අබු බකර් අල් බග්ඩාඩි

ලෝකය අද ඉල්ලා සිටින දරුණුම මිනිසා ලෙස ඔහු සැළකෙයි.දුටු තැන අල්ලා ගැනීමට අවශ්‍ය කරන එහෙත් ලෝකය සමඟ හැංගිමුත්තමේ නිරත අබු බකර් අල් බග්ඩාඩි ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා වෙයි. කලිෆ් (caliph)ඉස්ලාමීය ලෝකයක් වෙනුවෙන් කටයුතු කරන එම මිනිසාගේ හිස සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නියම කරනු ලැබ ඇති මිළ ඩොලර් දෙකෝටි පනස් දහසකි.

2014 වසරේ ඉරාකයේ මෝසුල් (Mosul) නගරයේ දී පැවැත්වූ කතාවකදී තමා යටතේ පවතින 'කලිපට්' (caliphate) පාලනයක් ප්‍රකාශයට පත්කළ අබු බකර් අල් බග්ඩාඩි ඉන් අනතුරුව වසර තුනකට අධික කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිට හැංගිමුත්තමේ නිරත වෙමින් සිට පසුගිය අප්‍රියෙල් මස අන්තිම සතියේ මිනිත්තු දහඅටක වීඩියෝ පටයක් මගින් තමා තවමත් ජීවතුන් අතර බව ලෝකයට පෙන්වා දුන්නේය.

එහෙත් ඔහු සැඟව සිටින්නේ කොතැනකද? ඔහුගේ වීඩියෝ පටය මගින් ඒ පිළිබඳව කිසිම ඉඟියක් නොලැබෙයි.

තවත් ප්‍රශ්න කීපයකි. අබු බකර් අල් බග්ඩාඩි දඩයම් කර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ කෙසේද? ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ සගයන්ට අද භාවිතා කෙරෙන ඉතාම දියුණු තාක්ෂණික මෙවලම් මගින් ඉස්ලාමීය රාජ්‍ය නායකයා සැඟවී සිටින තැනක් හසුකර ගත නොහැකි ඇයි?

2016 නොවැම්බර් තුන්වෙනිදා අල් බග්ඩාඩි තම ජීවිතය අනූනවයෙන් බේරුණ වරදක් සිදුකළ බව වාර්තා මගින් පැවසෙයි.

ඇමෙරිකානු නායකත්වයෙන් යුද සන්ධානයේ හමුදා ඉරාකයේ දෙවැනි ප්‍රධාන නගරය වූ මොසුල්හි ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහිව ප්‍රහාරයක් ගෙන යමින් සිටියදී එම නගරය ආසන්නයේ ස්ථානයක සිටි බැග්ඩෑඩි තත්පර හතලිස් පහක රේඩියෝ පණිවුඩයක් මගින් සටන් අත්නොහරින මෙන් වෙහෙසට පත්ව සිටි සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පණිවුඩවලට රහසින් සවන් දීම සඳහා ඇමෙරිකානු යුද සන්ධානය විසින් මෙහෙයවන ලද විද්‍යුත් යානයකට හසු වූ අතර එය අල් බග්ඩාඩිගේ කටහඬට සම විය.

එහෙත් ඊට දැක්විය යුතු ක්‍ෂණික ප්‍රතිචාරය අතින් ඒ මොහොතේ කලබලකාරී තත්වයක් ඇති වූ අතර එය ප්‍රයෝජනයට ගත් IS නායකයා සියා ආරක්ෂක නිලධාරීන්ගේ උදව්වෙන් එම ස්ථානයෙන් පළා යාමට සමත් විය.

ඉන් අනතුරු කාල පරිච්ඡේදය තුළ පසුගිය අප්‍රියෙල් වීඩියෝ පටය තෙක් එවැනි පණිවුඩ නිකුත් කිරීමෙන් වැළකී සිටින මෙන් අල් බග්ඩාඩිගෙන් අයැද සිටීමට ඔහුගේ සගයන් වග බලා ගත් බව නිසැකය.

මේ තොරතුරු ද කියවන්න:

  • ශ්‍රී ලංකාවේ ප්‍රහාර ගැන 'අයිඑස් නායකයාගෙන්' වීඩියෝවක්
  • ජාතික තව්හිත් ජමා'අත් යනු කවුරුන්ද?
  • IS කැරලිකරුවන්ට මෝසුල් අහිමිවන ලකුණු

2001 සැප්තැම්බර් 11 වෙනිදා නිව්යෝර්ක්-වොෂින්ටන් දෙනුවර ප්‍රහාරයෙන් අනතුරුව 'අල්කයිඩා' නායක ඔසාමා බීන් ලාඩන් දඩයම් කර ගැනීම සඳහා ඇමෙරිකානු බුද්ධි අංශයට වසර දහයක් ගතවිය.

පාකිස්තානයේ සිය නිවාස සංකීර්ණයෙහි සැඟවී සිටි ඔසාමා බීන් ලාඩන් එක්සත් ජනපද නාවික හමුදා භටයන් විසින් අල්ලා ගන්නා ලද්දේ 2011 මැයි මාසයේ දෙවැනිදාය.

'සිගින්ට්'('Sigint') යනුවෙන් හඳුන්වනු ලබන රහස්‍ය සඥා හසුකර ගැනීම සහ ඒවා අධීක්‍ෂණය සම්බන්ධයෙන් මෙන්ම ලොව පුරා ඇතැම් සංවිධාන අනුන්ට කියවීමට නොහැකි මට්ටමින් තම රහස් පණිවුඩ හුවමාරු කර ගනු ලබන දත්ත කේත ආදිය සහ වෙනත් ගුප්ත පණිවුඩ තේරෙන භාෂාවකට පරිවර්තනය කර ගැනීම අතින් ඇමෙරිකානු ජාතික ආරක්ෂක ආයතනය (NSA) සහ බ්‍රිතාන්‍ය GCHQ මධ්‍යස්තානය විශ්මයජනක ශක්‍යතාවයක් සහිත ආයතන වෙති.

දුටුතැන අල්ලා ගැනීමට අවශ්‍ය කර සිටි ලෝකයේ කලින් සිටි ත්‍රස්තවාදීන් ඇතැම්විට තමන් සැඟවී සිටින තැන් මාරු කිරීමේ දී එය ජංගම දුරකථන පණිවුඩ ඔස්සේ සිදුකර ගන්නට ඇත.එසේත් නැත්නම් ඔවුහු ඒ සඳහා දිගු වේලාවක් අන්තර්ජාලයේ රැඳී සිටියහ.

මේ කාරණය අතින් බින් ලාඩන් බුද්ධිමත් වූ අතර අබු බකර් අල් බග්ඩාඩි ඊටත් වඩා බුද්ධිමත් වී ඇත.

පාකිස්තානයේ 'ඇබටාබාද්'(Abbottabad) නගරයේ සිය කුටියේ සැඟවී සිටියදී ඔසාමා බීන් ලාඩන් අල්ලා ගන්නා ලද්දේ ඔහු විසින් පාවිච්චි කරන ලද ඩිජිටල් උපාංග හසුකර ගැනීමකින් නොවේ. '

බින් ලාඩන් අල්ලා ගනු ලැබුණේ ඔහුගේ ප්‍රචාරක වීඩියෝ පට සහ වෙනත් පණිවුඩ ඒවා අන්තර්ජාලයට එක් කරන ස්ථාන කරා අතින් ගෙනයන පණිවුඩකරුවකු කොටුකර ගැනීම මගිනි.

එම තත්වයන් සැළකිල්ලට ගනිමින් බැග්ඩෑඩිගේ අලුත්ම වීඩියෝ පටයෙන් පසු ඇමෙරිකානු බුද්ධි අංශ මේදිනවල සිදු කරනු ලබන පළමු කාර්යයන්ගෙන් එකක් ලෙස පෙනී යන්නේ සිය ගවේෂණ ගමන් මගෙහි කලින් අනුගමනය කරන ලද පැරණි ක්‍රියාමාර්ගයන් යළි අනුගමනය කිරීමකි.

එහෙත් අල් බග්ඩාඩිගේ ආරක්ෂක කණ්ඩායම එම අභියෝගයට මුහුණ දීමේදී උපායශීලීව කටයුතු කරනු ඇත.

1971 වසරේ ඉරාකයේ 'සමාරා' (Samarra) නගරයේ දී උපත ලද අබු බකර් අල් බග්ඩාඩිගේ සැබෑ නම ඊබ්‍රාහිම් අවාඩ් අල්-බද්රි (Ibrahim Awad al-Badri) වෙයි.

ළමා කාලයේ පටන්ම දැඩි ආගමික පසුබිමක් සහිත අල් බග්ඩාඩි , 2004 වසරේ දී බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු හමුදා ඉරාකය ආක්‍රමණය කොට එරට අල්ලා ගනු ලැබීමෙන් අනතුරුව ඇමෙරිකාව විසින් පවත්වා ගෙන ගිය 'බුකා' (Bucca) යුද සිර කඳවුරෙහි සිර අඩස්සියේ තබා සිටියේය.

එම කාලය තුළ සදාම් පාලනයේ බුද්ධි නිලධාරීන් ද ඇතුළුව වෙනත් සිරකරුවන් සමඟ සමීප සන්ධානයක් ගොඩ නගා ගැනීමට ඔහු සමත් විය.

"සදාම් හුසේන් ගේ බුද්ධි අංශ ක්‍රියාත්මක වුණේ කොහොමද කියල අල් බග්ඩාඩි හුඟක් දේවල් ඉගෙන ගත්තා" ලන්ඩන් නගරය මූලස්ථානය කරගත් රාජකීය එක්සත් සේවා අධ්‍යයන බුද්ධිමතුන්ගේ ආයතනයේ(Rusi) මැද පෙරදිග විශේෂඥ මයිකල් ස්ටීවන් පවසයි.

