විකිපීඩියා:විකිපීඩියාවට දායකවීම

(විකිපීඩියා:HOW වෙතින් යළි-යොමු කරන ලදි)

විකිපීඩියාවේ අරමුණ සංස්කරණය

අප අරමුණ වන්නේ පොදුජනතාවගේ ස්වේච්ඡා දායකත්වය හරහා සෑම විෂයක් ම ඇතුළත් කරගත් නිදහස් අන්තර්ජාල විශ්වකෝෂයක් ගොඩනැංවීම යි. අන්‍යෝන්‍ය ගරුත්වයෙන් සහ සහයෝගීතාවයෙන් යුතු ප්‍රජා පරිසරයක් තුළ එය සිදුවනු දැකීම අපගේ අපේක්ෂාවයි. යම්කිසි මාතෘකාවක් පිළිබද ව දැනට ලෝකයේ පිළිගැනීමට ලක් වී ඇති තොරතුරු සියල්ල ඇතුළත් කරගත් අපක්ෂපාතී සාරාංශයක් සැපයීම විකිපීඩියා විශ්වකෝෂයේ ලිපියකින් බලාපොරොත්තු වේ. විකිපීඩියාව සංස්කරණය කිරීමේ දී නිර්භීත වීමට සංස්කාරකවරුන් ව දිරිමත් කෙරෙන අතර තහවුරු කරන ලද කරුණු පමණක් ඇතුළත් කරගත් මැදහත් ආකෘතියක් අනුගමනය කිරීමට ද යෝජනා කරනු ලැබේ. විකිපීඩියාවේ රචනා කරනු ලබන ලිපි තුළ විශ්වකෝෂීය ලිපියකට උචිත භාෂා ශෛලියක් භාවිත කළ යුතු අතර රචනාමය, විචාරාත්මක හෝ මතවාදීමය බවක් පළ නොවිය යුතු ය.

අවතීර්ණ වීම සංස්කරණය

දායකත්වය සැපයීමෙන් අනෙකුත් සංස්කාරකවරු ලබන තෘප්තිය

නවකයකු වශයෙන් විකිපීඩියාවට පිවිසෙන ඔබ තුළ ඇතැම් විට මෙම ව්‍යාපෘතියේ දැවැන්ත බවත් හමුවන උපදෙස් සහ රීති සමූහයත් හේතුවෙන් කිසියම් චකිතයක් ඇති විය හැකි ය. මුලදී ඔබට සෑම දෙයක් ම වටහා ගත නොහැකි වනු ඇත. ඒ ගැන කණගාටු නොවන්න. මන්දයත් සාමාන්‍ය බුද්ධියෙන් කටයුතු කිරීම ඔබට තහනම් කර නැති බැවින් සහ එය ඔබට නිවැරදි ව මගපෙන්වන බැවිනි. විකිපීඩියාව තුළ ලිපි තැනීමට, ප්‍රතිශෝධනය කිරීමට සහ සංස්කරණය කිරීමට ඉඩ සලසා ඇත්තේ ඔබ විසින් ඒ සිදුවනු දැකීමේ අටියෙන් ම ය. නමුත් ඔබට මෙය වනසා දැමීමට හැකියාවක් නොමැති බව ඔබ මතක තබා ගත යුතු ය. විකිපීඩියාව තුළ සංස්කරණයට සම්බන්ධ බොහෝ උපදෙස්, රීති ආදිය දක්නට ලැබුණත් විකිපීඩියාව සාමූහික ව කෙමෙන් කෙමෙන් ගොඩනැංවෙන දෙයක් බැවින් සෑම දෙයක් ම මුලදී පරිපූර්ණ ව නොතිබීමේ වරදක් නැත.

මගපෙන්වීම් සහ අත්පොත් සංස්කරණය

 
A downloadable "Editing Wikipedia guide" in PDF form written by the staff at the Wikimedia Foundation

මෙම පිටුව හැරුණු විට ඔබට මගපෙන්වීමට තවත් බොහෝ උදවු පිටු ඇත. විකිපීඩියා නිබන්ධනය ඔබට සරල මූලික මගපෙන්වීමක් වනු ඇත. විකිපීඩියා පංචස්තම්භ ඔබට විකිපීඩියාවේ ප්‍රධාන මූළධර්මයන් කිහිපය විස්තර කරනු ඇත.

ගිණුමක් තැනීම සංස්කරණය

විකිපීඩියාව කියවීම මෙන් ම සංස්කරණය කිරීමද ඔබට ගිණුමක් රහිත ව වුව කළ හැක. ගිණුමක් රහිත ව වුව විකිපීඩියාවට පිවිසෙන ඕනෑම අයෙකුට සෑම ලිපියක් ම පාහේ නැවත නැවත සංස්කරණය කිරීමට හැකියාව ඇත. එසේ නමුදු ගිණුමක් තැනීම විසින් ඔබට වාසි කිහිපයක් අත්කරදෙයි. එනම් නව ලිපි තැනීමට, මාධ්‍ය සම්පත් උඩුගත කිරීමට සහ ඔබගේ අයි. පී. ලිපිනය පිටු ඉතිහාසයහි සටහන් කරගැනීමෙන් තොර ව සංස්කරණය කිරීමට හැකි වීම ය. මෙම සබැදියට පිවිස පෝරමය පිරවීමෙන් ඔබට ගිණුමක් තැනිය හැකි ය. මෙයට ගතවන්නේ ඉතා සුලු මොහොතකි.

ප්‍රතිපත්ති සහ නීති රීති සංස්කරණය

විකිපීඩියාව තුළ කිසිදු වෙනසකට ලක් කළ නොහැකි නීති රීති මාලාවක් නොමැත. ඇත්තේ පොදු මූලධර්ම කිහිපයක් පමණි. කෙසේනමුත් පිළිපැදිය යුතු ඇතැම් සම්මතයන් මෙන් ම හැසිරීමේ දී අනුගමනය කළ යුතු විනය රීතීන්ද පැනවිය හැකි ය. එනම් සංස්කාරකවරුන් එකිනෙකාට ගරු කරමින් සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර නොමනා හැසිරීම්වලින් වැළකිය යුතු ය.

සාකච්ඡා කිරීම සහ සම්මුතීන්ට පැමිණීම සංස්කරණය

A screencast demonstrating how to use a talk page. (2:43 min)

විකිපීඩියා විශ්වකෝෂයේ තිරය පිටුපස සාමූහික ව කටයුතු කරන දැවැන්ත ස්වේච්ඡා ප්‍රජාවක් සිටී. එවැනි විශාල සමූහයක් තුළ විවිධ මතභේදයන් ඇතිවීම අසාමාන්‍ය දෙයක් නොවේ. මෙවන් අවස්ථාවන්හිදී සාකච්ඡා කිරීම තුළින් සම්මුතියකට පැමිණීම වැදගත් වේ. විකිපීඩියාවේ සෑම ලිපියක් වෙනුවෙන් ම සාකච්ඡා පිටුවක් ඇති අතර පිටුවේ ඉහළ සාකච්ඡාව යන ටැබය මත ක්ලික් කිරීමෙන් එයට පිවිසිය හැකි ය. සාකච්ඡා පිටුවේ දී සංස්කාරකවරුන්ට ලිපිය වැඩිදියුණු කළ යුතු අන්දම ගැන සිය අදහස් පළ කළ හැකි ය. විකිපීඩියාවේ ප්‍රජාවේ සාමාජිකයකු නොවන අයකුට පවා ඊට එක්විය හැකි ය. ඔබ විසින් සිදුකළ කිසියම් සංස්කරණයක් තවත් සංස්කාරකවරයෙකු විසින් ආපසු පෙරළන ලද්දේ යැයි සිතමු; ඔබට ඒ ගැන සාකච්ඡා පිටුවේ විමසිය හැකි ය. සාකච්ඡාව තුළ දී ඔබ ආචාරශීලීව හැසිරීමත් අන් අයද ඔබ මෙන් ම විකිපීඩියාව දියුණු කිරීමේ අරමුණින් ම කටයුතු කරන බව හැගීමත් වැදගත් ය. සංස්කරණ යුද්ධය හෙවත් කිසියම් ප්‍රතිහරණය කරන ලද සංස්කරණයක් නැවත නැවත කිරීම හැකි සෑම විට ම මගහරින්න. විකිපීඩියාවේ පවතින ලිපි හැරුණු විට අනෙකුත් පිටු සම්බන්ධයෙන්ද සාකච්ඡා පිටු ඇත. නිදසුනක් ලෙස සෑම පරිශීලකයකු ම සදහා පරිශීලක පිටුවක් ඇති අතර ඒ සම්බන්ධවද සාකච්ඡා පිටුවක් දක්නට ඇත. තවත් පරිශීලකයකු සමග අදහස් හුවමාරු කරගැනීමට මෙය භාවිත වෙයි. ඔබට තවත් අයකුගෙන් මෙවන් පණිවිඩයක් ලැබුණු විට ඔබ විකිපීඩියාවට නැවත පිවිසුණු විටක හෝ ලිපියක් කියවන විටක ඒ බව දන්වමින් පණිවිඩයක් දිස්වනු ඇත. ඔබටද තවත් අයෙකුගේ පරිශීලක සාකච්ඡා පිටුව සංස්කරණය කිරීමෙන් ඔබේ කිසියම් පණිවිඩයක් ඔවුනට පැවසිය හැකි ය.

දායක වීමට මූලික ව දැනසිටිය යුතු කරුණු සංස්කරණය

සංස්කරණය පිළිබඳ සදෘශ්‍යයක් (වීඩියෝවක්)

විකිපීඩියාව විශාල සංස්කාරක ප්‍රජාවකගේ දායකත්වයෙන් ගොඩනැගෙන්නකි. ගවේෂණය සහ බහුපඨිතබව, තාක්ෂණික දැනුම, ලේඛන කුසලතාවය වැනි විවිධ සුවිශේෂතාවන්ගෙන් යුතු අය එහි දී සිය දායකත්වය සපයති. මේ හැම දායකත්වයක් ම අපේ වෑයම සඵල වීමට වුවමනා වෙයි. නමුත් මේ සිල්ලටත් වඩා වැදගත් වන දෙයක් ඇත. ඒ සමාජය වෙනුවෙන් කැපවීමේ වුවමනාවයි. විකිපීඩියාවේ කිසියම් හෝ ලිපියක් සම්බන්ධයෙන් කිසිවකුට හෝ විශේෂ හිමිකමක් නැත. එබැවින් ඔබ ලිපියක වරදක් දුටුවිට එය සංස්කරණය කරමින් නිවැරදි කිරීමට පසුබට නොවන්න. ලිපියක් වැඩිදියුණු කිරීමට තරම් ඒ විෂය ගැන දැනුමක් ඇති හෝ තොරතුරු ගවේෂණය තුළින් එසේ කිරීමට කැමති ඕනෑම අයකුට ලිපියක් භාෂා ශෛලිය වෙනස් කරමින් නැවත ලිවීමට, තොරතුරු එක්කිරීමට හෝ අලුත් ලිපියක් තැනීමට බාධාවක් නැත. ලිපි ලිවීමේ දී නිවැරදි ව්‍යවහාරයන් භාවිත කළ යුතු වුවත් බහුතරයකට තේරුම් ගැනීමට අපහසු වචන හෝ යෙදුම් භාවිත නොකරන්න. වැදගත් කරුණු ඇති ලිපියක් පාඨකයාට තේරුම් ගැනීමට අපහසු ලෙස ලියැවී ඇත්නම් එය සුදුසු පරිදි නැවත ලිවීම ඔබගේ යුතුකමයි.

ලිපි තැනීමට ඔබහට උදවු විය හැකි මායා අඳුනක් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමුකරන්න. මායා අඳුන බලන්න.

ස්තූතියි.

අන්තර්ගතය සහ සංවර්ධන මිනුම් සංස්කරණය

විකිපීඩියාවේ අන්තර්ගතයෙන් විශාල ප්‍රදේශයක් ආවරණය වන්නේ විවිධ මාතෘකා අලලා එහි ලියැවෙන ලිපිවලිනි. මෙම ලිපි කිසියම් යෙදුමක අර්ථය දැක්වීමෙන් වෙනස් ව එම මාතෘකාව යටතේ ලියැවෙන විස්තරාත්මක වාර්තා වෙයි. විකිපීඩියාව තුළ උත්පාදක පර්යේෂණ (original research) ඇතුළත් නොකෙරේ. විශ්වකෝෂයක් යනු ම කිසියම් විෂය කරුණක් පිළිබද දැනට ලෝකයේ ප්‍රකාශයට පත් වී ඇති තොරතුරුවල සාරාංශයක් සපයන තෘතීයික මූලාශ්‍රයකි. මේ හේතුව නිසාත්, විකිපීඩියාව අනෙක් විශ්වකෝෂවලට වෙනස් ව සාමාන්‍ය ජනතාව විසින් ලියැවෙන්නක් නිසාත් විකිපීඩියා ලිපිවල ඇතුළත් කෙරෙන කරුණු නිරවද්‍ය සහ විශ්වාසවන්ත මූලාශ්‍ර හරහා තහවුරු කර දැක්වීම අනිවාර්ය වෙයි.

උත්සුකතා පිළිබද ගැටුම් පැවතිය හැකි බැවින් තමා ම පිළිබදව, තම මිතුරන් පිළිබදව, තමා විසින් සේවය කරනු ලබන හෝ පවත්වාගෙන යන සමාගම්, ආයතන, ව්‍යාපාර, සංවිධාන, වෙබ් අඩවි, සිදුකරන ව්‍යාපෘති, කලා කටයුතු වැනි තමන් සමග සම්බන්ධයක් ඇති සහ එහෙයින් ම පක්ෂපාත විය හැකි විෂයන් සමබන්ධයෙන් රචනා කිරීමෙන් දැඩි ලෙස වළකින්න.

විකිපීඩියා විශ්වකෝෂයේ පවතින ලිපි සියල්ලම ගුණාත්මක ලිපි නොවේ. සමහරක් ලිපි විදග්ධ නැත. සමහරකගේ බස ව්‍යාකූල ය. නැත්නම් පක්ෂපාත ව ලියැවී තිබීමට හෝ යාවත්කාලීන නොවූ කරුණු අඩංගු වීමට පුලුවන. සාමාන්‍යයෙන් ලිපියක් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු වීමට සැපිරිය යුතු කරුණු කීපයක් ඇත. පළමුව ලිපිය කුමක් පිළිබදව ද යන්න පහසුවෙන් වටහා ගැනීමට උදව් වන සාරාංශ සටහනක් හෙවත් ආරම්භක ඡේදයක් තිබිය යුතු ය. එමෙන් ම කරුණු මනාව සංවිධානගත කර තිබිය යුතු ය. විශ්වාසවන්ත මූලාශ්‍ර මත පදනම් වෙමින් කරුණු සදහන් කළ යුතු අතර කිසියම් කරුණක් ඉදිරිපත් කරන විට එය තහවුරු කරන මූලාශ්‍රය සදහන් කළ යුතු ය. තවද විෂය වන මාතෘකාවේ සෑම අංශයක් ම ආවරණය කර තිබිය යුතු අතර අපක්ෂපාතී නොනැඹුරු දෘෂ්ටි කෝණයකින් කරුණු ඉදිරිපත් කර තිබිය යුතු ය.

ලිපියක් සංස්කරණය කිරීම සංස්කරණය

Editing tutorial for Wikipedia using classic wiki markup. (3:07 min)

පොදුවේ විකිපීඩියා ලිපියක් සංස්කරණය කිරීම ඉතා පහසු ය. ඒ සදහා ප්‍රවේශ විය හැකි ක්‍රම දෙකක් පවතී. විකිමාකප් හෙවත් විකිපීඩියා සලකුණු භාෂාව යොදාගනිමින් මෙන් ම අලුතින් තිබෙන දෘෂ්‍ය සංස්කාරකය තුළිනුත් ඒ කළ හැකි ය. නිල වශයෙන් භාවිත වන ක්‍රමය වන කේත සංස්කාරකයට පිවිසීමට විකිපීඩියා පිටුවක ඉහළ ඇති සංස්කරණය කරන්න යන ටැබය ක්ලික් කිරීමෙන් හෝ ලිපියක මාතෘකාව සමීපයේ ඇති සංස්කරණය කරන්න යන ඈදුම ක්ලික් කිරීමෙන් හෝ හැකි ය. එවිට එම පිටුවේ අන්තර්ගතය සංස්කරණය පිණිස විවෘත වනු ඇත. මෙහි දී ඔබට අලුතින් එක්කිරීමට අවශ්‍ය දේ යතුරුලියනය කළ හැකි අතර සිරස්තල, ඇලකුරු, තදකුරු, සබැදි යෙදීම, පාදසටහන් යෙදීම, රූප ඇතුළත් කිරීම, වගු නිර්මාණය කිරීම වැනි සියලුම හැඩසවීම් කටයුතු කිරීමට විවිධ සංකේත භාවිත කිරීමට සිදු වේ. (බලන්න: සංක්ෂේපසහාය) ඔබට අවශ්‍ය නම් ඉහළින් තිබෙන මෙවලම් තීරුව භාවිතයෙන් කේත පහසුවෙන් එක්කරගැනීමට පුලුවන.

ඔබ ලිපියේ අවශ්‍ය වෙනස්කම් සිදුකළ පසු සංස්කරණ කොටුවට පහළින් ඇති පෙරදසුන පෙන්වන්න බොත්තම ක්ලික් කළ යුතු ය. එවිට ඔබේ සංස්කරණයෙන් පසු ලිපිය පාඨකයාට දිස්වන අයුරු දැකගත හැකි වේ. යම් කේතයක් වැරදී තිබුණොත් හෝ වෙනයම් අතපසු වීමක් තිබුණොත් එවිට එය දැකගත හැකි ය. පෙරදසුනට පහළින් පෙර පරිදි ම සංස්කරණ කොටුව දිස්වන නිසා ඔබට ඒ වැරදි නිවැරදි කිරීමට පහසු වනු ඇත. ඉන්පසු සංස්කරණ කොටුවට පහළින් සංස්කරණ සංරාංශය යන්නට ඉදිරියෙන් තිබෙන හිස් ඉඩේ ඔබ කළ දෙය කුමක්දැයි කෙටියෙන් සදහන් කළ යුතු ය. මෙය පසු ව එම ලිපිය සංස්කරණය කරන කෙනකුට පහසුවකි. දැන් ඔබට වෙනස්කම් සුරකින්න බොත්තම ඔබමින් ඔබේ වෙනස්කම් සුරැකිය හැකි ය.

දෘෂ්‍ය සංස්කාරකය, කේත භාවිතයෙන් සංස්කරණය කිරීමට වඩා පරිශීලක-මිතුරු ක්‍රමයකි. එහි දී ඔබට වර්ඩ් වැනි මෘදුකාංගයක් භාවිත කරන අන්දමින් ම ලිපි සංස්කරණය කළ හැකි ය.

සමහර පිටු සංස්කරණය කළ නොහැකි වන සේ ආරක්ෂිත කර ඇති අතර මෙවැනි පිටුවල සංස්කරණය කරන්න ටැබය වෙනුවට ප්‍රභව කේතය නරඹන්න යනුවෙන් ටැබයක් ඇත. මෙවැනි පිටු සංස්කරණය කිරීමට අවසර ඇති පරිශීලකයන්ට සංස්කරණ ඉල්ලීමක් යොමු කිරීමෙන් ඔබට මෙවැනි පිටු සංස්කරණයට ද දායක විය හැකි ය. මේ සදහා "Submit an edit request" යනුවෙන් දකුණුපස පහළින් තිබෙන ඈදුම ක්ලික් කළ යුතු ය.

ඇසුරු කළ මූලාශ්‍ර දැක්වීම සංස්කරණය

A screencast that walks through the essentials needed in citing your sources. (2:01 min)

මෙය විශ්වකෝෂයක් බැවින් ඔබ නව ලිපියක් ලියූ විට හෝ පවතින ලිපියකට නව කරුණු එක්කළ විට එම තොරතුරු සපයාගත් මූලාශ්‍රයන් මොනවාද යන්න සදහන් කළ යුතු ය. ඔබ ඉදිරිපත් කරන කරුණු, පිළිගත හැකි වෙබ් අඩවියක්; ප්‍රකාශිත ග්‍රන්ථයක්; ප්‍රසිද්ධ පුවත්පතක ලිපියක් හෝ වෙනත් මූලාශ්‍රයක් ආධාරයෙන් තහවුරු කර දැක්වීම අනිවාර්ය වේ. මෙම මූලාශ්‍ර පිළිගත හැකි, විශ්වසනීය සහ නිරවද්‍ය ඒවා විය යුතු ය. ඔබ ඉදිරිපත් කරන කරුණු තහවුරු කිරීම සදහා එම මූලාශ්‍ර භාවිත කළ ද ඔබ එහි සදහන් තොරතුරු ඒ ආකාරයෙන් ම පිටපත් කිරීමද නොකළ යුතු ය. කිසියම් මතයක් පෙන්වා දීම සදහා යම්කිසි ඡේදයක් හෝ ප්‍රකාශයක් උපුටා දැක්වීමක දී පමණක් එසේ කිරීමට අවසර ඇත. මූලාශ්‍ර රහිත ව හෝ දුර්වල මූලාශ්‍ර සහිත ව හෝ ප්‍රකාශන හිමිකම් කඩකරමින් හෝ එක්කරන තොරතුරු සහ ලිපි මකාදැමීමට ඉඩ ඇත.

සාමාන්‍යයෙන් මූලාශ්‍ර එක්කළ යුත්තේ එක් එක් කරුණ උදෙසා වෙන් වශයෙනි. එනම් ඔබ යම්කිසි කරුණක් එක්කළ විට එම කරුණ අවසානයේ පාදසටහනක් වශයෙනි.

A screencast that walks through how to use the various features of RefTools. (5:03 min)

ප්‍රභව කේත සංස්කරණයේ දී මේ ආකාරයෙන් පාදසටහන් එක්කිරීම, මූලාශ්‍රය පිළිබද තොරතුරු පිළිවෙළින් <ref> සහ </ref> යන කේත දෙක මධ්‍යයේ යෙදීමෙන් කළ හැක. ඔබ සංස්කරණය සුරැකුම් කළ පසු එම ස්ථානයේ මේ ආකාරයෙන් (උදාහරණ ලෙස:[1] [2]) පාදසටහනක් දිස්වනු ඇත. මෙම කේත දෙක අතර ඔබ යෙදූ පෙළ දිස්වීමට නම් {{Reflist}} හෝ <references /> යන කේතය එසේ දිස්වීමට ඇවැසි තැන යෙදිය යුතු ය. එවිට එම ස්ථානයට පහතින් පාදසටහන්වල අංක පිළිවෙළින් එම තොරතුරු ලැයිස්තුවක් ලෙසින් දිස්වනු ඇත. සම්මතය වන්නේ මෙය ලිපියේ අවසානයට මූලාශ්‍ර,සටහන් හෝ ආශ්‍රිත නාමාවලිය වැනි සිරස්තලයකින් පසු එක්කිරීමයි. ඔබ නව ලිපියක් අරඹන විට හෝ මූලාශ්‍ර නොතිබූ පිටුවකට මූලාශ්‍ර එක්කළ විට මෙම කේතය සටහන් කර ලිපියට ආශ්‍රිත නාමාවලියක් එක්කිරීමට කටයුතු කරන්න. Reftoolbar නම් මෙවලම් තීරුව ඔබට පෝරමයක් පිරවීම මගින් ඉතාමත් පහසුවෙන් මූලාශ්‍ර එක්කිරීමට ඉඩ සලසා දෙයි. ප්‍රභව කේත සංස්කාරකයේ, ඉහළින් ඇති මෙවලම් තීරුවේ, දකුණුපස කෙළවර තිබෙන Cite නම් ලකුණ ක්ලික් කිරීමෙන් මෙය විවර කරගත හැක. මේ මගින් මූලාශ්‍ර එක්කිරීමේ දී මූලාශ්‍රය සම්බන්ධ තොරතුරු සැපයීම පමණක් කිරීම ප්‍රමාණවත් වන අතර එම තොරතුරු මූලාශ්‍රකරණ ක්‍රමවේදවලට අනුව පෙළගැස්වීමත් සම්මත ක්‍රමවේද අනුව හැඩසවීමට අදාළ කේත සහ ඉහත ref කේත සටහන් වීමත් ස්වයංක්‍රීය ව සිදු වේ. (සැ. යු. {{reflist}}කේතය ස්වයංක්‍රීය ව සටහන් නොවන බැවින් එය ඔබ විසින් එක්කළ යුතු ය.)

නව ලිපි තැනීම සහ විෂය ගැන ඉන් පෙර ලියැවී තිබිය යුතු වීම සංස්කරණය

ඔබ විකිපීඩියා විශ්වකෝෂයේ නව ලිපියක් ඇරඹීමට පෙර එම මාතෘකාව ගැන තොරතුරු සදහන් වන වෙනත් මූලාශ්‍ර ඇත් දැයි සොයාබැලිය යුතු ය. ඔබ ලිවීමට අදහස් කරන විෂය ගැන හෝ එම මාතෘකාවට අදාල කරුණු පිළිගත හැකි මූලාශ්‍රයන් හි දැනටමත් සාක්ච්ඡාවට ලක් වී නොමැති නම් එය විශ්වකෝෂයකට ඇතුළත් වීමට තරම් වැදගත්කමක් ඇති මාතෘකාවක් නොවේ. ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතන විසින් පළකර ඇති කෘති, පුවත්පත්, සගරා, ශාස්ත්‍රීය සගරාවල පළකරන ලිපි සහ පිළිගත් මුද්‍රිත මූලාශ්‍රවලට සමාන අධිකාරීත්වයක් දරන වෙබ් අඩවිවල ඊට අදාල තොරතුරු ලියැවී තිබිය යුතු ය. එවැනි තෙවැනි පාර්ශ්වීය මූලාශ්‍ර කිසිවක් සපයාගත නොහැකි නම් එම මාතෘකාව පිළිබද ලිපියක් ඇරඹීමෙන් ඵලක් නැත. මන්ද යත් එහි එන කිසිදු කරුණක් තහවුරු කර දැක්විය නොහැකි බැවිනි.

ලියාපදිංචි වූ පරිශීලකයන්ට කිසිදු පරීක්ෂාවකින් තොර ව නව ලිපියක් පළ කළ හැකි ය. එහෙත් විකිපීඩියා ගිණුමක් රහිත ව අයි. පී. ලිපිනය හරහා සංස්කරණ සිදුකරන පරිශීලකයන්ට එසේ සෘජු ව ලිපියක් ඇරඹීමේ හැකියාවක් නැත. ඔවුන්ට කිසියම් ලිපියක් පළකිරීමට යෝජනා කළ හැකි අතර එවිට එය වැදගත් ලිපියක් නම් පළකිරීමට තීරණය කෙරෙනු ඇත. ලිපියක් තැනීමට පෙර එම මාතෘකාව සම්බන්ධයෙන් ලිපියක් දැනටමත් ලියැවී ඇත්දැයි සොයාබැලීම වටී. ලිපියට මාතෘකාව යෙදීමේ දී විකිපීඩියාවේ ලිපි නාමකරණ ප්‍රතිපත්තිය ඇසුරු කර ඒ අනුව කටයුතු කළ යුතු ය. ලිපි ලිවීමේ දී අවශ්‍ය වන තාක්ෂණික කරුණු නිබන්ධනය පරිශීලනය කිරීමෙන් දත හැකි ය.

ලිපිවල නම් වෙනස් කිරීම සහ ලිපි මකාදැමීම සංස්කරණය

විකිපීඩියා ලිපියක මාතෘකාව වෙනස් කිරීම සදහා එය නව සිරස්තලයක් වෙත ගෙන යා යුතු ය. විකිපීඩියා ලිපියක ඉහළ දකුණුපස කෙළවරේ තවත් යනුවෙන් ඈදුමක් දක්නට ඇත. ඒ අසලට මවුස් පොයින්ටරය ගෙන ගිය විට ඇදහැලෙන මෙනුවක් තුළ ගෙනයන්න යනුවෙන් දිස්වනු ඇත. එය ක්ලික් කිරීමෙන් ඔබට එම පිටුව වෙනත් මාතෘකාවක් වෙත රැගෙන යා හැකි ය. මේ සිදුකිරීම සදහා ඔබ ගිණුමට පිවිසී සිටිය යුතු අතර ස්වයංචිරස්ථිත පරිශීලකයෙකු (autoconfirmed user) ද විය යුතු ය. කෙසේනමුත් මෙසේ පිටුවක නම වෙනස් කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු (Before moving a page) කෙරෙහි අවධානය යොමු කරන්න. ලිපියකට මාතෘකාවක් තෝරාගැනීමේ දී සැලකිය යුතු මූලික කරුණු විකිපීඩියා:ලිපි නම් (Wikipedia:Article titles) පිටුවේ දක්වා ඇත. කිසියම් පිටුවක සදහන් අන්තර්ගය නව පිටුවක් වෙත පිටපත් කිරීමෙන් ලිපියක නම වෙනස් කිරීමට උත්සහ නොකරන්න. එය ලිපියේ සංස්කරණ ඉතිහාසය ඛණ්ඩනය කරන බැවින් සහ විකිපීඩියානුවන්ගේ ප්‍රකාශන හිමිකම් (Copying within Wikipedia) ද කඩකරන බැවිනි. ඇතැම් පිටු ඔබට හිතුමතයට නම වෙනස්කළ නොහැකි පරිදි ආරක්ෂිත කර තිබිය හැක. එසේ නොවන අවස්ථාවක දී වුවත් ලිපියක් නව මාතෘකාවක් කරා ගෙන යා යුත්තේ ලිපියේ සාකච්ඡා පිටුවේ ඒ පිළිබද ව කථාබහ කර අන් සංස්කාරකවරුන්ගේ ද අවධානයට ලක්කිරීමෙන් අනතුරු ව ය. ඕනෑම අයෙකුට ලිපියක් සංස්කරණය කිරීමට සහ නව මාතෘකාවකට ගෙනයාමට හැකි වුවත් ලිපියක් මකාදැමීමට හැකි වන්නේ පරිපාලකවරුන්ට පමණ ය. කිසියම් පිටුවක පවතින අන්තර්ගතය මුලුමනින් ම මකාදැමීමෙන් ඔබට එම පිටුව ඉවත් කළ නොහැකි ය. එය හුදෙක් හිස් පිටුවක් වශයෙන් තවදුරටත් විකිපීඩියාවේ පවතිනු ඇත. එමගින් සිදුවන්නේ පාඨකයන් අපහසුවට පත්වීම පමණ ය. විස්තර සදහා ලිපි මකාදැමීම පිළිබද ප්‍රතිපත්තිය (Wikipedia:Deletion Policy) සහ ලිපියක් මකාදමන්නේ කෙසේ ද? (Wikipedia:How to delete a page) යන පිටු බලන්න. විකිපීඩියා ලිපියක් මකාදමන්නේ හෝ එසේකිරීමට යෝජනා කෙරෙන්නේ එය විශ්වකෝෂයක තිබිය යුතු කරුණක් ගැන නොවන හෙයිනි. එනිසා ඔබ විසින් තැනූ හෝ වැඩිදියුණු කළ පිටුවක් මකාදැමීම ගැන අමනාප නොවන්න. ඔබේ නාමාවාශය (namespace) තුළ ඇති පිටුවක් නිදසුන් ලෙස ඔබේ පරිශීලක පිටුව යටතේ ඇති (User:YourName/ යනුවෙන් සබැදුම ඇති) හෝ පරිශීලක සාකච්ඡා පිටුව යටතේ ඇති (User talk:YourName/ යනුවෙන් සබැදුම ඇති) පිටුවක් මකාදැමීම සදහා අනුගමනය කළ යුතු පිළිවෙත නම් බෙහෙවින් සරළ ය. ඔබ කළ යුත්තේ ගිණුමට පිවිසී එම පිටුව සංස්කරණය කරමින් {{db-u1}} නම් සැකිල්ල එක්කිරීම පමණි. ඔබ තම පිටුවකට එම සැකිල්ල එක්කර ඇති බව දකින පරිපාලකයකු ඒ අනුව කටයුතු කරමින් එම ලිපිය මකාදැමීමට කටයුතු කරනු ඇත. බොහෝවිට එසේ සිදුකෙරේ.

රූප සහ ශ්‍රව්‍ය දෘෂ්‍ය ගොනු එක්කිරීම සංස්කරණය

පින්තූර, ඡායාරූප, ශ්‍රව්‍ය හෝ දෘෂ්‍ය ගොණු ඇතුළත් කර තිබීම ලිපියක ගුණාත්මක බව බොහෝසෙයින් ඉහළ නැංවීමට උපකාරී වේ. කිසියම් ගොණුවක් විකිපීඩියා සහ සහෝදර ව්‍යාපෘතිවල නිදහස් මාධ්‍ය ගබඩාව වන විකිමීඩියා කොමන්ස් (Wikimedia Commons)හි හෝ විකිපීඩියාවෙහි දැනටමත් ඇත්නම් එය පහත කේතය භාවිතයෙන් ලිපියකට එක් කළ හැකි ය.

[[File:ගොනුනාමය|thumb|විස්තරය]]

ඇවැසි නම් මෙහි File යන්න වෙනුවටImage යන්න ද භාවිත කළ හැකි ය. එයින් ප්‍රථිඵලයේ කිසිදු වෙනසක් සිදු නොවේ. මෙහි thumb යනුවෙන් යෙදූ විට රූපය thumbnail එකක් ලෙස දිස් වෙයි. එනම් එහි නියම ප්‍රමාණයට වඩා කුඩා ව ය. නිතර යොදාගැනෙන විකල්පය වන්නේ මෙය යි. ඉහත කේතයට ම තවත් උපදෙස් එක්කිරීමෙන් thumbnail එක පිහිටිය යුතු තැන සහ එය එහි දිග, පළල කෙසේවි යුතු ද යන කරුණු තීරණය කළ හැකි ය. එමෙන් ම රූප එක් කළ හැකි thumbnail නොවන වෙනත් ආකාර ද ඇත. (නිද: frame, table හෝ තොරතුරු කොටු තුළ) මේ පිළිබද මෙහි වැඩිදුර විස්තර නොකෙරේ.

පින්තූර උඩුගත කළ හැක්කේ විකිපීඩියා ගිණුමක් සහිත පරිශීලකයන්ට පමණි. කිසියම් ගොනුවක් උඩුගත කිරීමට පෙර එහි ප්‍රකාශන හිමිකම් කවරේ දැයි දැනගත යුතු ය. ගොනුව පොදු වසම් සම්පතක් නම් හෝ විකිපීඩියාවේ නිදහස් මාධ්‍ය සම්පත් භාවිතය (නැවත භාවිත කිරීම වැනි - වැඩි විස්තර සදහා ක්‍රියේටිව් කොමන්ස් ....... වරපත බලන්න.) සමග සැසදෙන ප්‍රකාශන හිමිකම් කොන්දේසි සහිත වරපතක් යටතේ සපයා ඇත්නම් එය ඔබ සංස්කරණය කරන විකිපීඩියා විශ්වකෝෂය තුළට නොව විකිමීඩියා කොමන්ස් වෙත උඩුගත කළ යුතු ය. ඒ එවිට එය වෙනත් භාෂාවලින් ඇති විකිපීඩියාවන් ද ඇතුලු ව සියලුම විකිමීඩියා ව්‍යාපෘතීන්ට පොදුවේ භාවිත කළ හැකි නිසා ය. එවැනි නීතියක් නැති නමුත් එසේ කිරීම වඩා ප්‍රයෝජනවත් වේ. නමුත් ඔබ උඩුගත කිරීමට අදහස් කරන රූපය එවැනි නිදහස් හිමිකම් රහිත (සාමාන්‍ය ප්‍රකාශන හිමිකම් සහිත) එකක් නම් එය කොමන්ස් වෙත උඩුගත කළ නොහැකි අතර ඔබට විකිපීඩියා විශ්වකෝෂය තුළට එක්කිරීමට හැකි වනු ඇත. ඒ ද එම ලිපිය උදෙසා සද්භාවයෙන් භාවිත කිරීමක් ලෙස සැලකිය හැකි නම් ය. මේ සදහා සැපිරිය යුතු කොන්දේසි අපගේ standards for a claim of fair use නම් පිටුවේ ඇත. මාධ්‍ය සම්පත් උඩුගත කරන සෑම විට ම එහි ප්‍රකාශන හිමිකම් පිළිබද ව අප ව දැනුවත් කිරීමට මතක තබාගන්න.

විකිමීඩියා කොමන්ස් හි ගොනු උඩුගත කිරීමේ පෝරමය (File Upload Wizard) සහ විකිපීඩියාවේ ගොනු උඩුගත කිරීමේ (File Upload Wizard)ඔබට මාධ්‍ය එක්කිරීම සදහා මගපෙන්වනු ඇත. උඩුගත කරන සියලුම ගොනු විකිපීඩියා හා විකිමීඩියා කොමන්ස් දෙක අතර ම සන්ධානගත කෙරෙන බැවින් ඕනෑම එකකින් අනිකෙහි ඇති ගොනු ද සෙවුම් කර බැලිය හැකි ය. පින්තූර සදහා SVG, PNG, JPEG, XCF, GIF සහ TIFE මාදිලි (වෙනත් මාදිලි ද ඇතුලු ව) පිළිගැනෙනු ඇත. ශ්‍රව්‍ය ගොනු සදහා MIDI හෝ FLAC, Speex හෝ Vorbis යන codecs සමගOgg මාදිලිය පිළිගැනෙනු ඇත. වීඩියෝ සදහා Theora video codec සමග Ogg මාදිලිය භාවිතා කරන්න.

හැඩසවීම සහ කේතකරණය සංස්කරණය

වැඩිදුර කියවීමට සංස්කරණය