අභිචාරාත්මක ප්‍රතිකාර

සමාජයක් යනු පුද්ගලයන් සමූහයකගේ සන්ධාන ගත වීමකි. සමූහයක් එක්ව තබා ගන්නේ සියලූදෙනා විසින් පිළිගනු ලබන්නා වූ සම්මතයන් සහ අන්‍යෝන්‍ය කි‍්‍රයාදාමයන් මගිනි. මෙහිදී සෑම පුද්ගලයෙකු විසින්ම සමාජයේ පැවැත්මට කෘත්‍යයන් ඉටු කළ යුතුය. නමුත් ‘‘රෝග ’’ යන සංසිද්ධිය තුළ එම සමාජ පැවැත්මට පිළිවෙලට බාධාවක් සිදුවේ.

ගොනුව:Daha ata sanniya.jpg

නූතන වෛද්‍ය ක‍්‍රමයට අනුව පුද්ගලයාගේ ශරීර සනීපයට බාධා කරන්නා වූ කවර හෝ තත්වයක් රෝගයක් ලෙස විස්තර කෙරේ. ඒ අනුව එම තත්වය පුද්ගලයාගේ සතුටට තර්ජනයකි. ඉන් පුද්ගලයාට සාමාන්‍ය අයුරින් කි‍්‍රයාත්මක වීමට බාධා පමුණුවන අතර ඔහුගේ අපේක්ෂිත ඉලක්ක ලබා ගැනීමට ඉන් බාධා පැමිණේ( ලියනගේ, 2000: 07).

එසේ නම් සමාජයේ පුද්ගලයන්ගේ සෞඛ්‍යය සම්පන්න බව ඉතා වැදගත් වේ. සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයට අනුව සෞඛ්‍යය යනු ජීවවිද්‍යාත්මක ගැටලූකාරි තත්වයක් සේම සමාජයීය සංස්කෘතික ආර්ථික මෙන්ම දේශපාලන සාධක ද මුල් කර ගත් සියල්ලේම එකතුවකි. රෝගය යන සංකල්පය පිළිබදව විමර්ශනය කරන විට අවබෝධ කර ගත යුතු තවත් සංකල්ප දෙකක් පවතී එනම් ‘‘රෝගය ’’ හා ‘‘රෝගීත්වය ’’ යන්නයි. රෝගය යනු වෛද්‍යවරයා රෝගය හඳුනා ගත් ආකාරය වන අතර රෝගීත්වය යනු රෝගියා රෝගය දකින ආකාරය වේ. ඒ අනුව රෝග යනු සංකීර්ණ සංකල්පයක් වන අතර සාමාන්‍යයෙන් අප එය යම් ශරීරයට බාධාකාරී ස්වරූපයක් ලෙස හඳුන්වමු. වෛද්‍යමය බහුත්වවාදයක් දැකිය හැකි ලාංකීය සමාජ සන්දර්භය තුළ රෝගීන්ගේ ප‍්‍රතිකාර පරිහරණය කිරීමේ රටාව විවිධ වේ. ඒ අනුව ඔවුන්ට භාවිත කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රම ගණනාවක් පවතින අතර ඒවා කෙරෙහි යොමු වීමටද යම් යම් සාධක බලපානු ලැබේ.බහුත්ව වෛද්‍ය ක‍්‍රමය තුළ ශී‍්‍ර ලාංකික රෝගීන් සඳහා තෝරා ගැනීමට ප‍්‍රතිකාර ක‍්‍රම ගණනාවක් පවතින හෙයින් ඔවුන්ගේ ප‍්‍රතිකාර අපේක්ෂිත චර්යාව ද ඉතා සංකීර්ණය. මෙහිදී ආනුභවිකව අවම වශයෙන් ඔවුන්ගේ ප‍්‍රතිකාර අපේක්ෂිත චර්යාවේ ස්වරූපයන් හයක් හඳුනාගත හැකිය.

ඒවා නම්, මුළු රෝගී කාලය තුළ බටහිර හෝ ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රමවල පිහිට පැතීම, රෝගී කාලය තුළ අධිස්වාභාවික බලවේග හා සම්බන්ධ වත්පිළිවෙත්වල පිහිට පැතීම, පළමුව අධිස්වාභාවික බලවේගවල පිහිට පතා දෙවනුව ආනුභවික ප‍්‍රතිකාර වල පිහිට පැතීම, මුලින් බටහිර වෛද්‍ය ක‍්‍රමය කෙරෙහි යොමු වී පසුව ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට මාරුවීම, මුලින් ආයුර්වේද ක‍්‍රමයේ පිහිට පතා පසුව බටහිර වෛද්‍ය ක‍්‍රමයට මාරුවීම හා එකවර බහුවිධ මූලයන්ගේ පිහිට පැතීම යනාදී වශයෙනි ( ලියනගේ, 2000: 10).

ඉහත ආකාරයට ප‍්‍රතිකාර ක‍්‍රම ගණනාවක් ලාංකීය සමාජය තුළ පවතින අතර මේ නිසාම වෛද්‍යමය බහුත්වවාදයක් ඇති වී තිබේ. නමුත් ප‍්‍රතිකාර ක‍්‍රමයන් තිබු පමණින්ම ඔවුන් ඒ කෙරෙහි ළඟා වන්නේද නැත. රෝග කාරක මූලය මත ද ප‍්‍රතිකාර ක‍්‍රම විවිධ වේ. තම සංස්කෘතික චර්යාවට අනුව රෝග මූලය හඳුනා ගත් පසු ඔවුහු ඒ හා සම්බන්ධ ප‍්‍රතිකාර ක‍්‍රමයන්ට යොමු වෙති. එක් එක් රෝග කාරක මූලයන් හා සම්බන්ධ විවිධ ප‍්‍රතිකාර ක‍්‍රමයන් පුළුල් ප‍්‍රවර්ගයන් දෙකකට ඇතුළත් කළ හැකිය. එනම් ආනුභවික ප‍්‍රතිකාර හා අධිස්වාභාවික ප‍්‍රතිකාර වශයෙනි. ආනුභවික ප‍්‍රතිකාර වශයෙන් හැඳින්විය හැක්කේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය හා බටහිර වෛද්‍ය ක‍්‍රමයයි. පුද පුජාමය ප‍්‍රතිකාර හා අභිචාරමය ප‍්‍රතිකාර බොහෝ දුරට අධිස්වාභාවික බලවේග හා සම්බන්ධ වත් පිළිවෙත් සමඟ සම්බන්ධ වේ.ඒ අනුව මෙහිදී සාකච්ඡාවට ලක් කරන්නේ අධිස්වාභාවික ප‍්‍රතිකාර යටතට අයත් වන අභිචාරමය ප‍්‍රතිකාර පිළිබඳවය.

අභිචාර යනු

සංස්කරණය

අභිචාර යන්න නිර්වචනය කර ගැනීම ද මෙහිදී වැදගත්ය. අභිචාර යනුවෙන් හැඳින්වෙන්නේ අධිභෞතික තත්වයන් පිළිබදව මිනිසා තුළ ඇති විශ්වාසයන්ය (ප‍්‍රතිමාන 95/96 : 146).

අභිචාර කියන්නේ අධිස්වාභාවික බලවේගයන් යම් කිසි ක‍්‍රමයක් මගින් නතුකර ගැනීමයි. හොඳට හෝ නරකට මේ අභිචාර ක‍්‍රම යෙදවිය හැකිය (රත්නපාල 2001: 269).

ඒ අනුව අභිචාර යනු යම් අධිස්වාභාවික බලවේගයක් වන අතර විශේෂයෙන්ම එය රෝග නිවාරණ ක‍්‍රමයකි. මේ අකාරයට හඳුනා ගන්නා අභිචාර කොටස් දෙකකට බෙදිය හැක. එනම්,

  • සුදු අභිචාර
  • කළු අභිචාර වශයෙනි.

මිනිසුන්ගේ යහපත සදහා සිදු කරන දේ සුදු අභිචාර වන අතර රෝග පීඩාදිය දුරු වීමට සෙත සැලසීමට සුදු අභිචාරී කි‍්‍රයා මුල් වේ. උදාහරණ ලෙසට ගම්මඩු, බෝධිපූජා, පිරිත් සජ්ඣායනය, කිරීම ආදිය දැක්විය හැකිය. මිනිසුන්ගේ අයහපත සදහා සිදු කරන දේ කළු අභිචාර නම් වේ. මේ මගින් අන් අයගේ අයහපත හා රෝගී කිරීම් බලාපොරොත්තු වන අතර ඒවායින් මිදීම සදහා ඒ හා සම්බන්ධ කි‍්‍රයා පිළිවෙත් සිදු කරනු ලබයි. කළු අභිචාර සදහා උදාහරණ ලෙස හූනියම්, කොඩිවිණ, පළිගැසීම, වස් කවි, අණ විණ, ආදිය දැක්විය හැකිය. මේ ආකාරයට අභිචාර යන්න නිර්වචනය කර ගත හැනිය.

ගොනුව:Pirith.jpg

අභිචාරාත්මක ප්‍රතිකාර

සංස්කරණය

අභිචාරාත්මක ප්‍රතිකාර ගත් විට ඒවා විවිධ ආකාරයට හදුනා ගත හැකිය. එනම් සංකීර්ණ ප්‍රතිකාර විධි සේම සරල ප්‍රතිකාර විධි ද පවතී. මේ සියලු ප්‍රතිකාර විධි අධිස්වභාවික තත්වයන් හා සම්බන්ධය. අභිචාරාත්මක ප්‍රතිකාර යනු ඒ ආකාරයට අධිස්වභාවික තත්වයන් මත පදනම් වන්නා වූ ප්‍රතිකාර ක්‍රමයකි. ආනුභවික ප්‍රතිකාර ක්‍රමයන්ට විරුද්ධ වූවකි. අභිචාරාත්මක ප්‍රතිකාර විධි වර්ග කීපයකි.ඒවා පහත පරිදි හදුනා ගත හැකිය.

  1. බලි තොවිල්.
  2. දෙහි කැපුම්‍ යාගය.
  3. නූල් බැඳීම.
  4. තෙල් මැතිරීම.
  5. පිරිත් කීම.
  6. බෝධිපූඡා පැවැත්වීම.

මේවා ආනුභවික ප්‍රතිකාර ක්‍රමයන්ට එහා ගිය අධිස්වභාවික තත්වයන් හා සම්බන්ධ ප්‍රතිකාර විධි වේ. එසේම සාස්තර ඇසීම හා කේන්ද්‍රය පරීක්ෂා කිරීම වැනි තත්වයන් පදනම් කරගෙන ද ඉහත අභිචාරාත්මක ප්‍රතිකාර වෙත මිනිසුන් නැඹුරු වේ.බලි තොවිල් සරල ප්‍රතිකාර ක්‍රමවල සිට ංකීර්ණ ප්‍රතිකාර ක්‍රම දක්වා විහිදේ.බලි තොවිල් වල අරමුණ වන්නේඅධිස්වභාවික ධූරාවලිය ප‍්‍රතිසකස් කිරීමයි. එනම්‍ මිනිසුන්ව රෝගි කරවීමේ හැකියාව යක්ෂයන්ට ඇති අතර යකැදුරන් තොවිල් වලදී කරනු ලබන්නේ එම ධූරාවලි අනුපිළිවෙල ප්‍රතිසකස් කිරීමයි.දෙහි කැපුම්‍ යාගය මගින් ද රෝග සුවකිරීම අරමුණු වේ. මෙය පැය කීපයකින් හෝ රාත්‍රිය පුරා සිදු කරයි. විශේෂ‍යෙන්ම ඇස් වහ‍ දෝෂ, කටවහ‍ දෝෂ ආදිය මග හරවා ගැනීමට දෙහි කැපුම්‍ යාගය සිදු කරයි. නූල් බැඳීම මගින් මතුරන ලද නූල් බෙල්ලේ , ඉනේ හෝ අතේ ගැටගැසීම සිදු කරයි. එමෙන්ම තෙල් මැතිරීම යන්නේදී මතුරන ලද තෙල් හිසේ ගැල්වීම සිදු කරයි. නූල් බැඳීම හා තෙල් මැතිරීම යන ක්‍රම දෙක මගින්ම රෝගියා අමනුෂ්‍ය දෝෂයන්ගෙන් ආරක්ෂා කිරීම බලා‍පොරොත්තු වේ. මේ ‍ක්‍රම දෙකම සරල ප්‍රතිකාර ක්‍රමවලට අයත් වේ. පිරිත් කීමේ දී ගිහි පිරිත් හා පැවිදි පිරිත් යනුවෙන් දෙකොටසකි. මේ මගින් යහපත හා ආරක්ෂාව බලාපොරොත්තු ‍වේ. බෝධිපූඡා පැවැත්වීම රෝග සුව කර ගැනීමට මෙන්ම වෙනත් හේතු සඳහාද සිදු කරයි.විශේෂයෙන්ම මේ මගින් සි‍තේ ශාන්තිය බලාපොරොත්තු වේ. මේ ආකාරයට අභිචාරාත්මක ප්‍රතිකාර හදුනා ගත හැකිය.

ගොනුව:Devil dance.jpg

අභිචාර පිළිබඳ විශ්වාස පද්ධතිය

සංස්කරණය

සිංහලයින්ගේ විශ්වාස පද්ධතියට අනුව මිනිසාගේ වේදනා විදීම අවාසනාව රෝග පීඩාදිය යනාදී සියළු දෙය සිදුවන්නේ යක්ෂ බලවේගවල කි‍්‍රයාකාරීත්වය නිසාය. සිංහලයින් යක්ෂයන් පළවා හැරීම සදහා පවත්වනු ලබන ප‍්‍රධාන පූජා පිළිවෙත් පවතී. මෙහිදී ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ මෙම යක්ෂ හෝ භූත කි‍්‍රයාවන්ට ගොදුරු වූ පූද්ගලයාගේ රෝග පීඩා යනාදිය දුරු කිරීමයි (කැෆ්ෆෙර්ර 1983 : 01).

මේ ආකාරයට අභිචාරාත්මක ප‍්‍රතිකාර මගින් සිදු වන්නේ විහිළු හා නාට්‍යමය අවස්ථා උපයෝගි කරගනිමින් රෝගියාගේ රුධිරය හා මනස සිරිසිදු කිරීම බව අමරසිංහම් දක්වා සිටී ( අමරසිංහම්,1983 : 981 ).

මිනිසුන් රෝගි කිරිමට සමත් බලයක් යක්ෂයන් සතුව ඇත. ඔහු ඒ සම්බන්ධයෙන් යක්ෂයන් අතර නායකයා වන වෙසමුණි රජුගෙන් අවසර ගෙන ඇත. යක්ෂ භූත පිසාචයන් ලෙඩ රෝගවලට මුල් වන බව පෙනේ. යක්ෂයින් තුළද විවිධ තරාතිරම් ඇත. නායකයෙකු වෙයි. ඔහු වෙසමුණි නම් වේ. මිනිසුන් මැරීමට යකුනට තහනම් කර ඇති මොහු ලෙඩ රෝග ඇති කර තම අභිමතාර්ථ සාධනයට ඉඩ හැර ඇත. යක්ෂයන් අතර වුව රීරි යකා බල සම්පන්නයෙකු ලෙස හැදින්වේ. මොහු විශේෂයෙන්ම ලේ හා සම්බන්ධ රෝගවලට ප‍්‍රධාන වන ආකාරයක් පෙනේ. විශේෂයෙන්ම ස්ත‍්‍රීන්ගේ රෝග හා සමග මෙම සංකල්පය ගොනු වී ඇත. කිළි අවස්ථාවලදී විශේෂයෙන් මෙම බලපෑම් වලින් මිදීමට නොහැකි බව ඔවුන්ගේ විශ්වාසයක් පවතින නිසා කෑම ගැනීම්වලින් පවා ඉතා ප‍්‍රවේශම් වේ (ධර්මකීර්ති, 1996 : 178).

මේ ආදි විශ්වාසයන් මත එල්බ මිනිසුන් යක්ෂ දෝෂයක් වැළඳී ඇති බව දැන ගත් වහාම ඒ හා සම්බන්ධ ප‍්‍රතිකාර ක‍්‍රමවලට යොමු වෙති. බෞද්ධ දර්ශනය තුළ නියාම ධර්ම පහක් විග්‍රහ කරති. එනම් උතු නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම හා කම්ම නියාමය යනුවෙනි. මෙහි කම්ම නියාමයට අනූව පෙර භවයක කළ පිනක් හෝ පවක් ඇතිනම් එහි විපාක ඇත එහිදි පව් පල දෙන විට එම කර්මයට අදාලව විපාක දීම සිදු වේ. එහිදි කර්මය රෝගයක් ලෙස මිනිසාට විපාක දීම සිදුවිය හැක.

සමාජයේ එක් කොටසක් දුකට පත් වීමටත් තවත් කොටසකට එසේ නොවීමටත් හේතු ලෙස සිංහල සමාජය තුළ විවිධ විශ්වාස පවතී. අවාසනාව එයට හේතු වන බව සමහරු විශ්වාස කරති. බුදු දහම තුළ සදහන් වන කර්මය පිළිබද සංකල්පය මේ අවාසනාව කෙරෙහි බෙහෙවින් බැදී පවතී. මෙහිදී අදහස් වන්නේ මේ ආත්මයේදී වැරදි ලෙස ජීවත් වුවත් මිය ගිය පසු අපාගතව හෝ පේ‍්‍රතයන් ලෙස උපදින බවටසමාජයේ ඇති විශ්වාසයයි. මෙහිදී කර්මය යන සංකල්පය වැදගත් වේ (කැෆ්ෆෙරර් 1983 : 15). කර්මය යන අදහස සම්බන්ධයෙන් කතා කරන විට ස්කොට් ද පෙන්වා දෙන්නේ පේ‍්‍රතයන් යනු තම ජීවත් වන නෑදෑ වර්ගයාට නොයෙක් ආකාරයෙන් විවිධ ස්වරූපයෙන් කරදර බාධක ඇති කරන (දෝෂ ඇති කරන) මිය ගිය නෑයන්ගේ කළකිරුණු ආත්මයන් වන බවය. මේ ආකාරයට අභිචාර පිළිබඳ විවිධ වූ විශ්වාසයන් මිනිසුන් අතර පවතී.

ගොනුව:Yaka.jpg
ගොනුව:Devi Pic.jpg

ඔබේසේකරට අනුව පේ‍්‍රතයන් හා යක්කු බෞද්ධයන් ”දුෂ්ඨ” යනුවෙන් හදුන්වන දේ නියෝජනය කරති. ඔවුන් මිනිසුන්ට වැහෙන්නේ තණ්හාව, ලෝභය හා ක්‍රෝධය නිසාය. ඒ නිසා ඔවුහු දුෂ්ට දේ මූර්තිමත් කරති. ඔවුන්ට මේ නීච තත්වය ලැබී ඇත්තේ ඔවුන්ගේ පාපකර්ම නිසාය (ඔබේසේකර, 2007 : 6). යක්ෂයන්ගේ ධූරාවලිය පිළිබදව ඉදිරිපත් කරන කැෆ්ෆෙරර් පෙන්වා දෙන්නේ ධූරාවලියේ එක් එක් අධිස්වාභාවික සත්ත්වයන්ට හිමි ස්ථානය තීරණය වන්නේ ඔවුන් කෙතරම් දුරට බෞද්ධ ඉගැන්වීම් වලට අනුකූලද යන කාරණය මත බවයි. මෙම ධූරාවලියේ ඉහලින්ම දෙවියන් ඇති අතර මිනිසුන් සිටින්නේ දෙවියන්ට පහළින් හා යක්ෂයන්ට ඉහළිනි. එවිට යක්ෂයන් සිටින්නේ පහළම ස්ථරයේය. යක්ෂයන්ට තම මායම් බලයෙන් දෙවියන්ව රැවටිය හැකිය. එවිට සිදු වන්නේ තම මායම් බලයෙන් යක්ෂයන් ධූරාවලියේ ඉහළට ගමන් කිරීමකි. එවිට ධූරාවලිය අවුල් වේ. ධූරාවලිය බිද වැටේ. එවිට මිනිසුන්ව රෝගි කරවීමේ හැකියාව යක්ෂයන්ට ඇති වේ. නමුත් යක්ෂයන්ට තම නියම ස්වරූපයෙන් ධූරාවලියේ ඉහළට යා නොහැක. යා හැක්කේ වෙස් වළා ගැනීමකිනි. ශී‍්‍ර ලාංකික සමාජය තුළ පවතින පුද පුජාවල අරමුණ වන්නේ එම ධූරාවලිගත අනුපිළිවල ප‍්‍රතිසකස් කිරීමයි. යකැදුරන් තොවිල් වලදී කරනු ලබන්නේ එම ධූරාවලි අනුපිළිවෙල සකස් කිරීමයි.

මෙහිදී යකැදුරන්ගේ කාර්ය වන්නේ ධූරාවලිගත අනුපිළිවල සකස් කිරීම හරහා රෝගිභාවය දුරු කිරීමයි. රෝගයට හේතුව අධිස්වාභාවික රෝග කාරකයක් බව වටහා ගත් විට ඒ හා සම්බන්ධ ප‍්‍රතිකාර ක‍්‍රමයක් මගින් යක්ෂයාව මෙල්ල කිරීමට යකැදුරන් සමත්ය. යක්ෂයන්ගේ ස්වභාවය, ස්වරූපය, උපත, හැසිරීම පිළිබදව යකැදුරන් අවබෝධයකින් යුක්තය. එය යකුන් බැඳීමේදී ඔවුන් ප‍්‍රායෝගික තලයට ගෙන එති. එහිදී යකුන් පිළිබද උප්පැත්ති කතා පද්‍ය මගින් හෝ ගද්‍ය මගින් ඉදිරිපත් කරයි. ඒ ආකාරයට යක්ෂයා ගෙන්වා ගෙන ඔහුට දොළ පිදේනි කැප කැරීමෙන් ඔහු සතුටු කොට ආතුරයාගේ රෝග දුරු කරන ලෙස පවසයි. අණ කරයි. දොළ පිදේනි භාර ගෙන එයින් සතුටු වන යක්ෂයා ආතුරයාගේ රෝග ලක්ෂණ දුරු කොට පළා යයි. යක්ෂයන් පිළිබදව කැෆ්ෆෙරර් මෙසේ ඉදිරිපත් කරයි.

යක්ෂයෝ විකාර හා හාස්‍ය ජනක රූප හා ස්වභාව ඇති බිහිසුණු භූත විශේෂයකි. ඔවුන් යෝධයන් සේ මහත් හෝ රීරී යකා සේ ඇගිල්ලක පළල තරම් සිට වාමනයකු තරමට වැඩෙතත්, ඉමහත් ශක්තියක් ඇත්තන්ද විය හැකිය. බෙහෝ විට පුරාණ කතාවල එන රජුන්ගේ හා බිසොවුන්ගේ දරුවන් වන මොවුන් ඇතැම් විට කුලීන, කුලහීන දෙපක්ෂය අතර විෂම විවාහයේ ප‍්‍රතිඵලයකි. ඇතම් අවස්ථාවලදී දෙවියෝ දිව්‍ය බලයෙන් උපත ලද. ඔවුන්ගේ උපත විශ්මය ජනකය. කිළිටිය. යකුන් උපදින්නේ මවගේ තනෙනි. නැතහොත් මවගේ ආර්තව ලෙයිනි. නැතහොත් යුද්ධයේ වැගුරුණු ලෙයිනි. නැතහොත් මිණී අඵ වලිනි. ඔවුන් ගැබෙහි සිටින කාලය අද්භුතව සිටිති. නැතහොත් කෙටි වේ. නිසි කලට පෙර කළල රූපය ලෙසින් බිහිවේ. යක්කු රෞද්‍රය. ලේ පිපාසිතය. ලිංගික ආශාවෙන් මැඩෙති. මිනිස් මාංශ අපේක්ෂා කරති. යකුන්ගේ චිත‍්‍ර හා බලි රුප ඔවුන් ඉතා බිහිසුණු සේ දක්වයි. ඔවුන් කඵය. ශරීරය කෙස් වලින් වැසී ඇත. ඇස් එළියට නෙරා ඇත. හිස් විශාලය. නාස්පුඩුවලින් ගිනි පිටවේ. බොල් වූ තොල් පිටට නෙරා ඇත. දිළිසෙන සුදු දළ දෙකක් මුව දෙපසට විහිදී ඇත. කඵ යකා දරුවන් දෙදෙනෙකුගේ හිස් කටින් ඩැහැ ගෙන එම හිස සුන් මළකඳ දෙක දෑතේ ගෙන එයි. යක්කු චපලය. හිතුවක්කාරය. සොරකම් කරති. කපටිකම් කිරිමට සමත්ය ( කැෆ්ෆෙරර්, 2007 : 214 ).

මෙවනි කතා බලි තොවිල්වලදී යකැදුරන් විසින් කියනු ලැබේ. යක්ෂයන් යනු අපවිත‍්‍ර ස්ථානවලින් උපත ලද භයානක ස්වරූපයකින් යුතු අයය. නමුත් ඔවුන් මෙල්ල කිරීමට ප‍්‍රලය කිරීමට යකදුරෝ සමත් වෙති. යක්ෂ ධූරාවලිය තුළ එක් එක් යක්‍ෂයන්ට ඇති බලය විවිධ වේ. එසේම ඔවුන්ගේ උත්පත්ති කතා ද විවිධය. එකම යකු හට වුවද විවිධ උත්පත්ති කතා පවතී. යකුන් ඔවුන්ගේ නායකයා වන වෙසමුණි රජු යටතේ කටයුතු කරති. දෙවියන් ඉදිරියේ යකුන්ගේ බලය හීනය. රීරි යකා පිළිබදව උත්පත්ති කතා කිහිපයක් ඇති අතර ඉන් එකක් කැෆ්ෆෙරර් විසින් මෙසේ සදහන් කර ඇත.

මේ යකුගේ ප‍්‍රාථමික රූපය හැර රූපාන්තර අටක් පවතී. ඔහුගේ ශක්තිය කෙතරම්ද යත් ඉර හා සඳ සිරසින් දරයි. රක්ත වූ ඇස් වලින් දස දෙසට රතු කිරණ විහිදයි. මුහුණ නිල්වන්ය. නාස් පුඩුවලින් ලේ ගලයි. කන්වලින් දුම් විහිදේ. නාසයෙන් දුගඳ විහිදේ. මුව මිනි මසින් පිරි ඇත. රීරි යකුගේ සිරුර ලෙයින් රත් වී ඇත. වර්ස් දක්වන ලෙසට ඔහුගේ ස්වභාවය වී ඇත්තේ මවගේ දරු ප‍්‍රසූති අවස්ථාවේදී ගැබින් නිකුත් වූ ලේ කැටියකිනි. ඔහු ඉපදී නොබෝ කලකින් මිනිසුන්ට පහර දීම ඔවුන්ගේ බෙල්ලේ නහර සපා කා ලේ උරා බීම ආදී දුෂ්ට ක‍්‍රියා පටන් ගත්තේය. මොහු බොහෝ දරුණු වූයෙන් මිනිසුන් සමන් දෙවියන්ට මෙය සැළකර සිටියහ. සමන් දෙවියන් රීරි යකුන් සමග කථා කළත් ඔහු වඩ වඩා කිපී මිනිසුන්ට මෙසේ හිංසා කිරීමට ඔහුට යක්ෂාධිපති වෙසමුණි රජුගෙන් වරම් ලැබී ඇතැයි පවසා අඩි හැප්පු විට ඔහු වාමන රූපයෙන් යෝධ රූපයක් ගත්තේය. සමන් දෙව් ඔහු යදම් වලින් බඳවා සූර්ය දිව්‍ය රාජයාගේ රථයට බැඳීමට අණ කළේය. රීරි යකු අවනත වී මින් මතු මිනිස් බිලි නොගන්නා ලෙසටත් මිනිසුන්ට ලෙඩ බෝ කිරිමෙන් පමණක් සෑහීමට පත් වන ලෙසටත් ගිවිස නිදහස ලබාගත්තේය. අලුයම, ඉරමුදුන්යම, සැදැව යන තුන්යාමෙහිම රීරියක් දැන් මෙසේ කරයි ( කැෆ්ෆෙරර්, 2007 : 215). මේ ආකාරයට යකුන් පිළිබඳව විවිධ අදහස් පවතී.

 

අභිචාරාත්මක ප්‍රතිකාර පිළිබඳ සමාඡ විද්‍යාත්මක ද්‍යෂ්ටිය

සංස්කරණය

රෝග සුව වීම සදහා මිනිසුන් අභිචාර විධි වලට පෙළඹීම යන්න වැදගත් මාතෘකාවක් වී ඇත්තේ ඇයි යන ගැටලුවද මෙහිදී ඉස්මතු වේ.එසේම විධිමත් සෞඛ්‍යය සංරක්ෂණ පද්ධතිය වර්තමානය වන විට ඉහළ ආධිපත්‍යම තලයක හිදී.නමුදු මිනිසුන් තවමත් රෝග සුව කර ගැනීම සදහා අභිචාරාත්මක ප‍්‍රතිකාරවල පිහිට පතති.මෙහිදී ඒ සදහා බලපාන ප‍්‍රධාන හේතුව වී ඇත්තේ කැෆ්ෆෙරර් ද සදහන් කර ඇති පරිදි යක්ෂ දෝෂයක් නිසා හටගත් රෝග සදහා අභිචාරාත්මක ප‍්‍රතිකාර ක‍්‍රමයක් අනුගමනය කළ යුතුම වීමය.මෙහිදී යම් පුද්ගලයෙකුට රෝගයක් වැළදුණ වහාම එය යක්ෂ දෝෂයක් නිසාම හට ගැනුණක් බව එකවර නොසිතිය හැකිය. නමුදු සිංහල සමාජයේ බහුත්ව වෛද්‍ය ක‍්‍රමයන් අතර හුවමාරු වන පුද්ගලයන් අවසානයේ හෝ රෝග මුලය අධිස්වභාවික තත්වයක් බව වටහා ගනිති. නැතිනම් බොහෝ විට අංජනම් බැලීම, ජෝතිශාස්ත‍්‍රඥයින්ගේ පිහිට පැතීම, ආදිය මගින්ද රෝග මූලය තහවුරු කර ගනිති.

අභිචාරමය ප‍්‍රතිකාරයන්ගේ සමාජ මනෝවිද්‍යාත්මක අංශයක්ද විද්‍යාමාන වේ. බොහෝ විට මේවා ළංවන්නේ මිනිස් මනසටය. අමරසිංහම් පෙන්වා දුන් පරිදි මේ අභිචාරාත්මක ප‍්‍රතිකාර මගින් රෝගියාගේ රුධිරය මෙන්ම මනස පිරිසිදු වේ. සිතේ ඇති අවුල් වු ස්වභාවය පහව යන්නේ එවිටය. එසේම මෙම අභිචාරාත්මක ප‍්‍රතිකාර සදහා යොදා ගන්නා සෞන්දර්යාත්මක අංග ලක්ෂණ ඇදුම්, ආභරණ, ඖෂධ, වෙස් මුහුණු, ආදිය මගින් සංකේතවත් කරන්නේද සෞන්දර්යාත්මක බව තුළින් රෝගියාගේ මනසට ප‍්‍රවිෂ්ඨ වීමය. මනෝ වෛද්‍යවරයෙකු හුදෙකලා කාමරයක රෝගියෙකු හුදෙකලා කොට ගෙන මෝහනයට පත්කර රෝග කාරක මනෝභාවයන් ඉවත් කර ධනාත්මක යෝජනා සිතට ඇතුලු කරන්නේ කවර ආකාරයෙන්ද එවැනිම වු කි‍්‍රයාවලියක් ඊට වඩා බොහෝ වෙනස් වූ පරිසරයක හිඳිමින් ඉතාම ශෝභන ආකාරයෙන් රෝගි සිත මෘදු ලෙස පිරිමැදීමක් මෙහිදී සිදුවන බව පෙනේ. එය වඩාත් සෞන්දර්යාත්මක ප‍්‍රතිකාරයකි. බටහිර ප‍්‍රතිකාර ක‍්‍රමය තුළ කය හා මනස යන්න වෙන් කොට හදුනා ගැනීමෙන් මනසට වැඩි වැදගත් කමක් නොදී ශරීරයට ප‍්‍රතිකාර කිරීම වැදගත් කොට සලකයි. ඒ අනුව රෝගියාව දකින්නේ විශාල එක් රෝගයක් ලෙසය. නමුදු අභිචාරාත්මක ප‍්‍රතිකාර හරහා කය මනස එක් කොට දකින නිසා කය මනස යන දෙකොටසටම ප‍්‍රතිකාර සැපයේ. නවීනත්වය කරා යන සමාජයක වුවද තවමත් මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයන් අප අතර පවතින්නේ එම නිසාමය.

මේ සියලු ප‍්‍රතිකාර ක‍්‍රම ගත්තද මේ සියල්ලෙන්ම ඉටු වන්නේ සමාජය තුළ විවිධ වූ කෘත්‍යයන් ඉටු කිරීමය. ඒ අනුව කෘත්‍යාත්මක පර්යාලෝකයක් හරහා අපිට මේ දෙස බැලිය හැකිය. කෘත්‍යවාදය යනු සමාජයේ පැවත්මට මිනිසුන් විසින් යම් යම් කෘත්‍යයන් ඉටු කිරීමය. මේ කෘත්‍යයන් හරහා සමාජ පැවත්ම රදා පවතී. විවිධ ප‍්‍රතිකාර ක‍්‍රමද සමාජයේ කෘත්‍යාත්මක වැදගත්කමක් දරණ ලද බව පෙනේ. ප‍්‍රථමයෙන් කතා කළ පරිදි රෝගි වීම තුළ සමාජ පර්යාය බිඳ වැටේ. මේ බිඳවැටෙන සමාජ පර්යාය නැවත ප‍්‍රතිසකස් කිරීමට නම් රෝග සඳහා අප සූදානම් විය යුතුය. එනම් ප‍්‍රතිකාර ක‍්‍රමයක් භාවිතා කළ යුතුය. මේ කෘත්‍යාත්මක අවශ්‍යතා ඉටු කර ගැනීම ප‍්‍රතිකාර හරහා සිදු වේ. අභිචාරාත්මක ප‍්‍රතිකාර හරහා සිදු වන්නේද එයමය. යකදුරා, කපුරාල, ශාස්ත‍්‍රකියන්නන්,ජෝතිශාස්ත‍්‍රඥයින්, හරහා සිදු වන්නේ එම කෘත්‍යයන් ඉටු කිරීමය. ‍මේ හරහා සමාජයේ අඛණ්ඩත්වය ස්ථාපනය වේ.

සමාලෝචනය

සංස්කරණය

වෛද්‍ය ක‍්‍රමයක් සමාජ ක‍්‍රමයක් තරමටම සංකිර්ණ වේ. ඔවුන් ලෙඩ රෝග සඳහා ප‍්‍රතිකාර දැක්වීමට තම සංස්කෘතිය තුළින්ම ඉගෙන ගනිති. බහුත්ව වෛද්‍ය ක‍්‍රමයක් තුළ රෝගීන්ට නිදහසේ කැමති ප‍්‍රතිකාර ක‍්‍රමයක් තෝරා ගැනිමට අවස්ථාවක් නොමැත. මක් නිසාද යත් යම් යම් රෝග ලක්ෂණ සඳහා තෝරා ගතයුතු ප‍්‍රතිකාරය කුමක්ද යන්න සංස්කෘතිය තුළින්ම තීරණය වන නිසාය. මෙහිදි රෝගය කුමක්ද යන කාරණය ද වැදගත් වේ. සාමාන්‍යයෙන් යක්ෂ දෝෂයක් බව ක්ෂණිකව වටහා ගත්තේ නම් ඔවුන් හැකි ඉක්මනින් යකැදුරු වෙත යන අතර ස්වාභාවික හේතු කාරකයක් නම් ආනුභවික ප‍්‍රතිකාර වෙත යොමු වෙති. නමුත් එය සුව විමට කල් ගතවන්නේනම් කේන්ද්‍රය පරීක්ෂා කිරිම, සාස්තර ඇසීම, පේන බැලීමට යාම ආදියට නැඹුරු වෙති. කෙනෙකු බරපතල ලෙස රෝගී වූ වහාම ඔවුන් ඉහත ක‍්‍රමයන්ගෙන් කුමක් හෝ බොහෝ විට භාවිත කරති. මේ කි‍්‍රයාදාමය හුදෙකලාව සිදු වන්නක් නොවේ. ඥාතීන්, අසල්වැසියන්, හිත මිතුරන් මේ සදහා උපදෙස් ලබා දෙති. අභිචාරාත්මක ප‍්‍රතිකාර වලින් පසුවද සමහර අවස්ථාවල ඔවුන් ආනුභවික ප‍්‍රතිකාර යොදා ගනිති. මෙය රෝගයේ ස්වභාවය මත පදනම් වන බව පෙනේ.

රෝග සුව කර ගැනිම සඳහා යොදා ගන්නා අභිචාර විධි විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ ඒ සඳහා රෝගය බලපාන බවයි. රෝග ලක්ෂණ අනුව ඒ සදහා සුළු කෙම්පහන් විධි හෝ සංකීර්ණ අභිචාරාත්මක ක‍්‍රියා කෙරේ යොමු වෙති. විශේෂයෙන් සුළු කෙම්පහන් ලෙස දෙහි කැපීම, නුල් බැදිම, දෙහි මැතිරිම, තැඹිලි මැතිරිම, ආදී ක‍්‍රියාවන් ද සංකීර්ණ අභිචාර විධි සදහා දහඅට සන්නිය, සුනියම් යාගය, මහසොන් සමයම, රිද්දි යාගය, සන්නියැකුම ආදිය දැකිය හැකිය. ඒ ඒ ප‍්‍රතිකාර ක‍්‍රමයන් තිරණය වන්නේ රෝගි ස්වභාවය අනුව බව පෙනේ.

