හිරෝෂිමා (ජපන්: 広島市 හිරොෂිමා-ශි) යනු ජපානයේ නගරයක් වන අතර හිරෝෂිමා දිස්ත්‍රික්කයේ අගනුවරද වේ. එමෙන්ම එය ජපානයේ විශාලතම දූපත වන හොන්ෂු දූපතේ බස්නාහිර ප්‍රදේශයේ පිහිටා ඇති චූගොකු ප්‍රදේශයේ විශාලතම නගරයද වේ. ජපන් බසින් හිරෝෂිමා (広島) යන්නෙන් අදහස් වන්නේ "පුළුල් දූපත" යන්නයි. 1889 අප්‍රේල් 1 වැනිදා සිට හිරෝෂිමාව 'නගරයක්' ලෙස සලකන ලදී. 1980 අප්‍රේල් 1 වැනිදා එය රජය විසින් නියම කරන ලද නගරයක් හෙවත් නාමෝද්දේශිත නගරයක් ලෙස නම් කරන ලදී. 2006 වසරේ ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන වලට අනුව හිරෝෂිමාවේ 1,154,391ක ජනගහනයක් පදිංචි වී සිටී. 2011 අප්‍රේල් මාසයේ සිට කසුමි මත්සුයි හිරෝෂිමාවේ නගරාධිපති ධූරය හොබවයි.

හිරෝෂිමා
広島市
නාමෝද්දේශිත නගරය
හිරෝෂිමා නගරය
ඉහල වම්පස සිට: හිරෝෂිමා මාලිගය, හිරෝෂිමා නගරසභා බේස්බෝල් ක්‍රීඩාගාරයේ පවත්වන බේස්බෝල් තරඟයක්, හිරෝෂිමා සාම ස්මාරකය (ගෙන්බකු ගෝලාර්ධය), එබිසු-චෝ හි රාත්‍රී දර්ශනයක්, ශුකෙයි-එන් (අසානෝ උද්‍යානය)
Flag of හිරෝෂිමා
හිරෝෂිමා දිස්ත්‍රික්කය තුල හිරෝෂිමා නගරයේ පිහිටීම
හිරෝෂිමා දිස්ත්‍රික්කය තුල හිරෝෂිමා නගරයේ පිහිටීම
රටජපානය
ප්‍රදේශයචූගොකු (සන්'යෝ)
දිස්ත්‍රික්කය (Prefecture)හිරෝෂිමා දිස්ත්‍රික්කය
රජය
 • නගරාධිපතිකසුමි මත්සුයි
සරිය
 • මුළු905.01 කිමී2 (349.43 සතරැස් සැත)
ජනගහණය(2010 ජනවාරි)
 • මුළු1,173,980
 • ඝණත්වය1,297.2/කිමී2 (3,360/වර්ග සැත)
වේලා කලාපජපාන සම්මත වේලාව (UTC+9)
- වෘක්ෂයකපුරු
(Cinnamomum camphora)
- පුෂ්පයකනේරු
දුරකථන අංකය082-245-2111
ලිපිනය1-6-34 Kokutaiji,
Naka-ku, Hiroshima-shi 730-8586
වෙබ් අඩවියHiroshima City

හිරෝෂිමාව ලෝකයා විසින් වඩාත් හොඳින් හඳුනාගෙන තිබෙන්නේ න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක් වූ ලොව ප්‍රථම නගරය ලෙසය. ඒ එක්සත් ජනපද යුධ හමුදා ගුවන් හමුදාව (USAAF) විසින් දෙවන ලෝක යුද්ධය අවසන් වීමට දින කිහිපයකට පෙර, එනම් 1945 අගෝස්තු 6 වැනිදා පෙ.ව. 8:15ට හිරෝෂිමා නගරයට ගුවනින් පරමාණු බෝම්බයක් හෙලීමෙන් අනතුරුවයි.[1]

ඉතිහාසය සංස්කරණය

සෙන්ගොකු යුගය (1589–1871) සංස්කරණය

 
හිරෝෂිමා මාලිගය

ජපානයේ බලවත් යුධ හමුදා අණදෙන නිලධාරියෙකු වූ මෝරි තෙරුමොටෝ විසින් 1589 දී සෙටෝ අභ්‍යන්තර මුහුදු ඉවුරේ ගංගා ඩෙල්ටාවේ හිරෝෂිමා නගරය පිහිටුවන ලදී. අකි පළාතේ කෝරියාමා මාලිගය හැරදා පැමිණි ඔහු, හිරෝෂිමාව ඔහුගේ අගනුවර බවට පත්කර ගත්තේය.[2][3] හිරෝෂිමා මාලිගය ඉතා ඉක්මනින් ඉදිකළ ඔහු 1593 දී එහි පදිංචි විය. එම කාලය වන විට ඔහු සෙකිගහරා සටන පරාජය වෙමින් සිටියේය. එම සටනේ ජයග්‍රාහකයා වූ ටෝකුගාවා ඉයෙයාසු පසුව හිරෝෂිමාව සහ අකි පළාත සියතට ගත් අතර, එයින් අකි පළාත ඔහුට සහය දැක්වූ දයිමියෝවරයෙකු වූ මසනොරි ෆුකුෂිමා වෙත ලබාදෙන ලදී.[4]

අධිරාජ්‍ය යුගය (1871–1939) සංස්කරණය

 
හිරෝෂිමා වාණිජ කෞතුකාගාරය 1915 වසරේදී
 
1930 දශකයේ හිරෝෂිමා නගරයේ සිතියමක් (ජපන් සංස්කරණය)

1871 දී හන් ක්‍රමය අවලංගු කිරීමෙන් පසුව හිරෝෂිමාව, හිරෝෂිමා දිස්ත්‍රික්කයේ අගනුවර බවට පත්විය. අධිරාජ්‍ය යුගය තුල ජපාන ආර්ථිකය ප්‍රථමික ග්‍රාමීය මට්ටමේ සිට නාගරික මට්ටමට මාරුවීමේදී, හිරෝෂිමාව ප්‍රධාන නාගරික මධ්‍යස්ථානයක් බවට හැරිණි. 1870 දශකයේදී රාජ්‍ය අනුග්‍රහය ලැබූ ඉංග්‍රීසි පාසල් හතෙන් එකක් හිරෝෂිමාවේ පිහිටවනු ලැබීය.[5] හිරෝෂිමාව වැදගත් වරාය නගරයක් බවට පත්කරමින්, 1880 දශකයේදී එවකට හිරෝෂිමා ආණ්ඩුකාර සඩාකි සෙන්ඩාගේ මූලිකත්වයෙන් උජිනා වරාය ඉදිකරන ලදී.

1894 වසරේදී සන්යෝ දුම්රිය මාර්ගය හිරෝෂිමාව දක්වා දීර්ඝ කෙරිණි. පළමු චීන-ජපන් යුද්ධය පැවති සමයේදී යුධමය කටයුතු සඳහා හිරෝෂිමා ප්‍රධාන දුම්රියපළේ සිට වරාය දක්වා ද දුම්රිය මාර්ගයක් තනන ලදී. එම යුද්ධය අතරතුර කාලයේදී ජපාන රජය තාවකාලිකව හිරෝෂිමාවේ පිහිටුවන ලද අතර, මෙයිජි අධිරාජ්‍යයා විසින් 1894 සැප්තැම්බර් 15 සිට 1895 අප්‍රේල් 27 දක්වා කාලය තුල සිය මූලස්ථානය හිරෝෂිමා මාලිගය තුල පවත්වාගෙන යනු ලැබීය. චීන-ජපන් යුද්ධය අවසන් කිරීම සඳහා චීන සහ ජපන් නියෝජිතයින් අතර පළමු වටයේ සාකච්ඡා 1895 පෙබරවාරි 1 සිට 4 දක්වා කාලය තුල හිරෝෂිමාවේදී පැවැත්විණ.[6] 19 වන සියවසේ අගභාගයේදී කපු මෝල් ඇතුළු තවත් කර්මාන්තශාලා රැසක් මෙම නගරයේ ස්ථාපනය කරන ලදී.[7] 1904 වසරේ රුසියානු-ජපාන යුද්ධය පැවතී සමයේදී යුධමය සැපයුම් නිෂ්පාදනය හා සංවර්ධනය කිරීම සඳහා හිරෝෂිමා නගරය තවදුරටත් කාර්මිකකරණය විය. හිරෝෂිමා දිස්ත්‍රික් වාණිජ ප්‍රදර්ශන ශාලාව 1915 දී ඉදිකරන ලද්දේ නව නිෂ්පාදන වෙළදාම් කිරීමේ සහ ප්‍රදර්ශනය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසය. පසුව එහි නම හිරෝෂිමා දිස්ත්‍රික් නිෂ්පාදන ප්‍රදර්ශන ශාලාව ලෙසත්, ඊටත් පසුව එය හිරෝෂිමා දිස්ත්‍රික් කාර්මික ප්‍රවර්ධන ශාලාව ලෙසත් වෙනස් කෙරිණි.[8]

පළමු ලෝක යුද්ධය පැවති සමයේදී ජපානය මිත්‍ර පාක්ෂික හමුදාවක් ලෙස යුද්ධයට එක්වීමත් සමග හිරෝෂිමාව යුධ කටයුතු වල කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. එම කාලයේදී ජර්මානු යුධ සිරකරුවන් 500ක් පමණ හිරෝෂිමා බොක්කේ පිහිටි නිනොශිමා දූපතේ සිර කර සිටියහ.[9] පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව තවදුරටත් නගරයක් වශයෙන් වර්ධනය වූ හිරෝෂිමාවට 1923 මැයි 4 දින කතෝලික පල්ලිය විසින් අපෝස්තළුවරයෙක්ද පත්කරන ලදී.

දෙවන ලෝක යුද්ධය සහ පරමාණු බෝම්බ ප්‍රහාරය (1939-1945) සංස්කරණය

දෙවන ලෝක යුද්ධය පැවති සමයේදී ජපාන දෙවන සාමාන්‍ය හමුදාවත්, චූගොකු ප්‍රාදේශීය හමුදාවත් සිය මූලස්ථානය බවට පත්කරගෙන තිබූයේ හිරෝෂිමා නගරයයි. හමුදා නාවික අංශයේ මූලස්ථානය උජිනා වරායේ පිහිටුවා තිබුණි. නගරය තුල යුධ සැපයුම් ගබඩා රැසක් තිබූ අතර එය වැදගත් නාවික තොටුපලක්ද විය.[10]

දෙවන ලෝක යුධ සමයේදී ටෝකියෝ සහ ජපානයේ තවත් නගර රැසකට එල්ල වූ බෝම්බ ප්‍රහාර නිසා විශාල වශයෙන් ජීවිත හා දේපල හානි සිදුවිය.[11] උදාහරණයක් වශයෙන් 128,000ක පිරිසක් ජීවත් වූ ටොයෝමා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාර වලින් එම නගරය මුළුමනින්ම පාහේ විනාශ වූ අතර, ටෝකියෝවට එල්ල වූ ප්‍රහාර වලින් 100,000ක් පමණ මියගියහ. නමුත් එවැනි ගුවන් බෝම්බ ප්‍රහාර හිරෝෂිමාවට එල්ල වූයේ නැත. එහෙත් නගරයට එවැනි තර්ජනයක් තිබෙන බව බලධාරීහු හඳුනාගෙන සිටියහ. එබැවින් හිරෝෂිමාව එවැනි ප්‍රහාර වලින් ආරක්ෂා කරගැනීම සඳහා නිවාස කඩාදමා ගිනිබාධක ඉදිකිරීමට වයස අවුරුදු 11-14 ත් අතර පාසල් සිසුන් යොදවන ලදී.[12]

1945 අගෝස්තු 6 වැනි සඳුදා දින පෙ.ව. 8:15 ට හිරෝෂිමා වැසියන් 80,000ක් පමණ සෘජුවම ජීවිතක්ෂයට පත්කරමින්, කර්නල් පෝල් ටිබෙට්ස්[13] විසින් පදවන ලද බෝයිං බී-29 සුපර්ෆෝට්‍රස් වර්ගයට අයත් එනෝලා ගේ නමැති ඇමරිකානු බෝම්බ හෙලීමේ ගුවන්යානය විසින් ලිට්ල් බෝයි නමැති පරමාණු බෝම්බය හිරෝෂිමාවට හෙලන ලදී. එම වසර අවසානය වනවිට එම ප්‍රහාරයෙන් තුවාල ලැබීම නිසා සහ අහිතකර විකිරණයන්ට නිරාවරණය වීම නිසා මියගිය ගණන 90,000-166,000 අතර විය.[14] පරමාණු බෝම්බ ප්‍රහාරයට පෙර නගරයේ ජනගහනය 340,000-350,000 අතර විය. දලවශයෙන් නගරයේ ගොඩනැගිලිවලින් 70%ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර තවත් 7%ක් දරුණු හානි වලට ලක්විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජයග්‍රාහී කණ්ඩායම විසින් ජපානය අත්පත්කරගෙන සිටි කාලය තුලදී, හිරෝෂිමා නගරයේ විනාශය දැක්වෙන ඡායාරූප සහ පරමාණු බෝම්බ ප්‍රහාරය පිලිබඳ පරීක්ෂණ කල කොමිසමේ වාර්ථා ලෝක ප්‍රජාවට හෙලිකිරීම වාරණය කර තිබුණි. එම වාරණය ඉවත් වූයේ ජපානයට ස්වයං පාලන බලය ලබාදුන් 1951 සැන් ෆ්‍රැන්සිස්කෝ සාම ගිවිසුමින් පසුවය.

නගරයේ නිල පුෂ්පය වනුයේ කනේරු මලයි. එලෙස කනේරු මල යොදාගැනීමට හේතුව වනුයේ, පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසුව නගරයේ පළමුව පිපුණු මල් වර්ගය වූයේ කනේරු මල් නිසාය.

මූලාශ්‍ර සංස්කරණය

  1. Hakim, Joy (1995). A History of Us: War, Peace and all that Jazz. New York: Oxford University Press. ISBN 0-19-509514-6.
  2. "The Origin of Hiroshima". Hiroshima Peace Culture Foundation. 2008-01-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-08-17.
  3. Scott O'Bryan (2009). "Hiroshima: History, City, Event". About Japan: A Teacher's Resource. සම්ප්‍රවේශය 2010-03-14.
  4. Kosaikai, Yoshiteru (2007). "History of Hiroshima". Hiroshima Peace Reader. Hiroshima Peace Culture Foundation.
  5. Bingham (US Legation in Tokyo) to Fish (US Department of State), September 20, 1876, in Papers relating to the foreign relations of the United States, transmitted to congress, with the annual message of the president, December 4, 1876, p. 384
  6. Dun (US Legation in Tokyo) to Gresham, February 4, 1895, in Foreign relations of United States, 1894, Appendix I, p. 97
  7. Jacobs, Norman (1958). The Origin of Modern Capitalism and Eastern Asia. Hong Kong University. p. 51.
  8. Sanko (1998). Hiroshima Peace Memorial (Genbaku Dome). The City of Hiroshima and the Hiroshima Peace Culture Foundation.
  9. සංරක්ෂිත පිටපත, http://www.hiroshimapeacemedia.jp/mediacenter/article.php?story=20100901131622626_en, ප්‍රතිෂ්ඨාපනය 2015-11-03 
  10. United States Strategic Bombing Survey (June 1946). "U. S. Strategic Bombing Survey: The Effects of the Atomic Bombings of Hiroshima and Nagasaki". nuclearfiles.org. 2004-10-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-07-26.
  11. Pape, Robert (1996). Bombing to Win: Airpower and Coercion in War. Cornell University Press. p. 129. ISBN 978-0-8014-8311-0. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  12. "Japan in the Modern Age and Hiroshima as a Military City". The Chugoku Shimbun. සම්ප්‍රවේශය 2007-08-19.
  13. The Atomic Bombing of Hiroshima සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine, U.S. Department of Energy, Office of History and Heritage Resources.
  14. "Frequently Asked Questions - Radiation Effects Research Foundation". Rerf.or.jp. සම්ප්‍රවේශය 2011-07-29.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හිරෝෂිමා&oldid=593949" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි