සිහසුනට පත්වීම සහ මානාභරණ පරාජය කිරීම

සිහසුනට පත්වීම සහ මානාභරණ පරාජය කිරීම

පරාක්‍රමබාහුගේ පාලන සමය, පොළොන්නරුවෙහි සඳකඩ පහන වැනි කලා කෘති බිහි වුනු, කලා ශිල්ප ආදියෙහි විශාල දියුණුවක් දක්නට ලැබුණු යුගයක් විය.

පරාක්‍රමබාහු සැණෙකින් රජරට ඔටුනු පළන් රජු බවට පත් විය. එහෙත් යුද්ධය නිමා වීමේ ලකුණු බොහෝ දුරස් විය. මානාභරණ නැවතත් පහර දුන්නේ ඔහුගේ හමුදා මහවැලි ගඟ තෙක් ආපසු හරවා යවමිනි. ඔහු මහවැලි ග‍ඟේ ස්ථාන දෙකින් රජරටට කඩා වැදීමට උත්සාහ කළේය. මේ අතරවාරයේ අනුරාධපුරය මුල් කර ගත් නාරායන නම් ප්‍රධානියෙක් කැරැල්ලක් ආරම්භ කළේය. නැවත වරක් උතුරේ පරාක්‍රමබාහුගේ බලය තර්ජනයට ලක් විය.

මෙම අවස්ථාවේ මානාභරණ නැවත නැගී නොසිටින්නට පරාජය කළ යුතුයයි පරාක්‍රමබාහු තීරණය කළේය. යුද්ධය මගින් ඔහු පරාජය කොට රුහුණේ බලය ද ඔහු වෙතින් ඉවත් කළ යුතු යයි පරාක්‍රමබාහු සිතුවේය. මහවැලි ග‍ඟේ තොටුපලවල බලය අල්ලා ගැනීමට රක්ඛ නම් සෙන්පතියා යවා පරාක්‍රමබාහු තෙමේම දක්ඛිණදේශයෙන් රුහුණ ආක්‍රමණය කළේය. තවත් හමුදාවක් මගින් නාරායන්ගේ කැරැල්ල මැඩ පවත්වන ලද්දේ මහවැලි ග‍ඟෙහි තොටුපලවල බලය සාර්ථක ලෙස අල්ලා ගත් රක්ඛ සෙනෙවියාට උතුරු දිසාවෙන්ද ආක්‍රමණයකට ඉඩ ප්‍රස්ථාව ලබා දෙමිනි.

පරාක්‍රමබාහු ඉක්මන් ජයග්‍රහණයක් බලාපොරොත්තු වූයේවී නමුදු එය සිදු නොවීය. මානාභරණ රක්ඛ සෙනෙවියා පරදවා රජරට දක්වා ආපසු පළවා හැරියේය. ඔහුගේම හමුදාව තුළ අභ්‍යන්ත‍ර ආරාවුල්වලට ද, මලය දේශයේදී ඔහුගේ හමුදාවන්ගේ පරාජයට ද පරාක්‍රමබාහු රජු මුහුණ දෙමින් සිටියේය. මානාභරණ නැවතත් පෙ‍ාළොන්නරුව ද ඒ සමගම රජරටින් විශාල ප්‍රදේශයක් ද අල්ලා ගත්තේය. මෙම හේතු නිසා පරාක්‍රමබාහු කළේ දකුණු ප්‍රදේශයේ හමුදා ආපසු කැඳවා තම සම්පූර්ණ බලය කැටිකර උතුරට යෙදවීමයි. තමන් නැවතත් කොටු වී ඇති බව මානාභරණට වැටහුණි. එළඹුණු වසර කීපය තුළ නොකඩවා කෙරුණු සටන් හේතුවෙන් දෙපාර්ශවයම හෙම්බත් විය. මානාභරණ නගරය අතහැර රුහුණට පලා ගියේය. ඔහුගේ හමුදාවන් මහවැලි නදිය පෙදෙසෙහිදී පරාක්‍රමබාහුගේ හමුදා විසින් පරාජය කොට විනාශ කරනු ලැබිනි. රජු ලෙඩ රෝග සහ දැඩි වෙහෙස හේතු කොට ගෙන මිය යාමට ආසන්න මොහොතේ ආපසු දකුණට පැමිණියේය.

අවුරුදු පහක් පමණ කාලයක් මුළුල්ලේ අඛණ්ඩව යුද්ධයක නියැලුනා වුවද පරාක්‍රමබාහු අවිවාදයෙන්ම මුළු ශ්‍රී ලංකාවේම පාලකයා විය. මෙම යුද්ධය ඔහුගේ පාලන කාලය තුළ සිදුවූ සුවිශේෂ සිද්ධීන්වලින් එකක් ලෙස පෙනී යන්නේ 'දෙවනගල' අසලින් හමුවන ගල් පුවරුවක කොටා ඇති ආඥාවක් වැනි තවත් ඒ හා සමාන ලේඛන කිහිපයක ඒ බව දක්වා තිබීම නිසාය. මානාභරණගේ පුතා පොළොන්නරුවට කැඳවා ඔහු සමඟ සාමය ඇතිකර ගැනීමෙන් පසු අලංකාර උත්සවයක් පවත්වා ඔටුනු පැළඳවීම සිදු කළේය.