මැටි භාවිතයෙන් සිදු කරන සජීවීකරණ

මැටි යොදා ගෙන සිදු කරන සජීවීකරණයන් චලන-නැවතුම් සජීවීකරණ කාණ්ඩයට අයත් එක්තරා සජීවීකරණ ආකාරයක් වේ. සජීවීකරණයට ලක් වන එක් එක් කොටස එනම් චරිතය හෝ පසුබිම විරූපණය කළ හැක. (එනම් ඒවා ආහන්‍ය ද්‍රව්‍යයකින් නිර්මාණය කර ඇත - බොහෝ විට මේ සඳහා සුවිකාර්ය මැටි භාවිත‍ කෙරේ.) Claymotion නම් පදය ඇමරිකා එක්සත් ජනපදයේ ලියා පදිංචි වෙළඳ නාමයක් වන අතර එය 1978 වසරේ දී විල් වින්ටන් විසින් සිය මැටි ආශ්‍රයෙන් නිර්මිත සජීවීකරණ චිත්‍රපට හැඳින්වීම සදහා භාවිතා වන නාමය ලෙසට ලියාපදිංචි කරන ලදී. ‍මෙම පදය ඉලක්කගත වෙළඳනාමයක් ලෙස නොසැ‍ලකෙන නමුත් එය සුවිකාර්ය ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය‍ කෙරෙන සජීවීකරණයන් හැඳින්වීම සඳහා එක්සත් ජනපදය තුළ පොදුවේ භාවිත වන වෙළඳ නාමය බවට පත්ව තිබේ.

සියලු සාම්ප්‍රදායික සජීවීකරණ නිර්මාණ එකම ආකාරයකට නිෂ්පාදනය කෙරේ. මේවා කුටීර සජීවීකරණයේ හෝ චලන-නැවතුම් සජීවීකරණය මඟින් නිර්මාණය කළ ඒවා විය හැක. එක් එක් රූප රාමුව හෙවත් නිශ්චල ඡායාරූපය ඡායා පටලයක් හෝ ඩිජිටල් මාධ්‍යයක් මත පටිගත කෙරෙන අතර අනතුරුව ඒවා අනුක්‍රමයෙන් සීඝ්‍රයෙන් ප්‍රදර්ශනය කරනු ලැබේ. තත්පරයකට රාමු 10-12 සීඝ්‍රතාව ඉක්මවා ප්‍රදර්ශනය කෙරෙන විට සන්තතික චලනයක් සිදුවන බවට බොහෝ දුරට පිළිගත හැකි මට්ටමේ හැඟීමක් ‍ප්‍රේක්ෂකයන්ට ලැබේ. සියලු චලන රූප (චිත්‍රපට වීඩියෝ ක්‍රීඩා සහ zoetrope ආදිය) සඳහා චලනය පිළිබඳ හැඟීමක් නිර්මාණය කිරීම පිළිබඳ කොටස සත්‍ය වන නමුත් පරිගණක ආශ්‍රයෙන් සිදු කෙරෙන නිර්මාණ කටයුතුවලදී යොදා ගැනෙන ක්‍රමවේදයන් තුළ රූප රාමුවෙන් රූප රාමුවට නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සිදු නොවේ.

නිෂ්පාදනය සංස්කරණය

මැටි භාවිතයෙන් චලන නැවතුම් සජිවීකරණයක් නිර්මාණය කිරීම ඉතා අපහසු කාර්යයකි. සාමාන්‍ය චිත්‍රපටයක් තත්පරයට රූපරාමු 24 ක සීඝ්‍රතාවයකින් ප්‍රදර්ශනය කෙරේ. සම්මත ක්‍රමයට අනුව එක් දර්ශණයක රූපරාමු යුගලක් ප්‍රදර්ශනය කිරීම නිසා සාමාන්‍යයෙන් එක තත්පරයක චිත්‍ර පට කොටසක් තුළ වෙනස්වීම් 12 ක් සිදු වෙයි. විනාඩි 30 ක චිත්‍ර පටයක් සදහා මේ අනුව අවශ්‍ය වන රූපරාමු ලබාගැනීමට අදාල රූපය දල වශයෙන් 21600 වතාවක් නවතමින් චලනය කල යුතුය. සම්පුර්ණ දිගින් යුතු (විනාඩි 90 ක) චිත්‍රපටයක් සදහා දළ වශයෙන් මෙවන් නැවතුම් 64800 ක් අන්තර්ගත වන අතර යම් හෙයකින් එක් දර්ශණයක් සදහා තනි රූපරාමුවක් පමණක් ප්‍රදර්ශණය කෙරෙන ක්‍රමයටද කොටස් රූප ගත කරන්නේ නම් මෙම අගය මීට ද වඩා ඉහළ විය හැක. අදාල වස්තුව වැරදීම් හේතුවෙන් ඉතා කුඩා පැල්ලම්, දූවිලි, කෙස්ගස්  හෝ මඩ ආදීන් පවා වෙනස් නොවන පරිද්දට දැඩි අවධානයක් යොමු කල යුතු වේ. කතාංග ආකාර දිගින් යුත් නිස්පාදන සදහා බොහෝ විට මැටි භාවිතය රබර් සිලිකන් සහ රෙසින අච්චු සංරචක මගින් ප්‍රතිස්ථාපනය වී ඇත. එක් ආකාරයක ෆෝම් රබර් ක්‍රියාවලියක් විල්වින්ටන් විසින් ෆෝමේෂන් වශයෙන් නම් කරන ලදී. කෙසේ නමුත් නිෂ්චිත සෞන්දර්යාත්මක ප්‍රතිඵලයක් අවශ්‍ය වන ස්ථාන සදහා භාවිත වන සජිවීකරණ ද්‍රව්‍යයක් ලෙස තව දුරටත් මැටි භාවිතයේ පවතී. මැටි ආශ්‍රිත සජිවිකරණයෙහි උපක්ෂේත්‍රයක් වශයෙන් Clay Melting හැදින්විය හැක. ඕනෑම ආකාරයක තාප ප්‍රභවයක් මැටි මත, ඒ ආසන්නයේ හෝ ඊට පහළින් යොදා මැටි උණුවීමට සැලැස්විය හැක. මේ අතරතුර දිගු කාල සැකසුමක් සහිත සජිවීකරණ කැමරාවක් මගින් එම ක්‍රියාවලිය සෙමින් පටිගත කෙරේ. මෙය සදහා උදාහරණයක් වින්ටන්ගේ මුල් කාලීන කෙටි මැටි ආශ්‍රිත සජිවීකරණ චිත්‍රපටයක් වු Closed Monday හි (මෙය බොබ් ගාර්ඩිනර් විසින් සහාය නිෂ්පාදනය කරන ලද්දකි.) අවසානයේ දැක ගත හැක. මේ හා සමාන ක්‍රම‍වේද Raiders of the Lost Ark චිත්‍රපටයේ උච්චතම දර්ශනයේ දී විරුද්ධ චරිතවල මුහුණු දිය කිරීම සඳහා භාවිත කරන ලදී.

ක්‍රියාවලිය සංස්කරණය

මෙහිදී එක් එක් වස්තුව මැටි හෝ වෙනත් සුවිකාර්ය ද්‍රව්‍යයක් භාවිතයෙන් ආමේචරය ලෙස හැඳින්වෙන කම්බි රාමුවක් වටා අඹනු ලැබේ. අනෙකුත් වස්තු සජීවීකරණ ආකාරයවලදී මෙන්ම වස්තුව පසුබිමක් මත කිසියම් ආකාරයකට තබා රූප රාමුවක් ගනු ලැබෙන අතර අනතුරුව චරිතය හෝ වස්තුව මද වශයෙන් අතින් චලනය කොට තවත් රූප රාමුවක් ගනු ලැබේ. නැවත වස්තුව මඳ වශයෙන් චලනය කෙරේ. මේ ආකාරයට අවශ්‍ය තරම් රූප රාමු ලැබෙන තෙක් මෙම ක්‍රියාවලිය නැවත නැවත සිදු කෙරේ. එකිනෙකින් ස්වල්ප වශයෙන් වෙනස් වෙන්නේ සීඝ්‍රයෙන් දර්ශනය වන රූප රාමු සමූහයක් මිනිස් මනස මඟින් චලනයක් ලෙසට හඳුනා ගන්නා අතර එබැවින් අදාල වස්තුව ඉබේ චලනය වන්නාක් මෙන් දිස්වේ. ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගනු පිණිස සන්තතික භාවය පිළිබඳ හැඟීමක් ලබා දීම සඳහා පටිගත කෙරෙන පරිසරය ස්ථාවර එකක් විය යුතුය. මෙහි අරුත වන්නේ ස්ථිර ආලෝක තත්වයක් යටතේ ප‍්‍රවේශමෙන් වස්තු පිහිටුම් සකස් කරමින් විශේෂිත අවධානයකින් යුතුව ක්‍රියාත්මක විය යුතු බවයි.

විවිධ ආකාර සංස්කරණය

මැටි ආශ්‍රිත සජීවීකරණය ක්‍රම කිහිපයකට සිදු කළ හැක.

නිදහස් ආකාර (Freeform) මැටි සජීවීකරණය යනු සජීවීකරණය ඉදිරියට ගලා යෑමත් සමඟ මැටිවල හැඩය විශාල වශයෙන් වෙනස් වන ආකාරයේ මැටි ආශ්‍රිත සජීවීකරණයන් හැඳින්වීම සඳහා භාවිතා වන නිල නොවන යොදුමකි. මේ ආකාර සජීවීකරණයන් එලියට් නොයිස් (Jr) සහ අයිවන් ස්ටෑන්ග් වැනි නිෂ්පාදකයන්ගේ නිර්මාණයන් තුළ දැක ගත හැක. නැතහොත් මැටිවලින් නිරූපිත හැඩය කිසියම් චරිතයක ආකාරයේ ගත හැකි අතර මේ ආකාර සජීවීකරණයන් තුළ දී කිසියම් දර්ශනයක් පුරාවට මැටි කිසියම් හඳුනාගත හැකි චරිතයක ලක්ෂණ රඳවා ගනී. මෙවැනි සජීවීකරණ සඳහා උදාහරණ ආට් ක්ලෝකි සහ විල් වින්ටන්ගේ චිත්‍රපට තුළ දැකගත හැක. මැටි ආශ්‍රිත සජීවීකරණයෙහි එක් ආකාරයක් ප්‍රස්තරික කැපුම් (strata cut) සජීවීකරණය ලෙස හැඳින්වේ. එහිදී ඇතුලත ඉතා තදින් අසුරා එකිනෙකට වෙනස් වන දර්ශණයන්ගෙන් යුක්තව සකස් කළ දිගු පාන් ගෙඩියක හැඩයෙන් යුත් මැටි කුට්ටියක් ඉතා සිහින් ස්ථරයන් ලැබෙන සේ කපනු ලැබේ. එක් එක් කැපුමක් අවසානයේ කැමරාව මඟින් මැටි කුට්ටියෙහි කෙළවර දර්ශණයක් රූපගත කරගනු ලැබේ. අවසානයේ දී මේ ක්‍රමය මඟින් අභ්‍යන්තරික රූපවල චලනයන් අනාවරණය වේ. මෙම ක්‍රමවේදය මැටි සහ ඉටි කුට්ටි භාවිතයෙන් මුල්වරට ඉදිරිපත් කිරීමේ ගෞරවය ජර්මන් සජීවීකරණ නිර්මාපක ඔස්කා ෆිෂින්ගර් හට හිමි වේ. ඔහු විසින් 1920 සහ 1930 දශක තුළ හඳුන්වා දෙන ලද මෙම ක්‍රමවේදය 90 දශකයේ මැද භාගයේ දී විල් වින්ටන් ගේ සහායකයකු වූ ඩේවිඩ් ඩැනියල්ස් විසින් පරීක්ෂා කොට නැවත සකස් කරන ලදී. මෙය ඔහු විසින් Buzz Box නම් වූ විනාඩි 16ක් දිග කෙටි චිත්‍රපටය සඳහා භාවිත කරන ලදී. චලන නැවතුම් සජීවීකරණය සහ සාම්ප්‍රදායික පැතලි සජීවීකරණයන් අතර පවතින මායිම බිඳ හෙලන නව ආකාර මැටි ආශ්‍රිත සජීවීකරණ ක්‍ර‍මවේදයක් ලෙස මැටි ඇඳීම (Clay painting) නම් ක්‍රම වේදය හඳුන්වාදිය හැක. (මෙය සෘජු හැසිරුම් සජීවීකරණ ක්‍රියාවලියේ එක්තරා ආකාරයක් ද වේ.) මෙහිදී පැතලි පෘෂ්ටයක් මත මැටි තැබීමෙන් අනතුරුව අභිමත රූප විලාසිතාවක් ලැබෙන පරිදි සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියෙකු කැන්වසයක් මත අලුතෙන් ඇඳි තෙල් සායම් චිත්‍රයක් චලනය කරන ආකාරයට මැටි චලනය කෙරේ. මෙහිදී ලැබෙන චිත්‍රවලට මැටි ස්වභාවයක් ඇත.