"ආතර් සී. ක්ලාක්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
සදා අමරණීය ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌
 
විශ්ව කීර්තිධර ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ දෙවැනි ගුණ සමරුව 2010 මාර්තු 19 වැනි දිනට යෙදුණු අතර ඒ නිමිත්තෙන් නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය වාර්ෂිකව සංවිධානය කරන "ආතර් සී. ක්‌ලාක්‌ ගුණ සමරු දේශනය" මාර්තු මස 24 වැනි දින බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අන්තර්ජාතික අධ්‍යයනයන් පිළිබඳ බණ්‌ඩාරනායක මධ්‍යස්‌ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වූ විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂය ක්‌ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ ලොව වඩාත් ම ප්‍රසිද්ධ වූයේ 1945 දී "වයර්ලස්‌ වර්ල්ඩ්" (Wireless World) සඟරාවට ලිපියක්‌ යවමින් ඉදිරිපත් කළ, චන්ද්‍රිකා ත්‍රිත්වයක්‌ භාවිත කරමින් කළ හැකි අන්තර් මහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඵෙතිහාසික සංකල්පය වන "භූ ස්‌ථාවර චන්ද්‍රිකා" සංකල්පය නිසා ය.
 
50 දශකයෙන් පසු තම ජීවිත කාලයෙන් වැඩි කාලයක්‌ ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ විශ්ව කීර්තියට පත් ක්‌ලාක්‌ මහතා විද්‍යා හා තාක්‍ෂණ ක්‌ෂේත්‍රයට කළ මෙහෙය සැලකිල්ලට ගනිමින් ලංකාවේ ඉහළ ම පුරවැසි සම්මානය වන ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය.
 
ශ්‍රී ලංකා රජය විසින් ඔහු වෙත දක්‌වන ලද තවත් සුවිශේෂ වූ සජීවී උපහාරයක්‌ වන්නේ නවීන තාක්‍ෂණ පිළිබඳ පර්යේෂණ සංවර්ධන මෙන්ම පුහුණු කටයුතු සඳහා වන ව්‍යවස්‌ථාපිත රාජ්‍ය ආයතනයක්‌ වන නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය එනමින් නම් කිරීම ය. වර්තමානයේ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශයේ විෂය පථය තුළ ක්‍රියාත්මක වන මේ ආයතනය ඉලෙක්‌ට්‍රොනික, තොරතුරු හා සන්නිවේදන, අභ්‍යවකාශ තාක්‍ෂණ යෙදවුම් හා රොබෝ තාක්‍ෂණය ඇතුළු නවීන තාක්‍ෂණික විෂය ක්‌ෂේත්‍රයන්හි පර්යේෂණ හා සංවර්ධන කටයුතු, පුහුණු කටයුතු සඳහා කෙරෙන තාක්‍ෂණික සේවාවන් ඔස්‌සේ කර්මාන්ත ක්‌ෂේත්‍රය වෙත නවීන තාක්‍ෂණ ක්‍රියාවලිය ප්‍රවර්ධනයෙහි ලා ක්‍රියා කරයි. ආයතනයේ අනුශාසක ලෙස කටයුතු කළ ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ ගුණානුස්‌මරණය පිණිස පැවැත්වෙන ආතර් සී. ක්‌ලාක්‌ ගුණ සමරු දේශනය ආයතනය මගින් 2009 වසරේ සිට සැම වසරක ම සිදු කරමින් පවතී.
 
ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ ලොව වඩාත් ප්‍රසිද්ධ ව ඇත්තේ විද්‍යාත්මක ප්‍රබන්ධ කතාකරුවකු ලෙසිනි. එහෙත් ලොව ප්‍රමුඛතම විද්‍යා ප්‍රබන්ධකරුවා වීමට ක්‌ලාක්‌ මහතාට අවශ්‍ය නො වී ය. ඔහු ප්‍රබන්ධ කතා කලාවට යොමු වූයේ ජීවත් වීමට යම් මුදලක්‌ සොයා ගැනීමේ අරමුණිනි. ආතර් සී. ක්‌ලාක්‌ ලියූ විද්‍යා ප්‍රබන්ධ ගණන 100කට ආසන්න ය. එයින් 2001 අභ්‍යවකාශ චාරිකාව (2010 Space Odyessey), 2010 - 2 වැනි අභ්‍යවකාශ චාරිකාව (2010 Odyessey Two), 2061 - තුන් වැනි චාරිකාව (2061 Odeyssey Three), 3001 වැනි ජනප්‍රිය ප්‍රබන්ධ සිංහලයට පවා පරිවර්තනය වී තිබේ. මෙයින් ක්‌ලාක්‌ ගේ 2001, 2010 ප්‍රබන්ධවලින් නිර්මිත Space Odyssey One & Two චිත්‍රපට ජනතා ප්‍රසාදය ළඟා කරගත් ආදායම් වාර්තා තැබූ චිත්‍රපට වේ.
 
ක්‌ලාක්‌ මහතා ඔහු ගේ විද්‍යා ප්‍රබන්ධ කතා, කෙටිකතා ආදියෙන් සැම විට ම අලුත් දෙයක්‌ ඉදිරිපත් කළේ ය. ඔහු ගේ අනාවැකි බොහෝ විට සඵල විය.
 
DNA නම් සෛලගත ද්‍රව්‍ය විශ්ලේෂණය මගින් ජීව විද්‍යාත්මක සාක්‍ෂි සොයාගත හැකි බව, වෘත්තීය අපරාධකරුවන් සමාජයෙන් අතුගා දැමීමට ඉලෙක්‌ට්‍රොනික තාක්‍ෂණය සමත් වන බව, මිනිසකු ඉහළ අභ්‍යවකාශයට ගිය විට මිනිසා දිය යට කිමිදීමේ තත්ත්වයට සමාන තත්ත්වයක්‌ හා වින්දනයක්‌ මෙන්ම බර රහිත තත්ත්වයක්‌ අත්දැකිය හැකි වන බව, මිනිසා අනාගතයේ අභ්‍යවකාශයේ සාදන මන(කල්පිත දූපතට පෘථිවියේ සිට සෝපානයක්‌ සාදන බවත් ඒ සඳහා අමුද්‍රව්‍ය ලෙස කාබන් නැනෝ ෆයිබර් යොදා ගන්නා බව (වර්තමානයේ විද්‍යාගාර තුළ මෙය අත්හදා බැලෙමින් පවතී.) යනාදිය මේ සඳහා උදාහරණ කිහිපයකි.
 
එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමර්සෙට්‌ ප්‍රාන්තයේ "මයින්හෙඩ්" නම් ගම්මානයේ දී 1917 දෙසැම්බර් 16 වැනි දා උපන් ආතර් චාල්ස්‌ ක්‌ලාක්‌ මහතා ගේ මාපියන් වන්නේ පියා "චාල්ස්‌ රයිට්‌ ක්‌ලාක්‌" සහ මව "නෝරා මේරි" (විල්ස්‌) ය. කුඩා ආතර් මූලික අධ්‍යාපනය ලැබුවේ මයින්හෙඩ්හි පිහිටි "හුයිෂ්ස්‌ ග්‍රැමර් ස්‌කූල්" නම් පාසලෙනි. ක්‌ලාක්‌ට යන්තම් අවුරුදු 13 ලබන විට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු ව සිටි ඔහු ගේ පියා අකාලයේ මිය ගියේ ය. මේ හේතුවෙන් දරුවන් සිව් දෙනකු ගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස ක්‌ලාක්‌ට කුඩා කල දී ම පවුලේ බර දරන්නට සිදු විය. ඔහු ගේ පාළුව හා තනිකම මකා ගැනීමට තම පියාට අයත් ගොවිපළෙහි දී මිතුරන් සමග රොකට්‌ නිර්මාණය කර යෑවීමටත් රාත්‍රී අහස නිරීක්‍ෂණය කිරීමටත් ඔහු පුරුදු විය.
 
1936 දී සිවිල් සේවයට ඇතුළු වූ තරුණ ක්‌ලාක්‌ 1941 සිට 1945 දක්‌වා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් ඉංජිනේරුවකු ලෙස සේවය කළ අතර 1948 දී කිංස්‌ කෝලේඡ් සරසවියෙන් භෞතික විද්‍යාවේදී පළමු පෙළ ගෞරව උපාධියක්‌ ද ලබා ගත්තේ ය. ක්‌ලාක්‌ මහතා බ්‍රිතාන්‍ය අන්තර් ග්‍රහලෝක සංගමයට ද බැඳී අනාගත අභ්‍යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ දියත් කළ අතර ඔහු ගේ විද්‍යාත්මක ගමන් මඟට නව පෙරළියක්‌ එක්‌ කළේ 1945 වසරේ දී "වයර්ලස්‌ වර්ල්ඩ්" (Wireless World) සඟරාව තුළින් ලෝකයට හඳුන්වා දුන් "භූ ස්‌ථාවර චන්ද්‍රිකා" සංකල්පයයි. එම සංකල්පය මත යමින් අද ලෝකය ම එක ම සන්නිවේදන ජාලයක්‌, සන්නිවේදන පවුලක්‌ බවට පත් කිරීමට සමත් වී ඇති අතර එය ඔහු චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස හැඳින්වීමට තරම් වාසනාව ගෙනාවේ ය. (Father of the Communication Satellite).
 
ආතර් සී. ක්‌ලාක්‌ මහතා දක්‍ෂ කිමිදුම්කරුවෙකි. දිය යට කිමිදීමට ඕස්‌ටේ්‍රලියාවේ මහා බාධක පරය වෙත "හිමාලයා" නම් නැවෙන් ගමන් ගන්නා අතර 1954 දී හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි ක්‌ලාක්‌ මහතා 1956 දී ශ්‍රී ලංකාවේ ස්‌ථිර පදිංචියට පැමිණියේ ශ්‍රී ලංකාව ඔහු ගේ සිත්ගත් ම රට වූ බැවිනි. 1975 දී ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසිභාවය ලද ක්‌ලාක්‌ මහතා 2008 මාර්තු 19 දින මිය යන තෙක්‌ ම ශ්‍රී ලංකාවේ ජීවත් විය. විදෙස්‌ රටවලින් කළ ආරාධනයන් ප්‍රතික්‌ෂේප කළ ඔහු කිසි දා ශ්‍රී ලංකාව හැර ගියේ නැත.
 
වර්ෂ 1982 දී යුනෙස්‌කෝව විසින් කාලිංග සම්මානයත්, චන්ද්‍රිකා සන්නිවේදනය වෙනුවෙන් 1982 දී "මාර්කෝනි" සම්මානයත්, 1986 දී විද්‍යාජෝති සම්මානයත්, 1998 දී බ්‍රිතාන්‍ය මහ රැජින විසින් පිරිනැමූ "නයිට්‌" පදවියත්, ශ්‍රී ලංකාවේ ඉහළ ම පුරවැසි සම්මානය වන 2005 වසරේ පිරිනැමූ "ශ්‍රී ලංකා අභිමාන්‍ය" සම්මානය ත් වැනි දෙස්‌ විදෙස්‌ ත්‍යාග සහ සම්මාන
 
රැසකින් පිදුම් ලැබූ ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 1979 සිට 2001 වසර දක්‌වා දශක දෙකකට වැඩි කාලයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයයේ කුලපතිවරයා ලෙස කටයුතු කළේ ය.
 
1999 වර්ෂයේ පෙබරවාරි මස 02 වැනි දින 50 වසරක චන්ද්‍රිකා සන්නිවේදන අගයමින් ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ රූපය රැගත් මුද්දර 02ක්‌ සහිත මුල් දින කවරයක්‌ රජය මගින් නිකුත් කෙරිණි. එහි දී ආතර් සී. ක්‌ලාක්‌ මහතා සිය අතීතය ආවර්ජනය කළේ "අපි ඔක්‌කොම තැපැල් පවුලක්‌. මම මුලින් වැඩ කළේ බිෂොප් ලයිඩෙයාර්ඩ් (Bishop Lydeard)හි පිහිටි තැපැල් හලේ. එදා මම මේ වගේ දෙයක්‌ ගැන හීනෙකින් වත් හිතුවේ නෑ. මගේ ගමන මට ම සිහිනයක්‌" යනුවෙනි.
 
මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල ගත්කරුවකු ලෙස ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට කියද්දී ආතර් සී. ක්‌ලාක්‌ මහතා විද්‍යාත්මක චින්තනයෙන් ශ්‍රී ලංකාවේ පරිසරය, සත්ත්ව ලෝකය තම කෘති තුළින් ලොව කරා රැගෙන ගියේ ය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය, ශ්‍රී පාදස්‌ථානය, අනුරාධපුරය, පොළොන්නරුව ඔහු ගේ සිත්ගත් ස්‌ථාන විය.
 
2005 ඔක්‌තෝබර් මස චන්ද්‍රිකා සන්නිවේදනය සංකල්පයට 60 වසරක්‌ පිරීම නිමිත්තෙන් ද මොරටුව ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය දැවැන්ත විද්‍යා ප්‍රදර්ශනයක්‌ පවත්වා එතුමාට උපහාර දැක්‌වූ අතර එම වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වැදගත් මෙන්ම ඉහළ ම ජනාධිපති සම්මානයක්‌ වන "ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 2007 දෙසැම්බර් 16 වැනි දා සිය 90 වැනි ජන්ම දිනය ශ්‍රී ලංකා ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස සමරා 2008 මාර්තු 19 වැනි දින ශ්‍රී ලංකාවේ දී ම ලොවින් සමුගත්තේ ය.
 
විශ්ව කීර්තිධර ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ පළමු ගුණසමරුව නිමිත්තෙන් ගුණ සමරු දේශනයක්‌ 2009 මාර්තු 19 වැනි දින "අභ්‍යවකාශ තාක්‍ෂණයේ ජාතික සංවර්ධන උපයෝගිතා" (Forays into Space - New Direction for National Development)) නමින් අභ්‍යවකාශ විද්‍යාව හා එහි ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව විශ්ව කීර්තියට පත් ඉන්දීය විද්‍යාඥයකු වන ආචාර්ය ක්‍රිෂ්ණස්‌වාමි කස්‌තුරිරංගන් මැතිතුමා විසින් බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
 
2010 මාර්තු 19 දිනට යෙදෙන ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ දෙවැනි ගුණසමරුව නිමිත්තෙන් ද සමරු දේශනයක්‌ පැවැත්වීමට ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ආරාධිත දේශනය ඉන්දියාවේ විද්‍යා හා තාක්‌ෂණ අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය රාමස්‌වාමි මහතා විසින් 2010 මාර්තු 24 දින ප.ව. 4.15ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අන්තර් ජාතික අධ්‍යයනයන් පිළිබඳ බණ්‌ඩාරනායක මධ්‍යස්‌ථාන ශ්‍රවණාගාරයේ දී ගරු විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍ය මහාචාර්ය තිස්‌ස විතාරණ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස විශ්ව කීර්තියට පත්, සම්මානනීය ශ්‍රී ලාංකික පුරවැසියකු වූ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ අත් කර දුන් ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ නාමය සදා අමරණීය වනු ඇත.
 
 
සුදර්ශන රූපසිංහ
sudarshana@accmt.ac.lk
www.accimt.ac.lk
(ආතර් සී ක්ලාක් ආයතනයේ මාධ්‍ය හා මහජන සම්බන්ධතා නිලධාරී චින්තන විජයවර්ධන මහතාගේ ලිපියක් ඇසුරිනි)
-------------------------------------------------------------------------------------------------------------------------
ආතර් සී ක්ලාක්
 
"https://si.wikipedia.org/wiki/ආතර්_සී._ක්ලාක්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි