අයිස් හොකී යනු හිම පෙතක් මත ක්‍රීඩා කරනු ලබන, ශාරීරික ඝට්ටන සහිත, කණ්ඩායම් ක්‍රීඩාවකි. ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ ඔවුන්ගේ අයිස් හොකී පිති භාවිතයෙන් වල්කනීකෘත රබර් ඩිස්කය ප්‍රතිවාදී පිලේ දැල වෙතට විදීම මගින් ලකුණු රැස් කිරීමට උත්සාහ කරති. අයිස් හොකී කණ්ඩායමක් සාමාන්‍යයෙන් ක්‍රීඩකයින් හය දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ ගෝලරකින්නා සහ, ඩිස්කය ලබාගෙන ප්‍රතිවාදී පිලට එරෙහිව ගෝල රැස්කිරීම සඳහා අයිස් පෙතේ ඒ මේ අතට ලිස්සා යන ක්‍රීඩකයින් පස්දෙනෙකුගෙනි.

අයිස් හොකී
ක්‍රීඩාවේ අවස්ථාවක්
උසස්ම පාලන මණ්ඩලයජාත්‍යන්තර අයිස් හොකී සම්මේලනය (IIHF)
පළමුව ක්‍රීඩා කලේ18වන සියවසේදී
ගුණාංග
කණ්ඩායම් සාමාජිකයෝ06
වර්ගීකරණයකණ්ඩායම් ක්‍රීඩා, හිම ක්‍රීඩා
පැවතීම
ඔලිම්පික්

වේගවත්, ශාරීරික ක්‍රීඩාවක් වන අයිස් හොකී උතුරු ඇමෙරිකාවේ (විශේෂයෙන්ම කැනඩාවේ හා උතුරු එක්සත් ජනපදයේ), උතුරු සහ නැගෙනහිර යුරෝපා රටවල ඉතා ජනප්‍රිය වේ. මෙම ක්‍රීඩාවට අති මහත් ජනප්‍රියත්වයක් හිමි කැනඩාවේ ජාතික ශීත ඍතු ක්‍රීඩාව වන්නේ ද අයිස් හොකී වේ. උතුරු ඇමෙරිකාවේ, පිරිමි හොකී සඳහා ඉහළම මට්ටම මෙන්ම වඩාත් ජනප්‍රිය ද වන්නේ ජාතික හොකී ලීගය (NHL) යි. රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ උසස්ම ලීගය වන්නේ කොන්ටිනෙන්ටල් හොකී ලීගය (KHL) යි. අයිස් හොකී ක්‍රීඩාවේ අන්තර්ජාතික පරිපාලනය සිදු කරනු ලබන්නේ අන්තර්ජාතික අයිස් හොකී ෆෙඩරේෂණය (IIHF) යි. IIHF මගින් අන්තර්ජාතික තරග කළමනාකරණය මෙන්ම IIHF ලෝක ශ්‍රේණිගත කිරීම ද සිදු කෙරේ. ලොව පුරා රටවල් 74 ක අයිස් හොකී ෆෙඩරේෂණ පවතී.

18 වන සහ 19 වන ශතවර්ෂ වල දී එක්සත් රාජධානියේ සහ අන් ස්ථාන වල දඬු සහ බෝල භාවිතයෙන් සිදු කරනු ලැබූ සරල ක්‍රීඩා මගින් අයිස් හොකී බිහිවන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. මෙම ක්‍රීඩා උතුරු ඇමෙරිකාවට ගෙන එනු ලැබූ අතර නූතන අයිස් හොකී ක්‍රීඩාව වැඩිදියුණු වූයේ කැනඩාවේ ය. 1875, මාර්තු 3 දින කැනඩාවේ මොන්ට්‍රියල් හි දී ලොව ප්‍රථම ගෘහස්ත හොකී තරගය පවත්වනු ලැබීය. එම තරගයේ දී භාවිත කළ හිම පෙතේ දිග සහ රබර් ඩිස්කය භාවිත කිරීම වැනි ඇතැම් ලක්ෂණ අද දක්වාම ඉතිරිව පවතී. වෘත්තීමය නොවන අයිස් හොකී ලීග 1880 ගණන් වලදී ආරම්භ වූ අතර වෘත්තීමය අයිස් හොකී ආරම්භ වූයේ 1900 පමණ කාලයේ දී ය. අයිස් හොකී ඔලිම්පික් ක්‍රීඩාවක් වන අතර ප්‍රථම වට ඔලිම්පික් තරගාවලියට එක් වූයේ 1920 ගිම්හාන ඔලිම්පික් වලදී ය.

අන්තර්ජාතික තරග වලදී, රටවල් හයක (Big six) ජාතික කණ්ඩායම් හයක් අයිස් හොකී ක්‍රීඩාවේ ආධිපත්‍යය පතුරුවා ගෙන සිටි. ඒ කැනඩාව, චෙක් ජනරජය, ෆින්ලන්තය, රුසියාව, ස්වීඩනය සහ එක්සත් ජනපදය යි. මෙතෙක් පැවති ඔලිම්පික් තරගාවලි වලදී පිරිමි අයිස් හොකී සඳහා පදක්කම් 69 ක් පිරිනැමී ඇති අතර එම රටවල් හයට ඉන් අහිමිව ඇත්තේ පදක්කම් හයක් පමණි. වාර්ෂික අයිස් හොකී ලෝක ශුරතාවලි වලදී පිරිනැමුණු පදක්කම් 201න් 177ක්ම දිනාගෙන ඇත්තේ එම රටවල් හය යි. 1953 සිට මේ දක්වා, Big six හැර වෙනත් රටවල් විසින් දිනාගෙන ඇත්තේ පදක්කම් පහක් පමණි. ඔලිම්පික් කාන්තා ඉසව්ව සඳහා පිරිනැමුණු සියළු පදක්කම් 12 සහ IIHF ලෝක කාන්තා ශුරතාවලි පදක්කම් 36ම දිනාගෙන ඇත්තේ එම රටවල් හය විසිනි. එමෙන්ම කාන්තා ඉසව්වේ සියලු රන් පදක්කම් දිනාගෙන ඇත්තේ කැනේඩියානු ජාතික කණ්ඩායම සහ එක්සත් ජනපද ජාතික කණ්ඩායම විසිනි.

කැනඩාව, එක්සත් ජනපදය සහ ලැට්වියාව හා ස්වීඩනය වැනි යුරෝපීය රටවල් කිහිපයක "හොකී" යන නමින් පමණක් අයිස් හොකී ක්‍රීඩාව හඳුන්වනු ලබයි. "අයිස් හොකී" යන නාමය භාවිත වන්නේ "හොකී" යන පදය, වැඩිමනක්ම field හොකී හැඳින්වීම සඳහා භාවිත කරන දකුණු ඇමෙරිකානු, ආසියානු, අප්‍රිකානු, ඕස්ට්‍රේලියානු සහ යුරෝපයේ ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය වැනි රටවලයි. රුසියාවේ සහ යුක්රේනයේ, බැන්ඩි ක්‍රීඩාව හැඳින්වීම සඳහා ද "හොකී" යන නම භාවිත කෙරේ. එම රටවල අයිස් හොකී වැඩි වශයෙන් හැඳින්වෙන්නේ "hockey with puck" යනුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=අයිස්_හොකී&oldid=505260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි