අංගම් ශාස්ත්‍රය නොහොත් අංගම්පොර යනුවෙන් හඳුන්වන හෙළයන්ගේ ඉපැරණි සටන් ශාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත වන අංගම්, ඉලංගම් හා මායා අංගම් යන මූලිකාංග වලින් අංගම් හෝ අංගං යනු අවිආයුධ වලින් තොරව එනම් නිරායුධ සටන් ක්‍රමවේදයන්ය. නිරායුධ හරඹයන් රාශියක් මෙම සටන් ශාස්ත්‍රය තුල පවතී. ගැටක්‍රම, ගුටි හරඹ, පොර බැදීම හෙවත් ගුස්ති ශාස්ත්‍රය, නිල ශාස්ත්‍රය, පිනුම් කරණම්, පැනීම් ආදිය මෙම කොටසට අයත් ලෙස සැලකේ. අංගම් ශාස්ත්‍රයට අදාලව මරුනිල 108 ක් ඇති අතර පිනුම් 20 ක් සහ පැනීම් 7ක් පවතී. එක මුෂ්ටි ප්‍රහාරයකින් වුවද මිනිසෙක් මරණයට පත්කිරීම ප්‍රවීණ අංගම් ශිල්පියෙකුට සරල දෙයකි. නමුත් අංගම් ශිල්පය පුහුණුවීමේදී මනුෂ්‍ය ඝාතනය සපුරා තහනම්ය. අංගම් ශාස්ත්‍රයේ ඉගැන්වෙන නිරායුධ හරඹ මඟින් ගිනිඅවිය අතහැර සටනට එන ඕනෑම ජගතෙකු පහසුවෙන් බිමහෙළිය හැකි අතර එකවර කිහිපදෙනා සමඟ වුවද තනිව පොරබැදීමට අංගම් ශාස්ත්‍රයේ 'පොරහරඹ' නම් කොටස මනාව ප්‍රගුණ කළ අංගම් ශිල්පියෙකුට හැක. අංගම් ශාස්ත්‍රයේ පළමුවන මූලිකාංගය වන අංගම් අංගම්පොර යන වචනය බිහිවීමේ මූලික සිද්ධාන්තය ලෙසද සැලකිය හැකිය[1].

අංගම් ශාස්ත්‍රයේ නිරායුධ පොර හරඹයක්

මෙයට අමතරව අංගම හෝ අංගම් යන වචනය මායා අංගම් වල එන මන්ත්‍ර ශාස්ත්‍රීය සටන් උපක්‍රමයක් වන අංගම් පිඹීමටද යොදා ගැනේ. මේ මාරාන්තික මෙන්ම අමුතුම වර්ගයේ මන්ත‍්‍ර ශාස්ත‍්‍රය නිසා අතීතයේ දී මිනිසුන් බොහෝ දෙනකු රෝගාබාධයකට හෝ මරණයට පත්ව ඇති බව තවමත් අප ජන සමාජය තුළ ජන විඥානය සාක්ෂි දරයි[2].

බාහිර සබැඳුම් සංස්කරණය

  1. අංගම් පොර ශාස්‌ත්‍රීය විමර්ශන සංරක්ෂණය කළ පිටපත 2019-09-09 at the Wayback Machine,"අංග" යනු ශරීරයට හෝ ශරීරාංගවලට යෙදෙන නමයි. "පොර" යනු සටන හැඳින්වෙන නමයි. ඒ අනුව "අංගම් පොර" යනු ශරීරය භාවිතයෙන් කෙරෙන ද්වන්ධ සටනයි.
  2. ඈත සිට මතුරා මිනිසුන් බිම දැමූ දිගාමඩුල්ලේ පැරැණියෝ සංරක්ෂණය කළ පිටපත 2019-08-08 at the Wayback Machine,අංගම් පිඹීම අංගම් පොර මෙන් අතින් පයින් ගුටි ඇන ගන්නා, පොර බඳනා නිල බලා පහර දෙන ශිල්පයක් නොවේ. නමුත් මේ දෙකම මාරාන්තික බව සැබෑය.
"https://si.wikipedia.org/w/index.php?title=අංගම්&oldid=591185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි