ලූල්බද්දුව යනු කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් සුන්දර ගම්මානයකි. එහි ඉතිහාසය 15 වන සියවස දක්වා විහිදී ඇති බවට සාධක අවට ප්‍රදේශවලින් හමුවෙයි.ලූල්බද්දුව යන ගම්මානයට එම නම කෙසේ ලැබුණේදැයි පැහැදිලි සාක්ෂි හමු නොවේ.මන්දයත් කිසිදු පුරා විද්‍යා සාක්ෂියක් හෝ පෘතුගීසි ලේඛනවලින් ඔබ්බට වූ යටගියාවෙන් සොයා ගත හැකි ලියවිල්ලක ලූල්බද්දුව යන ග්‍රාම නාමය සටහන් නොවන බැවිනි.එහෙත් ජනප්‍රවාදයන් කිහිපයක් ලූල්බද්දුවට එම නම ලැබීම පිළිබඳව ගම්මුන් අතර මත කිහිපයක් පවතී.ඉන් වඩාත් මුල් බැසගත් හා වාග් විද්‍යාත්මක බිඳීම් අනුව යම් තාක් දුරකට හෝ විශ්වාස කළ හැක්කේ නූල් කැටි බැද්ද , නූල් බැද්ද වූ බවත් පසුව ලූල්බද්දුව ලෙස ව්‍යවහාරයට ගැනුනු බවයි.එම මතය සනාථ කිරීමට කිසිදු සාධකයක් ලූල්බද්දුව ගම්මානයෙන් හමු නොවුනත් ගම්මානයේ පිහිටි කපු වත්ත නම් ඉඩමකින් නූල් කැටීම සඳහා කපු වගා කර තිබූ බව ගම්මුන්ගේ මතයයි. නූල් කැටි නොඑසේනම් රෙදි විවීමේ තාක්ෂණය දත් පිරිසක් ගම්මානයේ විසූ බවට වන සාක්ෂි හමු නොවේ.ලූල්බද්දුව යන නාමය තැනුනු බවට වන තවත් ජනශ්‍රැතියක් ඇත.එනම් ගම්මානය අසලින් ගලා යන ඇල මාර්ගය ඔස්සේ බෙන්තර ගඟේ සිට යාත්‍රා කරන ඔරුපාරු විඩාව සංසිඳවා ගැනීම සඳහා ලූල්බද්දුව ප්‍රදේශයේ නතර කළ බවත් එහි සිටි පිරිස් ඇලේ සිටි ලූල්ලුන්ට බත් දමන ලද ස්ථානය පසු කලෙක ලූල්බද්දුව ලෙස හැඳින්වූ බවත්ය.පෙර මතය හා සසඳන විට එය සත්‍යයට වඩාත් දුරස්ථ බවක් පෙන්නුම් කරයි.

පිහිටීම සංස්කරණය

ලූල්බද්දුව ගම්මානයට පිවිසිය හැකි මාර්ග මෙසේය: කොළඹ සිට පැමිණෙන්නෙකුට දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ පැමිණ වැලිපැන්න පිවිසුමෙන් පිටවී එතැනින් මතුගම දෙසට පිවිස ලෙව්වාන්දූව මන්සන්ධියෙන් අවිත්තාව දෙසට හැරී කිලෝ මීටර් 8 ක් පමණ ගිය තැන ලූල්බද්දුව හමුවෙයි. නැතහොත් ගාලු පාරේ අලුත්ගමින් මතුගම පාරට පිවිස ලෙව්වන්දුව මන්සන්ධියෙන් අවිත්තාව පාරට පිවිසුන විටද ලූල්බද්දුවට ළගාවිය හැකිය. මතුගම නගරයට පිවිසෙන්නෙකුට එතැන් සිට අලුත්ගම පාරේ ලෙව්වන්දූව මන්සන්ධියෙන් අවිත්තාව පාරට හැරී ලූල්බද්දුවට ළගාවිය හැකියි.

කන්නන්ගර සමාධිය සංස්කරණය

නිදහස් අධ්‍යාපනයේ පියාණන්වූ ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ගේ පිය ගම්මානය ලූල්බද්දුවයි. ජෝන් ඩැනියෙල් කන්නන්ගර නම් කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ පියා උපන්නේ ලූල්බද්දුව ගම් පියසෙහිය.ආචාර්ය [[සී.ඩබ්.ඩබ්. කන්නන්ගර]ශ්‍රීමතාණන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර සැමගේ බුහුමනට පාත්‍රවන පරිදි ලූල්බද්දුව ගමෙහි කන්නන්ගර සමාධිය ලෙස නම් කර ඇති සුන්දර නිසංසල භූමියක් වෙයි. එය ලක් දනන්ගේ ගෞරවයට නිබදව පාත්‍ර වෙයි.මේ වනවිට ගම්වාසීන්ගේ සහ දානපතියන්ගේ අධාර උපකාර මත එහි කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ පිළරුවක්ද ඉදිකර තිබේ.නිදහස් අධ්‍යාපනයේ පිහිට ලද මෙරට සෑම පුරවැසිවයකුම නැරඹිය යුතු ස්ථානයක් ලෙස කන්නන්ගර සමාධිය හැදින්විය හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=ලූල්බද්දුව&oldid=432977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි