අමරකීර්ති අතුකෝරල ඝාතනය

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අමරකීර්ති අතුකෝරල මහතා 2022 මැයි 09 දින ශ්‍රී ලංකාවේ පැවති කෝලාහාල තත්වයක් තුලදී ඝාතනය විය.

අමරකීර්ති අතුකෝරල ගේ ඝාතනය
2022 මැයි 09 ඝාතනයට ලක් විය
ගොනුව:Amarakeerthi Athukorala.jpeg
සම්පූර්ණ නමඅමරකීර්ති අතුකෝරල
ජාතියශ්‍රී ලාංකික
වයසඅවුරුදු 58
ඝාතනට හේතුවවිරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබීම
ඝාතනට ලක්වූ ස්ථානයනිට්ටඹුව නගරයේ ස්ථානයක
ඝාතනට ලක්වූ අකාරයඅමානුෂික අන්දමේ පහරදීමකින්

පසුබිම සංස්කරණය

1964 දී උපන් අතුකෝරල මහතා 2020 දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොලොන්නරුව දිස්ත්‍රිකය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර තේරී පත්විය. එම පාර්ලිමේන්තුව පැවති දින 161 න් දින 149 පැමිණි අතර රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතද ඉදිරිපත් කලේය.[1]

සිද්ධිය සංස්කරණය

2022 මැයි 09 දින කොළඹ ගෝල්ෆේස් හි පැවති ගෝටාගෝගම අරගල භූමියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආධාරකරුවන් පිරිසක් පහර දී විනාශ කිරීම කොළඹ මෙන්ම දිවයින පුරා සාමාන්‍ය ජනතාව ප්‍රකෝප කිරීමට සමත් විය. මේ නිසා රට පුරා ප්‍රචන්ඩ ක්‍රියා වාර්තා වූ අතර රටපුරා ඇදිරි නීති තත්වයක්ද ක්‍රියාත්මක විය.

මේ තත්වය අතරතුර මියගිය මන්ත්‍රීවරයා රැගත් වාහනය නිට්ටඹුව ප්‍රදේශය පසුකරමින් සිටින අතරතුර පිරිසක් එම වාහනය නවතා සෝදිසි කරන්න පැමිණි අතර වාහනය සෝදිසි කිරීමට පැමිණි පිරිස දෙසට මන්ත්‍රී ආරක්ෂකයින් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබීය. පසුව තුවාල සිදු වූ පුද්ගලයින් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කල්එළිය හාපිටිගම පදිංචිව සිටි ඉහළ ගමන්ගේ හර්ෂ නදීෂාන් ජයවීර  නමැති 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.[2]

මෙම කලබලය සිදුවෙද්දී මන්ත්‍රීවරයා පිස්තෝලයක්ද අතැති සිය ආරක්ෂකයා සමග වාහනයෙන් බැස පළායන්නට විය. ඔහු එසේ පළාගොස් ආසන්නයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසල් ගොඩනැගිල්ලකට ඇතුළුවී ඇති අතර ඔවුන් ලුහුබැඳ ආ පිරිස සමග එහිදී කිසියම් ගැටුමක් ඇතිකරගෙන තිබුනි. එම අවස්ථාවේ ඔවුන් ලේවිලක් මැද ඇදවැටීමෙන් පසු ඔවුනගේ කලිසම් කමිසද ගලවා තිබූ අතර එම අවස්ථාවේ පොලිසිය කළ විමසීම් වලදී එහි සිටි අය සාක්ෂි සපයා තිබුනේ මන්ත්‍රීවරයා සියදිවි නසාගන්නට ඇති බවයි. ඔවුන් පැමිණි වාහනයද පාරේ උඩුබැලි අතට පෙරළා එහි ජාතික කොඩියක් ගසා තිබෙනු පසුව වාර්තා විය. මන්ත්‍රීවරයා සමග මියගොස් තිබූ අනෙත් තැනැත්තා ඔහුගේ ආරක්ෂකයෙකු වන පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයත්ත ගුණවර්ධනයි.[2]

පරීක්ෂණ සංස්කරණය

මේ සිද්ධිය පිළිබඳව නිට්ටඹුව පොලීසිය මැයි 10දා අලුයම අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා එම සිරුරු වතුපිටිවල මූලික රෝහලට රැගෙන යාමට පියවර ගන්නා ලෙසට නිට්ටඹුව පොලීසියට නියෝග කළාය.

මුලදී වෙඩි වැදී මිය ගියා හෝ සිය දිවි නසා ගත්තා යැයි[3] පැවසූ අමරකීර්ති අතුකෝරල මහතාගේ මරණය, වතුපිටිවල මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු වාර්තා වූයේ පහරදීමකින් සිද්ධවී ඇති බවත් වෙඩි වැදී නැති බවත්ය.[2] මන්ත්‍රී ආරක්ෂකගේ හා මියගිය තරුණයා දෙන්නාම වෙඩි වැදුණ තුවාල නිසා මියගොස් ඇති බවද නිගමනය විය. තරුණයාගේ මරණය සිදු කර ඇත්තේ මන්ත්‍රී ආරක්ෂකයා අතින් විය හැකි බවත් පසුව ලුහුබැඳි පිරිසක් මන්ත්‍රී ආරක්ෂක හා මන්ත්‍රී ඝාතනය කර ඇති බවක් පෙනෙන්නට විය.[2]

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් නිට්ටඹුව නගරයේදී මැයි 20 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු 29 හැවිරිදි වියේ පසුවන බස් රථ රියැදුරෙකි.[4]

යොමු කිරීම් සංස්කරණය

  1. "ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, පා.ම." ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
  2. 2.0 2.1 2.2 2.3 "අමරකීර්ති අතුකෝරල මරණය සියදිවිනසාගැනීමක් නොව ඝාතනයක්". ගොසිප් ලංකා නිවුස්.
  3. "අමරකීර්ති අතුකෝරල වෙඩි වැදි මියයයි". ලංකාදීප.
  4. "අමරකීර්ති අතුකෝරල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට – සැකකරු බස් රථ රියැදුරෙක්". දිවයින.