"ඔහුගේ මෙහෙයුම් ආරක්ෂණය ඉතා ඉහළ මට්ටමක පවතිනවා" මයිකල් ස්ටීවන් වැඩි දුරටත් සඳහන් කරයි.

"ඒකට එක හේතුවක් වන්නේ අන්‍යයන් කෙරහි පවතින දැඩි අවිශ්වාසය"

අල් බග්ඩාඩි මේවනවිට සැඟවී සිටින්නේ කොතැනක විය හැකිද?ඔහු ඉරාක් - සිරියා දේශසීමාවේ ස්ථානයක රැඳී සිටීම බොහෝදුරට නියත කරුණක් විය හැකි බව මැද පෙරදිග විශේෂඥ මයිකල් ස්ටීවන්ගේ තක්සේරුවයි.

දේශ සීමාව ඔස්සේ ජාවාරම් ජාලයක් ස්ථාපිත කර ගැනීමේ වාසිය පාවිච්චි කරමින් උපයන මුදල් ගෙවමින් ප්‍රදේශයේ ගෝත්‍රික ජනයා අතර තම කටයුතු වලට මග පාද ගැනීමට අල් බග්ඩාඩි සමත් විය හැකි බවත් මයිකල් ස්ටීවන් පෙන්වා දෙයි.

යුද්ධය පරාජිතව සිය පාලනය බිඳ වැටීමෙන් පසු පළා යාමෙන් අනතුරුව මාස නවයක කාලයක් සැඟවී සිටීමට ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන් සමත් විය.

සිය උපන් ගම වූ 'ටික්රිට්' නගරය අසළ උමඟක සැඟවී සිටි සදාම් හුසේන් 'Red Dawn' ඇමෙරිකානු මෙහෙයුම මගින් කොටුකර ගන්නා ලද්දේ ඩොලර් දශලක්ෂ ගණනක මුදල් ත්‍යාගයක් සඳහා කෑදර වූ එක්තරා පුද්ගලයකු විසින් කරන ලද පාවාදීමක් මගිනි.

එහෙත් එවැනි ඔත්තුකරුවකු අල් බැග්ඩෑඩිගේ ආරක්ෂක වළල්ලේ කිට්ටුම සගයන් අතරින් දිනා ගනු ලැබීම අතිශය දුෂ්කර කාර්යයක් විය හැක.අල් බග්ඩාඩි වටා සිටින කුඩා සගයන් කණ්ඩායම සහ ඔහු අතර ඇති අතිසමීපභාවය මූල්‍යමය උත්තේජනය ඉක්මවා යන "අවනතභාවයක්" විය හැකිය.

ඉතින් ,එවැනි පසුබිමක් යටතේ අද ලෝකයට අල්ලා ගැනීමට වඩාත්ම අවශ්‍ය කරන පුද්ගලයා මේ මොහොතේ සිටින්නේ ජංගම දුරකථන හෝ අන්තර්ජාලය පාවිච්චි නොකරන ඔහුට සීමා වූ රහස්‍ය ස්ථානයකය.ඔහු ජංගම දුරකථනය මගින් කිසිවකු ආමන්ත්‍රණය නොකරයි.ඔහු නිරන්තරයෙන් තමා සිටින ස්ථානය මාරු කරනවා විය හැකිය.එවැනි පසුබිමක් තුළ වොෂින්ටනයට හෝ බටහිර බලවතුන්ට ඔහු අල්ලා ගැනීම අතින් තැබිය හැකි බලාපොරොත්තුව කුමක්ද?

අන්තිමේදී එම අවස්ථාව උදාවනවා විය හැක්කේ වාසනාව සහ ඉවසීම අනුවය.

එක්කෝ කුතූහලයෙන් යුක්ත ගම්වැසියකුගේ ඇස ගැටීමක්, සීරුවෙන් ඇස ගසාගෙන සිටින නියමුවන් රහිත යානා හසුරුවන්නකුට විශේෂ වාහනයක් දක්නට ලැබීමක් හෝ එසේත් නැත්නම් වෙහෙසට සහ අප්‍රසාදයට පත්ව සිටින IS සාමාජිකයකු ත්‍යාග මුදලක් ලබා ගනිමින් සදාකාලිකව සැඟව හෝ සිය ජීවිතයේ අන්තිම කාලය ධන කුවේරයකු ලෙස ගත කිරීමට තීන්දු කිරීමක් අල් බග්ඩාඩි ඉරණම තීන්දු කෙරෙන සංසිද්ධිය වනු ඇත.

(බීබීසී ආරක්‍ෂක තොරතුරු පිළිබඳ වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් ගේ (Frank Gardner) වාර්තාවක් ඇසුරෙනි)

BBC security correspondent

"https://si.wikipedia.org/w/index.php?title=අබු_බකර්_අල්_බග්ඩාඩි&oldid=471105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි