පැතුරුම් පත්

(පැතුරුම්පත් වෙතින් යළි-යොමු කරන ලදි)

Spreadsheet එකක් හෝ පැතුරුම් පතක් යනු පරිගණකය තුළ ඇති ඉලෙක්ට්‍රොනික කොටුරූල් කොළයක් (Electronic Grid) හෝ කොටුරූල් පොතක් ලෙස පැහැදිලි කළ හැකිය. මෙහි ඕනෑම කොටුවකට පෙළක්, එනම් වචනයක් හෝ වචන සමූහයක් (Text) , අගයක් (Value), සූත්‍රයක් (Formula) යන ඕනෑම දෙයක් ඇතුළු කළ හැකි වන අතර විශේෂ ගණනය කිරීම් සඳහා ම වෙන් වූ ශ්‍රිත (Functions) ගණනාවක් ද ඕනෑම පැතුරුම් පතක අන්තර්ගත කර ඇත.


OpenOffice.org Calc spreadsheet

මුල් යුගයේ බොහෝ පැතුරුම්පත්වල එක් පිටුවක් පමණක් තිබූ අතර එයට උදාහරණ ලෙස Visicalc හා Multiplan යන පැතුරුම්පත් නම් කළ හැකිය. මේවායින් Visicalc නම් පැතුරුම්පත පළමු පැතුරුම්පත ලෙස සැලකෙන අතර එය නිර්මාණය වූයේApple II නම් වූ පරිගණකයටයි.


පසු කලෙක මෙම ලැයිස්තුවට SuperCalc හා Quattro Pro යන ඒවා ද එකතු විය. ක්‍රම ක්‍රමයෙන් පැතුරුම්පත්වලට පිටු බොහෝ ගණනක් එකතු වූ අතර එයට උදාහරණ වශයෙන් Lotus 123 මෙන්ම MS Excel හා OpenOffice.org Calc ද දැක්විය හැකිය.


මුල් කාලයේ සිටම පැතුරුම්පත්වල ගුණාත්මක බව ඉතා ඉහළ මට්ටමක පැවතිණි. Visicalc නම් පැතුරුම්පතෙහි ද ගණිතමය හා මූල්‍ය අංශයේ බොහෝ ගණනය කිරීම් සඳහා ශ්‍රිත ගණනාවක් තිබීම අද කෙනෙකුට විශ්වාස නොකළ හැකි තරමේ කාරණයක් වනු ඇත. Lotus 123 (Version 2.0) වන විට න්‍යාස ගුණනය (Matrix Multiplication) මඟින් සමගාමී සමීකරණ (Simultaneous Equations) විසඳීමේ පහසුකම පවා පැතුරුම්පතට ඇතුළු කර තිබීම මෙයට දිය හැකි හොඳම උදාහරණයකි.


Lotus 123 නම් පැතුරුම්පත ලෝකයට බිහි වීමත් සමඟම පැතුරුම්පතකින් ප්‍රධාන අවශ්‍යතා තුනක් ඉෂ්ඨ කර ගත හැකි විය. ඒවා නම් පැතුරුම්පතක කොටු භාවිතා කාරමින් සාමාන්‍ය ගැටළු විසඳීම (Spreadsheet Applications), ඇතුළු කළ දත්ත මඟින් අවශ්‍ය ප්‍රස්ථාරයක් ලබා ගැනීම හා දත්ත ඇතුළු කිරීමේදී ඒවා දත්ත ගොනු (Databases) ලෙස ඇතුළු කිරීමෙන් දත්ත ගොනුවලට අදාල ගැටලු විසඳීම යන කාරණා තුනයි. Lotus 123 වල 123 යන ඉලක්කම් 3න් හැඟවෙන්නේ මෙයයි.

"https://si.wikipedia.org/w/index.php?title=පැතුරුම්_පත්&oldid=68433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි