අබිමඑල් ගුස්මන් (1937- ) පේරු රාජ්‍යයෙහි ක්‍රියාත්මක වූ දරුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් වූ "දිදුලන මාර්ගය" කණ්ඩායමේ නායකයා ය. අරෙකුඉපා නගරයේදී 1937 වසරේ උපත ලද ඔහු, 1960 දශකයේ මුල පටන් අයකුචෝ නගරයේ සැන් ක්‍රිස්ටොබාල් දි හුඅමන්ගා ජාතික සරසවියෙහි දර්ශනවාදය පිලිබඳ මහාචාර්යවරයා විය. ඔහු එකල පටන් මාක්ස්වාදියෙකු වූ අතර පේරු කොමියුනිස්ට් පක්ෂය-රතු ධජය කණ්ඩායමේ නායකයෙකු විය. 1970 දී ඔහු විසින් "පේරු කොමියුනිස්ට් පක්ෂය-දිදුලන මාර්ගය" අරඹන ලදී. එම පක්ෂයේ මූලික දර්ශනය වූයේ මාර්කස්-ලෙනින්-මාඕ වාදය ය. පසුව එයට ගොන්සාලෝ චින්තනයද එකතු විය. සභාපති ගොන්සාලෝ යනු ඔහුගේ සහචරයින් විසින් ගුස්මන් හඳුන්වාදුන් එක නමකි.

1980 දී සිය ආයුධ සන්නද්ධ "ජනතා අරගලය" ඇරඹි "දිදුලන මාර්ගය" කණ්ඩායම 1990 දශකය ආරම්භ වන විට රටේ ප්‍රදේශ ගණනාවකට තර්ජනය කරමින් තිබිණ. නමුත් 1992 සැප්තැම්බර් 12 දා පේරු රටේ අගනුවර වන ලීමා නගරයේදී ගුස්මන් අත්අඩංගුවට පත් වූ පසු එහි ක්‍රියාකාරකම් බෙහෙවින් අඩපණ විය. ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට යටත් කරන ලද ගුස්මන් අදද පේරු රාජ්‍යයේ සිර ගතව සිටී.

"https://si.wikipedia.org/w/index.php?title=අබිමඑල්_ගුස්මන්&oldid=471107" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි