වී ඇත්තේ රාජ්‍ය අධ්‍යාපනික ආයතන වල පරිණාමවාදය වෙනුවට හෝ ඊට අමතරව මැවුම්වාදය ඉගැන්වීමයි. බහුතර ක්‍රිස්තියානි රටවල් අතරෙහි මෙම විවාදය වඩාත් ප්‍රකට වී ඇත්තේ එක්සත් ජනපදයෙහි වන අතර, එය එරටෙහි ඇති "සංස්කෘතික යුද්ධය" හි කොටසක් ලෙස හුවා දැක්විය හැක. මෙයට සමාන්තර මතභේද යුදෙවු සහ ඉස්ලාම් ආගම්වල වඩාත් මූලධර්මවාදී නිකායන්හී ද, වෙනත් ආගමික ප්‍රජාවන් අතර ද පවතී. යුරෝපයෙහි සහ ලෝකයේ වෙනත් ප්‍රදේශ වල මැවුම්වාදය එතරම්ම ප්‍රචලිත නොමැති අතර, කතෝලික පල්ලිය සහ ඇන්ග්ලිකන් හවුල ජෛව පරිණාමය පිළිගනි.

ක්‍රිස්තියානු මූලධර්මවාදීහු මිනිසා සහ වෙනත් සතුන් හට පොදු සම්භවයක් ඇති බවට පාෂාණීය ධාතු විද්‍යාව, ජාන විද්‍යාව, පටක විද්‍යාව යනාදී ක්ෂේත්‍රයන් විසින් ගෙනහැර දක්වන සාක්ෂි ප්‍රතික්ෂේප කරති.