අධ්‍යාපනය හරහා නූතන ලෝකය ගවේෂණය කිරීමේ ඉඩහසර ලබා දුන්නද තවමත් ග‍්‍රාමීයව වෙසෙන මිනිසුන් තම පාරම්පරික විශ්වාස පද්ධතිය ආරක්ෂා කරති. විශේෂයෙන් මල්වර වූ විට, ගැබ් ගත් විට, දරු ප‍්‍රසූතියේදී යනාදී විශේෂ අවස්ථා පිළිබඳව තවමත් පිළිගත් සංස්කෘතික රටාවක් ඔවුන් අතර පවතී. ඒ වත් පිළිවෙත් ආරක්ෂා කරන ඔවුන්ගේ අරමුණ වන්නේ යක්ෂ දෝෂයන් ඒ අවස්ථාවන්ට බලපෑම් කිරීම ඉහළ නිසා ඒවායින් මිදිමය. විශේෂයෙන් ”කිල්ල” යන සංකල්පය ඔවුන් තුළ පවති. අමරසිංහම් දක්වන ආකාරයට අභිචාරාත්මක ප‍්‍රතිකාර මගින් සිදු වන්නේ රෝගියාගේ මනස හා රුධිරය පිරිසිදු කිරීමය. විශේෂයෙන් අන් ප‍්‍රතිකාර ක‍්‍රමවලට වඩා එය රෝගීයාට සමීප ප‍්‍රතිකාර ක‍්‍රමයක්ද වේ. මන්ද ඒ මගින් විහිළු, අශ්ලීල කියුම් ආදිය යොදා ගනිමින් සිනහව ඇති කරන නිසාය. එම නිසාම රෝගී මනස සුවපත් වීම සිදු වන්නේ ඖෂධ හරහා නොව මනස සුවපත් කිරීම හරහාය. මෙහිදී අභිචාරාත්මක ප‍්‍රතිකාර අවශ්‍ය බව දැනේ නම් මිනිසුන් කෙසේ හෝ ඒ කරා ළඟා වීමට උත්සාහ දරති. මන්ද ඒ සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් ඔවුන් තුළ පවතින නිසාය.

මේ ආකාරයට රෝග සුව කර ගැනීම සඳහා අභිචාරාත්මක ප‍්‍රතිකාරයන්ට නැඹුරු වීම කෙරෙහි බලපාන සාධක ඔවුන්ගේ සංස්කෘතිය හා බැඳී පවතින බව පෙනේ. ඒ අනුව බහුත්ව වෛද්‍ය ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වුවද රෝගීන්ගේ ප‍්‍රතිකාර පරිහරණය යම් යම් සාධක මත වෙනස් වේ. විශේෂයෙන්ම ඔවුන් අභිචාරාත්මක ප‍්‍රතිකාර කෙරේ යොමු වන්නේ රෝග කාරක මූලය අධිස්වභාවික බලවේගයක් හා සම්බන්ධ වන බව වටහා ගත් විටය. නැතිනම් රෝග කාරක මූලය ස්වභාවික සංසිද්ධියක් වන්නේ නම් ආනුභවික ප‍්‍රතිකාර පරිහරණයෙන් රෝගය සුව නොවන විටදී ඔවුන් අභිචාරාත්මක ප‍්‍රතිකාර කෙරේ යොමු වූහ. එසේම සමාජ සමූහ ද මේ කෙරේ ඉමහත් බලපෑමක් සිදු කරන බව පෙනේ. මේ ආකාරයට පෙනී යන්නේ අන් ප‍්‍රතිකාර ක‍්‍රමවලට වඩා රෝගී මනසට අභිචාරාත්මක ප‍්‍රතිකාර සමීප බවය. අභිචාරාත්මක ප‍්‍රතිකාර මගින් සුව කරන්නේ මිනිස් මනසය. මිනිස් රුධිරය ය. එනම් ශාරීරික මෙන්ම මානසික රෝගී තත්වයන් දුරු කිරීම අපේක්‍ෂා කරයි. ආනුභාවික ප‍්‍රතිකාර ක‍්‍රමයන් තුළින් සිදු නොවන රෝගියා අපේක්‍ෂා කරන තත්වයන් ඒ තුළින් ඉටු වන නිසා අභිචාරාත්මක ප‍්‍රතිකාර කෙරේ ඔවුහු නැඹුරු වෙති. නමුත් මේ සියලූ ප‍්‍රතිකාර ක‍්‍රමයන් හරහා කෘත්‍යාත්මක අවශ්‍යතාවයන් ඉටු කරන නිසා ඒවා සහයෝගීව රෝගීන් වටා ක‍්‍රියාත්මක වන බව පෙනේ.

බාහිර සබැඳි

සංස්කරණය

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

සංස්කරණය
  • ඔබේසේකර,ජී. 2007 ”සන්නි යකුම. ශ‍්‍රී ලංකාවේ රෝගවල සාමුහික නිරූපණ”, පඨිත. පළමු වෙළුම, කොළඹ. සමාජ සංස්කෘතික තීව‍්‍ර අධ්‍යයනය සඳහා වන කොළඹ ආයතනය.
  • කැෆ්ෆෙරර්, බී. 2007 ”යක්ෂාවේශයේ මායාව. යක්ෂයන් හා විශ්ව ධූරාවලිය”, පඨිත. පළමු වෙළුම, කොළඹ සමාජ සංස්කෘතික අධ්‍යයනය සඳහා වන කොළඹ ආයතනය.
  • ලියනගේ,සී. 2000. රෝගී චර්යාව : සමාජ විද්‍යාත්මක විවරණයක්. මුල්ලේරියාව, විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය.
  • ලියනගේ,සී. 2007. ”ප‍්‍රතිකාර අපේක්ෂිත චර්යාව. සමාජ සංස්කෘතික පද්ධතීන්ගේ අදාළත්වය හා වෛද්‍ය විද්‍යා ප‍්‍රවේශයන්ගේ සීමා පිළිබඳ මූලික පාඨනයක්”.පස්වන වෙළුම. කොළඹ, සමාජ සංස්කෘතික අධ්‍යයනය සඳහා වන කොළඹ ආයතනය.
  • Amarasingham ,L. 1983' Laughter Suffering :sinhalese Interpretations of the Use of Ritual Humur. Baltimore : University of Margland School of Medicine
  • Kafferer, B. 1983, A Celebration of Demons: exorcism and the Aesthetice of Healing in Sri Lanka. Bloominagton:Indiana University Press.
  • Kusumarathne, 1995, Folk Medicine Among the Sinhalese: Colombo:Mahima Printers.
  • Scott,D. 1958 Formations of Ritual : Colonal and Anthropological Discourses On the Sinhala Yak tovil. London:University of Minmesota Press